වජ්‍ර චුම්බට

මේපාර  නිවාඩුවට අපි කොහෙද යන්නෙ ..
සුරංජන්  අපි හතර දෙනාම වාඩි වෙලා හිටපු කෑම මේසෙදි ඇහුවෙ  සාමාන්‍යයෙන් හැම අප්‍රියෙල් නිවාඩුවටම අපි කොහේ හරි ඇවිදින්න යන හින්දයි .

යේ…. නියමයි තාත්තී…..අපි යාල යමු..

අනේ තාත්ති කොරල් බලන්න යං…

පොඩි එවුන් දෙන්නා තරගයට යන්න ඕනේ තැන් ත සුරංජන් ට කියන්න ගත්තා .මම හිනා වෙවී ඒ තුන්දෙනා දිහා බලාගෙන කෑම බෙදන්න ගත්තා .
අපි ජීවිතේ හැමදාම කරන්නේ හම්බ කරන එක .අවුරුද්දකට දවස්  දෙකක්වත් අපි වෙනුවෙන්   අපි වෙන් කරන්න ඕනේ කියලා හැමදාම වගේ මට හිතිච්ච දෙයක්. සුරංජන්  වුණත් ගමනක් යන්න කවදාවත් බෑ කියන්නේ නෑ. අපේ ජීවිත වල ප්‍රශ්න තිබුණා. හිත් රිදීම් තිබුණා. නොගැලපීම් තිබුණා. ඒ උනාට ඒ හැම දෙයක්ම ඉවසගෙන ලස්සනට ගලාගෙන ගිය පුංචි ආදර කතාවක් අපේ ගේ ඇතුලෙ තිබුණා .

ඔයාට කොහෙද යන්න ඕනෙයි කියල කිව්වෙ නෑනෙ ..
කියලා සුරංජන්  මං දිහා බලලා හිනා උනා .

ඔයාලා තුන්දෙනා තීරණය කරන්නකෝ  ඒ  තීරණය කරන තැනට මමත් යන්න කැමතියි..

එහෙම කියලා මම හිනා උනා .

දැන් මම ඔන්න ඔය තුන් දෙනාටම ස්ප්‍රායිස් වෙන කතාවක් කියන්නයි යන්නේ .එහෙම කියලා සුරංජන්  බොහොම වුවමනාවෙන් අපි තුන්දෙනාගෙන් මූණ දිහා බැලුවා .මෙි පාර මට ඔෆිස් එකෙන් හම්බ වෙලා තියෙනවා අපේ මුළු පවුලටම තායිලන්තයට යන්න අවස්ථාවක් .
සුරංජන් එහෙම කියනකොට මට දැනුනේ පුදුම සතුටක් .

ඇත්තටම …අනේ මරු…..
පොඩි උන් දෙන්නත් මාත් එක්ක සන්තෝසෙන් කෑ ගහන්න ගත්තා .
අනේ නියමයි තාත්තේ.. අපි කවදාවත් ප්ලේන්  එකක ගිහිල්ලත් නැහැ .

අප්‍රියල් නිවාඩුවට තව මාසයක් විතර තිබුණා .අපි හතර දෙනාට ම  පාස්පෝර්ට් හදලා තිබුනෙ නෑ .
ඒ හින්දා සුරංජන්ගේ  යෝජනාවකට අනුව අපි සිකුරාදා නිවාඩු දාලා අපි  හතරදෙනාම පාස්පෝට් හදන්න කොළඹ ගියා .ඊට පස්සේ අපි ගමනට ඕන කරන බඩු මුට්ටු
ගත්තා .

එහි සීතලයි ලු ද ..

නෑ මම හිතන්නේ.. තායිලන්තය කියන්නෙත් ලංකාව වගේ රටක්.එහෙම සීතල හිටින්න විදිහක් නෑ .

දවස් තුනකට හරියන්න ඇඳුම් පැළඳුම් ටික අර ගත්ත නං එහෙනම් ඇති නේ .

ඔව් ඇති . බබාලා දෙන්නට කෝකටත් දවස් හත අටකට හරියන්න ඇඳුම් දාගන්න වෙයි .

ඒ මොකටද එච්චර .

නෑ ඉතින් කියන්න බැහැනේ.. තෙමාගන්න පුළුවන් .කිලුටු කරගන්න පුළුවන්. ආපහු ඒ රටවල් වලට ගිහිල්ලා ඇඳුම් හොයන්න බැහැනේ .

එහෙම කියලා සුරංජන් කිව්වේ වාහනයෙන් අහක බලාගෙන මයි .

ඒක නෙමෙයි ,අපි ගමන යනකං වැඩිය කාත් එක්කවත් වැඩිය  කියවන්න යන්න එපා. දන්නවනේ එක එක්කෙනාගේ අදහස්.
හදිසියෙ හරි යන්න හම්බුනේ නැති උනොත් ආයෙ මුන දී ගන්න හම්බ වෙන්නෙත් නෑ.

එහෙම කියලා කිව්වෙත් සුරංජන් ම තමයි. සුරංජන් එහෙම කියපු හින්දා මම අපේ අම්මටයි නංගිටයි වත් මේ විස්තර කියන්න ඉස්සර උනේ නැහැ .යන්න දවසක් දෙකක් තියලා ඔන්න ඔහේ කියලා දානවා කියලා හිතාගත්තා. ඔෆිස් එකේ හොඳම යාළුවා වෙච්ච නිශාටවත් මම මේ විස්තරයක් කිව්වේ නෑ .

ගමනට ගෙනියන්න විශේෂයෙන් කියලා කෑම මොකුත් හදාගන්න ඕනේ නැහැනේ .
මම එහෙම ඇහුවේ ඉස්සර අපේ අම්මලා වන්දනා ගමන් යනකොට ඔයා අච්චාරු බෝතලයක් ,අග්ගුලි ගෙඩියක්, ආස්මි කරලක්  හදාගන්න වයි කියලා දන්න කියන හින්දයි .

පිස්සුද අනේ ,
ඔයා හිතුවා ද මේ වන්දනා ගමනක් යනවයි කියලා .අපි යන්නේ ඔෆිස් එකෙන් හම්බෙන නිවාඩුවක් ගත කරන්න . ඒවට හොඳම හොටේල්  හම්බවෙනවා. ඕන තරම් කන්න තියෙනවා.
බය නැතුව ඔයා ගමනට ලෑස්ති වෙන්න .

සුරංජනුත්  මමත් එකම විශ්වවිද්‍යාලය. අපි දෙන්නම උපාධිය කරලා එකටමයි විශ්ව විද්‍යාලයෙන් පිට උනේ. සුරංජන් ට විශ්ව විද්‍යාලයෙන් පිට වෙච්ච ගමන්ම මාධ්‍ය ආයතනයක ලිපිකාර තනතුරක් හම්බවුණා .විශ්වවිද්‍යාලයෙන් එළියට ගිය ගමන්ම සුරංජන් ට රස්සාවක් හම්බ උනාට මට මාස අටක් විතර රස්සාවක් හම්බ වෙනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණා .ඒ මාස අටේදි  සුරංජන්  තාත්තෙක් වගේ මට වියදම් කළා.රජයෙන් ගැසට් කරපු ලිපිකරු විභාගය ලියලා ඊට  පස්සේ තමයි මට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලිපිකාර තනතුරක් හම්බ උනේ .සුරංජන් මගේ හැම දේකටම වියදම් කළේ බොහොම ආසාවෙන් .ඒ ආශාව ඇතුලේ මට සමහර වෙලාවට හිතුනා මම එයාගෙන් යැපෙන කෙනෙක් කියලා පෙන්නන්න එයා හුඟක්  උත්සාහ කළයි කියලා .
ඒ කොහොම වුණත් සුරංජන් මට ලිපිකාර රස්සාවක් ලැබීම ගැන සංතෝෂ වුණා . අපි දෙන්නම එකට ලෝන් එකක් දාලයි ගේ හදාගත්තේ .ඊට පස්සේ අපි දෙන්නා කසාද බැන්දා.කසාද බැන්ද අලුත මට බබාලා දෙන්නාම හම්බවුණා.බබාලා බලාගන්න අම්මා අපේ උදව්වට ආවා .අම්මා උදව්වට ආව හින්දා මම කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටපු පරිපාලන විභාගය ලියන්න යන්න සූදානම් වුණා .සුරංජන් ඒකට වැඩි කැමැත්තක්  පෙන්නුවේ නැති උනාට කාලයක් තිස්සේ මගේ හිතේ තිබිච්ච ආසාවක් හින්දා මම ඒ විභාගය ලිව්වා .විභාගයෙන් ඉහළින්ම පාස් වෙන්න මට පුළුවන් වෙච්ච හින්ද දෙනගම ප්‍රාදේශීය ලේකම් හැටියට පත්වීමක් ගන්න මට පුළුවන් වුණා .මාත් එක්කම පරිපාලන විභාගයට ලියමු කියලා  සුරංජන් ට මම කොයිතරම් යෝජනා කළත් එයා ඒකට අකමැති වුණා .වැඩ කර කර හිටපු මාධ්‍ය ආයතනයෙන් අයින් වෙලා එයා පෞද්ගලික ආයතනයක රස්සාවකට ගියා .සුරංජන් කිව්වෙම ආයෙ ආයෙ මහන්සි වෙලා පාඩම් කරල විභාගයකට යන්න එයාගේ හිත එයාටම නම්මා ගන්න අමාරුයි කියලයි .
මම ප්‍රාදේශීය ලේකම් හැටියට පත්වීම අර ගත්තහම සුරංජන්  හැමතිස්සේම කිව්වේ එයාගේ උපාධිය පළමු පන්ති උපාධියක් වුණා ට කොහොමහරි මම එයාව පාස් කරලා එයාට වඩා උසස් නිලයක ට ආවයි කියලයි  .එයාගෙ සමහර කතා අස්සේ  යම්කිසි මදිපුංචිකමක් හිතේ හංගගෙන ජීවත් වුණා කියලා මට හිතුනා.
එහෙම හිතුන හින්දා මම හුඟක් වෙලාවට සුරංජන්  ට යටහත්පහත් විදිහට කතා කලා.ආදරයෙන් ඉන්න උත්සාහ කළා .කොයි තරම් ඉහළ නිලතල යක් දැරුවත් මගේ දරුවන්ගේ තාත්තයි කියන හැඟීමෙන් මම සුරංජන් ට යටහත් පහත්ව ආදරයෙන් සැලකුවා. කතා කළා .මෙහෙමයි කියල පෙනෙන්න සුරංජන්ගේ කිසිම වැරැද්දක් තිබුණෙ නැහැ .එයා අලුතෙන් වැඩට ගියපු පෞද්ගලික අංශය එයාට බොහොම හොඳින් සැලකුවා .ඇත්තටම සුරංජන් බොහොම අවංක කෙනෙක්. එයාගේ  ඒ වැඩ කිරීමේ රටාව නිසාම එයාට ආයතනයෙන් ගොඩක් වරප්‍රසාද හම්බවුණා .ඒ හම්බවෙන හැම වරප්‍රසාදයක් එක්කම සුරන්ජන් මගේ රස්සාව සසඳන්න උත්සාහ කළා .

ඔන්න බලන්නකෝ ඔයාලා ප්‍රාදේශීය ලේකම් ලා වුණත් වැඩක් නැහැ ඕගොල්ලන්ට අපිට හම්බෙන චාන්ස් හම්බ වෙන්නේ නෑනේ ..
කියලා සුරංජන් ගොඩක් වෙලාවට මට සමච්චල් කළා .ඊට අවුරුදු හතරකට පහකට පස්සේ මට කොමසාරිස් තනතුරට උසස්වීමක් හම්බවුණා .මොන හේතුවක් ද මම දන්නේ නැහැ මට ඒ සුබාරංචිය ගෙදර ඇවිල්ලා කියන්න ලොකු චකිතයක් දැනුනා .මට හිතුනා ඒ දේට සුරංජන් අකමැති වෙයි කියලා .මගේ අලුත් උසස් වීම ගැන මම සුරංජන් ට කිව්වේ සුරංජන්ගේ කටින් මොනවා පිටවුනත් මම ඉවසනවා කියලා හිතාගෙන .මම බලාපොරොත්තු වෙච්ච විදිහට සුරංජන් තරහ අරගත්තේ නැහැ .ඒ වෙනුවට එයා තත්පර කීපයක් කල්පනා කරලා එකපාරටම හිනාවෙලා මට සුබ පැතුවා .

මම දන්නවා නයෝමි
ඔයා ඉවසිලිවන්තව කොහොමහරි ඉස්සරහට  එනවයි කියලා.  මගෙන් සුබ පැතුම් ඔයාට .

මම බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිචාරයක් සුරංජන්ගේ ලැබීම ගැන ඇත්තටම මම දෙවියන්ට ස්තුති වන්ත වුණා .කොමිසාරිස් ධූරයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙච්ච මට අම්මගේ උදව් නැතුවම බැරුව ගියා .ඒ අතරේදී අම්මා හදිසියේ අසනීප වෙන්න පටන් ගත්තා.අම්මා දරුවන් බලන්න බැහැයි කියල කිව්වෙ නැතිවුනත්   සුරංජන් බලෙන්ම අම්මව ආපහු මහ ගෙදරට ගිහින් දැම්මෙ අසනීප මනුස්සයෙක් ගෙන් වැඩ ගන්න බැහැ කියලයි .

ඔයා කොමසාරිස් තියා  මොන සාරිස් වුනත් දැන් කරන්න දෙයක් නැහැ . ළමයි බලාගන්න ගෙදර නවතින්න..

කියලා සුරංජන් දිගින් දිගටම මට කිව්වා .

අනේ එහෙම කියන්නේ ඇයි?
අපි ළමයි බලාගන්න කෙනෙක් හොයා ගමු .අනික දැන් බබාලා දෙන්න පොඩි නැහැනේ. දෙන්නම ඉස්කෝලෙත් යන එකේ කරදර අඩුයිනේ.මේ වගේ රාජකාරියකින් අයින් වෙන්න කියලා කියන්න එපා සුරන්ජන්.

කියලා මම එදා රෑ සුරංජන් ට කිව්වා.බබාලා බලාගන්න  ගෑනු කෙනෙක් හරි විදිහකට හොයාගන්න බැරි වෙච්ච හින්දා අපිට බබාලා ඉස්කෝලේ යන ඉස්කෝලෙම සිස්ටර්ස් ලා  පාලනය කරගෙන යන දිවාසුරකුම් මධ්‍යස්ථානයකට ඒ දෙන්නව දාන්න සිද්ධ වුණා .ඇත්තෙන්ම දරුවන්ට එතන හොඳ රැකවරණයක් ලැබෙනවා කියලා මට හිතුනා.ගොඩක් දවස් වලට සුරංජන් ළමයින්ව හවසට ගෙදර එක්කගෙන යනවා. මං ඊට  පැයකට විතර පස්සෙ තමයි  ගෙදර එන්නේ. ඒ ඇවිල්ලා උයලා පිහලා  බබාලව සෝදලා පිරිසිදු කරල කරන වැඩ ටික  කරනවා .හුඟක් වෙලාවට සිස්ටර්ස්ලා  ඒගොල්ලන්ගෙ ඉස්කෝලේ වැඩ කරවලා තිබුණා .ඒක නං ඇත්තටම මට ලොකු පහසුවක් වුණා .සුරංජන්ගේ වැටුපට වඩා මගේ වැටුප ඇත්තෙන්ම ප්‍රමාණාත්මකව වැඩි වුණත්  මට ඒ ගැන කටක් ඇරලා සුරංජන් ට කියන්න බය හිතුනා. සුරන්ජන්ගේ හිත ඒ සම්බන්ධව ගොඩක් රිදෙනවා කියලා  දැනිච්ච නිසා මම ඒ ගැන කතා නොකර හුඟක් වෙලාවට මග ඇරියා .එදා මම නාලා එනකොට මගේ බෑග් එකේ තිබිච්ච වැටුප් විස්තර  කොළය අතට අරගෙන සුරන්ජන් කියවනවා මම දැක්කා .මම ඒ දේ දැක්කේ නැති ගානට එතනින් අහක් වෙලා ගියා.  අද තව වෙනතුරුත් මම සුරංජන්ගෙන් ඒ ගැන ඇහුවේ නෑ.

අපිට ගමන යන්න තිබුණේ හරියටම තව සතියයි .මම එදා දවල් දවස් භාගයක නිවාඩුවක් දාලා වේලාසන ගෙදර ආවේ බාගෙට හදලා තිබිච්ච  ඇඳුම් බෑග් ටික හදනවා කියලා හිතාගෙනයි . මම සුරන්ජන්ට කලින් අද ආපු නිසා ළමයිව මම  ගෙදර එක්කගෙන යනවා කියලා හිතාගෙන  කෙලින්ම වාහනය අරගෙන ගියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ටයි .සුරන්ජන් ට දිගින් දිගටම ඇමතුමක් අරගෙන කියන්න මම උත්සාහ කළේ මම ළමයින්ව අරගෙන ගෙදර යනවා කියලා කියන්නයි .ඒ උනාට සුරංජන්ගේ දුරකථනය  ක්‍රියාවිරහිත වෙලා තිබුණා .
දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ගිය මම සිස්ටර්ව  හම්බවෙලා ළමයිව ගෙනියන්න ආපු බව කිවුවහම සිස්ටර් මගේ මූන දිහා බලාගෙන හිටියා .

ඇයි  මිස් නයෝමි මිස්ටර් සුරංජන්  කිව්වේ නැද්ද .මිස්ටර් සුරංජන් උදේ ළමයින්ව දාලා පැයකින් ආපහු එක්කගෙන ගියා.උදේම නේ එක්කගෙන ගියේ .කොහෙද යන්න තියෙනවා කියලා .

කොහෙද …

මට හිතාගන්න බැරි වුනා .

කොහෙද යන්නෙ කියල නං හරියටම කිව්වේ නැහැ .පොඩි හදිස්සි වැඩක් කියල විතරයි කිව්වේ .

අහ්…හරි වැඩේනෙ සිස්ටර් සුරංජන්ගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑනේ …

නෑ මිස් නයෝමි.. ඔයා බයවෙන්න එපා. ගෙදර ගිහිල්ලා  බලන්නකෝ සමහරවිට එයාලා ගෙදර ඇති.මොකක් හරි හදිසි වැඩක් තිබුණද දන්නේ නැහැනේ.

සිස්ටර්  එහෙම කිව්වේ කලබල වෙලා ඉන්න මගේ හිත නිවන්න කියලා මට හිතුණා .සිස්ටර් ගෙන් සමු ගත්ත මම ආපහු වාහනයට එන ගමන් හිතුවේ සුරංජන් ට  කොහොමද බනින්නෙ කියලයි .

ඇයි අනේ ,සුරංජන් පුදුම වැඩ නේ කරන්නේ .කවදාකවත් මෙහෙම නොකියා ළමයි ගෙනිහිල්ලා නැහැනේ .ෆෝන් එකත් ඕෆ් කරගෙන ඒ මදිවට .නිකංවත් පොඩ්ඩක් කියන්න බැරි ද?
ළමයි  කලින් ගෙනියනව කියල. අඩු තරමේ කොහෙද යන්නෙ කියලවත් කියන්න බැරිද .හිතෙන් දාහක් දේ හිතන ගමන් මම ගෙදරට වාහනය අරගෙන ගියේ  ළමයි වත් අරගෙන කොහෙද ගියේ කියලා අහන්නයි .ඒත් ගෙදර සුරංජන්ගේ වාහනය තිබුණෙ නැහැ. උදේ වහලා ගිය විදිහටම ගේ දොර වහලා තිබුණා .මම ලොක් එක ඇරගෙන  ඇතුලට ගියා. ගේ ඇතුලේ කිසිම කෙනෙක් හිටියේ නැහැ .

මාර වැඩක්නෙ .. මේගොල්ලෝ කොහෙද ගියේ .ෆෝන් එකත් ඕෆ් කරගෙන. මට හරියට තරහ ගියා .එතැන තිබිච්ච පුටුවෙන් මම ඉඳ ගත්තේ දැන් මොකද මම කරන්නේ කියලා හිතන ගමන්මයි .හැමදාම දාගෙන යන රත්තරන් වලලු  දෙක ගලවලා පුරුද්දක් හැටියට මම අල්මාරිය  ඇතුලට දානවා .පුටුවෙන් නැගිට්ට මම වළල්ලත් අරගෙන අල්මාරිය ගාවට ගියේ වලල්ල අල්මාරියෙන් දාන්නයි .අල්මාරි යේ ඇඳුම් කිසි දෙයක් නැති බව මම දැක්කෙ ඒ වෙලාවෙ .මගේ ඇරෙන්න බබාලා දෙන්නගේ ත් සුරංජන්ගෙත් ඇඳුම් මුකුත් තිබුණේ නැහැ .මට හිතාගන්න බැරි වුනා .ඉක්මනට මම උඩ තට්ටුවට දුවලා ගිහිල්ලා බැලුවේ රට යන්න ගෙනාපු බෑග් ටිකයි.මගේ ඇඳුම් බෑග් එක ඇරෙන්න ළමයි දෙන්නගේත් සුරංජන්ගෙත් බෑග් අතුරුදහන් වෙලා තිබුනා .මගේ අතපය වෙව්ලන ගතියක් මට තේරුණා .මොකක් නමුත් මට නොතේරෙන ලොකු දරුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මට හිතුනා.මම පිස්සුවෙන් වගේ ආපහු දුවගෙන ගියේ පල්ලෙහා තියෙන අපේ නිදන කාමරයටයි. අල්මාරියේ ලාච්චුව ඇරලා මම පිස්සුවෙන් වගේ බැලුවේ  පාර්ස්පෝට් තියෙනවද කියලයි.මගේ පාස්පෝට් එක ඇරෙන්න අනික් තුන් දෙනාගෙම පාස්පෝට් අතුරුදහන් වෙලා තිබුණා.

දෙවි හාමුදුරුවනේ ..මට කියවුනා .අනේ චූටි පුතේ ..අනේ ලොකු පුතේ …මාව වෙව්ලන්න ගත්තා .මොකක්ද මේ වෙලා තියෙන්නේ .මම හීනයක් දකිනවා ද …මම පිස්සුවෙන් වගේ ගේ ඇතුළේ එහාට මෙහාට දුවන්න ගත්තා .අතට අහුවෙච්ච ජංගම දුරකථනයෙන් මම ඉස්සෙල්ලම කතා කළේ මගේ අම්මට .විස්තරේ අහපු අම්මට වචනයක්වත් කතා කරගන්න බැරි වුණා.කලබල නොවී ඉන්න පුතේ මම ඉක්මනට එන්නම් කියලා විතරක් අම්මා කිව්වා .ඊට පස්සේ මම ගත්තෙ සුරංජන්ගේ අම්මාටයි තාත්තටයි .

නෑ නෑ නයෝමි එයාලා මෙහෙ ආවෙ නෑ .අපිට කිව්වෙත් නැහැ කොහෙවත් යනවා කියලා .
කලබල වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න දරුවො .
කියල සුරංජන්ගේ තාත්තා මට කිව්වා .
අනේ දෙයියනේ, හොයල බලනවා කියලා මම කොහෙන්ද හොයල බලන්නෙ …අනේ සුරංජන්  ඉන්න තැනකින් මට කතා කරන්න. ඔයාලට මොකද උනේ කියලා මට කියන්න .දෙයියනේ මට පිස්සු හැදෙයි .මට අඬන්න තරම්වත් සිහියක් තිබුණේ නැහැ .මොකක්ද කරන්න ඕනි කියල තේරුනේ නැහැ . අනේ සුරංජන් මට …මට ඔයාගේ කිසිම වෙනසක් තේරුනේ නැහැ නේ.අද උදෙත් ඔයා මම උයපු බත් එකමනේ ඔෆිස් ගෙනියන්න ගත්තෙත් .
ළමයි දෙන්නගේ උප්පැන්න සහතික දෙකයි අපි දෙන්නගේ විවාහ සහතිකයයි අතට ගත්තු මම  ආපහු මගේ වාහනයෙන්ම නැගලා ගුවන්තොටුපොළට වේගයෙන් වාහනය එළවන්න පටන් ගත්තා .මට වෙන කරන්න පුළුවන් දෙයක් හිතාගන්න බැරුව ගියා .පිස්සුවෙන් වගේ මම ගුවන්තොටුපොලට දුවනකොට රෑ හත පහුවෙලා .විමසීම් කවුන්ටරයෙන් මම සුරංජන්ගේ නම හැඳුනුම්පත් අංකය දරුවන්ගෙන් නංගං කියලා  ඇහුවේ එහෙම අය මෙහෙන් පිට වෙලා තියෙනවද කියලයි .

ඔව් මිස්.. උදේ 11 .10 තිබුන ෆ්ලයිට් එකෙන් එයාලා එන්ගලන්තෙට ගිහින් තියෙනවා .

මට හිතාගන්න බැරිවුනා.ඇයි සුරංජන් ඒ වගේ දෙයක්  මට කියන්නෙ නැතුව කලේ..ඇයි  දරුවො දෙන්නත් එක්ක එයා ගියේ. මොකක්ද එහෙම කරන්න හේතුව ..
මං ගුවන් තොටුපොළින් වාහනයට ආපහු ආවේ පිස්සිය්ක් වගේ.
මං දැන් මොකක්ද කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕනේ..
මම පොලිසියට යන්න ඕනිද.සුරන්ජන් මට කියන්න.මෙච්චර කාලෙකට හැම දෙයක්ම මම කළේ ඔයාගෙන් අහලා. වේල් තුනටම ඉව්වෙත් ඔයාගෙන් අහලයි. ගෙදර ලයිට්  දැම්මෙත් ගෙදර ලයිට් නිව්වේත් ඔයාගෙන් අහලයි . දැන්… දැන් ඔයා මට මේකත් කියන්න.
මම දැන් පොලිසියට යන්න ඕනිද. සුරංජන්  මට එක පාරක් කතා කරන්න.එක පාරක් මට කියන්න. මම කරපු වැරැද්ද මොකක්ද කියලා.ඇයි ඔයා මට මේ විදිහට කලේ .අනේ මගේ පැටවු දෙන්න මට ඕනේ .සුරංජන්  සුරංජන් …. සුරංජන් ……..

More Stories

Don't Miss


Latest Articles