ඔබෙ ආදරෙන් මා දැවේ – 28

0
1157

“මං ඔයාට රිද්දුව බව ඇත්ත. මං ඔයාව දාලා ගිය එකත් ඇත්ත. සමහරවිට මට මේ ඇත්තටම පල දෙන්නෙ මං ඔයාට දුන්න ගින්දර වෙන්නැති මනහාර. මම එහෙම කල පලවෙනි කෙනා ඔයා නොවුනට ඔයාට එහෙම කර පලවෙනි කෙනත් අන්තිමයත් මම බව මම නොදන්නව නෙවෙයි. සමහරවිට සහගහන අපරාද කියන්නෙ ඒවට වෙන්නැති. මට මේ පලදෙන්නෙ ඒව වෙන්නැති.

මං දන්නව මම දැන් ඔයාගෙන් සමාවෙන්න කියල කිව්වට ඔයාට කවදාවත් මට සමාව දෙන්න බෑ කියලා. ඔයා මට සමාව දේවි කියලවත් මම ඉල්ලන්නෙ නෑ මනහාර. මං කරේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියල මට තේරෙන්නෙ අද මට මලිත් හන්ද ඒ වගේම ගින්දරක් උහුලන්න වෙලා තියෙද්දි” කියා ජාන්වි කියාගෙන කියාගෙන යද්දිත් තුරුණු උන්නේ කුලී රියේ පිටුපස අසුනට වී ඔහේ ජනේලයෙන් එලියේ පෙනෙන දේවල් දිහා බලාගෙනය.

“හිත නිස්කලංක කරගන්නයි මට දැන් ඕන” කියා ජාන්වි කියද්දි තුරුණු ජාන්විව “එහෙම තැනකට එක්කරගෙන යන්නම්” යැයි කීවේ හුදෙක් මනුස්සකමට විනා වෙන දේකට නොවන බව තුරුණු උන්නේ හිතට නැවත නැවත ඒත්තු ගන්වමිනි. බයිසිකලයේ තවමත් වෙනත් පිරිමියෙකුට අයිති ගැහැනියක දමාගෙන යාම ඇයට ගැටලුවක් වෙන්නට හැකි නිසාත් එයාකාරයෙන්වත් ශරිරවලින් ජාන්වි හා ලං වෙන්නට කිසිත් අදහසක් තමන්ට තිබුනේ නැති නිසාත් කුලී රියක් ගෙන්වාගෙන එවන් නිස්කලංක තැනකට යමු යැයි කීවේද තුරුණුය. පළමු වරට ජාන්වි උන්නේ තුරුණුගේ ඒ වචන වලට හිස වනා එකඟ වෙමිනි.

අතීතයේ දවස්වල තමන් සහ තුරුණු හමුවුනේ විහාරමහාදේවි උද්‍යානයේය. තමන් දන්නා හඳුරන අය තමන්ව දකීවි යැයි බියක් හෝ හැඟීමක් ජාන්විට තිබ්බේ නැත. ජාන්විට මේ නුපුරුදු දෙයක් නොවුන මුත් තුරුණු උන්නේ ගැහෙමිනි. බියෙනි. මේ වනාහි තුරුණු කෙල්ලක සමග එළියට ආ පලවෙනි වතාවය. හඳුනන කෙනෙකු, පාසලේ ගුරුවරයෙකු මෙය දැක්කොත් තමන්ට මෙන්ම ජාන්විටද එය ප්‍රශ්නයක් වෙන්නට හැකි බව දැන උන්නද ජාන්විගේ මුහුනේ එවන් ප්‍රශ්නාර්ත කිසිවක් එදවස ඇඳ තිබුනෙ නැති බව තුරුණුට අද මෙන් මතකය.

බාගදා එයට හේතුව වන්නේ ගහක් හඳුනන්නේ තමන් පැලවුන පොළොව පමණක් බවට තාත්තා කියන කතාව විය හැක.

“අහන්න මයි පුතේ, මං අවුරුදු ගානක් ජීවත් වෙලා ඉගෙන ගත්ත දෙයක් මයි පුතාට කියන්නම්. ගහකට හැබෑවටම අඳුරගන්න පුලුවන් වෙන්නෙ තමන් මුලින්ම හිටවපු පොළොවෙ පස විතරයි. ඒ පස තමයි ඒ ගහේ ගෙදර. ගහ කොච්චර උසට වැවුනත්, අතු කොච්චර දුර ගියත්, ගහේ ජීවිතේ තීරණේ වෙන්නෙ බිම යට හැංගිලා තියන මුල්වලින්. පස හොඳ නම් ගහ හයියට වැඩෙනවා. පස හයිය, වේලිච්ච පසක් නම් ගහ දුක් විඳිනවා. හැබැයි පුලුවන් කාලයක් අල්ලන් ඉන්නවා.

මොකෝ ගහට වෙන පසක් හොයාගෙන දුවන් යන්න බෑ. ගහ කරන්නේ තමන්ට ලැබිච්ච පොළොවෙ, පසේ හයියෙන් මුල් අද්දගන්න උත්සහ කරන එක. ඒක ඉගෙන ගන්න එක. තියෙන ඕනම දේකින් හයිය ගන්න එක. ඒක ගල් ද මැටිද, හොඳ පසක් ද කියන එක උඩ තමයි ගහක විස්වාසෙ රැඳෙන්නෙ. ජීවිතෙත් මයි පුතේ ඒ වගේ.

දැන්, මිනිස්සුත් ඒ වගේ. අපිත් ආවේ යම් තැනකින්නෙ. අපේ පවුල, අපේ ගම, අම්මාගේ ආදරය, තාත්තාගේ ඉගැන්වීම් වගේ ගොඩක් ජාති අර ගහට පස වගේ අපිට මුල් අදින්න උදව් පදව් වෙලා තියෙනවනෙ. සමහර මිනිස්සුන්ට හම්බුවෙන්නෙ කරුණාවන්ත පසක්. සමහරුන්ට රළුයි. වේලිලා. කිසි තෙතමනයක් නෑ. සමහරු ඉපදුණේ කරුණාවන්ත පරිසරයක, සමහරු දුෂ්කර පරිසරයක. හැබැයි, අපේ ආරම්භය අපිව හදනවා. ඒක අර ගහට යටින් තියෙන මුල් වගේ අපේ සරීටෙ ඇතුලෙ, අපේ ආත්මෙ අස්සෙ මුල් අදිනවා. ඔයා වෙන රටකට ගියත්, වෙන විදියකට ඇන්ඳත්, වෙන විදියකට කතා කළත්, නැත්නම් වෙන විදියකට හිතුවත් ඔයාගෙ ඇඟ ඇතුලෙ, හිත ඇතුලෙ කොහෙ හරි තැනක ඒ පස් ඩිංගිත්ත ඔයා අරන් යනවා.

තව දෙයක් තේරුම්ගන්න මයි පුතේ. ගහක් උසට වැඩුණාම, මිනිස්සු ඇවිල්ලා ඒකේ හෙවණ යන ගිමං අරිනවා. එයාලා ඒකේ ගෙඩි කනවා, එයාලා අතු කපනවා. හැබැයි, ඒ ගහ ඒ කිසිම දේකට ඒ තමන්ගෙ මුල් ඇදිච්ච පසට සාප කරන්නේ නැහැ. ඒක අපිට පාඩමක්. අපිත් අපව හැදූ වැඩූ අයව මතක තියාගන්න ඕනේ, අපි දුර්වල වුණාම අපව අල්ලගෙන හිටපු අයව මතක තියාගෙන ඉන්න ඕන. එයාලා සම්පූර්ණ නැති වුණත්, එයාලා වැරදි කළත්, ඒ අපිට කාලයක් පොළොවක් පසක් වෙච්ච අය බව අමතක කරන්න නරකයි. එයාලා නැත්නම් අපි මේ විදියට හිටගෙන ඉන්නේ නැහැයි කියන එක අපි අමතක කරන්න නරකයි.

සමහරු මේ ඇත්ත අමතක කරනවා. එයාලා හිතනවා එයාලගේ හයිය ආවේ එයාලගෙන් විතරයි කියලා. හැබැයි තමන්ගේ පස් අමතක කරන මිනිහෙක් කියන්නේ මුල්වලින් කපපු ගහක් වගේ. ටික වෙලාවක් හිටගෙන ඉන්න පුළුවන්, හැබැයි ඉක්මනින් උදුරලා වැටෙනවා.

ඉතින් ජීවිතේ ප්‍රශ්න කරදර ආවහම මයි පුතා ඕන්න ඒ ගහේ කතන්දරේ මතක තියාගන්න.

තමන් තමන්ගෙන්ම අහන්න, මං හිටගෙන ඉන්නේ මොන පස් උඩද? මට ජීවිතේ දුන්නේ කවුද? මට ආදරේ දුන්නේ කවුද, නැත්නම්, අඩුම තරමේ ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ කවුද? කියලා.

මොකෝ ඒ මතකෙ ඔයාව තදින් අල්ලගෙන ඉඳියි, හරියට කුණාටුවකදී මහ ගහක් අල්ලගෙන ඉන්න මුල් වගේ.

මොකෝ පුතේ ගහක් කවදහරි ඉදිරිලා වැටෙන්නෙ ඒ ගහ පැලවෙච්ච පොළොවෙමයි. මිනිස්සු අපිත් එච්චරමයි. ඒ වෙලාවට අපිව අල්ලගෙන ඉන්න අපිට ඒ පොළොව එක්ක තියෙන සම්බන්ධෙ හරි හයිය එකක් වෙන්නෝන”  කියා තාත්තා විසින් කියන්නට යෙදුන වචන අස්සේ තුරුණු ආයෙ වරක් සැරිසරද්දි ජාන්වි උන්නේ ඇත්තටම මේ ගමනේ තේරුම කුමක්ද කියා හිතමිනි. තමන් තුරුණුව නොඑසේනම් මනහාරව අතීතයේ හැරදමා ආවේ ඔහුත් තමනුත් අතර තිබුන යම් කිසි “මෙන්න මේක” යැයි කියා කියන්නට නොහැකි අන්දමේ නොගැලපීමක්, දුරස්ථ බවක් නිසාවෙන් ය.එහෙම එකේ ආයෙ වතාවක් තමන්ට ජීවිතය වැරදුන තැනක, තමන් විසින් ජීවිතය වැරැද්දු මිනිසා ලඟට එන්නට වීම දෛවයේ සරදමක් ලෙස භාරගන්නට පුලුවන් උනද එහෙව් මිනිසා සමග තමන් මේ යන්නට යෙදුන “නිස්කලංක තැනක” ගමන කුමක් විය හැකිද කියා හිතාගන්න ජාන්විට පුලුවන් උනේ නැත.

කුලී රිය දැම්මේ තුරුණුගෙ දුරකතනයෙන් හන්දා තමන්ගෙ ගමනාන්තය කුමන තැනක තිබේද කියා අදහසක්වත් එය බලාගන්නට හැකියාවක්වත් ජාන්විට තිබ්බේ නැත.

තමන් තුරුණුව ඕනවට වඩා විශ්වාස කරාද කියන බිය ජාන්විගේ හිතට ආවේ මින් පෙර කොළඹ ඉපදුන තමන්වත් නොගිය අතුරුපාරවල් ඔස්සේ කුලී රිය ගමන් කරද්දීය. තුරුණු උන්නේ එකදු වචනයක්වත් නොකියා එකම විලසට වාහනයේ වීදුරුවෙන් එලිය බලාගෙනය.

“අපි මේ කොහෙද යන්නේ?” කියා ජාන්වි අහද්දි තුරුණු හිනා උනේ සුපුරුදු සිනාව කට කොණකින් නගාගෙනය. ඒ වනාහී තමන් ට හුරුපුරුදු අතීතයේ උන් අවිහිංසක ගැමි කොල්ලෙකු වූ මනහාරට අයත් වී තිබුන හිනාව නොවන බව ජාන්විට නොතේරුනා නොවේ.

හිත තිබුනේ ඇසූ පැනයට පිළිතුරු බලාපොරොත්තුවෙනි.

“නිස්කලංක තැනකට යන්න ඕන කියලා නේද කිව්වේ?” කියා තුරුණු ඇසුවේ නැවත වතාවක් ජනේලයෙන් එලිය බලාගෙන උවද දෙතොල කෙලවරේ ඇඳී තිබුණ සිනහව මැකී ගොස් තිබුනේ නැත. 

“ඔව්..ව්ව්ව්.”

“ඉතින් එහෙම තැනකට තමයි දැන් යන්නේ”

“කොහොම තැනකටද?”

“නිස්කලංක තැනකට….

නිදහසේ කතාකරන්න පුලුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here