ඔබෙ ආදරෙන් මා දැවේ – 43

0
1237

මලිත් උන්නේ ඇත්තටම අසරණ වී මෙන් ය. කසාදෙ කඩාගෙන ගෙදර ඒමටත් වඩා මලිත්ට තිබුණ ගැටලුව උනේ තමන් ලාංකේය සංගීත ක්ශේත්‍රය අස්සේ හදාගෙන ආ පාර එක රැයෙන් මෙසේ වැසීම ගැනය. එහෙත් ඒ සියල්ලටම හේතුව තමන් විසින් කරන්නට යෙදුන අකල් ක්‍රියාවන් බව පිළිගන්නට තරම් මානසිකත්වයක මලිත් උන්නේ නැත. 

“අන්තිමේ උඹ කසාදෙත් කඩාගෙන ගෙදරට වැටිච්ච එක තමයි උනේ” කියා අම්මා කන් කෙඳිරි ගාද්දී මලිත් උන්නේ ගෙදර ඉන්න එකත් එපා කරගෙනය. එහෙත් සල්ලි ගෙව ගෙව අපාට්මන්ට් එකක කිසිම වැඩක් නැතුව ඉන්න එක කිසිම තේරුමක් නැති බව දන්න හන්දාම ගෙදරට වී ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත. 

“දැන් උඹ හැමදාම මෙහෙ ඉන්නද කල්පනාව?” කියා අම්මා කාමරයට හොස්ස පොවා අහද්දී මලිත් උන්නේ නොරිස්සුමෙන් කොට්ටයෙන් මූණ වහගෙන අම්මාව මග අරින්නට මෙන් ය.

“මූණ වහන් හිටියට වැඩක් නෑ. මහ ලොකුවට සිංදු කියන්න කියලා ගෙදරින් පිටත්වෙලා අන්තිමේ කසාදෙකුත් කරගෙන මහ උජාරුවෙන් නේද හිටියෙ? මූණ වහගන්න වෙන්නෙ අපිට තව ටික දවසකින් මුකුත්ම නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ ඇයි කියලා මිනිස්සු අහද්දි. මලිත් මේ…” කියාගෙන අම්මා කකුලට තට්ටු කරද්දි මලිත් කකුල ගස්සා අම්මාගේ අත ඉවතලන්නට හැදුවේ අම්මා විසින් අහන්නට යන මේ කතන්දර වලට දෙන්නට උත්තර තමන් ලඟ නැති නිසාවෙන් ය.

“උඹ මාව මගාරින්න හැදුවට කමක් නෑ. හැබැයි මෙන්න මේකට උත්තර දීපංකො. දැන් උඹ මේ ඔක්කොම අත ඇරලා දාලා වගේ ගෙදර ආවෙ ඇයි? වෙනදා උඹව දානෙකට මගුලකට ගෙදරට ගෙන්නගන්නත් අපිට අපොයින්ට්මන්ට් දාන්න උනානෙ. දැන් තකහනියෙ මේ ගෙදර ආවෙ මොකද?”  කියා අම්මා ආයේ ආයෙ අහද්දි මලිත් කොට්ටයත් විසික් කරගෙන ඇඳෙන් නැගිට්ටේ චිත්‍රාවත් මදක් තිගස්සාගෙනය.

“මං ආවෙ මට වෙන කරන්න දෙයක් නැති හන්දා” කියාගෙන මලිත් කොණ්ඩෙත් අවුල් කරගෙන බෙරිහන් දෙද්දී තමන් හිතුවාට වඩා දුර ප්‍රශ්නෙ ගිහින් විත්තිය චිත්‍රාට තේරුණේ මලිත් ලඟ දකින්නට ලැබිච්ච අසාමාන්‍ය පෙනුම නිසාවෙන්මය. 

“වෙන කරන්න දෙයක් නැති හන්දා?” කියා චිත්‍රා ආයෙ වතාවක් ඇසුවේ ඇත්තටම මලිත් විසින් කියන්නට යෙදුණ කතාව කුමක්ද කියා තේරුම්ගන්න බැරිවුන හන්දාමය.

“ඔව් ඔව් ඔව්… අනේ මගෙ ඔලුවට වද දෙන්නෙ නැතුව යන්න අම්මෙ මෙතනින්. අරහෙන් අර ගෑනු දෙන්නා මාව විනාස කරන්න හදනවා. මෙහෙන් අම්මා මාව කන්න හදනවා. යන්න යන්න යන්න මෙතනින්. යන්න යන්න යන්න යන්න යන්න යන්න යන්න” කියාගෙන මලිත් පිස්සුවෙන් මෙන් තමන්ව අතෙන් අල්ලාගෙන ගොස් කාමරයෙන් එලියට ඇද දමන්නට කටයුතු කරද්දී චිත්‍රා උන්නේ නිරුත්තර වීය. තක්බීර් වීය. මේ වෙන්නේ මොනවද, තමන් එයට එරෙහිව කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. 

අම්මාව කාමරයෙන් එලියට ඇද දමා අනතුරුව මලිත් කලේ පිස්සුවෙන් මෙන් ඇඳ රෙද්දත්, කොට්ටත් එක්කම ඇඳ මෙට්ටය බිමට ඇද දමන එකය. කාමරයේ මේසය උඩ තිබුන අලුතෙන් කරන්නට බලාගෙන උන් සිංදුවල ලිරික්ස් ලියූ ඒ ෆෝ කොල බිමට ඇද දමන එකය. අම්මා විසින් එකතු කර, බිත්තියේ අලවන්නට යෙදුන තමන්ගේ විස්තර ඇතුළත් පත්තර පිටු ඉරා බිම විසි කර දැමීමය. කෙස් ගස් අතින් ඇද ඇද තමන්ටම හිතෙන් බැන වැදීමය. 

කාමරයෙන් එළියේ චිත්‍රා උන්නේද එසේ මෙසේ වේදනාවක ගිලී නොවේ. මලිත් ඉන්නේ මොකක් හෝ විශාල හිත් වේදනාවක් නිසා විඳවමින් බව දන්නවා නමුත් ඒ වේදනාව වනාහී ජාන්වී දික්කසාදයෙන් වෙන්වීම පමණක් නොවන බව, එය හා බැඳුන තවත් කුමක් හෝ කාරණාවක් මලිත්ව මෙච්චර වෙනස් කරන්නට හේතු වී තිබෙන බවක් චිත්‍රාට නොතේරුනා නොවේ.

එහෙත් කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරි තැන චිත්‍රා කලේ පුටුවකට වැටී සුසුම්ලන එකය. මේ හැමදේකටම වැරදි ජාන්වි බව චිත්‍රා හිතෙන් කිව්වේ වරද කාගේ හෝ පිටේ පටවන එක ඔලුවට ලොකු නිදහසක් අත්පත් කර දෙන හන්දාය.

එතනින් පසුව ඇත්තටම ගෙවුනේ හැමෝටම හිතාගන්න බැරි කාලයකි. 

මලිත් උන්නේ “මට මේ මොකද්ද උනේ? ඇයි මටම මෙහෙම කෙළ වුණේ?” කියා හිතාගන්න බැරි මානසික අවසිහියකය. ඒ මානසික අවසිහිය නිසාවෙන්ම මලිත් කලේ කන්නේ බොන්නෙත්, නාන්නේ, මූණ හෝදන්නෙ, රැවුල කපන්නේ නැතුව ගේ අස්සටම වී ඉන්න එකය.

මලිත්ගේ ඒ හැසිරීම නිසාවෙන්ම චිත්‍රා උන්නේ “මලිත්ට මේ මොකද්ද වෙලා තියෙන්නේ?” කියා හිතාගන්න බැරුවය. වෙනදා සොඳුරු, විහිලුකාර එමෙන්ම කාට උනත් ලොකු සීන් දාන කොල්ලෙක් විදියට උන්නු මලිත් මෙසේ හිඟන්නෙක් වගේ රැවුල වවාගෙන, අපිරිසිඳුව පිස්සුවෙන් වගේ හැසිරෙන එක චිත්‍රාට හිතාගන්න පුළුවන් උනේ නැත. ඒ සියලු වැරදි ජාන්වි මත පටවන එක ලේසි හන්දාම “මලිත් ගෙදර ඇවිත් ඉන්නේ ඇයි?” කියා අසන හැමෝටම “ජාන්වි මේ කොල්ලව හූරං කාලා අන්තිමේ අත ඇරලා දැම්මා. වෙන හොඳ බර අත්තක් සෙට් කරගෙනද දන්නෙ නෑ” කියන්නට චිත්‍රා දෙපාරක් හිතුවේ නැත. 

ජාන්වි උන්නේද වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුවය.

“මං ඉස්කෝලේ යන කාලේ ආදරේ කරලා මහ දුකක් දීලා අතෑරලා දාපු මනුස්සයාම මං මහ දුකක ගිලිලා ඉද්දි මාව බේරගන්න ආවෙ ඇයි කියන එක, මෙච්චර මාව පරිස්සමෙන් කරන්නෙ ඇයි කියන එක, මං අරහෙම දෙයක් කරලත් මට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක මට හිතාගන්න බෑ නංගි” කියා ජාන්වි ආන්‍යා එක්ක මේ ගැන කතාකරේ ඒ හන්දාය.

“අක්කට ශුවර් ද ඔය තුරුණු කියන කෙනාව? අක්කා ඉස්කෝලෙ යන කාලෙ ඔහොම අෆෙයාර් එකක් තිබ්බා එහෙම කියලා කිව්වෙ නැති හන්දා මම ඇත්තටම දන්නෙ නෑ අක්කේ ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියලා. 

ඔයා එයාව අත ඇරලා දාලා ඇවිත් ආයෙ ඔයා කරදරේක වැටිලා ඉද්දි එයා උදව් කරන්න එන එක වෙනම එකක්. ඒත් ඔයාම කියනවා වගේ එයා අර අතීතෙ වෙච්ච හැමදේම අමතක කරලා දාලා ආයෙ ඔයාව ආදරෙන් භාර අරගන්න යන එක ගැන මට දෙවිදියකට හිතෙනවා අක්කේ’ කියා ආන්‍යා කියද්දී නංගීගෙ දෙනෙත්වල රැඳී තිබුණ කුකුස ජාන්වි නොදැක්කා නොවේ.

“මොකද්ද දෙවිදිය?” කියා ඇසුවේ ඒ කුකුස මග හැරගනු පිණිසය.

“සමහරවිට එයා ඇත්තටම අතීතෙ වෙච්ච දේ අමතක කරලා ජීවිතේ දිහා අලුතෙන් බලන්න පටන් ගත්ත, වයසට යනවත් එක්ක තේරුම්ගත්ත කෙනෙක් වෙන්න පුලුවන් අක්කෙ. එහෙම නම් ඇත්තටම හොඳයි මොකෝ එහෙම වරදකට සමාව දෙන මිනිස්සු අඩු හන්දා. එයා එහෙම කෙනෙක්නම් අක්කා මේ වතාවෙ කිසිම දෙයක් නිසා එයාව නැති කරගන්න එපා” 

“එතකොට අනිත් එක මොකද්ද?”

“අක්කට හිතෙන්නෙ නැද්ද එයා මේ අක්කගෙන් ප්‍රයෝජනයක් ගන්න හදනවා කියලා” කියා ආන්‍යා ඇසූ ප්‍රශ්නාර්තය අගින් තියන උත්තරයක් ජාන්විගෙ හිත තිබුණේ හදාගෙනය.

“අනේ නෑ නංගි තුරුණු එහෙම කෙනෙක් නෙවෙයි. එයා ඉස්සරහත් හරිම අහිංසකයි. හරිම ක්ලාසි මනුස්සයෙක්. ගමක ඉඳන් ආව, තාත්තලා අම්මල ගොවියො වෙච්ච පොඩි පවුලක කොල්ලෙක් උනාට එයාගෙ ගතිගුණ මාර හොඳයි. අනික මගෙන් එයාට ගන්න තියෙන්නෙ එක ප්‍රයෝජනයයි කියන එක අපි දෙන්නම දන්නවනෙ නංගි.

ඒත් තුරුණු කියන්නෙ එහෙම කොල්ලෙක් නෙවෙයි. මට එයාව හන්ඩ්‍රඩ් පසන්ට් ශුවර්” කියා අක්කා හිනා වෙවී කියද්දී “අක්කා මලිත් අයියා ගැන කිව්වෙත් ඔහොමම නේද?” කියා අහන්න උවමනා උනත් ආන්‍යා ඒ ප්‍රශ්නය වචන කරේ නැත.

අනිත් අතට මධුර උන්නෙද තුරුණු කිව්ව දේ හිතාගන්න බැරුවය.

“මොකද මේ පාර මේ කතාව ඉවරවෙන විදිය තීරණේ කරන්නෙ මං හන්දා” කියා තුරුණු කිව්වේ ඇයිද කියා හිතාගන්න බැරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here