මවක් වෙන්න සූදානම් වෙන බිරිඳට වෙනදාට වඩා ආදරය දෙන්න

SmartLady අපි ලියන්නේ අපේ හිතවත් කාන්තාවන් වෙනුවෙන්. ඒත් මේ සටහන ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයන්ට.  ඔබට වැඩියෙන්ම ආදරය ලැබිය යුතු කාලයේ ආදරය දෙන අන්දම ගැන ඔහුට මේ ලිපියෙන් දැන ගන්න හැකි වේවි.

දරුවෙක් දෝතට එන ආරංචිය අම්මා කෙනෙකුට වගේම තාත්තා කෙනෙකුටත් ලෝකයම තමන්ගේ අතට ලැබුණා වගේ හැඟීමක්. නමුත් අලුත් අම්මා කෙනෙක් ඇත්තටම සතුටින් තියන්න නම් ඇගේ ස්වාමියාට ඇය වෙනුවෙන් බොහෝ කැප වෙන්නට සිදු වෙනවා.

ඇයට ඔබෙන් වැඩියෙන්ම අවශ්‍ය මොනවාද?

  • ආදරය – ඔබ වඩාත්ම ආදරය කරන්නේ ඇයට බව සැබෑවක්.නමුත් ඇයට ඒ ආදරය සිය ගුණයකින් වැඩි කර දෙන්නට අවශ්‍ය කාලයක් තමයි මේ කාලය. ඇය පූර්ව ප්‍රසව විශාදයට ලක් වීම වළක්වා ගන්නට ඔබ ඇය පිළිබඳ වෙනදාට වඩා විමසිල්ලෙන් ඉන්නා බව හඟවන්න. ඇයට ආදරය කරන බව නිතරම පවසන්න.
  • අවධානය – වෙනදා ඔබ පිළිබඳ සොයා බැලුවේ ඇය වුණත් මේ ඔබ ඇය ගැන සොයා බැලිය යුතු කාලයයි. ඇය උදෑසන අපහසුතා වලින් පෙළෙන විට නොදුටුවා සේ ඉන්නට එපා. ඇයට අවශ්‍ය පෝෂණය කෙසේ හෝ ලබා දීමට උනන්දු වෙන්න. මේ උදෑසන වමනයෙන් ඇති වෙන විජලනය, යකඩ ඌනතාවයන්, දන්තාබාධ පසුකාලීනවත් බලපාන නිසා ඇය වෙනුවෙන් අවධානය වැඩියෙන් ලබා දී ඇයගේ පෝෂණ අවශ්‍යතා ඉටු කිරීමට උනන්දු වෙන්න.
  • රැකවරණය – නොවැලැක්විය හැකි මොහොතක හැරුණු විට ඇයට තනිව සායනවලට සහභාගී වීමට ඉඩ හරින්නට එපා. ඔබත් ඇය සමඟ ඒවාට සහභාගී වෙන්න. ඔබ ඇය සමඟ සිටීම ඇයට ශක්තියක් වේවි. දරුවා ලැබෙන මොහොතේ ඒ අත්දැකීම ඇය සමඟ බෙදා ගැනීමත් ඉතා වටිනා දෙයක්.
  • අවශ්‍යතා – ඇය හෝමෝන වෙනස්කම් වලට ලක් වෙමින් සිටින නිසා කෝප ගැනීම්, හඬා වැළපීම් දරා සිටීමට ඔබට සිදු වේවි. ඒ වගේම සමහර වෙලාවට නිවසේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වෙන්නට ඔබට සිදු වේවි. රෙදි සේදීම්, අතුපතුගෑම් පවා මැසිවිල්ලක් නොනගා දරා ගන්නට ඔබට සිදු වේවි. නමුත් ඇය සමඟ රණ්ඩු කරන්නට එපා. ඇය කැමති කෑමක් සොයන්නට මුලු නගරයම පීරමින් ඇවිදින්නට වූ දවස්, මහ රෑ නින්දෙන් අවදි වූ ඇගේ කකුල් මසාජ් කරන්නට සිදු වූ දවස් දවසක ඔබේ ජීවිතයේ ලස්සනම මතක සටහන් වෙනවා නොඅනුමාන යි. ඇගේ සිරුර පිරිසිදු කරගන්නට උදව් දෙන්නට පවා සිදු වේවි. ඒවා ඉතා සුන්දර අත්දැකීම් බවට පත් කරගන්න.

ඔබේ දරුවා දරා සිටින්නේ ඔබේ ආදරණීය බිරිඳ යි. ඇය සිරුරින් ගැබ්බර වූ විට ඔබ හදවතින් ගැබ්බර වී ඒ කාලය දරා ගන්නට ඇයට උදව් දෙන්න. සැබෑ ප්‍රේමය එයයි.

Related Articles

Don't Miss


Latest Articles