දෑත දරා – 1

0
1255

අම්මාගේ අසනීපයත් සමඟ දියණියගේ වගකීම තම කර මතට වැටීම නිසා ගෲප් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ උන්නේ යම් පීඩනයකය. වයස අවුරුදු හතරක් වූ දියණියගේ තනි වගකීම දැරූ එක් දිනක්වත් මනුජ ප්‍රේමනාථ ට මතක නැත. එහෙත්, අම්මා සුවපත් වන තුරු, සමහරවිට ඉන් පසුව ඇයට විවේකය අවශ්‍ය කාලය ඉක්මෙන තුරු දියණිය දරා සිටීම තම වගකීම වන බව ඔහුට වැටෙහෙයි. ජීවිතය අපහසු වූයේ මීට වසර කිහිපයකට පෙර සිටය. එහෙත් දැන් තවත් ජීවිතය අපහසු බව දැනෙයි.

ආච්චී සහ සීයා ගේ ඇසුරේ වසර දෙක හමාරක්ම ගෙවා දමා ඇති දියණිය තමාට යම් නුහුරු බවක් පෙන් වන බවද හැඟෙද්දී ඒ අපහසුව තවත් වැඩි වන බව මනුජට දැනේ. එහෙත් මෙවෙලෙහි අන් විකල්පයක් නැත. අම්මා සහ තාත්තාගේ ජීවිත තමන් නිසාවෙන් තවත් අපහසු විය දිය හැකි නොවේයැයි මනුජ කල්පනා කලේය.

එනිසාම අපහසුවෙන් වුණත් දියණියගේ වගකීම තම කර මතින් පටවා ගන්නට මනුජ තීරණය කර උන්නේය. දිවා කාලය දියණිය රැකබලා ගැනීම වෙනුවෙන් කාන්තාවක් සොයා දුන්නේ මනුජ හා එක්ව සේවය කරන මිතුරෙක් විසිනි. ඇය අවුරුදු පනහක පමණ ඉතා ප්‍රසන්න සහ හිතවත් කාන්තාවක් වූවාය.ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනාම අඩු වයසින්ම රිය අනතුරකින් මිය යාමෙන් පසුව ඇය ජීවිකාව ි කරගැනීමටත් වඩා සමාජය හා ගැටී හුදෙකලාවෙන් මිදෙනු වස් නිවෙස් වල වරු ලෙසින් සේවය කිරීම් සහ ආහාර සකසා කඩවල් වලට දැමීම කරමින් උන්නාය. එනිසාම මනුජගේ නිවසේ දිවා කාලයේ නැවති දියණිය රැකබලා ගැනීමේ කටයුතු වෙනුවෙන් එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.

සිව් අවුරුදු දියණිය දඟකාර සහ කටකාර දියණියක් වීම නිසා ඇය දියණිය වෙත දැක්වුවේ අසීමිත සෙනෙහසකි. ඇයට මනුජගේ දියණිය කෙරෙන් පෙනුනේ මීට 25 වසකට එපිට මියගිය තම කුඩා දියණියය. එනිසාම මනුජට ඇයට දියණියට සැලකිය යුතු ආකාරය පිළිබඳව කිසිවක් පහදා දිය යුතු වූයේ නැත. ඇතැම් අවස්තා වල ඕ මනුජට උපදෙස් දුන්නේ, තරුණ පියෙකු ලෙසින් මනුජව සලකමිනි.

දිවා කාලයේ ඇය දියණිය බලා ගැනීමේ කටයුතුවල නියැලුණද සවස හය වන විට ඈ ඇගේ නිවස බලා පිටත් වන්නේ ඇගේ ස්වාමිපුරුෂයාගේ වයෝවෘද්ධ දෙමාපියන්ගේ කටයුතු වෙනුවෙන්ය. එසේ නොවන්නට ඇය රාත්‍රී කාලයද මනුජගේ නිවසේ නැවතතෙන බව ඇයම පවසන්නීය.

“මගේ අම්මයි තාත්තයි නොවුනට මගේ මහත්තයා වෙනුවෙන් මගේ අම්මයි තාත්තයි දෙන්නව මැරෙනකම්ම සනීපෙන් සුවෙන් තියන්න ඕනේ මහත්තයා… ඒ අම්මයි තාත්තයි ගැන මට තියෙන මහ පුදුමාකාර සෙනෙහසක්……… දරු දෙන්නයි මහත්තයයි තුන්දෙනාම එකම දවසේ මට නැති වුණාට පස්සේ මං ඔලුව නරක් නොවී බේරුනේ අම්මයි තාත්තයි හින්දා…අපේ අම්මයි තාත්තයි දෙන්නම මට බල කරේ ආයෙත් බඳින්න කියලා. නමුත් මට එහෙම දේකට හිත හදාගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒත් මහත්තයාගේ අම්මයි තාත්තයි මං ගන්න තීරණයට එකඟ වෙලා මගේ පස්සෙන්ම හිටියා…එතකොට මට අවුරුදු විසිපහක්නේ ජීවිතේ කිසි දෙයක් තේරුනේ නෑ… නැති වෙනකොට දුවටයි පුතාටයි දෙන්නටම අවුරුදු හතර හමාර පිරුනා විතරයි….”

මනුජ කිසිවක් නොපවසාම ඇයට ඇහුම්කන් දීම පුරුදු කරගෙන දීමට පුරුදුව උන්නේය. ඕ එකම කතාව වුව යළි යළි මනුජ හා කියවන්නට දිනයකට එක් විනාඩියක් හෝ වැය කලාය. ඉන් ඇය යම් සැනසීමක් විඳිනවා විය යුතුයැයි සිතමින් මනුජ ඇයට කිසි විටෙකත් බාධා කලේ හෝ නොතකා උන්නේ නැත.

” මට රෑට දරුවා බලාගන්න පුළුවන් … සාරතී නැන්දා ඒ ගැන හිතන්න වුවමනා නැහැ. සාරතී නැන්දා ඒ වැඩ ටික කරගන්න….. අනිත් එක මම එන්න පොඩ්ඩක් ප්‍රමාද උනෝතින් යන්න කලබල වෙන්න එපා . මම වාහනෙන් සාරති නැන්දව ගෙදරට ඇරලවන්නම් … ඒ නිසා ට්‍රාන්ස්පෝර්ට් ගැන හිතලා කලබල නම් වෙන්නම එපා ….”

මනුජ ඇතැම් දිනවල සියල්ල අවසානයේ ඇයට එලෙසින් පැවසූ අවස්තා විය . කොළඹ සිට දියණිය දියතලාවට රැගෙන විත් සති දෙකක් ඉක්ම ගොස් තිබුණි. දියණිය මනුජ කෙරෙහි දැඩි සෙනෙහසක් දක්වමින් උන්නාය.

“ඇයි අප්පච්චි මාව බලන්න කොළඹ ආවේ නැත්තේ ?”

මාසයකට වරක් හෝ දෙවරක් කොළඹ ගොස් දෙමාපියන්ගේ සහ දියණියගේත් සුව දුක් විචාරන්නට පුරුදුව උන් මනුජට එයට සැබවින්ම පිළිතුරක් තිබුණේ නැත. ඔහුට සැබැවින්ම දියණියගෙන් ඉවත්ව සිටීමට අවැසි ආත්මාර්තකාමී සිතුවිල්ලක් තිබුණි.

“කෝ කට අරින්නෙත් මේ ඉඳි අප්ප ටික කාලා ඉන්න……”

මනුජ කතාව අන් අතකට හරවාගන්නට උත්සාහ කලේය.

“සුදු අම්මා නම් කිව්වේ අප්පච්චිට ගොඩාක් වැඩ කියලා…. “

ඇය වයස ඉක්මවා යන පරිණත කමක් ද ආරූඪ කරගනිමින් එලසෙන් පවසන විට මනුජ එයද නොඇසුනාක් මෙන් සිටින්නට උත්සාහ කළේය. එහෙත් දියණියගේ කියවීම අවසාන වූයේ නැත.

“අප්පච්චිත් එක්ක ද මම හැමදාම ඉන්නේ ? “

ඇය යලි විමසන්නට ගත්තාය.

මනුජ කලේ එයට පිළිතුරු නොදී ඇගේ කුඩා මුවට අනාගත් ඉඳි ආප්පයෙන් අඩක් පිරවීමය.

“සුදු අම්මාට ඌවා වෙලා නිසා අපි සුදු අම්මට බෙහෙත් පොවන්න යමුද අප්පච්චී ?”

දියණිය එලෙසින්ද විමසන්නීය. ඒවා සාරතී නැන්දා දිවා කාලයේදී ඇයට පැවසූ දේවල් බවට සැක නැත. මනුජ එයටද කිසිත් පැවසූයේ නැත.

ඇයට ඇත්තේද නිර්දාගේ කිචි බිචි කියවිල්ලම බව සිහි වෙද්දී මනුජගේ හදවත තුළ සිහින් ඉදිකටු රිදුමක් නැඟුණේය. නිර්දා ඇයට තමා හැර යන්නට තරම් හැකි වූයේ කෙලෙසද ?.

“අප්පච්චී …කවන්නකෝ…”

තමා නිර්දාගේ මතකයන් සමඟින් ගිය දුර පමණ ඉක්මවා ඇති බව මනුජට වැටහුනේ දියණියගේ හඬිනි . ඔහු වහා පියවි සිහියට එලැබුනේය. දියණියට ආහාර කවා අවසන් කර ඇගේ දත් මද්දවා, ගත දොවා සැහැල්ලු පිජාමා ඇඳුම ගත ලූවේය. හිස කේ දෑතින් පීරා සැකසුවේය.

” දැන් දොය්යන්නෝනි අප්පච්චිට කරදර නොකර හොඳේ…”

දියණියව උරිස්සේ තියාගෙන කාමරය තුළ ඇවිද යන මනුජට කිසිඳු කරදරයක් නොකරම ඕ නින්දට වැටුණාය. වෙනදා ඇය සුදු අම්මා සහ අප්පච්චී සීයා පවසන කතාවල කොටස් පවසන්නට කියමින් වද දෙන්නේය. එහෙත් අද ඇය ඉතා ඉක්මනින් නින්දට වැටීම මනුජගේ සිතට ඇති කලේ කලබලයකි. ඕ යම් අසනීපයකින්වත් පෙළෙන්නේද ?

ඔහු සාරතීට ඇමතුමක් ගත්තේය.

” අපේ මහත්තයා ??”

“සාරතී නැන්දේ… බබා දවල් නිදාගත්තේ නැද්ද ? …”

“ඔහේ කොහේ නිදාගන්නද මහත්තයා… දවසම මාත් එක්ක සෙල්ලම … මාත් දඟලා දඟලා ඉන්නම දුන්නා ….එතකොට මහත්තයට රෑට බබාව නිදි කරවගන්න ලේසියු නේ…”

මනුජගේ ළය සැහැල්ලු වූ බව දැණුනි. ඔහු සාරතීට සමුදුන්නේය. දියණියක වෙනුවෙන් පියෙකු මෙහෙම බරක් ළය දරා ඉන්නබව මනුජට දැනෙන්නේ දැන් ය. ජීවිතේම අහිමිව ගියාට පසුවද, දෙවැනි උපතක් වෙනුවෙන් පියෙකුට විවරණ දෙන්නට හැකි දියනියකටම මිස අන් කවරෙකුටද ?

මනුජ රාත්‍රී ආහාරය අවසන් කලේය. මුලුතැන්ගෙය පිරිසිදු කිරීම පසුදින ට සාරතීට ඉතිරි කලේය. පසුදින දේශන වෙනුවෙන් වන ඉදිරිපත් කිරීමක අඩු පාඩු සැකසුවේය.

නිර්දා..,

ඇය තමාත් දියණියත් හැර නොගියා නම් , ජීවිතයට මෙහෙම කාලයක් උදා නොවන්නට තිබුණි. එහෙත් දෑවුරුදු දියණිය තම මාපියන් සෙවණේ දමා ඕ පසෙකට වූවාය. ඉන් මාස කිහිපයකට පසු දික්කසාදය ඉල්ලා සිටියාය. මිට මාස කිහිපයකට පෙර ඕ සදහටම ලංකාවට සමුදී ඕස්ට්‍රේලියාවේ විසූ ඇගේ නැන්දණිය වෙත ගොස් තිබුණි.

ඒ පිටව යන්නට පෙර ඕ දියණිය දැක ගන්නට පැමිණි බව අම්මා පැවසීමෙන් පසු තමාට දැනුණ කෝපය මනුජට තවම සිහිපත් කර ගන්නට හැක. තමා අම්මාටද බැණ වැදුණ බව මනුජ කල්පනා කලේය.

” ඒ ළමයාට විතරක් මේවාගේ සම්පූර්ණ වැරැද්ද කියන්න බෑ… උඹත් මේවට වැරදියි… උඹලා දෙන්නාගෙම උද්දච්ච කම් හින්දා අන්තිමේදි මේ කිරි සප්පයා තැලෙන්නේ… ඒ හින්දා ඔය තරහ උඹ ළඟම තියාගනින් පුතේ… මේ නොදරුවා දවසක අම්මා කෙනෙක් ඉල්ලනකොට දෙන්න උත්තර හදාගනින් ඒ වෙනුවට…”

එදින තාත්තා එක්වරම කාමරය තුළට විත් එලෙසින් පවසා ගිය ආකාරය මනුජට ඇසෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here