“Lover, Stalker, Killer” එක මනුස්සයෙක්ට මේ චරිත තුනම රඟපාන්න පුලුවන් වෙයි ද?
ආදරය…
ඒක හරි ලස්සන, මිහිරි, සමහර වෙලාවට නම් ටිකක් හිත පිස්සු වට්ටන හැඟීමක් කියන එක එක තප්පරේකට හරි ආදරේ කරපු කෙනෙක් මේක කියවනවානම් මාත් එක්ක එකඟ වෙයි. ඒත් ඒ ආදරයම වෙනස් වෙලා, රැවටීම්, මානසික හිරිහැර කිරීම් සහ අන්තිමට සීතල මිනීමැරුමක් දක්වා දුරදිග ගියොත්?
ඒක දරාගන්න කොච්චර අමාරුද?
නෙබ්රස්කාවේ ඔමාහා නගරයේදී සිදුවුණු, විශ්වාස කරන්නත් බැරි තරම් බිහිසුණු අපරාධයක්, නෙට්ෆ්ලික්ස් හි අතිශය ජනප්‍රිය “Lover, Stalker, Killer” නම් සත්‍ය අපරාධ වාර්තා චිත්‍රපටයත් එක්ක ලෝකය පුරාම ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. මේක එක්තරා පුද්ගලයෙක් ආදරවන්තයගේ, හිරිහැර කරන්නාගේ සහ මිනීමරුවාගේ චරිත එකම වෙලාවක රඟපාපු සැබෑ සිදුවීමක්.
මේ කතාවෙන් අපිට පේන්නේ ආදරයේ අඳුරු පැත්ත කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලයි.
අභිරහස් අතුරුදහන්වීම
Single Mom කෙනෙක් වුණු කැරි ෆාර්වර් (Cari Farver) අවසාන වරට ජීවත්ව ඉන්නවා දැකලා තියෙන්නේ 2012 නොවැම්බර් 13 වැනිදා. එයා සති කීපයක් තිස්සේ නිකමට වගේ dat කරමින් හිටිය ඩේව් කෲපා (Dave Kroupa) කියන කෙනෙක් තමයි එයාව අන්තිම වතාවට දැකලා තියෙන්නේ. කැරි, තමන්ගේ ගෙදර තිබුණු අයෝවාහි මැසිඩෝනියාවේ ඉඳන් විනාඩි 40ක් විතර දුරින් පිහිටි ඔමාහා, නෙබ්රස්කාවේ කෲපාගේ ගෙදර තමයි එදාරෑ ගත කරලා තිබුනේ. එදා උදේ කෲපා වැඩට යනකොටත් කැරි එයාගේ ගෙදර ඉඳලා තියෙනවා කියලා පොලිස් වාර්තාවෙ සඳහන් වෙනවා.
දවස් තුනකට පස්සේ, කැරිගේ අම්මා වුණු නැන්සි රේනි (Nancy Raney), කැරි තමන්ගේ පුතාව එක්කගෙන යන්න නොආපු නිසා, දුව අතුරුදහන් වෙලා කියලා පොලිසියට පැමිණිලි කරනවා. ඒ වගේම මේ වෙද්දි කෲපාට අමුතු, තර්ජනාත්මක කෙටි පණිවිඩ එන්න පටන් අරන් තිබුණා. මේවා එවලා තිබුණේ තමන් කැරි කියලා කියපු කෙනෙක්. කෲපා, කැරි එයාගේ ගෙදර නැවතිලා හිටපු දවසේම, දෙන්නා එකට පදිංචි වෙන්න ඕන කියපු කැරිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාට පස්සේ තමයි මේ පණිවිඩ ලැබෙන්න පටන් ගත්තේ.
දහස් ගණන් තර්ජනාත්මක පණිවිඩ
ABC News වාර්තා කළේ කෲපාට දහස් ගණනක් තර්ජනාත්මක පණිවිඩ ලැබිලා තියෙනවා කියලා. එක පණිවිඩයක මෙහෙම ලියලා තිබුණා:
“මට ඔයාව කොච්චර පිළිකුල්ද කියනවා නම්, මට ඕනේ පිහියක් අරගෙන ඔයාගේ පපුවටම අනින්න.” තවත් පණිවිඩයක කෲපාට අනතුරු අඟවලා තිබුණා:
“මම ඔයාගේ ජීවිතය විනාශ කරලා ඔයාගේ සතුට නැතිකරගන්නවා.” කියලා
කෲපා තමන්ගේ ෆෝන් නම්බර් එකයි, ඊමේල් ලිපිනයයි වෙනස් කළත්, මේ ඉලෙක්ට්‍රොනික තර්ජන නැවතුණේ නැහැ. ඒ වෙලාවේ කෲපායි ඔමාහා පොලිසියයි හිතුවේ මේවා යවන්නේ කැරිම කියලා. ඒ අභිරහස් පුද්ගලයා, කෲපා, කැරිව මුණගැසුණු කාලයේම ආශ්‍රය කරමින් හිටපු තවත් කාන්තාවකටත් තර්ජනාත්මක පණිවිඩ යැව්වා. ඒ ෂන්නා එලිසබෙත් ගෝලියර් (Shanna Elizabeth Golyar), ඇයව හැඳින්වුවේ “ලිස්” කියලා.
2013 අගෝස්තු මාසයේදී ගෝලියර්ගේ ගෙදරට හිතාමතාම ගිනි තැබීමත් එක්ක මේ තර්ජන ඇත්තක් බවට පත් වුණා. මේ ගින්නෙන් ඇගේ සුරතල් සත්තු හතර දෙනාම මැරිලා ගියා. කෲපාටයි, ගෝලියර්ටයි කැරිගෙන් කියලා කියපු ඊමේල් ලැබුණා, ඒවායේ ගිනි තැබීමේ වගකීම තමන් භාර ගන්නවා කියලා තිබුණා.
මේ අතර, රේනිට තමන්ගේ දුවගේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් අමුතු පණිවිඩ ලැබුණා, ඒවයේ අම්මා තමන්ව හොයන්න එපා කියලා තිබුණා. ඒත්, පොලිසියට කැරිව හොයාගන්න බැරි වුණා.
අභිරහස් පණිවිඩකරු හඳුනාගැනීම
2015 දී, අයෝවාහි කවුන්සිල් බ්ලෆ්ස් වල පොටාවටෝමි ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයේ රහස් පරීක්ෂකවරු කැරි අතුරුදහන් වීමයි, තර්ජනාත්මක පණිවිඩයි ගැන පරීක්ෂණය භාර ගත්තා. සැරයන් ජිම් ඩෝටි (Sgt. Jim Doty) කියන කෙනාගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායම, 2013 දී download කරලා තිබුණු කෲපාගේයි, ගෝලියර්ගේයි ෆෝන් වල තොරතුරු ඇතුළු මුල් නඩු ගොනුව හොඳට පරීක්ෂා කළා.
විශේෂ නියෝජ්‍ය සහ ඩිජිටල් අධිකරණ වෛද්‍ය පරිපාලක ඇන්තනි “ටෝනි” කාවා (Anthony “Tony” Kava) ගේ උදව්වෙන්, ඩෝටි සහ ඔහුගේ සහායක පරීක්ෂක රයන් ඒවිස් (Ryan Avis), ගෝලියර් සැක කටයුතු පුද්ගලයෙක් විදියට හඳුනා ගත්තා.
“වහාම ටෝනිට පෙන්නලා දෙන්න පුළුවන් වුණා ලිස් තමයි කැරි විදියට පෙනී හිටියේ කියලා,” ඩෝටි A&E True Crime වෙත කියනවා. “ඒත් සාක්ෂි වලින් කැරිට මොකද වුණේ හරි කැරි කොහෙද හිටියේ හරි කියන එක අපිට කිව්වේ නැහැ.” කියලා එයා කියනවා.
2012 ඉඳන් 2015 වෙනකම්, ගෝලියර් තමන්ගේ ඉලෙක්ට්‍රොනික හෝඩුවාවන් හොඳට හංගගෙන ඉඳලා තිබුණා. එයා IP ලිපින හංගන්න ඇප්ලිකේෂන්ස් සහ ඩිජිටල් ප්‍රොක්සි පාවිච්චි කරලා තිබුණා. ඒක නිසා එයාගේ ඔන්ලයින් සහ ෆෝන් වැඩ කටයුතු එයාගේ location එක එක්ක සම්බන්ධ කරන එක අමාරු වුණා කියලා කාවා A&E True Crime වෙත කියනවා.
“අපිට මේ කේස් එක ලැබෙනකොට, ගෝලියර් තමන්ගේ හෝඩුවාවන් සඟවාගන්න හොඳටම ඉගෙනගෙන තිබුණා,” කාවා කියනවා. “උදාහරණයක් විදියට, එයා එක දවසක, එක වෙලාවක කෲපා එක්ක ඉන්නකොට ඊමේල් සහ ටෙක්ස්ට් මැසේජ් යවන්න පුළුවන් වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා තිබුණා. කැරිගෙන් මැසේජ් දෙන්නටම එකම වෙලාවට ලැබුණා. සහ ඒ හන්දා සැකයක් ඇති නොවෙන්න ඉඩකඩ තිබුණා”
කාවාට ගෝලියර් කැරිගේ නමේ විවිධ වෙනස්කම් සහිත ව්‍යාජ ඊමේල් ලිපින 20කට වඩා වැඩි ප්‍රමාණයක් හදලා තියෙනවා කියලත් හොයාගන්න ලැබුණා. තමන් හදපු වැඩසටහනක් පාවිච්චි කරලා, කෲපාටයි ගෝලියර්ටයි ලැබුණු තර්ජනාත්මක ඊමේල් වලට සම්බන්ධ ඉහළම IP ලිපින ලැයිස්තුවකුත් කාවාට හොයාගන්න පුළුවන් වුණා. ඒ අතරින් එකක් ගෙදර ගිනි ගත්ත පණිවිඩේ එව්ව ඊමේල් ලිපිනය එක්ක සම්බන්ධ වුණා.
“IP ලිපිනයක් ගෝලියර් ඇත්තටම උන්න තැනකට සම්බන්ධ කරන්න පුළුවන් වුණ එක පිදුරු ගොඩක ඉඳිකටුවක් හොයාගත්තා වගේ දෙයක්,” කාවා කියනවා.
කැරිගේ ඝාතනය තහවුරු කරන වැඩිදුර සාක්ෂි
2015 දෙසැම්බරයේදී, ගෝලියර්ගේ කකුලට වෙඩි වැදීමත් එක්ක පරීක්ෂණය අමුතුම පැත්තකට හැරුණා. ඇය පොලිසියට කිව්වේ කෲපාගේ හිටපු බිරිඳ වන ඒමි ෆ්ලෝරා (Amy Flora) තමයි වෙඩි තියලා තියෙන්නේ කියලා. ඇය කෲපාගේ පිස්තෝලය හොරකම් කරලා කියලා ගෝලියර් චෝදනා කළා. ගෝලියර් පරීක්ෂකවරුන්ට කිව්වේ ෆ්ලෝරා කැරි විදියට පෙනී හිටි බවත්, තර්ජනාත්මක පණිවිඩ යවපු කෙනාත් ඇයම බවත් තමන්ට දැන් විශ්වාසයි කියලායි.
“අවුරුදු ගාණක් ලිස් පෙන්නුවේ තමන් තමයි වින්දිතයා කියලා, කැරි තමයි මේ හැම ස්ටෝකින් එකක්ම කරන්නේ කියලා,” කාවා කියනවා. “ඊට පස්සේ එකපාරටම ලිස්ට මේක කරන්නේ ඒමි කියලා කිව්වා.”
පරීක්ෂකවරු සැක කළේ ගෝලියර් කෲපාගේ පිස්තෝලය අරගෙන, තමන්ටම වෙඩි තියාගෙන, වෙඩි තැබීමයි කැරිගේ නැතිවීමයි ෆ්ලෝරා පිටින් දාන්න හැදුවා කියලායි.
රහස් පරීක්ෂකවරු ගෝලියර්ව විශ්වාස කරනවා වගේ පෙන්නුවා, ඇ ඔවුන්ගේ ප්‍රධාන සැකකාරිය වුණත්. ෆ්ලෝරාව අල්ලගන්න උදව් කරන්න කියලා ඔවුන් ගෝලියර්ව විශ්වාස කරවගත්තා. වැඩි වෙලාවක් යන්න කලින්, ෆ්ලෝරාගෙන් කියලා කියපු ඊමේල් රහස් පරීක්ෂකවරුන්ට ලැබුණා, ඒවා ගෝලියර්ට සම්බන්ධ බව ඔවුන්ට සොයාගන්න ලැබුණා. “ෆ්ලෝරා” කැරිව එයාගෙම කාර් එකේදී පිහියෙන් ඇන්නා කියලා පාපොච්චාරණය කරලා තිබුණු ඊමේල් පණිවිඩය එයා පොලිසියට මෙතනදි පෙන්නනවා.
පරීක්ෂකවරුන්ට කැරිගේ කාර් එකේ මගී අසුනේ තිබිලා කැරිගේ ලේ සලකුණු හම්බ වුණා. මේ කාර් එක කැරි අතුරුදහන් වෙලා මාසයකට විතර පස්සේ හොයාගෙන තිබුණා. ගෝලියර්ගේ ගෙදර පරීක්ෂා කරනකොට, ඩෝටි සහ ඔහුගේ කණ්ඩායමට කැරිගේ බඩු බාහිරාදිය, ඩිජිටල් කැමරාවක් සහ කැරි තමන්ගේ කාර් එකට කෙනෙක් හානි කරපු හැටි ගැන කතා කරන වීඩියෝවක් තිබුණු වීඩියෝ කැමරාවක් හම්බ වුණා. මේ ක්ලිප් එකේ කාල මුද්‍රාව තිබුණේ කැරි නැති වෙන්න දවස් දෙකකට කලින්.
අවුරුද්දකට පස්සේ, ගෝලියර්ව අත්අඩංගුවට අරගෙන කැරිගේ මිනීමැරුමට චෝදනා කළා. ඇගේ නීතිඥයා Des Moines Register පුවත්පතට කිව්වේ තමන්ගේ සේවාදායකයා කැරිව මැරුවා කියලා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, පොලිසියට කැරිගේ මළ සිරුර හරි මිනීමැරුම් ආයුධය හරි හම්බ වෙලා නැති බවත්.
2017 අගෝස්තු 15 වැනිදා, විනිසුරු ටිමති බර්න්ස් (Timothy Burns) ගෝලියර් පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට වරදකාරිය කළා.
“කැරි ෆාර්වර් තමන්ගෙ කැමැත්තෙන් අතුරුදහන් වුණේ නැහැ,” බර්න්ස් එම නඩු කටයුතු පිළිබඳ වීඩියෝවක සඳහන් කරනවා. ” ඇයව ඝාතනය කරලා තිබුණා.”
අවුරුද්දකට පස්සේ, ගෝලියර්ගේ අභියාචනය අසාර්ථක වුණා. ඇය දැනට නෙබ්‍රස්කා ප්‍රාන්ත බන්ධනාගාරයක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් ඉන්නවා.
කැරිගේ මළ සිරුර තවමත් හොයාගෙන නැහැ.
“අපිට මේ වගේ තවත් නඩුවක් කවදාවත් හම්බ වෙයි කියලා මම හිතන්නේ නැහැ,” කාවා A&E True Crime වෙත කියනවා. “සංකීර්ණත්වය සහ පරිමාණය අතින් මේ තරම් අභියෝගාත්මක කිසිම නඩුවක් තිබුණේ නැහැ.”
ගෝලියර්ට දඬුවම් ලැබීමට අමතරව, ඔවුන්ගේ පරීක්ෂණයෙන් කැරිගේ නම සහ කීර්තිය යථා තත්ත්වයට පත් කරන්න පුලුවන් උනා කියන එක ඩෝටි කියනවා.
“කැරි අයෝවා වල පොඩි නගරයක කෙනෙක්,” ඩෝටි කියනවා. “හැමෝම මේ කේස් එක ගැන අහලා තිබුණා. ඒක ඇගේ ප්‍රතිරූපයයි, කීර්තියයි සම්පූර්ණයෙන්ම විනාශ කළා. අපේ පරීක්ෂණයෙන් ඇත්ත තත්ත්වය එළියට ආවා. ඒ තර්ජනාත්මක පණිවිඩ යවලා තියෙන්නේ කැරි නෙවෙයි. ලිස් තමයි කැරි විදියට රඟපාලා තියෙන්නේ.”