අරුමැති  ආදරයක් – 73

0
2060

සියල්ල සිදුවෙමින් තිබුනේ කාලයට අවනතවය. අකමැත්තෙන් වුවද තර්ක විතර්ක නොකරමින් යුගාශ්ට අපූර්වාගේ ඉල්ලීමට සවන් දීමට සිදුවිය. 

“එක පැත්තකින් අප්පච්චි. මේ වෙලාවේ මං එයා ගැන උපරිමයෙන්ම හිතන්න ඕනේ. අනිත් පැත්තෙන් අම්මා. මං දන්නවා මේ වෙලාවේ එයාගේ  හිතේ තියෙන්නේ මං ගැන ආත්මාර්ථය එක්ක එකතුවුණු ආදරයක්. එයා කවදාවත් කොතැනකදිවත් මට බලපෑම් කරපු කෙනෙක් නෙමෙයි. අනිත් එක මට සමහර තැන්වලදි හිතෙනවා එයා මට වඩා අපූර්වා ගැන හිතනවා කියලා. අපි දෙන්නා  අතර යම්කිසි නොගැලපීමක් තියෙනවනම් ඒ නොගැලපීම කවද හරි දවසක අපූර්වා තනිකරයි කියලා බයක් එයාගේ හිතේ තියෙනවා. මේ හැමදේටම අපූර්වා විශ්වාස කරනවා වගේ ඕන කරන්නේ කාලේ.”

යුගාශ් පැවසූයේ තීක්ෂණත් පංචාලිත් සමග තේ පානය කරමින් සිටි සවසකය. 

“අපූර්වා ප්‍රශ්න නොකර ඔයා ඒ තීරණයට එකඟ වෙච්ච එක හොඳයි යුගාශ්. ඒක පිරිමියෙක් විදිහට ඔයා ගැහැණියකට දීපුු ගෞරවයක්. ආන්ටි කතා කරපු විදිහත් එක්ක තමන් ගැන පුංචිම හරි හීනමානයක් අපූර්වාගේ හිතේ ඇතිවෙන්න ඇති. එයා හිතන්න ඇති මේ කාලය ගෙවිල යද්දි මීට වඩා පොඩ්ඩක් හරි ඔයාට ගැලපෙන කෙනෙක් විදිහට එයාට හැඩගැහෙන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් ගෑනු ළමයි කාලය ඉල්ලන්නේ අන්න ඒකට.”

පංචාලි පැවසූයේ තමා ඉදිරිපස වූ කැපචිනෝ කෝප්පය දෙස බලාගෙනය. එහි සටහන්ව තිබුණේ හදවතක හැඩයකි. 

“එයා හරි ලස්සනට ජීවත් වෙන්න දන්න කෙනෙක්..එයා හරි ලස්සනට මාවත් හැන්ඩ්ල් කරන්න දන්න කෙනෙක්.”

යුගාශ්ගේ  මුවින් ඒ වදන් පිට වූයේ දිගු සුසුමකට පසුවය. අප්පච්චිත් අම්මාත් නිවස තුළදී වෙනදාට වඩා වැඩිපුර වදනක් දෙකක් කතා කරමින් සිටියේය. පසුගිය දිනවල ඔහු දින කිහිපයකට රෝහල් ගත කෙරුණි. අප්පච්චී තමාගේ නිවසෙහි නවතින්නට පැමිණි බව දැනගත් මිනිසුන් විවිධාකාරයේ කතා කියන බව පැවසුවේ පංචාලිය. එහෙත් අප්පච්චී ලෝකයා ගැන නොසිතා ඒ සියල්ල විඳ දරාගෙන සිටිනා ආකාරය ගැන විටෙක  යුගාශ්ගේ සිතෙහි ඉපදුනේ පුදුමයකි. 

ඔහු නඩු බාර ගැනීම සීමා කරමින් සිටියේය. වෙනදා සේ  යුගාශුත් ඔහුත් එකම උසාවි භූමියේ දෙතැනක තම වැඩ කටයුතු කරගෙන ගියේය. පුෂ්පානන්ද තම කාර්යාලයේ  බොහෝ කටයුතු පංචාලි  වෙත පැවරූයේ යුගාශ්ගේ අනුදැනුමත් ඇතිවය. 

අපූර්වා නව නිවසට පදිංචි වූයේ තමාරා විසින් ප්‍රසිද්ධ දෛවඥයෙකු  ලවා සාදාගෙන ආ සුබ නැකතට අනුවය. 

“මැඩම්…..මේ කිසිම දෙයක් ආච්චි එක්ක කියන්න ඕනේ නෑ. මං කැමති නෑ එයා ලෝකෙට නොපෙන්වා හදවතින් මැරි මැරී උපදිනවට.”

අපූර්වා එසේ පැවසූයේ තමාරාගේ  දෑත් අල්ලාගෙනය. 

තමාරා කිසිවක්ම නෙකියා ඇයව තම පුවට තුරුලු කර ගත්තාය. 

දැන් මේ හදවතෙහි ඇයට දුවකගේ තැන දී අවසන්ය. අවැසි වන්නේ ලේලියගේ තැනය. අපූර්වාත්  යුගාශුත් කාලයට ඉඩදී බලා සිටින බව තමාරාට පැවසූයේත් අපූර්වාමය. 

“පුතේ අම්මා කෙනෙකුට  අමාරු වෙන්නේ ලේලියක් දුවක්  කරගන්න එක නෙමෙයි. දුවෙක්ව ලේලියක්  කරගන්න එක. මොකද දුවෙක්ට පුංචිම හරි අසාධාරණයක් උනොත් ඒක අම්මා කෙනෙකුට ඉවසන්න බැරි වෙයි.” 

තමාරා යළිත් වරක් පැවසූයේ යුවතියගේ නළලත සිප ගෙනය. කවුරුන් කෙසේ කීවත් මේ ආදරයේ දිග පළල ඈ හොඳින් හඳුනාගෙන උන්නාය. 

අපූර්වාගේ ආච්චිත්, චින්තනත් බාප්පාගේ නිවසට ගියේ ඔහු හෘද සැත්කමට මුහුණ දී පැමිණි දින කිහිපයකට පසුවය. 

“මේක දරු දුක වාව  ගන්න බැරුව ආපුු ගමනක්.”

ඕ මිදුලේදීම පැවසූයේ දෑස් විසල් කරගෙන ඉදිරියට පැමිණි පුංචි අම්මාටය. මින් මාස කිහිපයකට පෙර දුටු ඇගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණ. සාමාන්‍යයෙන් ඈ තම රූපය ගැන සිතූ තැනැත්තියක බව අපූර්වා දැන උන්නාය. තැනින් තැන මතුව තිබූ සුදු පැහැ කෙස් ගස් ඒ වතට ගෙනවිත්  තිබුණේ වියපත් පෙනුමකි. 

“ගෙට එන්න අම්මේ…”

අපූර්වාත්, පියසීලීත් ඇවිද ගියේ  ඉස්සර වූ පුංචි අම්මා පසුපසින්ය. චින්තන ආලින්දයේම නතර වූයේය. නිවස දෙකට බෙදා තිබූ  උස් සිමෙන්ති බැම්ම දුටුවාට පසුව අපූර්වාගේ දෑස් විමතියෙන් මහත් වූවාය.

අවසන පුංචි අම්මා නතර වූයේ  මුළුතැන් ගෙය ආසන්නයේම  වූ කුඩා කාමරයක් අසලය. එදවස මෙය ගබඩා කාමරයක් ලෙස පරිහරණය කලා අපූර්වාට මතකය.

“අපේ  එක්කෙනාට ටිකක් අමාරු උනා අම්මේ..” 

සිට ගෙන සිටීමටවත් ඉඩක් නොවන තරම් කාමරය පුරා බඩු මුට්ටුය. පුංචි අම්මාගේ සබ්බ සකල මනාවම කාමරය තුළ ගොඩ ගසා ඇතැයි අපූර්වාට  සිතුනේ එනිසාය. කාමරයෙහි වූ කුඩා ඇඳක් මත බාප්පා වැතිර සිටියේය. ශරීරයෙන් ඔහු කෘෂව ගොස් සිටියේ පුදුමාකාර ලෙසය. 

“මහත්තයා මේ අම්මා ඇවිල්ලා මහත්තයාව බලන්න…”

පුංචි අම්මා කතා කළේ මද හඬකින්ය. නිවසට පැමිණ විනාඩි කිහිපයක් ගෙවී ගියත් ඒ එකම වතාවකවත් ඇය අපූර්වාගේ මුහුණ බලා කතා කළේ නැත. යුවතියත්  හැකිතාක් ඇයට අපහසුවක් නොදැනෙන අයුරෙන්  හැසිරෙන්නට උත්සහහ දැරුවාය. 

“අ..ම්..මේ…”

කෙඳිරියක් නගමින් නැගී සිටි ඔහු පැවසූයේ අපහසුවෙන්ය. 

“උඹ  නැගිටින්න ඕනෙ නෑ මගේ පුතේ. මේ සිද්ධිය අහපු වෙලේ ඉඳලා මට වාව ගන්න බැරි උනා. ඒ  වෙලාවෙත් මම දෙයියන්ගෙන් ඉල්ලුවේ නාකි මම අරගෙන උඹට ජීවිතේ දෙන්න කියලා. උඹ ඇදිලා  ගිහිල්ල ඉන්න  හැටි දැක්කහම මගේ පපුව හෝස් ගාලා ගියා.”

“මහත්තයාට කන්න බෑ අම්මේ. මොනම දෙයක්වත් පිරියකින් කන්නේ නෑ. සීනි වලට බෙහෙතුත් බොනවනේ”

පුංචි අම්මා යළිත් පැවසූයේ බාප්පා දෙස බලාගෙනය. ඇගේ දෑස්මුල එකතුව තිබුණේ කඳුළුය. 

“කෙල්ලේ..උඹලයි අම්මට සනීපද…”

නිශ්ශංක යළිත් අපහසුවෙන් ඉස්සී පියසීලි පිටුපසින් සිටගෙන සිටින අපූර්වා දෙස බලා ඇසුවේය. 

“හොඳයි බාප්පේ. වෙනදට වඩා ගොඩක් හොඳයි. දැන් ටික ටික අම්මට අපිව මතක් වෙනවා.”

“ඒක… ලොකු දෙයක් බං…”

බාප්පාගේ නිවසෙයි රැඳී උන් අඩ හෝරාවක්වන් කාලය පුරා අපූර්වා ගත කළේ අපහසුවෙන්ය. තෙල් බෙහෙත් ගඳ පිරී තිබූ කාමරයේ යාන්තම්න්  මුත්‍රා කුයිලකුත්  දැනෙමින් තිබිණ. නිවස  බිත්තියකින් දෙකට වෙන් කරගෙන දරුවන් දෙදෙනා දෙපසක ජීවත් වන බව ආච්චී හා පැවසූයේ පුංචි අම්මාය. සොල්දර ගෙදර ජීවත්වීමට නිශ්ශංක බය බවත් ඈ තවදුරටත් පැවසුවාය. ආපසු එන  ගමනේ දී නොහඬා සිටියාට ආච්චී උන්නේ මහත් වූ වේදනාවක් දරාගෙන බව  විශ්වාසය. මිනිසුන්ගේ ජීවිතවල ඉරණම විසඳෙන ආකාරය පුදුමාකාරයැයි ඕ සිතුවේ එවේලෙහිය. 

අපූර්වා  බොහෝ දිනවල අම්මා බැලීමට ගියේ හේෂානි සමඟය. ඉඳ හිට දිනක ඈ යුගාශ්ගෙන් අවසර ගෙන තනිවමත්  ඒ ගමන ගියාය. මසකට වරක් හෝ දෙවරක් යුගාශුත් පැමිණ අම්මා හා ටික වේලාවක් කාලය ගත කරමින් සිටින බව  ඇයට පැවසූයේ හෙදියක විසින්ය. ඔහු මේ මවා දුන් අරුම පුදුම ලෝකය තුළ අපූර්වා සිහින එකතු කරමින් උන්නාය. කාන්තී දැන් සිටින්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වැනි තැනකය. එහිදී ඈ විවිධ  ක්‍රියාකාරකම්වල නිරත වූවාය. අන් අය සමඟ කතා කරමින් සාමූහිකව යමක් කිරීමේ  අවස්ථාව ද එහිදී හිමිවිය. වෙනදා තරමට  නොවූවත් ඕ අන් අය සමඟ වදනකින් දෙකකින්  අදහස්  හුවමාරු කර ගනිමින් උන්නාය. අම්මා නිවසට කැඳවාගෙන යා හැකිය යන සුබ පණිවිඩය අපූර්වාට ලැබුණේ එක් සවසකය. පසුදා යුගාශ් රියදුරෙකු සමග වාහනයක් එවා තිබුණේ කාන්තීව කැඳවාගෙන ඒමටය. හේෂානිත් ඈ  හා ගමනට එක් විය. 

“අම්මත් එක්ක නිතරම ඉන්න ඕනේ දුව. අඩුම තරමේ මාස තුනක්වත් යනකල් එයාව සැලකිල්ලෙන් බලා ගන්න ඕනේ. එයා එක්ක නිතරම කතා කරන්න ඕනේ. නිවසේ සිද්ධ වෙන හැම වැඩකටයුත්තකටම එයාව සම්බන්ධ කරගන්න. ඇත්තටම දැන් එයා සීයට අසූවක්ම නිරෝගීයි. ක්‍රමානුකූලව බෙහෙත් ගන්න ගමන් ඉතිරි සීයට විස්ස ඔයාල අතින් තමයි සම්පූර්ණ වෙන්න  ඕනේ. එයා රෝගියෙක් කියලා එයාට දැනෙන්න දෙන්න එපා. මෙතන ඉඳලා ඔයාගේ අම්මත් නීරෝගී සාමාන්‍ය කාන්තාවක්”

අපූර්වාට උපදෙස් දුන්නේ යුගාශ් හා හිතවත්  වෛද්‍යවරයාය. විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ඔහු රෝහලින් පිටවන්නට ප්‍රථමව කාන්තිව විශේෂ පරීක්ෂණයකට ද ලක් කළාය.

“මම ඊයේ යුගාශ්ට කතා කළා. පේෂන්ට් ගැන කියන්න. ඔය දෙන්නා තීරණයක් අරගෙන දෙපැත්තට වෙලා කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා කියලා මට පුතා කිව්වා. ඇත්තටම මං ඔයාව ඇප්‍රිෂේට්  කරනවද දුව. යුගාශ්ටත් මං මේ කාරණය මෙහෙමම කිව්වා. ගොඩක් තරුණ දරුවන් ළඟ නැති දෙයක් තමයි ඉවසීම කියලා කියන්නේ. මෙහෙම තැනකදි එයාලා කරන්නේ ඉක්මන් තීරණ ගන්න එක. අනිවාර්යයෙන් ඔයාලා ජයග්‍රහණය කරනවා. ඒක තමයි මේ ඉවසීමේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ.”

වෛද්‍යවරයා අපූර්වාට  එසේ පැවසූයේ පිටත් වන්නට ප්‍රථමවය. ඈ ඔහු පාමුල දණ බිම තබා වැන්දාය. මේ මිහිපිට දෙවියන්වන් මිනිසුන්ය. 

“පුතා ගොඩක් දවසකින් ආවේ නෑ නේද?  මම හිතුවා අද එයි කියලා.” 

කාන්ති  ඇසුවේ වාහනයට නඟින්නට පෙරය. හේෂානිත් අපූර්වාත් මුහුණෙන් මුහුණ බලා ගත්තේ මදහසක් ඇතුවය. ඔහු දැන් මේ සැමගේම සිත් වල බලාපොරොත්තුව වී අවසන්ය. සතුට වී අවසන්ය.

“අයිය තවම ඉගෙන ගන්නවනේ අම්මා. එයා මේ දවස්වල පිටරටක ඉන්නේ. ආපහු ලංකාවට එන්න ටිකක් කල් යයි.”

අපූර්වා  පැවසූයේ කාන්තීගේ අත අල්ලා ගෙනය. වෙනදා සේ ඈ කතා නොකළත් මේ තරමින් හෝ සුවවීම සිතට ගෙන ආවේ සතුටකටත් වඩා සහනයකි. අපූර්වා විශ්ව විද්‍යාලයට යන දිනවලදී අම්මා බලා ගැනීමට ඉදිරිපත් වූයේ හේෂානිගේ මවය. කොහොමටත් ඔවුන් ඒ කාලයේ මිතුරියන්ය. 

පුෂ්පානන්ද සිය වෘත්තීය ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ ඒ හදිසි තීරණය පිළිබඳව සියල්ලන්ගේම සිත් තුළ වූයේ විමතියකි. සුපුරුදු ලෙසම ඔහුගේ කාර්යාලය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම යුගාශ් ප්‍රතික්ෂේප කළේය. දැන් එහි ප්‍රධාන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ පංචාලිය. පංචාලිත් තීක්ෂණත් අතර ගොඩනැගුණු  මිතුරුකම ආදරයක් බවට  පරිවර්තනය වූයේ ඊයේ පෙරේදාය. 

පුෂ්පානන්ද  තරමටම නොවූවත් යුගාශ් දැන් නීතිඥවරයෙකු ලෙස ජනප්‍රියය. ඔහු කොළඹ නීති පීඨයේ නිදහස් ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූයේ  ඊයේ පෙරේදාය. 

අපූර්වා සිය අධ්‍යන කටයුතුවල අවසන් අවුරුද්ද මුලදීම පුහුණු ළමා හා කාන්තා උපදේශක වරියක  ලෙස රැකියාවට බැඳුනේ රාජ්‍ය නොවන සංවිධානයකටය. කෙටි කලක් තුළ ඈ එහි ජනප්‍රියම චරිතයක් වූවාය. එනිසාම ඇය බලාපොරොත්තු නොවූ  තරම් වැටුපකට යාමේ හැකියාව ද ලැබිණ. ලංකාව පුරා සිදුවන කාන්තා හා ළමා සුභ සාධන කටයුතුවලදී එහි ප්‍රධාන භූමිකාවක් උසුළන්නට  අපූර්වාට හැකි විය. මේ ඕ පැතූ සිහිනයය. අප්‍රතිහත ධෛර්‍යයත්, කැපවීමත් ඇගේ දියුණුවට හේතුව වී තිබිණ.  ඇය කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයේ රැකියාවකට අයදුම් කළේ අවසන් වසර විභාගය නිම වනවාත් සමගමය. රැකියාවට තමා සුදුසුකම් සපුරා ඇතැයි පත්වීම් ලිපිය ලැබුණේ අපූර්වා බලාපොරොත්තු නොවූ මොහොතකය. ඒ පුෂ්පානන්ද ඇමතිවරයෙකුගෙන්  කළ ඉල්ලීමකට අනුව බව යුවතිය දැන සිටියේ නැත. වාසනාවකට මෙන් ඇය එම වෘත්තිය සඳහා සුදුසුකම් ද සපුරා තිබිණ. එනිසා පුෂ්පානන්දගේ ඉල්ලීම ඇමතිවරයාට ලෙහෙසියෙන්ම ඉටුකල හැකි එකක් වූවේය.

ඉඳහිට කඩේට යාමට, හන්දියට යාමට හෝ  අම්මා සමග මානසික සායනයට යාමට භාවිතා කළ ත්‍රීරෝද රථය වෙනදාට වඩා පිළිවෙලකට සෑදූ කුඩා පියැස්ස යට විය. දිනපතා උදෑසන කාන්තී එය පිස  දමමින් හඳුන්කූරු පත්තු කළාය. 

“ත්‍රී වීලර් එක දකිද්දි තාත්තා ගෙදර ඉන්නවා වගේ දැනෙනවා පුතේ.”

එක් සවසක ඈ පැවසූයේ දෑස්වල කඳුළු පුරවා ගෙනය. පියසීලී කාලය ගත කළේ විවේක සුවයෙන්ය. කාන්තී නිවසේ සියලු වැඩ කටයුතු තමා වෙත පවරා ගත්තාය. මසකට වරක් සායනයට සහභාගී වුවත් ඈ සිටියේ සුවයෙන්ය.  දැන් වෙනදා මෙන්ම පියසීලි නිදහසේ පිනක දහමක නිරත වෙයි. ඔවුන්  ජීවත් වූ  කුඩා කාමරය කඩා ඉවත් කලේ අලුත් නිවසට පදිංචි වද්දීමය. එදවස සොල්දර ගෙදර ඉඩම සේම  පර්චස් දහයක් පමණ වූ මේ කුඩා බිම් කඩත්   සරු බිමක් කරන්නට පියසීලීටත් කාන්තීටත් හැකියාව ලැබිණ. එහි වවා තිබූ එළවළු වර්ග කිහිපයක් හා පලා වර්ග කිහිපයක් අහල පහල නිවැසියන් හා බෙදා ගනිමින් අතිරික්තය විකුණා මුදලක්  උපයා ගන්නටද කාන්තිට හැකි විය. අපූර්වා වෙනුවෙන් වියදමට යුගාශ් සෑම මසකම ඇගේ ගිණුමට මුදල් දැමුවත් ඕ ඒවා ප්‍රයෝජනයට නොගත් තරම්ය. මසකට දෙකකට වරක් තමාරා පැමිණියේ මසකට පමණ අඩුම කුඩුම අරගෙනය.

පුෂ්පාදන්ද සිය නගරාසන්නයේ  නිවස කාර්යාලයකට බදු පදනම මත ලබා දී තමාරාගේ නිවසෙහි පදිංචියට පැමිණියේ මින් වසරකට පමණ ඉහතදීය. තමාරා ඔහුගේ බෙහෙත් පිළිබඳව  සේම පෝෂ්‍යදායී ආහාර වේල පිළිබඳවත් හොඳින් සොයා බැලුවාය. 

“මිස්ටර් පුෂ්පානන්දට දැන් වෙදකම වගේම හෙදකමත් හොඳින්ම ලැබෙනවනේ. ඒ නිසා අප්පච්චී තව කාලයක්ම ඔයාලා එක්ක ඉඳීවි.” 

වෛද්‍යවරයා එසේ පැවසූයේ යුගාශ්  සමග කතාකල එක් සවසකය. 

සැබවින්ම ඔහු මරණයට අභියෝග කරන්නට පටන් ගත්තේ අද ඊයේක නොවේ. මෙවන් රෝගී තත්ත්වයන් තුළදී  බොහෝවිට මිනිසුන් මානසිකව කඩා වැටේ. ප්‍රථිකාර ක්‍රම පවා නිවැරදිව සිදු කර ගැනීමට හැකියාවක් නොවන්නේ එනිසාය. එසේ නොවීම නිසාදෝ පුෂ්පානන්ද මරණය පරදවමින් උන්නේය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here