සඳ ගංතෙර -12

“මාව ලැජ්ජා වෙන්න මං ඉඩ තියන් නෑ දුලන්‍යා.”

සහස්ගේ තර්ජනය දුලන්‍යා බියට පත් කළේ නැත.ඒ වෙනුවට මේ බලහත්කාරයෙන් ජීවිතයට පිවිසෙන්නට උත්සාහ කරන්නා ගැන කෝපයෙන් ඇය දැවෙන්නට පටන් ගෙන තිබිණ.

“මං ඔයාට කතා කළා තමයි. ඒත් මං ඔයාට බලාපොරොත්තු දුන්නේ කවදද?”

බලාපොරොත්තු තබා ගැනීම ගැටළුවක් නොවේ. ජීවිතය රඳා පවතින්නේ බලාපොරොත්තු මත බව සත්‍යයකි. එහෙත් නොදුන් දිවුරුම් ලැබී ඇති පරිද්දෙන් හැසිරීම ගැටළුවකි.

“ෆේස්බුක් වල අපිට යාළුවෝ කොච්චර ඉන්නවද? කතා කරන යාළුවෝ එක්ක කතා කරනවා. කමෙන්ට් කරගන්නවා. ලේඩීස් ගෘප්ස් වලින් එහෙම හිතවත් වුණු ඒත් ඇත්තටම මුණ ගැහිලා නැති යාළුවෝ ඕන තරම් මට ඉන්නවා.”

දුලන්‍යා නොනවත්වාම තර්ක කළා ය. සැබෑවටම ඇය සිටියේ කෝපයෙනි. නොදන්වා අයිතිවාසිකම් කියන්නට යාම අන්තිම කැත වැඩක් බව ඇය සිතන්නී ය. සහස්ට එවැනි නරක වැඩක් කරන්නට ඉඩ දිය යුතු නොවේ.

“ආදරේ කරන්න කලින් හොඳ යාළුකමක් තියෙන්නෝන තමයි. ඒත් මං ඔයාට බලාපොරොත්තු දුන්නේ නෑනේ. කතාබහ කරන පලියට බලාපොරොත්තු තියාගන්න යන එක අන්තිම නරක වැඩක්නෙ.”

දුලන්‍යා සහස්ගෙන් නික්මෙන්නට පෙර එසේ කීවා ය.හිත හදාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීම අසීරු වුණත් සහස් අසල තවත් රැඳී සිටීම ඇය සැබෑවටම ප්‍රිය කළේ නැත. මධුනිට පවා හොඳ දෙකක් කියන්නට තරම් ආවේගයක් දුලන්‍යාට ඇති විණ. නමුත් මධුනි කියන්නේ දීර්ඝකාලීන මිතුරියක නොවේ. මෙතැනට පැමිණ හඳුනාගත් මිතුරියකි. ඇය සමඟ ගැටුම් ඇති කර ගැනීම නුවණට හුරු නොවේ.

“ඇත්තටම ඔය සහස්ව ඔච්චර අවුස්සපු කෙනා මධුනි.”

නෙත්මි එසේ පැවසුවේ දුලන්‍යාට ළං වෙමිනි. ඒ තරමට නොදන්නා ගැහැනු ළමයෙකුට එහෙව් තර්ජනයක් කරන්නට කොලුවෙකුට අයිතියක් නැතැයි නෙත්මි ඈ අසල සිටි හිමාලිට මුමුණා දැන් මඳ වෙලාවකි.

“ඇත්තටම ඔයා දන්නේ නැද්ද වෙච්ච දේ?”

ලහිරු ඇසුවේ දුලන්‍යාට සමීප වෙමිනි. එකම අධ්‍යන වර්ෂයක උගන්නා නිසා ඔවුන් මිතුරන් බවට පත් වී ටික කාලයකි. දුලන්‍යා වාගේ රූමත් කෙල්ලකට සගයන්ගේ ඇල්ම බැල්ම වැඩි බව ඔහු ද දනියි.නමුත් ඒ කිසිවෙකුත් ඇයට සමීප නොවන සත්‍ය හේතුව හෙළි කළ යුතු බව ලහිරුට සිතිණ.

“ඇත්තටම කබීර් සිං වර්ෂන් එකක් ඔයාටත් සිද්ධවෙලා තියෙනවා දුලා. සහස් අයියා හැම තැනකම වගේ කියලා තිබුන කියලා තිබුණා එයා ඔයාට කැමතියි කියලා. ඒ හින්දා ඔයාට ළං වෙන්න එපා කියලා අපිටයි ජුනියර්ස්ලා ඔක්කොටොමයි එයා කියලා තිබුණා. බැච් මේට්ස්ලටත් කියන්න ඇති.”

ලහිරු එය හෙළිදරව් කළේ ඒ රහස නොකියා ඉන්නට මේ කාලය නොවන නිසා ය. දුලන්‍යා සහස් කෙරෙහි ප්‍රේමයෙන් පසුවන්නේ නම් ඔහු ඇය දිනාගන්නට කළ සටන ගැන දුලන්‍යාගෙන් සඟවන්නට තිබිණ. නමුත් එය එසේ නොවේ. දුලන්‍යා සහස්ට බිඳුවක තරමේ ප්‍රේමයක් නොවේ.

“හොඳයි මම සීනියර් කෙනෙක් එක්ක යාළු උනානම්?”

දුලන්‍යා අසන්නේ කෝපයෙනි. ලහිරු අසල සිටි ප්‍රබෝධ මන්දස්මිතයක් හෙළුවේ ය.

“කොල්ලො තමන්ගේ හිත ගිය ගෑනු ළමයව රැකගන්න ඕන දෙයක් කරන වෙලාවල් තියෙනවා. ඒ හින්දා එහෙම වුණා නම් ඒකටත් සහස්ට ප්ලෑන් තියෙන්න ඇති.”

ප්‍රේමය කියන්නෙ එක්තරා ආකාරයක සටනක් බව දුලන්‍යා ද දැන සිටියා ය. නමුත් කූඨ කුමන්ත්‍රණයකට පිඹුරුපත් සකසා ප්‍රේමයක් හිමිකර ගැනීම ඉතා අශෝභන බව ඇය  නැවත නැවතත් සිතුවා ය. එවැනි දේ කරන්නට සහස්ට මඳ පමණක් හෝ අවසරයක් දිය යුතු නොවේ.

“ජීවිතේ කියන්නේ ෆිල්ම් එකක් නෙවේ කියලා එයාට අමතක වෙලා. ෆිල්ම් වල තියෙන දේවල් ඇත්ත ලෝකෙට අරගෙන ආවහම අපිත් අපිත් අනාථ වෙලා අපේ කතා වලට මැදිවී අයත් අනාථ වෙනවා. සහස් කරන්න ගියෙත් සිද්ධ වෙලා තියෙන්නෙත් ඒ වගේ වැඩක්.” 

ලහිරු ඔහුගේ අදහස දිගුදුර ලෙස කියවාගෙන ගියේ ය. මේවා දුලන්‍යා තේරුම් ගැනීම හෝ නොගැනීම ඔහුගේ සීමාවේ දෙයක් නොවේ. එහෙත් මේ වන විට තේරුම් යන්නේ නම් ඔහු බොහෝ මනාප ය. ඔහුගේ හිත මේ වෙද්දී ඇයට ඇදී ගොස් ඇති බව නෙත්මිට කියන්නට ලහිරු කල් මරමින් සිටියේ ය. එහෙත් ඇය ආසක්ත තමන්ගේ ගතිගුණ වලට බව ද ඔහු සිතා සිටියේ ය. ප්‍රේමයක් ජය ගන්නට කුමන්ත්‍රණ කළ යුතු නැත.සමීප වීම සහ තේරුම් ගැන ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

“මට උදව්වක් කරන්න පුලුවන්ද ඔයාලට?”

දුලන්‍යා ඇසුවේ ලහිරුගෙන් සහ ප්‍රබෝධගෙනි. තවත් සෑහෙන කාලයක් එකට අධ්‍යාපනයේ යෙදෙන්නට සිදු වේ. ඒ අසීරු සහ පැද්දෙන කතුරු ඔංචිල්ලා ගමනක් විය හැකි විශ්ව විද්‍යාල ජීවිතය එක්ව දරන්නට හොඳ මිත්‍රයන් අවශ්‍ය වේ. මෙතැන සිටින්නන් සමග හොඳ මිතුරු කණ්ඩායමක් ගොඩනඟාගත හැකි බව දුලන්‍යා සිතන්නට වූවා ය. නෙත්මි, ශාක්‍යා, ප්‍රබෝධ සහ ලහිරු ඉතා හොඳ මිතුරන් බව හැඟෙන පිරිසකි.

“සහස්ට දැනෙන්න අරින්න පුලුවන්ද සඳරැස් අයියා ඇත්තටම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල.”

දුලන්‍යා එසේ අසද්දී ශාක්‍යාට සරල පිළිතුරක් තිබිණ. මොන කිහිපයක් තිස්සේ සඳරැස් ඇය හැරලවන්නටත් රැගෙන යන්නටත් පැමිණෙන්නේ නම් ඒ කතාව පැතිරවීම ඉතා සරල දෙයකි. එකම නිවසක හිඳින සඳරැස් හා දුලන්‍යා ගැන ඕපාදූප විවිධ අනුපානයන්ට සකසා බෙදා හැරීම කොහොමටත් සරල කටයුත්තකි.

“ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔයාට කැමති ඔයත් ඇත්තටම කැමති කෙනෙක්ට වුණත් ඔයාව මඟ ඇරෙන එක නෙවෙයිද? සහස්ගෙ මෝඩකම් වලට ඔයා මොකටද දඬුවම් විඳින්නේ?”

ප්‍රබෝධ ඇසුවේ නොකැමති ස්වරයකිනි. ඔහුට පාසල් වියේ පටන් ප්‍රේමය ගැන අත්දැකීම් වේ.ඒ අතීත අත්දැකීම්වලට අනුව පෙම්වතෙකු සිටින යුවතියකට ආදරය කරන්නට කිසිවෙකුත් කැමති වන්නේ නැත. දුලන්‍යාට සැබෑ ආදරවන්තයෙකු සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි. සහස්ට පාඩම් උගන්වන්නට ගොස් ගොස් ඒ කාරණාව මගහැර ගැනීම හොඳ දෙයක් වන්නේ නැත.

එහෙත් දුලන්‍යාට ඒ ගැන අබමල් රේණුවක අංශුවක් තරමේ දුකක් නොවිණ. ඇය මේ භවය පුරා පතන්නේ එක් ආදරයකි. එයට හරස් වන්නේ සහස් ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles