යසස්වි සිටියේ කල්පනා බරව ය. සාවිත්‍රි කතා කොට ගෙදර තත්වය ගැන කී කතා ඇගේ හිතේ අලුත් රිදුමක් ඇති කොට තිබේ. දැන් වෙහෙරගොඩ මුදුලාලිටත් යසස්වී ගේ සොයුරු යසස්ටත් ව්‍යාපාර කටයුතු වලදී කරදර වැඩි ය. උදාර හා යසස් අතරේ බහින්බස් වීම් ද ඇති වී තිබේ. පොලීසියට පැමිණිලි කිරීමෙන් පස්සේ ටික දිනක් නිහඬ ව සිටි උදාර යළිත් කුළප්පු වී ඇති බව සාවිත්‍රි කීවා ය. දැන් ඔහු ට ඉවසාගන්නට බැරි ඔහු පරාද වූවා ය කියන සිතිවිල්ලයි. කිසිදු ගැහැනියක යසස්වි වාගේ ඔහු ව ප්‍රතික්ෂේප කොට නැත. ඔහු ට එරෙහි ව පොලිස් පැමිණිලි දමා නැත. නීතීඥවරුන් ලවා ඔහු ට අනතුරු ඇඟවීම් කර නැත. ඒ සියල්ල කළේ යසස්වී ය. එබැවින් දැන් ඔහුු තුළ ඇය කෙරේ වන්නේ වෛරයකි. ඒ වෛරය, නිකං ම යසස්වි ව අත් හැර දමන්නට එකඟ නොවනා එකකි. දැන් ඔහු ට පෙරදීටත් වැඩියෙන් ඇයව සරණ පාවා ගන්නට අවැසි වී තිබේ. ඒ ආදරයක් හින්දා නොවේ. ඇගෙන් පළිගැනීම වෙනුවෙනි. ඔහු වෙත ජයග්‍රහණය අත්පත් කරගැනීම වෙනුවෙනි. එක් දිනකට හෝ යසස්වී සිය බිරිඳ කරගැනීම ඔහු ගේ අභිප්‍රායයි. ඒ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්නට ඔහු සූදානම් ය.
‘අයිය මගෙන් ඔහේට එන්න පාර අහනව. ඔයාව ආපහු මෙහෙට අරං එන්නයි එයා හදන්නෙ. එන්නනං එපා පුතේ. ආවොත් ඔයාට ආයෙ කවදාවත් යන්න වෙන්නෑ උදාරයව බඳින්නැතුව. අනේ පරිස්සමෙන් ඉන්න පුතේ’
ඔය සාවිත්‍රි දන්නා ටික ය. අම්මා නො දන්නා හා ඇයට තේරුම් ගත නො හැකි තව බොහෝ දේවල් එහි සිදු වෙනවා විය යුතු යයි යසස්වි අනුමාන කළා ය. අයියා ගේ හා තාත්තා ගේ ජීවිතය අනතුරකට වැටෙතැයි ඇය මුල දී සිතා තිබුණේ නැත. එවැන්නක් නො සිදු වනු වස් තමන්ව බිලි දෙන්නට ඇයට පිළිවන. අයියාවත් තාත්තාවත් මේ ජීවිත තර්ජන වලින් ගලවා ගනු වස්, ඔහු පිළිකෙව් කරමින් වුව උදාර සමගින් විවාහ වන්නට ඇය හිත හදාගන්නට තිබිණි. නමුත් ඒ අස්විද හමු නොවුණා නම් ය. දැන් ඉතින් තව ආත්ම ගණනකටවත් ඔහු අත්හළ නො හැකි බැව් ඈ දනී. නමුත් මේ ප්‍රශ්න වලින් මුළුමනින් නිදහස් වීම වෙනුවෙන් කුමක් කළ යුතු දැයි නො දනී.
‘කෙල්ල කෝ…’
විජිත ගේ හඬ යසස්වි ට ආලින්දය දෙසින් ඇසිණ. ඇය යහනේ සිට ම කන් දුන්නා ය.
‘කාමරේ. පාඩං කරනව මයෙ හිතේ’
‘බූන්දි ටිකක් ගෙනාව. කඩේට පැණි බූන්දි ගෙනත් තියනව දැකල කෙල්ලව මතක් වුණා’
යසස්වි ගේ පපුව පත්ලෙන් නැගුණු ගින්නක් ඉහළට ආවා සේ ය. උගුර මුල ම ඉකියක් සේ යමක් හිර විණ. ඇය යහනෙන් බිමට පැන ආලින්දයට දිව්වා ය.
‘ආ මේ ඉන්නෙ’
විජිත සිනහ වෙවී කීවේ ය. යසස්වි ඔහු වෙතට පැන ඔහු ගේ බඳ වටා දෑත ම යවා විජිත ව බදා වැළඳගත්තා ය. ඔහු ගේ පපුවෙහි කම්මුලක් තියාගත් විට, උගුරේ හිර වී තිබූ ඉකිය දිය වී ඇස් වලට තෙත ඉනුවා සේ ය. ටික වෙලාවක් යන තෙක් වචන හොයාගන්නට ඕ අපොහොසත් ව උන්නා ය. විජිත හා වජිරා උනුන් ගේ මුහුණු බලාගත්තේ කුමක් සිදු වී දැයි නිශ්චය කරගත නො හැකිවයි.
‘අංකල්…’
යසස්වි ඉතාමත් ම මෘදු ලෙස විජිත ඇමතුවා ය. සැබවින් එතරම් ආදරය තැවරි ස්වරයකින් දරුවෙකු හෝ ඔහු ආමන්ත්‍රණය කොට ඇත්දැයි විජිත ට සිහි කරගත නො හැකි ය.
‘කියන්න දුව’
‘මං අංකල්ට තාත්ත කියන්නද…’
හදවතට වූයේ කුමක්දැයි විජිත දන්නේ නැත. ඒ කුමක් දැයි කිසි දා ක ඔහු ට වටහා ගත නො හැකි ද වනු ඇත. දුවක ගේ මුවින් තාත්තා යි අසාගැනීමේ ආශාවක්, තරුණ වියෙහි දී ඔහු ගේ පිරිමි හද පුරා වූයේ ය. නමුත් ඒ ආශාව සිහිනයක් වී ගියේ, පුතුන් දෙදෙනෙකු ම සිටිනා පියෙකු රජෙකු වාගේ යයි සිය හදවත විසින් ඉඳුරා පිළිගනු ලැබීමෙනි. හුරුබුහුටි තරුණ දූවරුන් දකිනා අවස්ථා වල ඒ ආශාව හිස ඔසවනු ඔහු ට දැනී තිබේ. යසස්වි තුසිතයට ආවාට පස්සේ සැබවින් ම ඔහු තුටින් සිටියේ ඇගේ කිචි බිචිය ගේ පුරා ඇසෙනා විට කාලයක් එහි වූ පාළුව අකා මකා දැමුණු බැවිනි. ඉතින් දැන් ඈ ඔහුව පිය පදවියෙන් පුදන්නට සැරසෙත්දී හදවත හැසිරෙන්නේ කොහොම ද?
‘අනේ කියන්න පුතේ’
අසීරුවෙන් මුත් ඔහු එහෙම කියාගත්තේ ය. සැබවින් මේ වයසට ඒ නිම් හිම් නැති ප්‍රීතිය විඳගන්නට තරම් සිය හදවත ශක්තිමත් ද කියාවත් විජිත දැන නො සිටියේ ය. වජිරා පවා සිටියේ වික්ෂිප්ත නුවන් දල්වාගෙනයි.
‘මගෙ තාත්ත මං ඉල්ලන ඕන දෙයක් ගන්න ඕන තරං සල්ලි දීල තියනව තාත්ත. මං මේ යුනි එකට යන්න ඕන කිව්වහම කිසි ලෝබකමක් නැතුව ෆුල් පේමන්ට් එක කළා. මට කා එකක් ඕන කිව්වහමත් ලයිසන්ස් අරං කැමති කා එකක් බලන්න කිව්ව. එයා අපිට තියන ආදරේ එහෙම වෙන්නැති. ආදරයක් කියල දෙයක් කවදාවත් දැනෙන්නනං පෙන්නල නෑ. මහ රළු ගති තමයි මං පුංචි කාලෙත් තාත්ත ළඟ තිබුණෙ. ඔයා මෙහෙම බූන්දි ටිකක් ගෙනාව කියනව ඇහුණාම මට පිස්සු වගේ වුණා. මගෙ තාත්ත මගදි මාව මතක් වෙලා බූන්දි තියා ලොසිංජරයක්වත් ගෙනත් නෑ. සල්ලි කියන්නෙ හැමදේම නෙවෙයි කියල ඔයා ආයෙ ආයෙත් කියල දෙනව තාත්ත. මට නැති වෙලා හිටිය එහෙම තාත්ත කෙනෙක්… ඔයා මට මේ ගෙනත් දෙනව. අනේ මං හරි ආදරෙයි ඔයාට…’
‘අනේ පුතේ… අපි ඉන්නවනෙ ඉතිං හැමදාම’
විජිත ඇගේ හිස් මුදුන පිරිමදිමින් කතාකළේ ය. යසස්වි ට ඒ හැඟුම්බර බව අතරින් සිනහවක් ද නැගෙමින් තිබිණ. තුසිතය සේ ම ඇය ද පිරිපුන් වෙමින් පවතී. පූර්ණ වෙමින් පවතී.
‘එයාට තාත්ත කියනවනං ඉතිං මටත් අම්ම කියන්න එපැයි’
වජිරා ගේ හඬ තානයෙහි ආදරයේ නෝක්කාඩුව විය. යසස්වි විජිත අතැර වජිරා වැළඳගත්තා ය.
‘අම්ම වගේ තමයි කොහොමත් ඔයා මට දැනුණෙ. අම්ම වගේම තමයි ඔයා මට සැලකුවෙ. වෙලාවකට තුසිතෙ අයවත් අතෑරල මගෙ පැත්ත අරං. අනේ කවදාවත් මට ඒව අමතක වෙන්නෑ අම්ම’
‘ලේලියෙක් නොවී අපිට දුවෙක් වෙලා ඉන්නයි ඕනෙ ඔයා’
‘ඒක ඇත්ත වජිරා. ලේලියෙක්නං අපිට කලිනුත් හම්බ වුණා. නොහිටියෙ දුවෙක්’
‘ඔය දෙන්නට හිතිං හරි මං වෙනසක් කළොත් එදාට අස්විද අයියත් මට නැති වෙයි. ඒ නැතත් මේ ආදරේට මං හරි ලෝබයි. මගෙ ගෙදරදි මට දැනුන්නැති හැඟීමක් මේ. ඒක නැතිකරගන්න දෙයක් කරන්නෑ ආත්ම ගාණකටවත්. ඒත් මං දන්නෑ අම්ම මොනාද වෙමින් තියෙන්නෙ කියල. අපෙ අම්ම කතාකරල කිව්ව… අයිය මෙහෙ ඇවිත් මාව බලෙං හරි ගෙදර අරං යන්න හිතං ඉන්නව කියල’
‘එහෙම කොහොමද… එහෙම වෙන්න දෙන්නෑ අපි’
කියා කීවාට විජිත ගේ හිතට ද බියක් හෝ බරක් ඇතුළු නො වූවා ම නොවේ.
යසස්වි සමගින් වන සබඳකම පිළිබඳව අස්විද විසින් සිය දෙමාපියන් හමුවේ හෙළිදරව් කරණ ලද මොහොතේ පටන්, යසස්වි ව පිළිගැනුණේ තුසිතයෙහි නිල සාමාජිකයෙකු සේ ය. නැතහොත් අස්විද ගේ නිල ලත් භාරකාරිය සේ ය. වජිරා මුළු තුසිතය ම ඇය අතට පත් කළා කීවත් වරදක් නැති තරමි. එහි වැඩ කටයුතු කෙරෙන පිළිවෙළ ගැන අවබෝධයක් ද පුහුණුවක් ද ඇයට ලබා දෙමින් ඕතොමෝ යුවතිය පසුපස සිටියා ය. යසස්වි වජිරා සමගින් පුරුදු ලෙසට ඉවුම් පිහුම් කළා පමණකුදු නොව මල් සිටවූවා ය. පාත්ති කෙටුවා ය. ඇය කැමති පරිදි ඒ දේවල් කිරීමේ නිදහස දෙමින් වජිරා අසලකින් සිටියා ය. මග තොටක දී හමු වුණොත් යසස්වි මල් පැළයක් ගෙනැවිත් වජිරා ට දුන්නා ය.
‘ඔයාම හිටවන්න ඉතිං’
වජිරා ඇය පෙළඹුවා ය.
ඒ වූ කලී හෙමි හෙමිහිට ගොඩනැගුණු ලස්සන බැඳීමකි. ඔවුන් දෙදෙනා අතරේ තරගයක් වූයේ නැත. වජිරා ඈ සිය පුතු ගේ පෙම්වතිය බව පිළිගත්තා ය. යසස්වි, ඈ සිය අනාගත ස්වාමියා ගේ මව බව ඉඳුරා දැන සිටියා ය.
යසස්වි විශ්ව විද්‍යාලයට නොයනා උදේ වරුවක ඔවුන් දෙදෙනා ඉඟුරු තේ එකක් හදාගෙන තම තමන් ගේ පරණ කතා උනුන් හා බෙදාහදාගත්හ.
‘අපේ අම්මයි තාත්තයි කවදාවත්ම අපිට පේන්න ආදරෙං ඉඳල නෑ. තාත්ත අම්මට හිට්ලර් කෙනෙක් වගෙයි මන්නං දැකල තියෙන්නෙම. එයා කවදාවත් අම්මගෙ වචනෙකට ඉඩ දීල නෙවෙයි කන් දීලවත් නෑ. අපේ තාත්ත අම්ම දිහා ආදරෙන් බලලවත් නැතුව ඇති. ඒ අතින් අපේ අම්ම මාර පව්. එයාට කවදාවත් අම්මට වගේ ජීවිතයක් තිබිල නෑ. සල්ලි උඩ පිනුං ගැහුවත් මේ තුසිතෙ ඇතුළෙ අම්ම විඳින සතුට ලැබෙන්නෑ අම්ම. තුසිතෙට ආවට පස්සෙ අම්මයි තාත්තයි ආදරෙං ළඟින් ඉන්න හැටි දැක්කහම මට ආසාවෙ බැරි වුණා. මටත් ඕනෙ අස්විදයියත් එක්ක ඒ විදිහට ජීවත් වෙන්න. ඒ විදිහට එකට වයසට යන්න. එහෙම සාමකාමී ජීවිතයක් කියන්නෙ මොනතරං සැනසීමක්ද…මගෙ අම්මටත් ජීවිතේ අන්තිම කාලෙවත් එහෙම සැනසීමෙන් ජීවත් වෙන්න මට ඉඩක් හදල දෙන්න ලැබෙනවනං කොච්චර දෙයක්ද…’
යසස්වි එහෙම කියත්දී වජිරා ඇගේ හිත පිරිමැද්දේ පරිස්සමට ය.
‘හැමදේම හොඳට වෙයි කියල හිතමු. ඔයා ගඟෙන් එගොඩ වුණාට පස්සෙ අම්මව එගොඩ කරගන්න බැරි වෙන එකක් නෑ’
වජිරා හෙළූ සුසුම සැනසිල්ලට අදාල වූවකි.
‘ලොකු පුතා ගැන මගෙ හිතේ තියෙන්නෙ කාටවත් කියාගන්න තේරෙන්නැති වේදනාවක්. ඒ කොල්ල ඉන්නෙ හිතේ සතුටෙන් සැනසිල්ලෙන් නෙවෙයි කියල මං දන්නව. චූටි පුතා ගැන වුණත් මෙච්චර කල් හිතේ තිබුණෙ බරක්නෙ. ලොකු පුතාගෙ ප්‍රශ්නෙ දැං ඉතිං විසඳන්න පුළුවං කාලෙටම තමයි. හැබැයි චූටි පුතාගෙ අනාගතේ දිවැසින් වගේ මට පේනව. ඔයා එයාව මං වගේම බලාගනී කියල මගෙ හිත මට කියනව. මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ජීවිත වල අවසාන සතුට මේක තමයි පුතේ. ඔය දෙන්නගෙ සතුටෙන් අපේ මේ තුසිතෙට කිරි උතුරන්න ඕනෙ’
බලාපොරොත්තුවක් නොවූ මොහොතක අස්විද ගේ රිය ඇවිත් නතර විය. වජිරාත් යසස්විත් බරාඳයේ අසුන් වලින් නැගිට්ටා නොව නැගිටුණා කිව හැක. ඒ හදවත් දෙක ම එක ම පුද්ගලයෙකු වෙනුවෙන් එක ම රිද්මයකින් ස්ඵන්දනය වූවා විය යුතු ය.
‘ඇයි පුතේ…’
‘ඇයි අනේ…’
ඒ ප්‍රශ්න දෙක ම නැගුණේ එක ම වර ය. ගෙට ගොඩ වෙමින් සිටි අස්විද ගේ මුහුණට සිනහවක් නැඟිණ. සිය ජීවිතයෙහි සිටිනා වටිනා ම ගැහැනුන් දෙදෙනා මෙහෙම දකිනා එක තරම් සැනසිල්ලක්, පිරිමි පපුවකට වෙන දැනෙන්නට විදිහක් නැත.
‘අද වැඩිය වැඩක් නෑ. මට ඉතිං හිතුණ ගෙදර එන්න’
‘ඉතිං ඔහොම එක පාරටම එනකොට අපි බය වෙනවනෙ. කලින් කෝල් එකක් දෙන්නෙපැයි’
යසස්වි ගේ මුවින් පිටවුණ නෝක්කාඩුව වජිරා ගේ හිතේ තිබුණ එක ම ය. යසස්වි ඔහු අත වූ ලිපි ගොනුව ඇගේ දෑතට ගත්තා ය.
‘මොනාහරි බොමුකො අම්ම’
‘ඇයි වදේ ඉතිං මෙච්චර කල් මං කළා මදිද… දැං ඕව වෙන්න ඉන්න නෝනට කියල තමයි කරගන්න ඕනෙ. අම්මට පෙන්‍ශන් දීල’
වජිරා මුළුතැන්ගේ දෙසට ද යසස්වි අස්විද ගේ ලිපි ගොනු තබන්නට කාමරය දෙසට ද හැරුණහ.
‘මං ඇවිත් හදන්නං අම්ම… ඔක්කොලාටම එක්ක නාරං හදමු’
යසස්වී මුළුතැන්ගේ පැත්තට කෑගසා කීවා ය. වජිරා ගේ මුව මත මඳහසක් විය. ඉස්සර නම් කොච්චර වැඩ අඩු වුණත් කාර්යාලයට වී කාලය ගතකරනු විනා අස්විද මෙහෙම කලින් ගෙදර නො එන බව සිහි වී ඇගේ ඒ සිනහව තවත් පුළුල් විය.
‘ඉන්න ඉතිං…’
කියමින් අස්විද යසස්වි ගේ අතින් අල්වා ළඟට ඇදගත්තේ ඈ ෆයිල් මිටිය තබා යන්නට හැරෙත්දී ය. ඔහු ගේ පපුව මැද නතර වූ ඇයව ඔහු දෑතින් වැළඳගෙන සැහැල්ලුවට පා වූයේ ය.
‘මං යන්නං… අම්ම තනියම කුස්සියෙ’
‘ඔයා අද ගෙදර නිසානෙ මං දුවං ආවෙ’
‘ආවට ආදරෙයි ඉතිං’
‘මෙහෙම ඉන්නෝනෙ යසස්වි… මුළු ජීවිතේම… ඔයා ළඟදි මේ දැනෙන සනීපෙ… තාම මට ඒ මොකද්ද කියල තේරෙන්නෑ’
ඈ මොහොතකට දෑස් පියාගත්තා ය. සැබවින් ඔහු ළඟ ඒ දැනෙනා සුවය කුමක්දැයි ඇය දන්නේත් නැත. ආදරය කියන්නේ එයට ද? ඒ සුව පහසු හැඟීමට ද?