අරුමැති ආදරයක් – 67

0
848

හේෂානි අපූර්වා සොයාගෙන පැමිණියේ ඈ ත්‍රී රෝද රථ රථගාලෙහි සිටියදීය. පෙරදා  රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් නිසා බාප්පා රෝහල් ගත කළ බව අපූර්වා  දැනගත්තේත් එතැනදීය. 

“උඹ තනියෙන් යන්න ඕන නෑ අපූර්වා. කොහොමටත් අයි සී යූ එකේනම් ඉන්නේ  බලන්න දෙන්නෙත් නැහැනේ. පුංචි අම්මා මේ වෙලාවේ උඹට මුකුත් නොකිව්වට අර මාර පුත්තු තුන්දෙනා විශ්වාස කරන්න අමාරුයි. නිශ්ශංක මහත්තයා වෝඩ් එකකට දැම්මට පස්සේ අපි එන්නම් උඹ එක්ක යන්න. තනියෙන් ගිහිල්ලා ඔය පිටවෙන වචන වලට හිත් රිද්ද ගන්න ඕනේ නෑ.”

චින්තන සේම සමන් පැවසූයේත් එසේය. පෙරදා රාත්‍රියේම ඔහු බයිපාස් සැත්කමක් සඳහා යොමු කළ බව සමන් හා පවසා තිබුණේ තොග කඩේ මුදලාලිය. 

“අනේ මන්දා ආච්චි මේක කොහොම දරා ගනීද කියලා. සමහර වෙලාවට එයා බාප්ප ගැන ගෙදරදි කතා නොකර ඉන්නේ මම නිසාම වෙන්න ඇති. උඩු හිතින් මොනවා හිතුවත් වචන වෙලා මොනවා පිටවුනත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ කියන්නේ හදවතේ අඩිතාලම. ඒක ආච්චිට විතරක් වෙනස් වෙන්න විදිහක් නෑ චින්තන අයියේ. සමහර වෙලාවට  මට ඇහෙනවා එයා  හේෂානිගෙ අම්මත් එක්ක  බාප්පගෙ පුංචි කාලේ ගැන කතා කරනවා. බාප්පා රස්සාවක් කරලා මුළු පවුලම ගොඩදායි කියලා විශ්වාස කළා කියලා ආච්චි කියනවා. එහෙම පුතා ජීවිතයත් මරණයත් අතර සටනක් කියල දැනගත්තට පස්සේ මොන අම්මටද පුළුවන් හිත හදාගන්න.” 

“ඒකනං එහෙම තමයි බං. හොඳම දේ තමයි පියසීලි නැන්දට දැන්ම මේ කිසි දෙයක් ආරංචි වෙන්න ඉඩ නොදී ඉන්න එක.”

“චින්තන අයියේ මං අපේ අම්මට කියල  ආවා හවස අපි එනකල් පියසීලි ආච්චි එක්ක ඉන්න කියලා. අපි යමින් ගමන් ගුණවතී නැද්දටත් කියාගෙන යමු මේ කිසිම දෙයක් ආච්චි එක්ක කියන්න එපා කියලා.”

හේෂානි පැවසූයේ චින්තකත් සමනුත් දෙස බලමින්ය. 

“ඕක අපි දැනගෙන නොකිය ඉන්න එකත් හොඳ නැහැනේ අපූර්වා. කොහොම වුණත් ඔයාලා දෙන්න මේ ගමන ගිහිල්ලා එන්නකෝ. හොඳ දේකට යන්න ලෑස්ති වෙච්ච ගමන බාධාවක් කරගන්න එපා. ඒ ඇවිත් අපි ආච්චිට මේ විස්තරේ කියමු. ඊට පස්සේ ආච්චි තීරණය කරයි මොකක්ද කරන්න ඕනෙ කියන එක. මොනව උනත් අපිට එයාට සීමා බාධක දාන්න බෑ. මේ පියසීලි නැන්දගෙ දරුවෙක්නේ. දරුවෝ මොනවා කලත් දරුවන්ගේ දුකකදී වේදනාවකදී අම්මලට එයාලව අතාරින්න බෑ.”

සමන් පැවසූයේ ඒ තීරණය අවසන් තීරණයයැයි පවසන්නා සේය. චින්තනත් හිස වැනුවේ ඔහුට එකඟ වෙමින්ය. 

“කොහොම වුනත් සමන් අයියේ පියසීලි නැන්දා උනත් තනියම යවන්න නරකයි.”

“ඒක හරි..එහෙම උනොත් අපූර්වා අපි කවුරුහරි නැන්දව එක්කරගෙන යන්නම්.”

අපූර්වා හිස වනා ඔවුන් දෙදෙනාට එකඟ වූවාය. දුකකදී කරදරයකදී තනි නොකරන මේ හිතවත්කම් මහ මෙරක් තරමට වටී. පොඩි හාමුදුරුවන්ගේ වදන් වලට අනුව පුංචි අම්මාත්, බාප්පාත් අවසන ඒ නිවසෙහි ගත කර ඇත්තේ සැනසුම් සහගත දිවියක් නොවේ. 

“මම හිතුවා උඹ ගෙදර ඇති කියලා. ඇයි බං උඹට සිහිය නැති උනාද ඒ ටිකට. අපි ඊයේ කතා වුනානේ අද හවස සමාරා  මැඩම්ගේ ගෙදර යමු කියලා.”

හේෂානි එසේ පැවසූයේ ත්‍රීරෝද රථය පසුපස අසුනෙන් අසුන් ගනිමින්ය. 

“ඇත්තමයි මට ඒක අමතක උනානේ. මේ දවස්වල අතේ සල්ලිත් නෑ බං. ඒකයි මම හයර් එකක් දෙකක් දුවා ගන්න ආවෙ.”

“එහෙනම් අපි හෙට අනිද්ද දිහාට යමුද.” 

“නෑ…නෑ අද යමු. නැත්තං  උඹ මේ ගමන යන්න කියලා අනිද්දටත් නවතියි. ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙලා යමු. යුගාශ් අයියා  කිව්වා අද එයාගේ අප්පච්චි එක්ක ඩොක්ටර් ගාවට යනවා කියලා. මං හිතන්නේ අද නඩු දෙකක්. අපි මැසේජ් එකක් තියමු. පුළුවන් වෙලාවක ගනීනේ.”

“ඒවා ඉතින් දෙන්න දෙමහල්ලෝ විසඳගන්න ඕන ප්‍රශ්න. යමු රෑ වෙනවනේ. ත්‍රිවිලර් එකේම යමු නේද.?”

“ඔව් එහෙම කරමු.” 

“ආනමාලු කෙසෙල් තැනක් ඉදිල තිබුණා. මං ඒකෙන් ඇවරියක් ගෙනාවා. අපි මේකට බටර් කේක් එකක් ගමු.”

“ඒක හොඳයි…..”

තමාරාගේ නිවසට යන මාර්ගය අපූර්වා  පෙරේදා  අසා දැනගත්තේ කන්ට්‍රක්ෂන් කල  ආයතනයේ ගෝලයෙකු මාර්ගයෙන්ය. කළුතරත්, පානදුරත් අතර ප්‍රධාන මාර්ගයේ ආසන්නයේම පිහිටි නිවස සොයා ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේයැයි ඈ සිතුවාය. 

“මම දෙපාරක් තුන් පාරක් මැඩම්ට කෝල් කළා. ෆෝන් එකනම් ආන්සර් කළේ නෑ. අපි නොකියම ගියොත් ඒක හරිද?”

අපූර්වා එසේ ඇසුවේ ගමනට සූදානම්ව කුඩා කාමරයෙන් පිටතට පැමිණෙමින්ය.

“ළඟට ගිහිල්ලා ආපහු කෝල් කරලා බලමු නේද? සමහරවිට හවස නිසා නිදිද  දන්නෙත් නෑනේ.”

අවසන ඈ ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තේ හේෂානිගේ වදන්වලට එකඟ වෙමින්ය. ඉන් අනතුරුවත් දෙවරක් තුන් වරක් උත්සාහ කලත් තමාරා දුරකථනයට පිළිතුරු සැපයූවේ නැත. වෙනදා ඇගේ සහායිකාව හෝ අපූර්වාට පිළිතුරු සපයයි.

“සමහර විට අසනීප වැඩිවෙලා හොස්පිට්ල් ඇඩ්මිඩ් කළාද දන්නෙ නැහැ නේද? අපරාදේ අපිට අර නන්දනීගේ නම්බර් එකක්වත් ඉල්ලගන්න බැරි වුනානේ”

“දැන් ඉතින් ළඟටම ආපු එකේ ගිහිල්ලම බලමු. මේ ඒ මනුස්සයා තැන කිව්ව විදිහට මේ හරිය නේද. අපි කාගෙන් හරි අහමුද.”

“එහෙම දන්නවද දන්නේ නෑ නේද?”

“ඉන්නකෝ අර පොඩි කඩෙන් අහමුකෝ..”

අපූර්වා ත්‍රී රෝද රථය නැවතූ පසුව මුලින්ම ඉන් බැස ගත්තේ හේෂානිය. අපූර්වාත් ඒ පසුපස ඇවිද ගියාය. තමාරාගේ  නම කියා කඩ හිමියාගෙන් විමසුවත් ඔහුට එකවරම ඇයව සිහි වූයේ නැත. 

“අර සමාජ සේවා වැඩ එහෙම කරන්නේ. ඉන්න මං ෆොටෝ එකක් පෙන්නන්නම්.”

එසේ පැවසූ අපූර්වා තම ජංගම දුරකථන තිරය ඔහු වෙත දිගු කළාය. 

“ආ..මේ නෝනා මං දන්නවා..ඉස්සරහ හම්බවෙන පළවෙනි වංගුව පහු වෙච්ච ගමන් වම් පැත්තෙ තියෙන තටු දෙකේ ගේ. ඉස්සරහ ලොකු බුදු මැදුරක් එහෙම තියෙනවා.” 

අපූර්වාත් හේෂානිත් යළි ත්‍රී රෝද රථයට නැගුණේ ඔහුට ස්තුතිවන්ත වෙමින්ය. ඒ පැවසූ ආකාරයටම නිවස සොයාගත් යුවතියන් දෙදෙනා නිවසට මඳක් එහායින් නතර වී යළිත් දෙතුන් වතාවක්ම තමාරා අමතන්නට උත්සාහ කළාය. 

“කමක් නෑ අපි යමු”

නිවසේ විදුලි සීනුව නාද කළ පසුව මුලින්ම පැමිණියේ නන්දනීය. දෑස් විසල් කරගත් ඔහු යළිත් නිවස තුළට දිව ගියේ තමාරා සොයා ගෙනය. 

“ලොකු නෝනා..අර අපූර්වා මිස් ඇවිල්ලා..”

උදෑසන සිටම තමාරා උන්නේ කාමරයට වීගෙනය. යුගාශ්ගේ ඉල්ලීමට එකඟ වෙමින් පුෂ්පානන්ද හා උදෑසන කෑම මේසයට අසුන් ගත්තත් සිතෙහි වූයේ පැහැදීමක් නොවේ. ඔහුට අනුකම්පා කරන්නට සිත හදා ගත්තාට ඊළඟ තත්පරයේදී ද්වන්ද  සටනක යෙදෙන සිත ඔහු පිළිබඳව වූ කළකිරීමට පරාජය වේ. ඒ වේදනාව දන්නේ තරුණ වියෙහිදීම තනි වූ ගැහැණියකයැයි  අවසන තමාරා විශ්වාස කළාය.

නන්දනීගේ වදන්  වලට අවනතව අපූර්වා නැගී සිටියේ දෑස් විසල් කරගෙනය. ඒ දෑස් වල බියක් සේම තැති ගැන්මක් ද  විය. ඊළඟ තත්පරයේදී තමා ඔවුන් හමුවේ බොරුකාරියක වන බව විශ්වාසය. තමාරාගේ සිතට දැනෙමින් තිබුණේ වේදනාවකි. එදා යුගාශ්ට අවනතව තමා කලේ මෝඩ කමකි.

“අපූර්වා මිස් මාව දැක්කනේ ලොකු නෝනා. එහෙම නැතිවුණානම් මොනවා හරි බොරුවක් කියලා යන්න කියන්නවත් තිබුණා.”

“එක බොරුවක් වහන්න බොරු දහසක් කියන්න වෙනව නන්දනී. මිනිස්සු ඇත්තෙන් ජීවත් වෙනවනම් අපිට ඒ මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න හරි පහසුයි. දැන්වත් මේ ඇත්ත ඒ දරුවා දැනගන්න ඕනේ. නන්දනී ඒ අයට ගේට්ටු ඇරලා ගෙට එන්න කියලා කතාා කරන්නකෝ. මං එන්නම්.”

තමාරා කැඩපත ඉදිරිපස සිට ගත්තේ නන්දනී කාමරයෙන් පිටව ගියාට පසුවය. පෙරදා රාත්‍රිය පුරාම නිදිවැරූ දෑස් මදක් ඉදිමී  තිබිණ. ඒ කොපුල්වල වූයේ වෙහෙසකාරී ස්වරූපයකි. සිතෙහි වූ බොහෝ ප්‍රශ්න විසදූයේ  කාලයය. දෑස් වල නිරතුරුව වූ කඳුළුත් සිතෙහි වූ වේදනාවත් කල්යත්ම හිස් හැඟීමක් බවට පත්විය. එතැන් සිට ඇයට වූයේ සැනසුම් සහගත දිවියකි. නිදහස් නිරවුල් මනසකි. බලාපොරොත්තු අවම වූ ජීවිතයකි. යළිත් පැටලුණු නූල් බෝලයක් සරි වූයේ ඒ ජීවිතයමය. 

යෙහෙළියන් දෙදෙනා නන්දනීගේ ආරාධනයෙන් විසල් නිවසට ඇතුළු වූයේ බියෙන් සැකයෙන් සේය. ඇගේ ධනවත්කම ඒ වටපිටාවෙන්ම පෙනෙන්නට ඇතැයි අපූර්වාට සිතිණ. ඈ උන්නේ හේෂානිගේ අත අල්ලා ගෙනය.

“මෙහෙන් වාඩිවෙන්න මිස්ලා. ලොකු නෝනා කාමරේ. තව ටිකකින් එයි.”

“තමාරා මැඩම්ට දැන් සනීපද නන්දනී ආන්ටි…”

අපූර්වා ඇසුවේ සුවපහසු සෝපාව අසල සිට ගෙනය. 

“අසනීපයක්…ආ…ඔව්.. ඔව්…… තවම ටිකක් අසනීපෙන් තමයි. ඔය දැනුත් නිදාගෙන හිටියේ. ඉඳගන්නකො මිස්ලා දැන් ලොකු නෝනා එයි.”

තමාරාත්  හේෂානිත් සුවපහසු පුටුවක අසුන් ගත්තේ නන්දනී දෙවන වරටත් පැවසුවාට පසුවය. එහෙත් අපූර්වා යළි නැගී සිටියේ ඉඳගත් වේගයෙන්මය. විසිත්ත කාමරයේ කෙළවරක තබා ඇති යුගාශ්ගේ විසල් සේයා රුවත් ඒ හා සමගම එහා පස තබා තිබූ තමාරාත් ඔහුත් සිටින සේයාරුවත් ඇගේ නෙත ගැටුණේ එවේලෙහිය. 

ඕ ඒ දෙසට ඇවිද ගියේ යන්ත්‍රානුසාරයකින් සේය. නන්දනී සේම හේෂානිත් උන් තැනම ගල් ගැසී බලා සිටියේ දෑස් විසල් කරගෙනය. ඊට එහායින් බිත්තියේ ගසා තිබූ සේයාරූ කිහිපයක් ද විය. ඒ සියල්ලෙහිම වූයේ යුගාශ් බව විශ්වාසය. ඒ ඔහු විවිධ වයස් මට්ටම්වලදී ගත් සේයා රූය. හදවත වේදනාවෙන් මිරිකෙමින් තිබිණ. මේ දෑස් වලට වරදින්නට විදිහක් නැත. මේ හා සමානම සේයා රූ ඔහුගේ දුරකථන ගබඩාවෙහි තිබූ බවත් ඒ සමහර ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් තම දුරකථන ගබඩාවට ඇතුළු කළ බවත් විශ්වාසය. මේ සා රැවටීමක් මේ සා  බොරුවක්…යුවතිය විසල් කළ සේයා රුවක් මත තම ඇඟිලි තුඩු ගෙන ගියේ ඉවසිල්ලේය. පුදුමය. මේ දෑස් වලින් එකඳු කඳුළක්වත් වැටුණේ නැත. ඒ වෙනුවට ඒ දෑස්වල වූයේ දැවිල්ලකි. අල්පෙනෙති තුඩකින් සිදුරු කරන්නා සේ පපුව රිදෙමින් තිබිණ. සිය දෑගිලි තමාටත් අවනත නොවී වෙව්ලද්දී යුවතිය සේයාරුව මතින් තම දෑගිලි පසුපසට ඇද ගත්තාය. අවසන ඕ ආපසු හැරුණේ තම දෙපා තමාටව අවනත නොවී යන බව දැනෙද්දීය. සුවපහසු අසුනෙන් නැගී සිටි හේෂානිත්,  දෑස් විසල් කරගෙන බලා උන් තමාරාත්, තම ස්වාමි දියණියට සවියක් වන්නට ඈ අසලටම වී සිට ගෙන සිටි නන්දනීත් එකම රාමුවකට හසු කරගත් යුවතියට දැනුනේ තම දෑස් බොඳව යන බවකි. යෙහෙළිය ගැන අවධානයෙන් උන් හේෂානි ඇයව වත්තම් කර ගත්තේ අඩියට දෙකට ඉදිරියට දිව එමින්ය.

“නන්දනී ඉක්මන්ට වතුර එකක් ගේන්න මේ දරුවා පේන්ට් වෙනවා වගේ..”

ඒ හඬ අපූර්වාට හොඳින් ඇසුණාය. ඈ උන්නේ කළු කුහරයක් තුළ පා වෙමින්ය. එහෙත් පිටත සිදුවන කතාබහ ඒ දෙසවන් වලට ඇසෙන  බව විශ්වාසය. සුවපහසු අසුනට බරව උන් යුවතියගේ කොපුලත් දෑසුත් ජල බිඳුවලින් තෙත් කළේ තමාරාමය. ඒ අතරේම ඈ අපූර්වාගේ කොපුල් අතගාමින් ‘අපූර්වා අපූර්වා ….පුතේ ඔයාට මාව ඇහෙනවා නේද…’ යැයි ඇසුවාය. ඒ වීදුරුවෙන්ම  යුවතියට වතුර උගුරු කිහිපයක් පෙව්වේත් ඈය. 

“මැඩම් ඒ යුගාෂ් සර්ද…”

“එසේ ඇසුවේ හේෂානිය. විශ්වාසය ඒ හඬ පවා බිඳී ගොස් තිබිණ.

වදනක්වත් කතා නොකලාට අපූර්වා උන්නේ මේ සියල්ලටම සවන් දීගෙනය. ඇසිපිය ගසන්නට පවා ඇයට අමතක වූවා සේය.”

“ඔව් හේෂානි…ඒ යුගාශ් තමයි. ඉඳගන්නකෝ මං ඒ කතාව ඔයාලට කියන්නම්.”

එසේ පැවසූ තමාරා අසුන් ගත්තේ අපූර්වාගේ දකුණතත් අල්ලා ගෙනමය. මෙවේලෙහි යුවතියගේ සිතෙහිවන තිගැස්මත් වේදනාවත් තමාරාට  වැටහිණ. එහෙත් මේ සත්‍යයට ඇය මුහුණ දිය යුතුමය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here