මතක දිගහැරුම 51 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් එක්වන දිගහැරුම ,

emirates ආයතනයෙහි සේවය කරන මගේ කණ්ඩායමේ අය විවිධ රටවල් වල අය වුවත් ඒ හැම දෙනාම මගේ රටේ මගේ සහෝදර සහෝදරියන් ලෙසින් මට හැඟුනි. එකල ” අක්ශේ කුමාර් ” යනු තරුණියන්ගේ සිත් පැහැරගත් සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ අතර මගේ ඉන්දියානු මිතුරිය වූ ආර්තී ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට ඇතුලු ඔහු පිළිබඳව සියලු විස්තර මට පැවසුවාය.මගේ ප්‍රියතම නළුවා ඔහු වූ අතර ඔහුගේ ලස්සන පෝස්ටරයක් මගේ කාමරයේ බිත්තියෙහි අලවා තිබුණි.

අප නිවාස සංකීර්ණයට යාබදව පිහිටි හෝටලයක ඔහු ඇතුලු නලු නිලියන් පිරිසකගේ සජීව ප්‍රසංගයක් පැවැත්වෙන බව අපට දැනගන්නට ලැබුණේ ඒ අතරතුරය.එය නැරඹීමට කෙසේ හෝ යාමට අපට උවමනා වූ අතර ප්‍රසංගය පැවැත්වීමට නියමිත වූ දිනයට දින දෙකකට පමණ පෙර ආර්තී ඇයගේ නෑදෑයෙකුගේ මාර්ගයෙන් මුදල් ගෙවා ටිකට් පත් ද වෙන්කරවා ගත්තාය.

ඒ අතර දිනක් අප අපගේ නිවාස සංකීරණයේ පිළිගැනීමේ කවුන්ටරය අසල වාඩි වී සිටින විට එහි සිටි ජේකබ් නැමති ඉන්දියානු තරුණයා අපව පුදුමයට පත් කරමින් ” අක්ශේ කුමාර් ” අපගේ නිවාස සංකීර්ණය ඉදිරිපිටින් එදින උදෑසන jogging ගිය බව පැවසීය.එමෙන්ම ඔහු ඉතා කඩවම් මෙන්ම ලස්සන තරුණයකු බවත් ,ඔහු තමන්ට අත වැනූ බවත් ජේකබ් කියා සිටියේ අක්ශේ කුමාර්ව දැක ගැනීමට අප තුළ වූ උනන්දුව සහ නොඉවසිල්ල තවත් වැඩි කරමිනි. අක්ශේ කුමාර් අපගේ නිවාස සංකීර්ණය ඉදිරිපිටින් ජොගින් ගිය වේලාව ජේකබ් ගෙන් අසාගත් මම සහ ආර්තී ඇතුලු මිතුරියන් පිරිස ව්‍යායාම කිරීමට භාවිතා කරන ඇඳුම් සහ සපත්තු පැළඳ පසුදින උදෑසන නිවාස සංකීරණයේ
බැල්කනියට වී පාර දෙස බලා සිටියේ ඔහු එන විගස පහලට ගොස් ඔහු පසුපස දිවයමින් ව්‍යායාම කිරීමටය .දින දෙකක් පුරාවටම අප සියලු දෙනා එසේ බලා සිටියද අප බලාපොරොත්තු වූ පරිදි අක්ශේ කුමාර් පැමිණියේ නැත.ඔහු එනතුරු එසේ බලා සිටීම ම අප ලද විනෝදජනක අත්දැකීමක් විය.

කෙසේ හෝ පසුදින යෙදී අප සියලු දෙනාම අක්ශේ කුමාර් ඇතුලු පිරිසගේ ප්‍රසංගය සඳහා සහභාගි වුණෙමු.එය ඉතා සුන්දර අත්දැකීමක් වූ අතර ඉන්දියානු සංගීත කණ්ඩායමකගේ සංගීතයෙන්ද, ඔහුගේ නැටුම් සහ ගැයුම් වලින්ද එම ප්‍රසංගය ඉතා වර්ණවත් විය.එම ප්‍රසංගයට සහභාගි වීම ද අමතක නොවන සිදුවීමක් ලෙස අප සියලු දෙනාගේම මතකයේ සටහන් විය.

දින දහයේ වාර්ෂික නිවාඩුව සඳහා ලංකාවට පැමිණීමට මා සූදානම් වුයේ ඉන් පසුවය.පෙර කී පරිදි මා කැටුව යාම සඳහා පැමිණීමට පොරොන්දු වූ හෂාන්,ඔහු පොරොන්දු වූ පරිදිම මා කැටුව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.ඇත්ත වශයෙන්ම කිවහොත් මා හට විවාහ මංගල යෝජනාවක් ඉදිරිපත් කළ හෂාන් ඒ වන විට රැකියාවක නිරත වනවාද , ඔහුගේ මාසික ආදායම කොපමණද ,ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආදායම කුමක්ද ,ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරගාවලියකින් මුදල් කොපමණ ලැබෙනවාද යන කිසිදු කාරණාවක් පිළිබඳව මා සැලකිලිමත් වූයේ නැත.ඔහුගෙන් ඒවා පිළිබඳ විමසීමට වත් මට උවමනාවක් ඇති වී තිබුණේ නැත.මා ලංකාවට පැමිණෙන දිනය දැනුම් දුන් පසු මා ඔහුට පැවසුවේ මා සමගම මගේ දෙමාපියන් මුණ ගැසීමට පැමිණෙන ලෙසයි. ලංකාවට පැමිණීමට පෙර හෂාන් විසින් මට ගෙන ආ යෝජනාව පිළිබඳව මම මගේ අම්මාට පැවසූ අතර ඔවුන් හමුවී වැඩිදුර තොරතුරු කතා කරන ලෙස මා හෂාන්ට පැවසූ අයුරුද අම්මාව දැනුවත් කළෙමි .

පොරොන්දු වූ පරිදිම ගුවන් තොටුපොළට පැමිණ සිටි ඔහුව හඳුනා ගත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ අය සහ ගුවන් මඟින් ඇතුළු බොහෝ දෙනා හෂාන් දෙස බලන අයුරු මා දුටුවෙමි.හෂාන් මා කැටුව යාමට පැමිණ සිටියේ ඔහුගේ නිල් පැහැති Gemini sports කාර් රථයේ ය.ඔහු එම කාර් රථය මිලදී ගත්තේ මෑතකදී බව මට පැවසුවේ අප නිවසට ගමන් කරමින් සිටින අතරතුර දී ය.එම කාර් රථය ඔහුගේ බව මා දැන ගත්තේ ද ඒ මොහොතේ වන අතර එතෙක් ඒ පිළිබඳව විමසීමට වත් මට වුවමනාවක් ඇති වූයේ නැත.ඒ වන විට තමන් සෙලාන් බැංකුවේ රැකියාවක නිරත වන බවත් ,ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වන්නේ රැකියාව කරන අතරතුර බවත් ඒ සඳහා රැකියා ස්ථානයෙන් තමන්ට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් හශාන් මට පැවසී ය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles