ආදරයට අවසානයක් නැත.
එය අවසාන ස්වරයෙන් පසු මැකී යන ගීතයක් හෝ ගිම්හානය පැමිණි විට සිඳී යන ගංගාවක් වැනි හැඟීමක් නොවන බව අප තේරුම්ගන්නේ ආදරය කරන්නට ගත්තායින් පසුවය. ආදරය යනු මොහොතකින් ඔබ්බට, වැරදීම්වලින් ඔබ්බට, මිනිසුන්ගෙන් පවා ඔබ්බට ජීවත් වන දෙයක් බව අප තේරුම්ගන්නේ ආදරය හිමි වූ තැනදීත්, අහිමි වූ තැනදීත් ය. සමහර විට එහි හැඩය වෙනස් වේ. වරක් ගින්නක් මෙන් දැවී ගිය හැඟීමක් පසුව පහනක් මෙන් බැබළෙන්නට පුළුවන. නමුත් එය කිසිදා අතුරුදන් නොවේ. හදවත් දෙකක් වෙන් වූ විට පවා, ආදරයේ මතකය, වැටී බොහෝ කල් ගත වූ පසු පවා හමන මලක සුවඳක් මෙන් ඉතිරි වේ.
“මේ හැමදේම මෙහෙම නොවී තියෙන්න තිබුණද, තුරුණු? මම ඔයාට රිද්දුවේ, රැවැට්ටුවේ නැත්තම්?”
ඇගේ ප්‍රශ්නය, මිය යන හිරුගේ අවසාන ආලෝකය මෙන් වාතරේ රැඳෙද්දී තුරුණු මහා ගැඹුරු හුස්මක් පිට කරේ වචන එක්කහු කරගන්නටය.
තුරුණු නිහඬව ඇය දෙස බලා සිටියේ, ඇගේ වචනවලට වඩා ඇගේ හදවතේ හඬට සවන් දෙන්නාක් මෙනි. තුරුණු ඒ ප්‍රශ්නයට එකවරම පිළිතුරු දුන්නේ නැත. අනෙක් අතට ඒ වනාහී එසේ එකපාරම පිළිතුරු දෙන්නට හැකි ප්‍රශ්නයක් නොවෙන බව තුරුණු දැන උන්නේය. දෙනෙත් තිබුණේ ක්ශිතිජය වෙත යොමු වීය. එහිදී, සන්ධ්‍යාවේ මැකී යන ආලෝකය රාත්‍රිය සමඟ දිය වෙමින් තිබුණ බව තුරුණු දුටුවේය. තුරුණු උන්නේ ජාන්වි විසින් අසන්නට යෙදුණ පැනයේ තිබූ ‘මෙහෙම නොවී තියෙන්න තිබුනද?’ යන සිතුවිලි ගැන කල්පනා කළේය. වෙනස් මාර්ග, වෙනස් තීරණ, සමහරවිට තමන්ගේ කතාවට වෙනස් අවසානයක් ගෙන එන්නට තිබුනාද කියා තුරුණු තමන්ගෙන්ම ඇහුවේය. ඉන්පසු, ඔහු සෙමෙන් හිස සෙලෙව්වේය.
“ජාන්වි,” තුරුණු කිව්වේ හෙමිනි.
“ජීවිතේ කියන්නේ කවදාවත් වෙන්න තිබුණ දේ ගැන ප්‍රශ්න කරන්න හොඳ තැනක් නෙවෙයි. ඒක හැමදාම අපිට තේරුං කරලා දුන්නෙ වුණ දේ ගැන. අපි කොච්චර හිතුවත් එදා එහෙම කරානම් මෙදා මෙහෙම නොවී ඉන්න තිබුනා කියලා අපිට එදා එහෙම නොකර ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ ජාන්වි. ඒ නිසාම මෙදා මෙහෙම නොවෙන්න තිබුනා කියලා කියන්න පුලුවන්කමකුත් අපිට නැ.”
ජාන්වි උන්නේ ඒ වචන අසමින් හිස පහත් කරගගෙන ය. තමන්ගේ දෙනෙත් තෙත් වී තිබුණත්, ඒ කඳුලු තුරුණු ඉදිරියේ ඉහිරවන්නට පුළුවන්කමක් ජාන්විට තිබ්බේ නැත. මේ විවාහය වනාහී ලැජ්ජාවක්, අපහසුතාවයත්, වේදනාවත් කැටුව ආ එකක් බවත් ඒ දික්කසාදයේ කඳුලු තමන් විසින් හඬවන්නට යෙදුන අතීත පෙම්වතෙකු ඉදිරියේ හෙලන්නට වීම ඒ අපහසුතාවය තවත් දෙගුණ තෙගුණ කරවනට හේතු වන බවම ජාන්විගේ හදවත් ඉරිතලන්නට හේතු වී තිබුණාය.
“අපි ජීවත් වුණා, අපි බෙදා හදාගත්තා, ඉස්සරහටත් ඒක කරගෙන යන්න බෑ කියලා තේරිච්ච තැන් අපි අයින් වුනා. ඒක වරදක් කියලා මම දකිද්දි ඔයා ඒක හරි කියලා දකින්න ඇති ජාන්වි. ඒක කාටවත් ජජ් කරන්න බෑ මොකද ඒක දෙන්නෙක්ගෙ පී ඕ වී වලින් එන දෙයක් හන්දා. අනික ඒ කිසිම දේකින් ආදරය නැති වෙන්නේ නැහැ. ආදරේ කරන මිනිස්සු වෙන්වෙනවා, මැරෙනවා, ඒත් ආදරේ කවදාවත් නැතිවෙන්නෙ නෑනෙ ජාන්වි. ඒක මමයි ඔයයි ද ඔයයි මලිත් ද කියන එක අදාල නෑ”
තුරුණුත් ජාන්විත් නිහඬවම අන්ධකාර හැන්දෑව මැද්දේ ඒ කුඩා කඳු ගැටය බැසගෙන පහලට ආවේ දෙහිතකින් බොහෝ දේ ගැන දෙයාකාරවම දකිමිනි.
“ආදරය කියන්නේ වීදුරුවක් නෙවෙයි. ඒක බිම දැම්මම කුඩු වෙන්නේ නැහැ. ආදරය කියන්නේ වතුර වගේ. ඒක අවස්තාව, ස්ථානය අනුව අලුත් හැඩ ගන්නවා, අලුත් පාරවල් හොයා ගන්නවා. ඔව් ඔයා හන්දා මගේ හිතට ගොඩක් රිදුණා. ඔව්, මට තරහ ගියා, කලකිරීමක් දැනුණා. හැබැයි ඒ වේදනාව ඇතුළෙත් ආදරය තිබුණා. ඔයා දන්නවාද ඇයි කියලා? මොකද මම තාමත් රිදෙන්න තරම් ඔයා ගැන හිතන හන්දා. ආදරය ඉවර වෙලා තිබුණා නම්, මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හිස්කම තමයි අවසානයක් කියන එකේ ලකුණ. වේදනාව නෙවෙයි. වේදනාව කියන්නේ ආදරය තාමත් තියෙනවා කියන එක.” යන වචන හිතෙන් හිතුවද තුරුණු උන්නේ ඒ වචන වදන් කර දෙතොල් මතට ගෙන නොඑන්නට වෑයම් කරමිනි. මේ තමන්ට එහා පසින් ඇවිද යන්නෙ තමන් ජීවිතයේ අම්මාට පසුව ආදරය කල එකම ගැහැනිය වුවද අද ඒ ගැහැනිය වනාහී තමා ආදරය කල ගැහැනිය නොව වෙන පිරිමියෙකු සමග ඇති කරගත් විවාහ බන්ධනයක් බිඳ දමන්නට තමන් කරා ආ තවත් අසරණ ගැහැනියක පමණය යන්න ඒ වචන හිත අස්සේම හිර කර තබන්නට තුරුණුට රුකුල් දුන්නේය.
එදත් සුපුරුදු පරිද්දෙන් තුරුණු බාර් එකට එද්දී මධුර කළින්ම එහි ඇවිත් උන්නේ තුරුණු විසින් “හිතට ටිකක් කරදරයි මචං, පොඩ්ඩක් කතාකරමුද?” කියා දුන් ඇමතුම අනුවය.
“පුළුවන් නම් කියපං උඹ ජාන්වි එක්ක යාලු උනා කියලා” කියමින් මධුර කිණ්ඩි හිනාවක් දමද්දී තුරුණු එයට මද සිනාවකින් පිළිතුරු දෙමින් සුපුරුදු ඇණවුම භාර දුන්නේය.
“මම අද එයාව එක්කරගෙන ගියා අමරසිංහෙට” කියා තුරුණු කියද්දී මධුරගෙ ඇස් ගැස්සුනේ වඩා වේගයෙනි. කුතුහලයෙනි.
“ඇයි ඒ? ඔයා හින්දා මං කවදහරි එන්නෙ මෙතෙන්ට. දානෙ භාරගන්න පුලුවන්ද අහන්නද?” කියා මධුර සමච්චල් සහගතව අහද්දී වෙනදා මෙන් තුරුණු ඒ වචනවලට උරණ වී පිළිතුරු දුන්නේ නැත.
“මං දන්නෙ නෑ බං. එතනට එයාව එක්කරගෙන යනකම් මගෙ හිතේ කොහේ හරි තැනක සමහර විට තියෙන්න ඇති මේකිට රිද්දන්න ඕන, මට දුන්න ගින්දරට වගේ අදහසක්. ඒත් එතනට ගියාට පස්සෙ, ජාන්වි මං කිව්ව දේවල් අහලා අඬන්න ගත්තට පස්සෙ මගෙ හිත හරියට රිග්‍රෙට් කරන්න ගත්තා මචං මං එයාව එතනට එක්කරගෙන ගිය එක ගැන”
“මං හිතුවා. මං හිතුවා අන්තිමේ ඔතනට තමයි පුතේ උඹ එන්නෙ කියලා. මං මුලින්ම කිව්වා උඹට ඔය මල යස්සනීගේ ඩිවෝස් එක නෙවෙයි මරණ සහතිකේටවත් අත්සන් කරන්න එපා අන්තිමේ ආයෙ වෙන්නෙ කලින් වෙච්ච දේම තමයි කියලා. උඹ ඇහුවෙ නෑනෙ. දැන් අන්තිමේ උඹ ආයෙ අර අතීතෙ උන්න පෙම්වතා වෙලා කෙලව ගනින්කො. බැරිය අපිට ආයෙ බාර් දෙක තුනක් පොහොසත් කරන්න එළඹෙන අවුරුදු කීපයේ” කියා මධුර බැණ වදිද්දීවත් තුරුණු එයට උරණ උනේ නැත.
මක් නිසාද යත් ඒ වචන ඇත්ත නිසාවෙනි. ඒ ඇත්ත ඉදිරියේ උරණ වෙන්නට බැරි නිසාවෙනි.
“උඹ කියන දේ වැරදි කියලා මම කියන්නෙ නෑ. මං වෙන කාටවත් ආදරේ නොකලෙ ඇත්තටම මගෙ හිතේ ජාන්වි ගැන තරහක් තියෙන හන්දා නෙවෙයි තාම මගෙ හිත අස්සෙ එයා ගැන ආදරයක් ඉතුරුවෙලා තියෙන හන්දා කියන එක මම තේරුම්ගත්තෙත් අද බං.
හැබැයි මං කවදාවත් ආයෙ ඒක වචන කරාවි කියලා මම හිතන්නෙ නැ. මට ආයෙ ඒ වින්දා වගේ දුකක් විඳින්න බෑ මධු. අනික අපේ අම්මලා මං හින්දා ඕන තරම් විඳෙව්වනෙ. එහෙම එකේ ආය ඒ මනුස්සයින්ට ගින්දරක් දුන්නොත් මට යන්න වෙනම අපායක් හදන්න වෙයි”
“ඒ උනාට උඹට හිතෙන්නෙ නැද්ද උඹ මේ ආයෙ හදන්නෙ උඹේ ජීවිතේ අපායක් කරගන්න කියලා” මධුර අහද්දිත් තුරුණු කරේ මද සිනාවක් හෙලන එකය.
“මං දන්නවා. මම නෑ කියන්නෙ නැ. ඒත් මට ඒකෙන් ගැලවෙන්න බෑ බං” කියා තුරුණු කියද්දී මධුරට තුරුණුගෙන් අහන්න තිබුණේ එකම එක ප්‍රශ්නයක් පමණකි.
“ඇයි ඒ?”
“මං ජාන්විට ආයෙ ආදරේ කරන හන්දා බං”