ආදර සැලසුම් – 52

0
1939

චන්දික නිවස දෙසට රිය පැදවූයේ කම්පාවෙනි. ලැබුණු කෙටි වේලාව අතරතුර තමාගේ ජීවිතයේ සිදු වී ඇති විපර්යාසය අශිකා විසින් චන්දික හට කියා තිබුණි. චන්දික ගේ හදවතේ පතුලක ඇය කෙරෙහි තිබූ සංවේගී හැඟීම නැවත අලුත් වී තිබූයේ ඉන් පසුවය.

” ඒ පවුලේ එහෙම ප්‍රශ්න තියෙනවා කියලා මං තාත්තට කලින් කියලා තිබුණනේ.දැන් ඕකට තාත්තා අලුතෙන් දුක් උනා කියලා වෙනසක් වෙන්නේ නැහැ ” 

චන්දික නිහඩව අසා උන්නේය. අතීතය වර්තමානය සඳහා බාධාවක් කර ගත නොහැකිය.එයින් සිදුවන්නේ බොහෝ ජීවිත අකාලයේ හැඩි වී යාමය.

” එයාගේ ජීවිතේට හොඳක් උනා කියලා හිතලා හිත හදා ගෙනයි පුතේ මං ඔයාගේ අම්ම එක්ක එකතු වුණේ.මේ දේවල් මම දැන ගන්නකං ඇත්තටම මම හිතා ගෙන හිටියේ එහෙමයි. අන්තිමට බලාගෙන යනකොට එයාගේ අම්මයි තාත්තයි කරපු දෙයින් කාටවත්ම හොඳක් වෙලා නැහැ ” 

” එහෙම කියන්න එපා තාත්තා. අඩුම ගානේ තාත්තා හරි හොඳින් ඉන්නවනේ “

තමා නිල්මිණී සමග යහපත් පවුල් ජීවිතයක් ගත කරන බව සැබෑය. නිල්මිණී තුළ තමා බලාපොරොත්තු වූ තරම් සෞම්‍ය ගති ගුණ නොතිබුණද කෙදිනකවත් නිල්මිණි සමග විශාල මත ගැටුම් හෝ ගැටුම් ඇති වී නැත.අතීතයේදී පවා තම ජීවිතයේ බොහෝ තැන් ගොඩනගා ගැනීමට ශක්තියක් වූයේ ඇයය.එසේ තිබියදී සිතුවිල්ලකින් හෝ ඇයට වරදක් කිරීම කළ නොහැක.

” ඒක ඇත්ත පුතේ. මට දැන් එයා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒත් පව්.අශිකා කියන්නේ පුදුම හිත හොඳ ගෑනියෙක්. එයා ගේ හස්බන්ඩ් හැමදේම තේරුම් අරගෙන ආපහු එකතු වුණොත් හොඳයි ” 

හිත හදා ගැනීමට චන්දික උත්සාහ කළේය. අශිකා ගේ ජීවිතය හොඳ අතට විසඳීමට ප්‍රාර්ථනා කරනවා හැර තමාට ඇය වෙනුවෙන් කළ හැකි වෙන දෙයක් මේ මොහොතේ නැත.

අශිකා අත්‍යවශ්‍ය දෑ කිහිපයක් පමණක් මිලට ගෙන නිවසට පැමිණියාය. අනපේක්ෂිත මොහොතක සිදු වූ හමුවීම ඇයවද කම්පාවට පත් කර තිබිණි. අශිකා කුලී රථයෙන් බැස කුඩා ගේට්ටුව විවෘත කර ගෙන නිවසට ඇතුළු වී අත තිබූ බඩු මලු කිහිපය පසෙක තබා සෝෆාවෙන් වාඩි වූවාය. 

” අම්මා ? මහන්සිද ? ” 

මුළුතැන්ගෙයි සිටි අභිමන් පැමිණියේ එසේ අසන අතරවාරයේය. තම මව සාප්පු සවාරියේ යෙදීමට තනිවම නිවසින් පිට වූයේ බොහෝ දිනකට පසුවය. නමුත් ඇය එයින් වෙහෙසට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.

” අව්ව සැර නිසා ටිකක් මහන්සියි පුතේ “

” ඒකනේ අම්මා උදේ මමත් එන්න ඇහුවේ. අම්මට තනියම යන්න ඕන උනානේ ඉතින් “

අශිකා කිසිවක් කීවේ නැත. ඉවත බලාගෙන කල්පනා කලා පමණි.තම මව සහ පියා තමාගේ යහපත තකා තමා දිවි හිමියෙන් ආදරය කළ පුද්ගලයා ගෙන් තමාව වෙන් කර කර දුන් විවාහය සාර්ථක වූයේ නැත. ඒ විවාහය නිසා තමා අද තනි වී සිටියි. ඒ තනිවීමෙන් පසුව බොහෝ වාරයක් චන්දික ව සිහි වූවද ඔහුට කතා කිරීමට හෝ මගක් තමාට තිබුණේ නැත.එහෙත් අඩුම තරමේ ඔහු හෝ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා යැයි සිතා හිත හදා ගැනීමට අශිකා උත්සාහ කළාය.

” මං ටිකකින් එළියට යනවා අම්මා. අයිය දැන් එනවා කිව්වා. මං ඔය දෙන්නට ලන්ච් එකට මොනවා හරි එවන්නද? ” 

අභිමන් කුඩා දෙයක් පිළිබඳව පවා සැලකිලිමත් වෙයි.ස්වාමි පුරුෂයාගේ ආදරය සහ රැකවරණය අහිමි වූවද අවසානයේදී තමාව රැකගන්නා පුතුන් දෙදෙනෙකු හෝ තමාට ඉතිරිව සිටිනවා යැයි අශිකා සිතුවාය.

” මං කෑම හදන්නම් පුතා ” 

අශිකා උන්නේ නොසන්සුන් වූ සිත සන්සුන් කර ගැනීමේ උත්සාහයක නිරත වෙමිනි. ටික වේලාවකට පසුව අභිමන් පිටව ගිය අතර අශිකා වාඩි වූ තැනම නොසෙල්වී වාඩි වී උන්නාය. ආදිත්‍ය නිවසට ඇතුළු වන විට පවා ඇය උන්නේ ඒ ඉරියව්වෙනි.

” ඔයා දැන්ද අම්ම ආවේ ? මල්ලි කිව්වා ඔයා ෂොපින් කරන්න එළියට ගියා කියලා ” 

ආදිත්‍ය අශිකා අසලින් වාඩි වූයේය.ඇය හිඳින්නේ නොසන්සුන් වී බව වටහා ගන්නට ආදිත්‍ය හට අපහසු වූයේ නැත.

” මං ඇවිල්ලා ටිකක් වෙලා පුතේ “

අනතුරුව අශිකා මුදා හැරියේ දිගු සුසුමකි. ඉන් බොහෝ දේ ආදිත්‍ය හට කියා පෑවේය.මතක ඇති කාලයක පටන් තම මව උන්නේ මෙවැනි දිගු සුසුම් මධ්‍යයේය. අකාලයේ තනි වූ ඇයට සැනසීමක් කියා දෙයක් යන්තමින් හෝ තිබුණා නම් ඒ තමා හා අභිමන් නිසා පමණි. 

” අම්මා හොඳින් නෙමෙයි නේද ? ” 

ආදිත්‍ය ඇසුවේ කාරුණිකවය. අශිකා හිස හරවා ඔහු දෙස බැලුවේ දෑස් වලට නැගුනු කඳුළු දෑස් වලින් පිට පනිද්දීය. එය බලා සිටිය නොහැකිව ආදිත්‍ය අශිකාව තුරුලු කර ගත් අතර අනතුරුව අශිකා ගේ හැඬුම තප්පර කිහිපයක් ඇතුලත මහා විලාපයක් බවට පරිවර්තනය විය.

ආදිත්‍ය වචනයක් හෝ විමසුවේ නැත. අශිකා බොහෝ වේලාවක් ඒ ඉරියව්වෙන්ම හඬා වැටෙද්දී ආදිත්‍ය ඔහේ බලා උන්නේය. අශිකා හිස ඔසවා බැලුවේ තවත් විනාඩි ගණනාවකට පසුවය. ඇය දෑතින්ම මුහුණ පිස දාගෙන හිස කෙස් ද සකස් කර ගත්තාය.

” අම්මට මට මොනවා හරි කියන්න තියෙනවද ? ” 

ආදිත්‍ය ඇසුවේ අශිකා කෙරෙහි උපන් ශෝකයෙනි. තරුණ වයසේ සිටම ඇයගේ සිතැඟි බෙදා ගන්නට ඇය හට කිසිවෙකුත් සිටියේ නැත.ඇය සියලු දේ දරා ගත්තේ සහ විඳ ගත්තේ තනිවමය. ඇය හදවතේ සිර කරගෙන දුක් විඳිනා බොහෝ කාරණා තවමත් තියෙනවා විය හැකිය. එසේ තිබියදී ඇය කඳුළු මතින් තම හැඟීම් දියකර හරින අවස්ථාවක ඇගේ වැඩිමහල් පුත්‍රයා වශයෙන් ඇයට සවන් නොදී සිටිය නොහැක.

” ඔයාගේ තාත්තව කසාද බඳින්න කලින් මං එක මනුස්සයෙකුට හුඟාක් ආදරේ කළා පුතේ.මගේ ජීවිතේ හැමදේම උනේ ඒ මනුස්සයා.එයා මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඒත් එයා මට හුඟාක් ආදරය කළා , මාව බලා ගත්තා .ඔයා ගේ ආච්චී සීයයි මාව ඒ මනුස්සයා ගෙන් වෙන් කරලා තමයි ඔයා ගේ තාත්තට මාව කසාද බන්දලා දුන්නේ. ඒ මනුස්සයා ඒකෙන් සෑහෙන දුක් වින්දා.” 

අශිකා මොහොතකට නතර වූයේ අතීතය යළිත් වරක් සිහිපත් වීමෙනි. මේවා යළි යළිත් කිව යුතු හෝ සිහිපත් කළ යුතු කතා නොවේ.ඒවා නිසා සිත රිදවා ගැනීමද කළ යුතු නොවේ. වසර ගණනාවක් පුරාවට එකිනෙකාගේ ජීවිත වෙන වෙනම මාර්ග වල ගොස් ඇති නිසා දැන් උපේක්ෂා සහගතව  ඒවාට මුහුණ දිය යුතු වේ.

” අවුරුදු තිස් ගානකට පස්සේ මට අද ඒ මනුස්සයව මූණටම හම්බුනා පුතේ “

එවන් සිදුවීමකට මුහුණ දීමෙන් පසු අශිකා මොහොතකට පෙර හඬා වැටුණු ආකාරය ගැන පුදුමයක් නැත. කුඩා දෙයකටත් සංවේදී වෙන කාන්තාවක් වන තව මව මෙවැනි විශාල සිදුවීමකට මුහුණ පෑමෙන් පසුව මෙසේ හැසිරීම අතිශයින්ම සාමාන්‍යය. ඇය තවමත් සිටින්නේ කම්පනයෙන් විය යුතුය. අනික් අතට ඇය ආදරය කළ තැනැත්තාට ඇයව විවාහ කර ගන්නට ඉඩ නොතබා ඇගේ දෙමව්පියන් විසින්ද ඇයගේ ජීවිතයට සිදු කර ඇත්තේ විශාල අසාධාරණයකි. ඇය මෙසේ දුක් විඳිය යුතු කාන්තාවක් නොවේ.

” ඔයා එයා එක්ක කතා කළාද අම්මා “

අශිකා දෑස් වල අලුත් වුනු කඳුළු පිස දැම්මාය. ඒ මොහොත තවමත් සිහිනයකි. වසර තිස් ගණනාවක් ගත වී තිබුණද චන්දික වෙතින් තවමත් තරුණ බව පහව ගොස් තිබුණේ නැත. තමා අතින් විශාල අසාධාරණයක් ඔහු හට සිදු වුණද ඔහු අල්ප මාත්‍රයක හෝ තරහවක් තමා කෙරෙහි තබා ගෙන තිබුණේද නැත. ඔහු ඒ තරම් මහත්මා ගුණ ඇත්තෙකි. ඔහුගේ සෙවනේ හැදී වැඩෙන මෞර්යා තුළද ඇත්තේ එම ගති ගුණමය. ජීවිතය වැරදී ඇත්තේ තමාටය.තනි වී ඇත්තේ තමාය. සමහර විට අතීතයේදී තමා අතින් චන්දිකට සිදුවූ වරදට තමාට දඬුවම් ලැබුණා විය හැකිය.එහෙත් ඒ සිදු වූයේ තමාගේ උවමනාවට නොවන බව අශිකා සිතුවේ ශෝකයෙනි.

” එයා අපි හොඳටම දන්න කෙනෙක් පුතේ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here