දෑත දරා – 5

0
2123

පස් වැනි දෑත් දැරුම

පසු දින  මනුජ ඇහැරුණේ දියණියගේ හඬිනි. කාමරයේ දොර අගුළුලා නොතිබුණු නිසා දියණිය කාමරය තුළට පිවි තම යහන මතට නැග තමා ඇහැරවන්නට උත්සාහ කරමින් සිටින බව මනුජ දුටුවේ ඉන් පසුවය. 

කලකින් ලැබූ සුව නින්ද කෙටි වී ,  උදෑසන හය පසු වූ විගසම බාධා වීම ගැන වලට දැනුනේ සියුම් කේන්තියකි. නමුත් එම කේන්තිය පෙන්වන්නට ඉඩ නැති බව මනුජ යළිත් සිහිපත් කරගත්තේය. 

ඔහු කේන්තිය සඟවාගෙන දියණියට අත්තම්මා වෙත ගොස් තවත් නිදන්ට යැයි කීවේය. එහෙත් දියණියට අවශ්‍ය වූයේ මනුජ  සමඟින් මිදුලේ ඇවිදින්නට යන්නටය. පාන්දර වනතෙක්ම අඩ නින්දේ උන් නිසා මනුජට තවත් වෙලා හුදෙකලා නින්දක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් තිබුණි.  දියණිය මනුජගේ අතින් අදිමින් ඔහු නැගිටුවා ගන්නට දැරූ උත්සාහහය නතර නොකරම උන්නාය.

“එක පාරක් කිව්වානේ යෙනුලි … අප්පච්චිට  දොයියන්න  දීලා කාමරෙන් එළියට යන්න.. ගෝ … සුදු ආච්චි එක්ක  දොයියන්න …”

මනුජගේ  ඉවසීමෙහි සීමාව, ඔහුට පාලනය කරගන්නට නොහැකි ලෙසින්  ඉක්මවා ගියේය.

දියණිය මහා හඬින් හඬා වැටෙන්නට වූයේ මනුජගෙන් පසෙකට වෙමිනි.  මනුජගේ  පියා කාමරයේ දොර අසලින් මතුවිය. මනුජ පියවි සිහියට පිවිසීයේ දියණියගේ හැඬුම් හඬ සමගින්ය . ඔහු වහා දියණිය වඩාගෙන ඇඳෙන් බිමට බැස්සේය.  මනුජගේ  පියා මනුජට  බැණ වදිමින් කාමරේ දොර අසලින් ඉවත් වූයේය.

“මූ එක්ක නම් දරුවා තියෙන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මෙහෙම කෑගහනවනම් මෙහෙදි , එහෙදි මු දරුවට කොහොම කෑගහනවා ඇද්ද.. අන්තිමේදි බිඳෙන්නේ දරුවා…”

මනුජගේ පියා මනුජගේ  මව අසලට ගොස් එලෙසින් කීවේ හඬා වැටෙන දියණියගේ හඬ නොනවත්වා ඇසෙද්දීය

“ඒක තමයි මහත්තයා මං කියන්නේ…  දරුවා මෙහෙ තියාගමු…  දැන් මට සනීප එකේ මට ඇහැකි ඔය දරුවා ගැන ඇහැ ගහගන්න … තව  බලා කියාගන්න ඕන නම් අත් උදව්වට තව කවුරුහරි මෙහේ තියාගන්න එකනේ… මහත්තයත් ඉන්නවා.. නිර්මලාත් ඉන්න්වානේ ..”

” මං කියන්නෙත් ඒක තමයි කරන්න වෙන්නේ… ලොකූ  කොච්චර මිස අකමැති උනත්   මෙවෙලේ කරන්න තියෙන හොඳම වැඩේ ඒක….”

” ඔව් කොහොමටත් ඉස්කෝලේ , මොන්ටිසෝරි යද්දී දරුවා  මෙහෙට ගේන්න වෙන එකේ මේ අවුරුද්ද අපි  ඇහැක් විදියෙන්  දරු පැටියාව බලාගමු  මහත්තයා … එහෙම නැති  වුනොත්,  ඉතින් ඔය දරුවා  පොඩි කාලෙදිම මනසින් ලෙඩ වෙනවා…  කිරිසප්පයට කෑ ගහපු සද්දේට මාත් ගැස්සුණා..”

“ගැළපෙන කසාදයක් බලල කරගන්න කියලා අනේක වාරයක් කරද්ද කියද්දි ඕනමයි ඕනමයි කියලා එකක් කරගත්තා…”

“කසාද බැන්දට පස්සේ නිර්දගේ එහෙමට කියන්න වරදක් තිබුන්නෑනෙ මහත්තයා…….”

“එහෙමට වරදක් තිබුණේ නැත්තං දෙන්නා දෙපැත්තට වෙලා ඉඳලා දරුවා මෙහි දාලා ගියේ මොකද?”

“ඒකට හේතුව මට තේරෙන්නෙත් නෑ. නිර්දා  කියන්නෙත් නෑ….. ලොකු කියන්නෙත් නෑ…මං හැමදාම කියනවා වගේ ලොකූ  සියයට සීයක් හරියි කියලා මට හිතෙන්නෙත් නෑ … මහත්තයා.. ඒ  ජීවිත වල මොකක් හරි හිස් තැනක් තිබුනා …… මං අහගෙන ඉඳලා තියෙනවා නිර්දා  යාළුවොත් එක්ක කතා කරනකොට..”

” ලොකු එක්ක එහෙම හිස්තැනක් හැදුන නම් නිර්දා ඒක  කතා කරන්න ඕන ලොකූ  එක්ක මිසක් යාළුවො එක්ක නෙවෙයිනේ…”

“හනේ මට තේරෙන්නේ නෑ මහත්තයා”

“දැන් ඉතිං ඕවා කොච්චර කතා කලත් වැඩක් නෑ. දැන් මේ පොඩි කෙල්ල තැනකට ගන්නකල් ඇස් දෙක පියවෙන් නැතුව ඉන්න විදියක් විතරයි මට බලන්න ඕනේ..”

“මොනවද මහත්තයා මේ උදේ පාන්දර කියන කතා?”

“හරි හරි .. නෝනා කිරි  ඒක බීලා බෙහෙත් බොන්නකෝ..”

“මම නිර්මලාට කිව්වා උදේට කිරිබත් හදන්න කියලා….. ලොකු කිරිබත් කන්න කැමතියි නේ දරුවත් කාවී..”

මනුජ දියණියව වඩා ගෙන මිදුල පුරා එහෙ මෙහෙ ඇවිද්දේය. දියණිය දියතලාවේදී මෙලෙස හිතුවක්කාර වූයේ නැත. එක්වරම මේ හිතුවක්කාරකමට හේතුව ඇය වටා තවත් බොහෝ දෙනා සිටීම බව මනුජට නිකමට මෙන් හිතුනේය. අම්මලාද සිටින නිසා ඇයට යම් හිතුවක්කාරකම්ක් ගොඩ නඟා ගන්නට හිතෙනවා විය යුතුය. මේ හිතුවක්ක්කාරකම් මුලදීම මට්ටු කිරීම අනිවාර්‍ය බව මනුජ සිතුවේ දියණිය උරයේ තබාගෙනමය.

” මොනවද මං මේ  හිතන්නේ …  මේ කිරි සප්පයෙක්ගේ  ජීවිතේ ගැන මං කොහොමද මෙහෙම ජජ් කරන්නේ…..  දරුවා එහෙද හිතුවක්කාර නොවෙන්නේ සාරිතා නැන්දා දරුවාව එච්චරක් ආදරෙන් බලා ගන්න හින්දා ……අම්මගෙන් ලැබිච්ච ආදරේම සාරිතාගෙන් දරුවාට ලැබෙනවා වෙන්න ඕනෙ.

නිර්දා දරුවා  දාලා ගියාම  දරුවා අසනීප නොවී බේරුනේ අම්මයි තාත්තයි දෙන්නා නිර්දා දුන්නු ආදරේම දරුවාට දුන්න නිසා වෙන්නෝනි… දැන් ඒ ආදරේම සාරිතා නැන්දාගෙනුත් දරුවාට ලැබෙන නිසයි, දරුවා එහෙදිත් මේ හිටපු සුවෙන්ම ඉන්නේ… මං ඉන්නවා කියන එක එයාට එක්ස්ට්‍රා දෙයක් ….

 මං දරුවා හිතුවක්කාර වෙලා කියලා හිතන්නෙ මං ඇහැරිය නැති උනහම දරුවා කෑගහපු හින්දා ……එක අතකට තාත්තා කෙනෙක් විදියට මං එහෙම හිතන එකත් කොච්චර මෝඩ කමක්ද ? “

දියණියගේ  කිරි කෝප්පය අවසන් වනතුරු මනුජ දියණිය සමගින් උන්නේය. නිවසේ අත් උදවුවට සිටින කාන්තාව පසුව දියණියව රැගෙන ගියේ  ගත දෝවා ඇඳුමක් ගතලන්නටය. මනුජ ද සූදානම් නිවසෙන් පිටතට යන්නට සූදානම් වූයේ මිතුරෙකු හමුවන්නට අවශ්‍ය බව කියමිනි. ඔහු දිවා ආහාරයටද නොපැමිණෙන බව පිටත් වන්නට සූදානම් වෙද්දීම පැවසුවේය. 

“අප්පච්චි එනකොට මට ටොයිස් ගේනවද?”

කුඩා දියණිය දොරකඩ සිට සිය අගේ අතේ එල්ලෙමින් එලෙස පවසද්දී මනුජ මොහොතකට නැවතුනේය. 

“බබාට ටෝයිස් ගොඩක් තියෙනවානේ.”

මනුජ ඉන්පසුව දියණිගෙන් එලෙස විමසුවේ අය වෙත නැඹුරු වෙමිනි.

ඒ ඔක්කොම අප්පච්චි සීයා  ගෙනත් දීපුවානේ …… අප්පච්චි මට ටෝයිස් ගෙනල්ලා දීලා නෑනේ…”

කුඩා දියණිය එලෙස පැවසුවේ මනුජව මොහොතකට නිරුත්තර  කරමිනි. ඒ ස්වරයද, චෝදනාවද දිගේ හිත ආපස්සට දිව ගියේය.

දියණියගේ දෙවැනි උපන්දිනය දා උපන්දින සාදය වෙනුවෙන් ත්‍යාග තේරීම සඳහා නිර්දා සමගින් තමා ඉතා කලබලයෙන්  නුගේගොඩ නගරයට ගිය ආකාරය මනුජට මතකය. පසුදින සඳහා සූදානම් වන්නට තිබූ දේශනයක් සිහියෙන්ද උන් නිසා තමා කලේ නිර්දාව අදාළ වෙළඳ සැල වෙත ඇරලවා මෝටර් රථය  තුළට වී අදාළ ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු සොයා බැලීමය.

එලෙසින්   නිර්දා සමග වෙළෙඳ ස සැල් කිපයකටම යන්නට සිදුවිය.  නිර්දා හැම වෙළෙඳ සැලකින්ම  පිටතට පැමිණියේ තමා බලාපොරොත්තු වන ආකාරයේ මිලදී ගැනීම් සඳහා යමක්වත් එම වෙළඳසැල්වල නොවූ බව ප්වසමිනි.

” දරුවා එහෙමට කියලා කිසි දෙයක් ඉල්ලලා නෑනෙ නිර්දා……. පොඩ්ඩක් කල්පනාවෙන්  බලලා සාමාන්‍යයෙන් ගැලපෙන දෙයක් ගන්න ……. ඔහොම කරන්න ගියොතින් එහෙම හෙට උදේ වෙනකම්ම ඇවිදින්න වෙයි.”

“මොනවද මනුජ ඔය කියන කතා…… කොහොමද ඔයා එහෙම කියන්නේ? ඒ ඔයාගෙත් දරුවා.. එයා ආස දේ මම දන්න නිසයි මේ හොයන්නේ….”

“නිකන් කටට  එන වචන කියන්න එපා නිර්දා……..  මං දැන් කිව්වද දරුවෝ මගේ නෙවෙයි කියලා. ….එහෙම එකක්ද මම කිව්වේ? මම කිව්වේ ඔයාගේ හිතේ තියෙන එකම හොයන්නේ නැතුව ඔය තියෙන දේවල් වලින් දරුවට ගැලපෙන තෑග්ගක්  බලලා ගන්න කියලා……”.

“ඒ උනාට බබා ආසයි ඒ ප්ලේ හවුස් එකට ………මෙහෙ තියෙන ප්ලේ හවුස්් එකක්වත් මට ඒ ඕනෙ විදියෙ නෙවෙයි…”

“අනේ විකාර කියවන්න එපා නිර්දා….  ඔයා මේ ටික් ටොක් වලයි,  ෆේස්බුක් එකෙයි  දකින පිටරට ප්ලේ හවුස්, මෙහේ හොයන්නේ කොහොමද ?..”

“නෑ නෑ මට හොඳටම ෂුවර් ඒක ලංකාවේ මොකක් හරි ශොප් එකක්….. මට ඒ වෙලේ ශොප් එකේ නම ස්ක්‍රීන් ෂොට් එකක්වත් ගහගන්න බැරි වුණා..ඒත් මං දැක්ක ශොප් එක තියෙන්නේ නුගේගොඩ කියලා මට හොඳටම මතකයි……”

අවසානය නිර්දා ඇය බලාපොරොත්තු වූ සෙල්ලම් නිවස්න  සොයාගෙන පැමිණි ආකාරය මනුජට සැනෙන් සිහිපත් විය. තමා ඒ දෙස බැලුවේ වත් නැති බව මනුජට මතකය.

තමා වගකීම් විරහිත පියෙක්ව උන්නාද? නිර්දා තමා අතැර යන්නට සැබෑම හේතුව තම වගකීම් විරහිත පෞද්ගලික ජීවිතයද ?..’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here