උසස් ජාතිය.

“ඇයි තරූ ඔයා ඊයේ මං ගාවින් නිදා ගත්තෙ?”

ඒ අරුමපුදුම ප්‍රශ්නේ ඇහිලා තාරුකා උඩ ගිහින් බිම වැටුණා.විවාහ වෙලා සති කීපයක් ගෙවෙනකොටම ඒ වගේ කතාවක් සැමියා කියනකොට ඕනෑම තරුණියකට වගේ තාරකාටත් ආවේ පුදුමයක්.

“මං වෙන කොහෙ ඉන්නද? අනික මං නිදාගන්න ගිහින් ගොඩක් වෙලා ගියාමනෙ ඔයා ඇඳට ආවෙත්.”

තාරුකා එහෙම කිව්වා.

“ඔව්.ඒත් ඔයාට පීරියඩ්ස් කියලා මට තේරුණේ ඔයා පෑඩ්ස් පැකට් එකක් ගන්නව දැකල..”

අසේල එහෙම කියද්දී තාරුකා ඔහු දිහා බැලුවේ පුදුමයෙන්.ඔසප් වුණු පලියට පිරිමියෙක් ළඟ ඉන්න හොඳ නෑ කියලා අසේල හිතන්නේ ඇයි? මල්වර වුණු ගෑනු ළමයි ගේ අස්සට කරලා පිරිමින්ට නොපෙනී තියන හින්දා තමයි මෙයාලට මේ වගේ විකාර හිතෙනව ඇත්තේ.

“මං ලොකු ළමයෙක් වුණේ නෑ අසේල.මේ මගේ පීරියඩ්ස් දවස්..”

තාරුකා එහෙම කියන ගමන් අසේලට තේ හදන්න ඔහුගේ මග් එක අතට ගත්තා.

“මං තේ හදා ගන්නම්..”

අසේල වහාම මග් එක අතට ගන්නකොට තාරුකාට සැනසීමක සේයාවක් දැනුණා.ඔසප් වේදනා දැනෙන දවසට,ගැබ් ගත්තම අපහසුවෙන් ඉන්නකොට කාන්තාවක් ගැන සැලකිලිමත් වෙන සැමියෙක් කියන්නේ වාසනාවකට.ඒත් ඒ හැඟීම මිරිඟුවක් කරමින් අසේල ඒ කතාවට හේතු එකතු කරේ පුදුමාකාර කතාවක් එක්ක.

“මට අප්පිරියයි ඔයා ඔහොම ඉඳන් කෑම හදනකොට.අද උයන්නත් එපා.මං කඩෙන් කන්නම්.ඔයත් මොනව හරි ඕඩර් කරගන්න..”

තමන්ට දරුණු ලෙඩක් වැළඳිලා නැති බවත් මේ ඕනෑම කාන්තාවකට පොදු අත්දැකීමක් බවත් කටට ආවට තාරුකා මොකුත් නොකියා තෙත බේරෙන කොණ්ඩෙන් වැටෙන වතුර බිංදු පිහදැම්මා.

“ඔයා උදේම බාත් රූම් ගිහින් හොඳට ක්ලීන් කරානෙ?අපේ අම්මයි අක්කයි නම් ඔය දවස්වලට එළියේ ටොයිලට් එක යූස් කරේ!”

තමන්ට ඔසප් දවසට කොහොමත් කේන්ති යන බවත් දුක හිතෙන බවත් තාරුකා දන්නවා.ඒ හෝමෝන ක්‍රියාකාරී වීම මේ කතාවලට වැඩි වෙනවා කියලා හිතුණු නිසා තාරුකා කළේ සාලයට ඇවිත් පුටුවක ඉඳගෙන අසේලව මඟ හැරීම.අසේල රැකියාවට යනතුරුම ඇය පුටුවට වෙලා අතීතයේ ඇවිදගෙන යන්න පටන් ගත්තා.

“අම්මේ මේ නංගියා.”

සෙනසුරාදා දවසක උදේ සෙල්ලම් කර කර හිටපු නංගිගේ ගවුමේ වෙනස මුලින්ම දැක්කේ තාරුකාගේ අයියා.එතකොට තාරකට අවුරුදු දහතුනයි තාරකාට එකොළහයි.නංගිට නුදුරු දවසක වෙනස්කමක් වෙන්න නියමිත බවත් ඒ වෙනස්කම කොයි ආකාරයේ එකක්ද කියලත් තාරකටත් අම්මා ඉගැන්නුවා.ඒ නිසා ඒ වෙනස්කම ගැන නංගිටත් කලින් දැක්කේ අයියා.ගැහැනු ළමයෙකු වැඩිවියට පැමිණීමෙන් පස්සේ ඇයට සිදුවෙන වෙනස්කම් වගේම ඇගේ ජීවිතේ ඉස්සරහ තියන අභියෝගත් අම්මා අයියට කියලා දුන්නා. ඊටපස්සේ නංගිව බලා ගන්න වගකීම අයියා වැඩිපුර කරට ගත්තු හැටි තාරුකාට තාම මතකයි.

“නංගිට සනීප නෑනෙ පුතේ අද..”

ඥුරුඥුරු ගගා ඇඳේ වැටිලා කෙඳිරි ගාන තාරුකා පෙන්නලා අම්මා එහෙම කියනකොට උසස්පෙළට ටියුෂන් යන ගමන පැත්තක තියලා අයියා තමන්ට තැඹිලි කඩලා දෙන හැටි තාරුකා සිහි කළා.තාරුකාගේ ඔසප් දවස කාටවත් අප්පිරියා දවසක් වුණේ නෑ.තැඹිලි වීදුරුව බාගයක් බීලා අයියාට බාගයක් දිගු කරන නව යෞවනයේ ඉන්න කෙල්ලක් තාරුකාට ඒක මතක් කරලා දුන්නා.

“අනේ ඔය දවස්වලට ගෑනු අපි කුණු වෙච්ච ගාණයිනෙ දුවේ.මට උයන්න පිහින්න එපා කියල තහංචි දැම්මෙ අසේලලගෙ කිරි අම්මා.මමත් අපේ දුවට ඒ දවස්වලට මල්ලිගෙන් තාත්තගෙන් ඈත් වෙලා ඉන්න කියලයි කියන්නෙ.අප්පිරියයිනෙ දුවේ එයාලට..”

අසේලගෙ අම්මාට ඇමතුමක් දීලා අසේලගේ අරුමපුදුම හැසිරීම විස්තර කරපු තාරුකාට ලැබුණේ එහෙම ප්‍රතිචාරයක්.ඕනෑම දේකට හේතුවක් තියනවා.අසේලගේ හැසිරීමට හේතුව තාරුකාට පැහැදිලි වුණා. දරුවන්ගේ ජීවිතේ සමහර තේරුම් ගැනීම් වලට හේතුව අම්මාගේ හැසිරීම.ඇය ඔවුන්ට ලබා දෙන ආකල්ප.

“අපේ අම්මනම් ඕව කරන්නෑ.ඕවා ගෑනු වැඩ නේද?”

සමහර දේවල්වලට උදව් ඉල්ලනකොට අසේල පුදුම වෙන හැටි තාරුකාට සිහි වුණා.

“අපි ඉතින් පිරිමින්ට හිරිහැරයක් නොවෙන්න වැඩ කරන්න එපැයි දුවේ..”

අසේලගේ අම්මා එහෙම කියපු හැටිත් තාරුකා මතක් කළා.

මෙතන වරද එයාගේ.තාරුකා තේරුම් ගත්තා.ගැහැනියක පහත දැමිය යුතු දින වකවානු ගැන, ගැහැනුන්ගෙන් වැඩ ගන්න ඕනෑ ආකාරය ගැන, ගැහැනියකට වඩා පිරිමියෙකු වීම උසස් බව අසේලගේ ඔළුවට වැටුණේ අම්මාගෙන්ම බව තාරුකාට පැහැදිලියි.ඇය ඇයව පහත් කර ගන්න ගමන් අසේලගේ අක්කාවත් පහත් කරන්න අසේලට කියා දෙන්න ඇති.අසේල එතැනින් නතර නොවී බිරිඳටත් බෙදන්න ඒ හැන්ද මේ ගෙදරට අරන් ඇවිත් කියලා තාරුකා තේරුම් ගත්තා.උපදේශනයට යොමු වෙලා මේ මානසිකත්වය අසේලගෙන් මිදවිය යුතු බවත් ඒත් ඔහු ඒ හණමිටිය බිම නොතැබුවොත් නොපෑගි තීරණයක් ගන්නත් තාරුකා තීරණයක් ගත්තා.

“අසේල,මම ඔයාගේ අප්පිරියාව ඉවර වෙනකම් අපේ අයියලගෙ ගෙදර යනව.සාමාන්‍ය දේවල් අප්පිරියාවක් නෙවෙයි කියලයි ගෑනු කියන්නේ පහත් අය නෙවෙයි කියලයි ඔයාට තේරුණොත් මං ගෙදර එන්නම්..”

තාරුකා අසේලට එහෙම කෙටි පණිවිඩයක් ලියලා තාරකගේ ගෙදරට යන්න ගියා.ගර්භනී කාලය අපහසුවෙන් ගෙවමින් හිටිය අයියාගෙ බිරිඳ මිහිරානි තාරුකාව පිළි ගත්තේ ආදරෙන්.ඇයගේ මුහුණ මත තියන ලස්සන හිනාව මේ අමාරු කාලයේවත් මැකී ගිහින් නෑ.

“බත් ඇති කිචන් එකේ.නංගි බෙදාගෙන කන්න.තාරුක තමයි උයන්නෙ.මට අමාරු හින්දා එයා මට කිචන් එක පැත්තටවත් යන්න දෙන්නේ නෑ..”

මිහිරානි එහෙම කියන්නේ හිනා වෙවී.තාරුකා කෑම මේසය උඩ තිබ්බ දීසියක් ඇරලා බැලුවේ ආදරෙන්.ඒ පරිප්පු ව්‍යාංජනයෙන් එන්නේ තමන්ගේ අම්මා අයියට උගන්නපු ගුණ දහමේ සුවඳ කියලා තාරුකාට හිතුණා.

More Stories

Don't Miss


Latest Articles