ඔබෙ ආදරෙන් මා දැවේ – 30

0
851

“මං කවදහරි දවසක ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ?” කියා ඇසුවේ අතීතයේ උන් ජාන්විය. ඒ වචන අයිති වී තිබුනේ ආදරය ඇරඹූ කාලයේ ආදරය ඉස්සරහා ලඳ බොළඳ වන පාසල් වියේ යෞවනයෙකුටත්, යෞවනියකටත්ය.

“ඔයා මාව දාලා ගියොත් නේද? මං ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ කවදාවත් හිතලා නෑ” කියා කිව්වේ මනහාරය.

“ඇයි ඒ?” කියා ඇසුවේ ජාන්වි ය.

“මං කවදාවත් හිතලා නෑ ඔයා මාව දාලා ගියොත් කියලා. මං හිතන්නෙ ඔයා කවදාවත් මාව දාලා යන එකක් නෑ කියලා. ඇයි ඇත්තටම ඔයා එහෙම දෙයක් ඇහුවෙ? ඔයා මාව දාලා යන්නද ඉන්නෙ?” කියා අහද්දි එදවසත් කොළඹට අලුත් වූ ගමක අහිංසක ගැමියෙකුගේ පුතෙක් වූ මනහාරගේ දෙනෙත් අස්සේ ඇඳි තිබුන බිය ජාන්විට මතක් උනේ “මම මගෙ නම ලිස්ට් එකට දාලා තියෙන්නෙ. කවදහරි බැරිකාලෙක මෙතනට එන්න පුලුවන් නෙ” කියා සිනාසුන තුරුණුගේ දෙනෙත් දිහා බලද්දී.

තමන් එතනින් නැගිට දුව ආවා නොව එය සිදු වුනේ ඉබේම බව වැටහෙද්දිත් ජාන්වි උන්නේ “අමරසිංහ වැඩිහිටි විවේක නිවහන” පිවිසුමෙන් බොහෝ දුර දුව ගොසිනි. ඒ වැඩිහිටි නිවාසයට යන්නට තිබුනේ විසල් නුග ගස් වලින් සෙවණ වූ පාරකි. කොළඹට නුදුරෙන් එවන් විසාල වත්තක් තිබීම පවා අරුමයක් උවද ඒ නිස්කලංක, ගස් කොලං වලින් වැසුණ අඳුරු එමෙන්ම පාලු පාර වනාහී “අමරසිංහ වැඩිහිටි විවේක නිවහන” අස්සේ රැඳී තිබුන නිස්කලංක බව පරිස්සම් කරගන්නට වියනක් මෙන් විහිදුනක් බව ජාන්විට නොහිතුනා නොවේ. ජාන්විගේ දුවගෙන ඒම නතර වුනේ හඬන අතරේ දුවගෙන යාම පපුව මහන්සි කරවන්නට හේතු උන නිසාවෙනි. 

තුරුණු උන්නේ ජාන්වි පසුපස දුවගෙන එමිනි.තමන් එවන් දෙයක් කරේ ඇයිද කියා හිතාගන්නට බැරි උනත් වෙන කරන්න දෙයක් එවෙලෙ නොතිබුන බව තුරුණු දැනගෙන උන්නේය. ජාන්වි පස්සේ දුව යන්නට දෙපා එසවුනේ නොතේරීමය. මගක් දුර යද්දි දිවිල්ල නතර කර අඬ අඬම මග නතර වී උන් ජාන්වි දැක තුරුණුගේ ගමන අඩාල උනේ ජාන්වි ලඟට යන්නට පෙර කියන්නට ඕන වචන එක්‍ රැස් කරගන්න බලාපොරොත්තුවෙනි.

“අයෑම් සොරි” කියා තමන්ට ලං වුන තුරුණු කියද්දී සැබවින්ම ඒ වචන පිටවිය යුත්තේ තමන්ගේ පාර්ශ්වයෙන් බව ජාන්වි නොදැන උන්නා නොවේ.

“මම සොරි කියන්න ඕන දේකට ඔයා සොරි කියන්නෙ ඇයි?” කියා ජාන්වි අහද්දී තුරුණු එක එල්ලේම තමන්ට අඩි කීපයක් පල්ලෙහයින් පේන ඒ කඳුලින් බර ඇස් දිහා බලා උන්නේ කියන්නට වචන සොයාගන්න බැරි තැනය.

“නෑ ඔයාගෙ හිත ඕල් රෙඩි රිදිලා එන්න වෙලාවක මම මෙහෙම දේවල් කිව්ව එක වැරදි. නිස්කලංක තැනකට යන්න ඕන කිව්ව හන්දා මං ඔයාව මෙතනට එක්කරගෙන ආවෙ. අනික වෙන කැෆේ එකක් වගේ තැනකට එක්කරගෙන යන්න බෑනෙ ජාන්වි කවුරු හරි දැක්කොත් ඔයාට හොඳ නැ වගේම මලිත් තව මොන මොන ප්‍රශ්න අදිවිද කියලා කවුද දන්නෙ. ඒ හන්දා. මට ගේකුත් නෑ. ඉන්නෙත් බෝඩිමකනෙ. එහෙම එකේ ඔයාව මට වෙන එක්කරගෙන යන්න තැනක් නැති හන්දා මං මෙතනට එක්කරගෙන ආවෙ.

අයෑම් සොරි. මට එහෙම එක්කරගෙන නේන්න තිබුනෙ. දැන් ඉතින් මොනා කරන්නද? ප්ලිස් ඔයා අඬන්න එපා. පාරෙ යන කවුරුහරි දැක්කොත් ඔයාට හොඳ නෑනෙ” කියා කිව්වට හිත අහන්නට යෙදුනේ වෙන ප්‍රශ්නයකි.

මධුර මෙතන උන්නා නම් අනිවාර්‍යෙන්ම “තාම ඒකි අඬද්දි උඹට රිදෙනවානේද?” කියා අහන බව දැන උන්නත් තමන් එහෙම කිව්වේ මනුස්සකමට බව විස්වාස නිසාම තුරුණු ඒ ඔස්සේ වැඩි දුර හිතන්න ගියේ නැත.

“ඔයාට අමාරු නැත්තම් අපි පාර දිගේ පල්ලෙහට යන්ද? මෙච්චර උඩට පික් මී ඒවි කියල මම හිතන්නෙ නෑ. මාව ඔෆිස් එක ලඟින් දාගෙන ඔයා ගෙදර යන්න. රැත් වෙන්න එනවනෙ ඔයාට යන්න බසුත් නැතුව ඇති” කියා තුරුණු කියද්දී එයට හිස වනනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජාන්විට තිබුනේ නැත. ජාන්විත් තුරුණුත් එක පෙලට වැටී ඒ තුරු වියනෙන් වැසුන අඳුරු පාර දිගේ පහලට ගියේ මද ගමනිනි.

හිරු තිබුනේ තුරු වියනට උඩින් අහස් වියන අස්සේ නින්දට යන්නට තැනක් සොයන ගමන් ය.

සමහර වෙලාවට සුවය ලැබෙන්නේ මිනිසුන්ගෙන්, වචනවලින් හෝ පිළිතුරුවලින් නොවේ. එය ලැබෙන්නේ සොබාදහමේ නිහඬ පැවැත්මෙනි.

ඒ අන්ධකාර තුරු වියන අස්සේ ජාන්විට දැනුනේ තාවකාලික සතුටකි නිරාමිස සුවයකි. තම හිසට ඉහළින් වූ අතු අතරින් පෙරී එන අවසන් හිරු කිරණ කිහිපය අතරේ, ජාන්විගේ සිතේ තිබූ කැළඹිලි ටිකෙන් ටික නිවී යන්නට විය. තුරුණු ඇය දෙස බලා සිටියේ, ඇගේ වේදනාව සමනය කරනු පිණිස කතා කිරීමට වචන සොයාගත නොහැකි වූ නිසාය. ඔහුට තේරුණේ, මේ මොහොතේ ඇයට අවශ්‍යව තිබුණේ වචන නොව, නිහඬ බව බවයි. එනිසාම ඒ නිහඬ බවට ඉඩ දෙනු මිසක එය බිඳින්නට උවමනාවක් තුරුණුට තිබුනේ නැත. අනෙක් අතට තමන්ගේ සිත තිබුනේ එවන් නිහඬ බව අයදින කැළඹීමකය.

දෙදෙනාම නිහඬව උන්නේ මේ මොහොතේ කතා කිරීමට වඩා නිශ්ශබ්දතාවය වඩාත් වැදගත් බව තේරුම් ගත් නිසාවෙන් ය. ජාන්විට මලිත්ගේ වීඩියෝව හෝ සමාජ මාධ්‍යවල පළ වූ අදහස් ගැන කිසිවක් සිහි නොවීය. ඒ වෙනුවට මේ මොහොතේ හිත රිදවමින් උන්නේ තුරුණු ගැන සිතුවිලිය.

අවසානයේදී ජාන්වි ඒ නිහඬ බව බිඳලීය. ඇගේ කටහඬ තිබුනේ වෙව්ලමිනි. ඇය වචන පිටකලේ තමන්ට්ම කියාගන්නට මෙන් ය.

“ඔයාට කවදා හරි හිතලා තියෙනවාද… සමහරවිට අපි ජීවිතෙන් ඕනෑවට වඩා දේවල් ඉල්ලනවා කියලා? අපි දිගින් දිගටම උත්තර ඉල්ලනවා, ආදරය ඉල්ලනවා, සාධාරණය ඉල්ලනවා. හැබැයි ජීවිතේ ඒක අපි ඉල්ලන දේ දෙන්නේ නැහැ. ඒක දෙන්නේ ඒකට දෙන්න පුළුවන් දේ විතරයි. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ඒක දරාගන්නවද එහෙම නැත්නම් ඒකෙන් කැඩිලා බිඳිලා විනාස වෙලා යනවාද කියලා තීරණය කරන්න.”

තුරුණු හෙමින් ඇවිද ගියේ ඇගේ වචන අවට වාතලයට එක් වීමට ඉඩ දෙමිනි. මොහොතකට පසුව ඔහු මෙසේ වචන ගැලපුවේය.

“හැබැයි සමහර වෙලාවට අපි දකින්නේ නැති වුණත්, අපිට ඕන කරන දේ ඒක දෙනවා. සැනසීමක් දෙන බොරුවක් වෙනුවට, වේදනාකාරී ඇත්තක් දෙනවා. ස්මූත් ඒත් වලකට වැටෙන්න පුලුවන් පාරක් වෙනුවට, කැඩිච්ච හැබැයි වඩා හොඳ අවසානයක් තියෙන පාරක් පෙන්නල දෙනවා. සමහර වෙලාවට අපි කවදාවත් හමුවෙයි කියලා නොහිතපු කෙනෙක්ව, හැබැයි වෙන කවුරුවත් නැති වෙලාවට අපි ළඟින් ඉන්න සලස්සනවා.”

ජාන්වි ඔහු දෙසට හැරී බැලුවේ ඒ වචන එක්කය. ඒ වචන තිබුනේ නොසිතූ පරිද්දෙන් සිතට තදින් කාවැදෙමිනි. මොහොතකට ජාන්විට තුරුණු කියන දේ විශ්වාස කරන්නටඕන වූ බව ඇත්තකි. මේ වේදනාව පිටුපස යම් සැඟවුණු අරමුණක් ඇති බව තේරුම්ගන්නට ඇයට උවමනා වූ බව ඇත්තකි. එහෙත් හදවතේ ගැඹුරුම තැනක තවත් හඬක් රහසින් මුමුණමින් කීවේ ජීවිතය කුරිරු බවත්, ආදරය හැමවිටම දෙනවට වඩා වැඩි දෙයක් ඉල්ලා සිටින බවත්ය.

“ඔයා කිව්ව දේ හරි තුරුණු. මිනිස්සු ලොකුවටම බය තමන් තනිවෙයි කියලා තමයි. මාත් මේ හැමදේම කරන්නෙ එහෙම නොවෙන්නනෙ”

 ජාන්වි තනි නැති බවත්, ඔහු ඇය ළඟ සිටින බවත් තුරුණුට ඇයට කියන්නට අවශ්‍ය විය. එහෙත් ඒ වනාහී අයෙ වතාවක් තමන්ව මහා අන්ධකාර වේදනාවක ගිල්වන්නට හේතු වන දෙයක් බව තුරුණුගේ යටි හිත තිබුනේ අනතුරු ඇඟවීම් කරමිනි.

“ඔයා හිතන තරම් ඔයා තනි වෙලා නැහැ, ජාන්වි. සමහර වෙලාවට, අපිත් එක්ක ඇවිදගෙන යන අය අපි තෝරාගත්ත අය නෙවෙයි, අපි ප්ලෑන් කරපු අය නෙවෙයි.හැබැයි එයාලා ඉන්නවා. ඒකෙන්ම තේරෙනවා නේද තමන් තනි වෙලා නෑ කියන එක?”

ඒ වචන අස්සේ කිසිම සමච්චලයක් රැඳවි නැති බව තේරුම් ගැනීමම ජාන්විව බියට පත් කරාය. ඇය ඊලඟ පැනය නැගුවේ ඒ බයත් එක්කමය.

නිශ්ශබ්දතාවය නැවතත් බර විය. ජාන්වි කතා කළේ, ඇගේ කටහඬ හෙමින් බිඳලමිනි.

“මං දෙයක් අහන්නද තුරුණු?” කියමින් ජාන්වි මග නතර වී තමන් වෙත හැරෙද්දී තුරුණු ගමන නතර කර හිස වැනුවේ එයට අවසර දෙමිනි.

“මේ හැමදේම මෙහෙම නොවී තියෙන්න තිබුණද තුරුණු මම ඔයාට රිද්දුවෙ, රැවැට්ටුවෙ නැත්තම්?”

ඇගේ ප්‍රශ්නය, මිය යන හිරුගේ අවසාන ආලෝකය මෙන් වාතරේ රැඳෙද්දී තුරුණු මහා ගැඹුරු හුස්මක් පිට කරේ වචන එක්කහු කරගන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here