Hand bag එකක් තෝරන විට මේ ගැනත් හිතන්න

අත් බෑගයක් එහෙම නැති නම් Hand bag එකක් කාන්තාවකට නැතිවම බැරි අංගයක්. අත් බෑගයක් යනු විලාසිතාවක් පමණක් නොව ගෙනයාමට ඇති බඩු බාහිරාදිය ආරක්ෂිතව රැගෙන යන්නට ඉවහල් වන්නක්. එනිසා අත් බෑගයක් තෝරගන්නා විට මේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න.

අත් බෑගයක සවිශක්තිය ගැන මූලිකවම අවධානය යොමු කල යුතුයි. බොහෝ විට බෑග් නිෂ්පාදනය කරනුයේ ලෙදර් යොදාගෙන වුවත්, වර්තමානයේ වෙළෙඳ පොළේ දක්නට ලැබෙන බෑග් සින්තටික් සම් යොදා සකස් කරන බැවින් අධික මුදලක් වැයකර මිලට ගත්තත් වැඩි කලක් පාවිච්චි කිරීමට හැකියාවක් නොලැබේ. මෙනිසා බෑග් තෝරා ගැනීමේදී ඒවායෙහි කල්පැවැත්ම ගැන සැලකිලිමත් වන්න.

අත් බෑගයක් මිලදී ගැනීමේ දී එය භාවිතා කිරීමට තිබෙන පහසුව ගැන ද අවධානය යොමුකළ යුතුය. සමහර අත්බෑග නිමකර තිබෙන්නේ ඉතා සිනිඳු රෙදි උපයෝගී කරගෙන හෙයින් බඩු බාහිරාදිය දමන විට පැළී යන්න පුළුවන්. එමෙන්ම එහි අත් සඳහා chain ආදිය යොදා ඇති විට, බර දමා ගෙන යාමටත් නොහැකියි. මෙවැනි අලංකරණ සහිත අත් බෑග් සුදුසු වන්නේ කෙටි ගමන් බිමන් හෝ උත්සව අවස්තාවන් සඳහායි. මෙනිසා දිනපතා භාවිතයට බෑග් තෝරා ගැනීමේදී ඒවායෙහි සවිශක්තිය කෙරෙහි අවධානය යොමුවිය යුතුයි. සාමාන්‍ය ඇඳුමකින් සැරසෙන විට අධික මිලැති බෑගයක් භාවිතා කිරීමට සුදුසු නොවන අතර හැකි සෑම විටම අත් බෑග් විලාසිතාව  අඳින ඇඳුම සමඟ ගලපාගත හැකියි.

අතැති මුදලට වඩාත් ආකර්ෂණීය වටිනා පෙනුමක් තිබෙන බෑගයක් තෝරා ගැනීමේ දී එය භාවිතා කරන්නේ කිනම් ස්ථානයකට ද යන්න තීරණය කිරීම අත්‍යවශ්‍යයි. කාර්යාලයට ගෙන යන hand bag එක ඔබේ පෙනුම  වඩවන මෙන්ම දිනපතා ගමන බිමනට අවශ්‍ය සියලු දේ දමා ගෙන යා හැකි පහසු ආකාරයේ බෑගයක් වීම වැදගත්. සමහර විටෙකදී අධික මුදලක් වැයකර ලබාගන්නා බෑගයට, ගෙන යාමට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල දැමීමට නොහැකි වන්නට පුළුවන් අතර ඒ සියල්ල තෙරපා දැමීමට යාමේදී බෑගයේ බොත්තම් හෝ zip කැඩී යාමට ඇති හෙයින් බෑගය පරිහරණය කළ හැකි කාලසීමාව අඩු විය හැකියි.

ඔබ තෝරාගන්නා අත් බෑගයේ ඇති සාක්කු කිහිපයක් තිබීම වැදගත්. එදිනෙදා කටයුතු වලදී අවශ්‍ය වන මාරු කාසි, ජංගම දුරකථනය වැනි නිතර අවශ්‍ය වන දේ දමා ගැනීමට සාක්කුවක් කිහිපයක් තිබීමත් අවශ්‍යයි. එසේම වටිනා දෙයක් දමා ගැනීමට බෑගය තුල රහස් සාක්කුවක් තිබීමත් බොහෝවිට වැදගත් .

බෑගයේ ප්‍රමිතිය කොතරම් ඉහළ වුවත්, එය පරිහරණය කරන රටාව අනුව, පාවිච්චි කළ හැකි කාලය වෙනස් වෙන්වා. මෙනිසා කල්පනාකාරීව තෝරා ගත් බෑගය හොඳින් පරිහරණය කරන්නට පුරුදු වනිනත් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles