ජපානයේ ඔනගාවා කියන පුංචි නගරයේ උදේ වරුව හරිම ලස්සනයි.
ඒත් ඒ ලස්සන අස්සේ ලොකු දුකකුත් හැංගිලා තියෙනවා. මුහුද හරිම නිහඬයි, හරිම ලස්සනයි. ඒත් ඒ මුහුද ඇතුළේ ලොකු විනාශයක මතකයන් සැඟවෙලා තියෙනවා කියන එක මේ කියන්න යන කතාව දන්න හැමෝම පිළිගන්න කාරණාවක්.
ඔනගාවා නගරයේ ජීවත් වෙන යසුඕ ටකාමත්සුට මේ මුහුද කියන්නේ නිකන්ම නිකන් වතුර ගොඩක් නෙවෙයි. ඒක එයාට ආදරය අහිමි කරපු, ඒ වගේම වේදනාව එක් රැස් කරපු තැනක්.
සතියකට වතාවක්, 67 හැවිරිදි යසුඕ තමන්ගේ කිමිදුම් ඇඳුම අඳිනවා. ඔක්සිජන් ටැංකිය චෙක් කරලා, මුහුදට කිමිදෙන්න සූදානම් වෙනවා. එයා මේක කරලා තියෙනවා මේ වෙද්දි 600 වතාවකටත් වඩා! ඒත් හැම කිමිදීමක්ම එයාගේ හිතට අරගෙන එන්නෙ කලින් වතාවට වඩා මහම මහ ලොකු බරක්.
යසුඕ මූදෙ කිමිදලා මොනවද මේ හොයන්නෙ කියලා ඔයාලා අහන්න පුලුවන්.
එයා මූද අස්සෙ ගිලිච්ච ධන නිධානයක් හොයන කෙනෙක් නෙවෙයි, ධීවරයෙක් නෙවෙයි. එයා ස්වාමිපුරුෂයෙක්.මූදු වතුර ගිල ගත්ත තමන්ගේ ආදරණීය බිරිඳව හොයන ස්වාමිපුරුෂයෙක්.
එයාගෙ නම යූකෝ.
ජීවිතය උඩු යටිකුරු වූ දිනය
ඒ 2011 මාර්තු 11 වෙනිදා.
ජපානයම කම්පා කරපු, මුහුද භයානක විදියට ගොඩට ආව දවසක්. රික්ටර් මාපකයේ 9.0ක අති දැවැන්ත භූමිකම්පාවක් නිසා සුනාමි රැල්ලක් ඇති වෙනවා. ඒක මුළු නගර ගණනාවක්ම මුහුදට ගිල ගන්නවා. විනාඩි කීපයක් ඇතුළත ජීවිත දහස් ගණනක් වතුරෙන් යට වෙනවා. 18,000කට වැඩි පිරිසක් මියගියා හෝ අතුරුදහන් වෙනවා.
ඒ අතුරුදහන් වුණු පිරිස අතර යසුඕ ටකාමත්සුගේ බිරිඳ යූකෝත් හිටියා. එයා අවුරුදු 47ක බැංකු සේවිකාවක්, බිරිඳක්, දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. එදා උදේ යසුඕම තමයි යූකෝව බැංකුවට ඇරලවලා ගියේ. එයාට මතකයි එදා හිම වැටෙමින් තිබුණු හැටි, වෙනදා වගේම එදත් සාමාන්‍ය විදියට තිබුණ හැටි.
හැබැයි ඒක එයාලගේ අන්තිම සමුගැනීම වෙයි කියලා එදා යසුඕට කීයටවත් හිතුණෙ නෑ.
භූමිකම්පාව විනාඩි හයක් තිස්සේ තිබ්බා. පොළොව දරුණු විදියට හෙලවෙනකොට යසුඕ වාහනේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් හිටියේ. පුතායි, දුවයි දෙන්නම ආරක්ෂිතව ඉන්න බව යසුඕ දැනගත්තා. හැබැයි යූකෝ ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ. හැබැයි යූකෝගෙ අන්තිම පණිවිඩය යසුඕට ලැබෙනවා.
ඒ ඊමේල් එකකින්. ඒකේ තිබුණේ “ඔයා හොඳින්ද? මට ගෙදර එන්න ඕනේ.” කියලා.
ඒක හරිම සරල, සාමාන්‍ය පණිවිඩයක්. ඒත් ඒකේ බිරිඳකගේ ආදරයයි, බයයි, අනාගතේ ගැන පෙර කියවීමකුයි එකට තිබුණා කියන එක යසුඕට තේරුනෙ හැමදේම උනාට පස්සෙ.
පස්සේ කාලෙක යූකෝගේ ෆෝන් එක වාහන නවත්වන තැනක තිබිලා හම්බ වෙනවා. ඒකේ තිබිලා යූකෝගෙ ෆෝන් එක හම්බවෙනවා. ඒ ෆෝන් එකේ send උනේ නැති කෙටි පණිවිඩයක් තියෙනවා.
ඒක 3:25ට ටයිප් කරපු එකක්.
“සුනාමිය හරිම දරුණුයි” කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. යසුඕ හිතන්නේ යූකෝ ඒ වෙලාවේ බැංකුවේ වහලය උඩ ජීවතුන් අතර ඉඳලා ඇති කියලා. ඒත් අඩි 49ත් 57ත් අතර උසකට ආපු සුනාමි රැල්ල බැංකුවට උඩින් ගිහින්, එතැන හිටපු සේවකයන් දහතුන් දෙනාගෙන් දොළොස් දෙනෙක්ම රැගෙන ගිහින් තිබුණා.
යූකෝ ඒ රැල්ල එක්ක යන්න ඇති කියලා අකමැත්තෙන් උනත් පිළිගන්න යසුඕට සිද්ද වෙනවා. ඒ විදියට මළ සිරුරු හම්බ නොවූ 2,500කට වැඩි පිරිසෙන් කෙනෙක් තමයි යූකෝ කියන්නේ.
ස්වාමිපුරුෂයෙකුගේ පොරොන්දුව
මුලින් යසුඕ යූකෝව හොයන්න හැම තැනම ඇවිදිනවා. නගරයේ නටඹුන් අස්සෙ, කසල ගොඩවල් අස්සෙ ඇවිද ඇවිද එයා ආරංචියක් එනතුරු බලාගෙන හිටියා. රජයේ නිල සෙවීම් නතර කළාට පස්සේත් එයා යූකෝව හොයන එක නතර කළේ නැහැ. එයාට ඕන වුණේ යූකෝව ගෙදර අරන් එන්න. “මට ගෙදර යන්න ඕනේ” කියපු යූකෝගෙ අන්තිම පණිවිඩයට උත්තර දෙන්න.
ඉතින්, අවුරුදු 60ට ළඟා වෙලා හිටිය යසුඕ පුදුමාකාර තීරණයක් ගන්නෙ අන්න ඒ අන්තිම පණිවිඩේට උත්තර දෙන්න හිතාගෙන. යසුඕ කිමිදෙන්න ඉගෙන ගන්නවා.
සතියෙන් සතිය යසුඕ ඔනගාවා වෙරළේ අඳුරු, නිහඬ මූද යටට කිමිදිලා යන්න පටන් ගත්තා. මුහුද හරිම සීතලයි, මඩ පිරිලා. කඩා වැටුණු නටඹුන් වලින් ඒක පිරිලා තිබුණා. ෆොටෝ ඇල්බම්, ඇඳුම්, ගෙවල්වල කොටස් ඒ හැමතැනම තිබුණා. හැබැයි යූකෝගේ කිසිම සලකුණක් තිබුණේ නැහැ.
ඒත් යසුඕ නතර වුණේ නැහැ.
සෙවීමකට එහා ගිය දෙයක්
යසුඕට මේ කිමිදීම් කියන්නේ බිරිඳව හොයන එකට වඩා එහා ගිය දෙයක්. ඒක අතීතයත් එක්ක කතා කරනවා වගේ දෙයක්. ලෝකයා අතහරින්න කියද්දීත්, ආදරය තදින් අල්ලාගෙන ඉන්න ක්‍රමයක්.
“මම කිමිදෙන්නේ එයාව හොයන්න. ඒත් ඒක මට දැනෙන්නේ එයත් එක්ක ඉන්නවා වගේ.මම දන්නවා එයා කොහේ හරි ඉන්නවා කියලා,මට එයාව තනි කරලා යන්න බැහැ. මට එයාව ගෙදර එක්කරගෙන එන්න ඕන.”” යසුඕ එහෙම කියනවා.
ඛේදවාචකයකින් සලකුණු වුණු නගරයක, යසුඕගෙ මේ පුරුද්ද ආදරේ ගැන ලස්සන කතාවක් සංකේතවත් කරනවා.
ආදරයට අවසානයක් නැහැ
සුනාමියට අවුරුදු 13ක් ගෙවිලා.
ඒත් යසුඕගේ ආදරය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. එයා දිගටම කිමිදෙනවා. දිගටම හොයනවා. යූකෝව දවසක හොයාගෙන ගෙදර අරන් යන්න පුළුවන් වෙයි කියලා දිගටම බලාපොරොත්තු වෙනවා.
ඒක නිකන්ම සෙවීමක් නෙවෙයි. ඒක පොරොන්දුවක්. මුහුදට තමන්ගෙ ආදරේ මතකය මකා දමන්න ඉඩ නොදෙන පොරොන්දුවක්.
එයා කරන හැම කිමිදීමක්ම ආදරයත්, කැපවීමත් පෙන්නන දෙයක්. හැම කිමිදීමක්ම අපිට කියන්නේ ආදරය, වේදනාවට වඩා ශක්තිමත් කියන එක.
මේ වෙද්දි ඔනගාවා නගරය ටිකෙන් ටික නැවත ගොඩනැඟිලා. අලුත් වීදි, අලුත් ගොඩනැගිලි නැවත නැඟිටීමේ සංකේත ඒ නගරය පුරාම තියෙනවා. ඒත් මිනිසුන්ගේ හදවත්වල සුනාමිය එක්ක ඇතිවෙච්ච තුවාල තවමත් තියෙනවා. යසුඕ ඒ නොසැලෙන ශක්තියේත් ආදරයේත් ප්‍රතිමූර්තියක්. එයාගේ මේ පෞද්ගලික ගමන, මුළු නගරයක් වෙනුවෙන්ම කරන ආදරණීය අරගලයක් වගේ. කොයි තරම් ඛේදවාචක ආවත්, ඉදිරියට යන එක ගැන කියන අපූරු කතාවක් වගේ.
2024 මාර්තු මාසයේ තවත් සීතල උදෑසනක, එයා කිමිදුම් ඇඳුම හරිගස්සා ගන්නකොට තේරුම්ගන්නවා, යූකෝව හොයාගන්න තියෙන අවස්ථා ගණන් අවුරුදු ගාණක් ගතවෙද්දී එන්න එන්න අඩුවෙනවා කියලා. ඒත් එයා තවත් දෙයක් දන්නවා. ඒ තමයි ආදරය මනින්නේ ප්‍රතිඵලවලින් නෙවෙයි, කැපවීමෙන් කියලා.
ඉතින්, යසුඕ නැවත නැවතත් කිමිදෙනවා. ඒ නිහඬ මුහුද ඇතුළට, නොදන්නා ලෝකයකට, එයාගෙ වටිනාම නිධානය අරන් ගිය මුහුද පත්ලට.
දවසක යසුඕ යූකෝව සොයාගනීවි. දවසක ඔනගාවාට සැනසීමක් ලැබේවි. ඒත් ඒ වෙනකම්ම, යසුඕ ටකාමත්සු දිගටම කිමිදෙන බව ස්ථිරයි. යූකෝ වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, සහ කවදාවත් අමතක නොවන ජීවිතයක් වෙනුවෙන් යසුඕ දිගින් දිගටම ආදරය පත්ලට කිමිදෙන බව අපි හැමෝම දන්නවා. මූදත් දන්නවා
“මොකද ඇය මගේ බිරිඳ. ඉතින් මම තවමත් ඇයට ආදරෙයි.” කියලා යසුඕ කියන්නෙ අන්න ඒ හන්දා.
ඉතින් වෙන උදාහරණ තව ඕනද, ආදරේ කරන අය මියගියත් ආදරේ කවදාවත් මිය යන්නෙ නෑ කියලා ඔප්පු කරන්න?