දෑත දරා – 07

0
1505

මනුජ එදින හවස් වන තුරුම කළේ දියණියගේ කියවිල්ල සමගින් නුගේගොඩ නගරය පුරාමත් ,  මහරගම නගරය පුරාමත් ඇති සෙල්ලම් බඩු අලෙවිසැල්වල ඇවිදීමය. ඇතැම් තැන්හිදී දියණියට අවශ්‍ය බව පැවසූ ඔසවාගෙන යා නොහැකි තරමේ  විශාල සෙල්ලම් බඩු ඔහු පසුව මිලදී ගැනීමට එන බව පවසා මුදල් ගෙවා වෙන් කරවා ගන්නටද මනුජ  අමතකක නොකළේය.

 දිවා ආහාරයත්  දියණිය සමඟින් පිටතින්ම ගත් මනුජ  අම්මා සහ තාත්තාට සමග සවස තේ පානය සඳහා කෙටි ආහාරද රැගෙන නිවසට එන විට සවස හයත් පසුවී  තිබුණි.  දියණිය උන්නේ මින් පෙර කිසි දිනක නොවූ තරමේ උද්යෝගයකින්ය.

සෙල්ලම් බඩු එකින් එක මෝටර් රිය තුළින් නිවසේ  ඉස්තෝප්පුව වෙත ගෙන එද්දී දියණිය ඒ එකින් එක මනුජගේ මවට සහ පියාට පෙන්නමින් විස්තර කරන්නට පටන් ගත්තාය. මනුජගේ  මව උන්නේ හැඬූ කඳුළිනි. දියණිය මෙතරම් උද්‍යෝගයකින් උන් දිනයක් ඇයට මතක නැත.  මනුජගේ පියාද උන්නේ සිත සැලුණු හැඟීම් එක්කය.

” මේ අහිංසකී  කාගේ වරදක් හින්දා දුක් වින්දද  මහත්තයා මෙහෙම ….  මේ අහිංසකී එයාගේ අප්පච්චී ළඟ දැවටෙන්නේ කොච්චර සතුටකින්ද ?….   මේ දරුවා  මෙහෙ තියාගන්න ඕන නෑ. අමාරුවෙන් හරි ලොකූ  දරුවට හුරු වෙන්න ඕනෙ.. දරුවා ලොකූට හුරු වෙන්න ඕනි ….. දරුවා ඉන්න ඕනේ ලොකු ළඟ.. ලොකූ දරුවව උස් මහත් වෙන දවසක් ගානේ ඒ හැම තත්පරයක්ම දකින්නෝනා …”

ඕ තනිව එලෙසින් සිතුවාය.  නොකීවාට මනුජගේ  පියාගේ සිතෙහිද වූයේ ඒ අදහසමය. තමන් දෙදෙනාට දියණිය වෙනුවෙන් හැකි උපරිම සැප සම්පත් වුවද ලබාදෙන්නට හැක.  එහෙත් දරුවාගේ මානසික සුවයත් සතුටත් වඩා වැඩියෙන් මනුජ හා බැඳී ඇති බව ඔහුද යළි යළිත්  වටහා ගත්තේය.

එය ලෙයෙහි  සුවඳින් දැනෙන  බැඳීමක් විය යුතුය. නිර්දා  දියණියව තමන් දෙදෙනා වෙත හැරලවා යාමෙන් පසු දියණිය අම්මා කොහේදැයි විමසුවේ කිහිප වතාවකි. ඉන් පසුව ඕ නිර්දා අමතක ලෙසින් තම දෙදෙනා හා ජීවිතය ට හුරු වූවාය.

එයට හේතුව තවමත් වටහා ගන්නට නොහැක. අවුරුදු දෙකහමාරක් වයස වූ දියණියට අම්මා ගැන වගක් නොවීම තමාට මෙන්ම බිරිඳගේද සිතට සැනසීමක් ගෙන ආවද, ඉන් ඇගේ සිත තුල ඇයටද නොදැනෙන තරමේ හිස් තැනක් තනා ඇතිවා විය හැකි බව මනුජගේ පියාට සිතෙන්නේ, මනුජගේ ඇසුරේ දියණියගේ ප්‍රීති උන්මාදය දකිද්දීය.

 එහෙත් තවත් වැඩි කල් නොගොසින් ඇය අම්මා පිළිබඳව  විමසන බව මනුජගේ පියා කල්පනා කරේ හදවතෙහි සියුම් රිදුමක්ද සමඟිනි.  මනුජ සූදානම් විය යුත්තේම එම ප්‍රශ්නය ඇයට අසන්නට නොසිතන තැනට වැඩ කිරීමය .

එසේත් නොමැති නම් ඇයට එය පහදා කියන්නට හැකි කාලයක් වන තෙක් ඇයගේ ජීවිතයට අම්මා  ඇති අඩුව නොදැනෙන්නට කටයුතු කිරීමටය. 

සෝමා තේ සකස් කරගෙන පැමිණීමෙන් පසු සෙල්ලම් බඩු අතරේ හිඳිමින්ම දියණිය සවස තේ පානය කළාය

.

” අප්පච්චි අපේ ටෝයිස් ඔක්කොම අරගෙන යමු…… සාරදා  ආච්චිට  පෙන්නන්න ඕන නේ..”

……

“ආ…. ඔක්කොම අරගෙන යන්නේ කොහොමද ? එතකොට ආච්චියි අප්පච්චි  සීයයි සෙල්ලම් කරන්නේ මොනවගෙන්ද ?….   ඒ නිසා  ටිකක් තියලා,  ටිකක් අරගෙන යන්න…… ආයෙ ආවහම තව ටිකක් අරගෙන යන්න……… එතකල් මේ සෙල්ලම් බඩුවලින්, ආච්චියි ,අප්පච්චි  සීයයි සෝමා ආච්චියි  සෙල්ලම් කරන්නම් හොඳේ .. මගේ  පුතාට අරගෙන යන්න පුළුවන් ටිකක් විතරක් අපි තෝරලා කාර් එකට දාගමු  හෙට….. එහෙත් සෙල්ලම් බඩු ගොඩක් තිබුනා නේද?..”

මනුජගේ මව අසුනේ හිඳ සිටිමින්ම මදක් ඉදිරියට නැවී එලෙසින් පැවසුවාය.  දියණිය මදවෙලාවක් නොරුස්නා බැලුමකින් බලා හිඳ පසුව එයට එකඟ වූ බව පෙන්නුවාය. එහෙත් ඇය එයට විරෝධය පෙන්වන්නටද අමතක නොකලාය.

“හා එහෙනම් , හැබැයි මුකුත් ඩිස්ට්‍රෝයි කරන්න බෑ……”

සියා  අප්පච්චි කියා දුන් ඉංග්‍රීසි වචන එකින් දෙක එකින් එක කුඩා දියණිය ගේ මුවින් එළියට වැටෙන්නට ගෙන තිබුණි. මනුජ  ඒ දෙස බලා උන්නේ සිනා පිරි මුවෙනි. ඇය තමා සමඟින් දවල් වරුවේම දොඬමලු වූයේද ඉංග්‍රීසි වචන සමඟිනි.

” ලොකූ ………ගැලපෙන තැනක් බලලා දරුවා එහෙන් ප්ලේ ස්කූල්  හරි දැම්මොතින් හොඳයි….. අපි මෙහි ප්ලේ ස්කූල් දාන්න ඔක්කොම ලෑස්ති කරල තියෙද්දි තමයි මට මේ කරදරේ වුණේ…”

එදින රාත්‍රියේ මනුජගේ අම්මා මනුජ සමඟින් කතාබහකට සූදානම් වෙමින් පවසද්දී මනුජ එයට කිසිත් නොපවසා උන්නේය.  අම්මා එක දිගටම දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මනුජට උපදෙස් දෙන්නට පටන්  ගත්තාය.

” මෙවෙලේ දැම්ම එකපාරටම එහෙම කරන්න අමාරුයි අම්මේ…  තව මාසයක්  හමාරක්   ඔහොම හිටපු දෙන් ? ඊට පස්සේ මම ටිකක් හොයලා බලලා ඇරේන්ජ් කරගන්නම් …”

“කොහොම වුනත් ඕක කල් දාන්න එපා.. ඊළඟට ළමයා කම්මැලි වෙනවා….  දැන් දරුවා සාරිතාටත් හුරු එකේ  ලොකු  ප්‍රශ්නයක් වෙන එකක් නැහැ…  යන එන එක උනත් සාරිතා එක්ක  කරන්න පුළුවන්නේ ඕනි නම් ……. ඇනෙක්ස් එක කිට්ටුවෙන් තැනක් හොයා ගත්තා නම් තමයි වඩා පහසුයි .. ඔයා නැතත් ඒ සාරිතාට දරුවාව බලන්න පුලුවන් එතකොට….”..

” ඒක ප්‍රශ්නයක් නෑ….. මට වාහනයක් දාන්න උනත් පුළුවන්……. ඒ නැතත් මට ගිහිල්ලා  ඇරලගන්න බැරි වෙන එකක් නැහැ..”

” දැන් අවුරුදු තුන තුන හමාරේ ඉඳන්ම පොඩි එවුන් ප්ලේ ස්කූල් යනවා… අපි දරුවා විතරක් මොටවෙනවා නිකන් ගෙදර ඉන්න එකෙන්. අනිත් එක දරුවට එහේ ලොකු සමාජ ආශ්‍රයකුත් නැහැනේ… මෙහෙදිනම් අනිවාර්යෙන් හවසට සීයත් එක්ක ටවුමේ රවුමක් යනවා ඒ ගිහිල්ලා පාක් එකටත් ගිහිල්ලමයි එන්නේ……..”

”  එහේ ඉතිං ඇනෙක්ස් ටිකේම එන්නේ අපේ කට්ටියනේ…. උන් වැඩට ෆෝකස් ඉන්නේ අම්මේ.. එහෙම වෙලාවක් නෑ කතා බහ කරන්න .. තවම මම දරුවාව අනෙක් අයට මූව් කරෙත් නෑ ..”

මනුජ අම්මාගේ අසනීප තත්වයට අදාල ලිපිගොනු බැලුවේය. ඒවායේ සේයාරුවන් ගෙන මිතුරෙකුට යවා තොරතුරු විමසා බැලුවේය.  රාත්‍රියේ නංගී සමඟ ඇමතුමකටද සම්බන්ධ වූයේය.

“ඇති යන්තම් මොළේ පහළ වුණා…”

සති අන්තයේ අම්මා බැලීමට ආ බව පැවසූ පසු මනුජට නංගිගෙන් ලැබුනේ ඇනුම්පදයකට ඈලුණු ප්‍රසංසාවකි.  මනුජ එයට කිසිත් නොපවසා උන්නේය. නංගීට අම්මාගේ  සෞඛ්‍ය තත්වය පිළිබඳව තොරතුරු පැවසූ  මනුජ ඇයට විවේකයෙන් සිටිමට  කටයුතු සලකන බවටද , පොරොන්දු වූයේය. නංගී ඇගේ අධ්‍යාපන කටයුතු වල තොරතුරුද මනුජ හා පැවසුවේය.

අමනාප, අවලාද හා ඇරඹුණ ඇමතුම අවසන් වූයේ සැහැල්ලුවෙනි. 

” එහෙ ඉන්නකොට නිතරම අම්මලට වීඩියො කෝල් අරන් දෝණිව පෙන්නන්න …. කතා කර කර ඉන්න දෙන්න ටිකක්… අම්මලා ඉමෝශනලි හරියට ඇටෑච් දෝණිට……”

නංගී පැවසූව යලි සිහියට ගනිමින් මනුජ ඇයට කෙටි පණිවිඩයක් ගලපා යැව්වේය.

”  තමුසේ මල්ක එක්ක ඔහේ කොහොම උන්නා වුනත්, කසාද බැඳලා සෙට්ල් වෙන්න ඕනි නෑ හිතෙනවා නම් ඒක කරන්න ඕනි නෑ…. මං ඉන්නවා ඕනි දේකට…”

විනාඩියක් ගෙවෙන්නට පෙර පිළිතුරු ආවේය. 

” දන්නවා අය්යා… මල්ක මට සෙට් … ඊළඟ වැකේශන් ආවම අම්මලට කියන්න මම හිතන් ඉන්නේ… එහෙ අම්මලා නම් ගිය මාසේ ආවා … අපි එක්ක සති දෙකක් ඉඳලා ගියේ… මල්ක ඔයායි, බබයි ගැනත් හරියට කන්සර්න් … එයා දෝණි එක්ක මට වඩා සෙට්… මේ ඊයෙත් චුරු චුරු ගෑවා දියතලාවේ ගියත් හරි එක කෝල් එකක් ගන්න වුනේ නෑ කියලා.. ආයේ ඉතින් ඔයාට හංගන්න දෙයක් නෑනේ..  දෝණි බලාගන්න නැන්දාට ෆෝන් එකක් අරන් දෙන්න.. අපි ත් දෝණිට කතා කරන්නම් …”

මනුජ එයට පිළිතුරු නොයවා උන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here