දිල්නුක, බාල වයස්කාර ගෑනු ළමයෙකු ලැගුම් හලකට ගෙන ගොස් තිබිණ. පොලීසිය විසින් එය වටලෑමේ සිදුවීමක දී කාමර වල සිටි තරුණ තරුණියන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එකී පෙම් යුවළවල් අතරේ වැඩි දෙනෙකු බාල වයස්කාරයින් බව තහවුරු වී ඇති බැවින් දෙමාපියන්ව පොලීසියට කැඳවා ඇත. සිදුවීම ගැන නො දැන, සිය දරුවන්ට කරදරයක් වී ඇතැයි පොලීසියට දිව ගිය හැම මවක, පියෙකු සේ ම චේතිය ද අපහසුවට පත් වී තිබේ. තරුණ පිරිසට සේ ම දෙමාපියන්ට ද පොලීසිය තරයේ අවවාදකොට ඇත.
චේතිය ගෙදර පැමිණියේ කැළඹීමෙනි. සිය පුතුන් දැන් තරුණ වියට එළඹෙමින් සිටිනවා වී ද ඔවුන් වැඩිහිටියන් සේ සිතන්නට බොහෝ දෙමාපියෝ පසුබාති. චේතියට ද සිය පුතුන් තවම පොඩි දරුවන් සේ දැනේ. දිල්නුක වැඩිහිටි වියට එළඹුණා පමණකි. ප්‍රේමය ගැන ඔහු ගේ අභ්‍යන්තරයෙහි හැඟුමන් ඇති වීමෙහි අස්වාභාවිකත්වයක් නැති බව චේතිය ද පිළිගනී. නමුත් මේ විදිහට බාල වයස්කාර දැරියක ලැගුම් හලකට ගෙන යන්නට තරම් ඔහු ඉඳුරන් දමනය කරගත නො හැකි පුද්ගලයෙකු ලෙස දකින්නට පියා වශයෙන් චේතිය සූදානම් නැත. යසස්වි සම්බන්ධ සිදුවීමෙහි දී ද ඔහු පුත්‍රයාට අවවාද කළේ ය. නමුත් දිල්නුක පාඩමක් ඉගෙනගෙන නැති බව මේ සිදුවීමෙන් පැහැදිලි වේ.
පොලීසියේ සිට ගෙදර පැමිණීමෙන් පසු දිල්නුක කාමරයට රිංගා ගත්තේ ය. කිසිවෙකු ගේ මුහුණු වල හොඳක් වූයේ නැත.
‘ඕව ඔහොම තමයි. කොල්ලොනෙ’
නිලූකා දිල්නුක සාධාරණීකරණය කිරීමට උත්සාහ කළා ය. වජිරා ඇය දෙස බැලුවේ රවාගෙනයි.
‘තවත් ඔයා සුදු හුණු ගාන්න’
‘එතන ඉඳල තියෙන්නෙ අපේ කොල්ල විතරක් නෙවෙයිනෙ. තව ඕනතරං කොල්ලො කෙල්ලො ඉඳල තියෙන්නෙ’
‘අනේ ඇත්තටම ඔයා මොන විදිහෙ අම්ම කෙනෙක්ද නිලූකා… දිල්නුක කරල තියෙන්නෙ වරදක්. ඒක අපි මුලින්ම පිළිගන්න ඕනෙ. එතන තව කොච්චර කොල්ලො හිටියත්… අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ඒ ගොඩේ අපේ කොල්ල නැත්තං තමයි’
‘අනේ කොලුකමට කරන දේවල්නෙ. ඕව වලක්වන්න බෑ’
‘මිනිස්සුන්ට හැඟීම් ඇතිවෙනව තමයි. හැබැයි ඒවට වාල් නොවී ජීවත් වෙන්න තමයි අපිට මොළයක් කියල එකක් ලැබිල තියෙන්නෙ. ළමයින්ට කියල දෙන්න ඕනෙ හැඟීම් වලට වාල් නොවී බුද්ධිමත්ව වැදගත් විදිහට වැඩ කරන්නයි. ඔයා විතරක් නෙවෙයි අපි කවුරුත් වැඩිහිටියො විදිහට වගකියන්න ඕනෙ මේ වගේ වැරදි වලට අපේ ළමයි පෙළඹෙන එක ගැන. හැබැයි ඔයා ඔය විදිහට කතා කරන එකෙන් දිල්නුක දැන්වත් වැරදි හදාගන්න උත්සාහ කරන එකක් නෑ’
වජිරා කතා කළේ වැඩිපුර හඬ පිට නොවෙන සේ ඔවුන් දෙදෙනා අතරේ පමණක් රහසක් ලෙස ය. නමුත් ඇය අතිශය කෝපයෙන් පසු වන බව වචන උසුරුවන රිද්මයෙන් නිලූකා හැඳිනගත්තා ය.
‘ඔයා තමයි පොඩි කාලෙ ඉඳලම ඔය කොලුවව කෑවෙ. ඒකා මොන වරද කළත් දඬුවමක් දුන්නෑ. තාත්තගෙන් ළමයගෙ වැරදි හැංගුව. වැරදි පෙන්නන අයට දොස් කිව්ව. මේ වහළ යටම පහුගිය දවස්වල වෙච්ච දේ මතකනෙ… ඒ වෙලාවෙත් ඔයා අනිත් පැත්තටයි දොස් පැවරුවෙ. අද ඔහොම වෙයි… හැබැයි තව ඉස්සරහට ඔයිට වැඩිය දේවල් වුණොත් ඔයාට අඬන්නයි වෙන්නෙ නිලූකා. මං අද කිව්වයි කියල හිතාගන්න’
ඉන් නො නැවතී වජිරා චේතිය ට ද උපදෙස් දුන්නා ය.
‘දිල්නුක එක්ක වෙලාව අරං කතාකරන්න ලොකු පුතා. තරුණ හැඟීම් තමයි. නමුත් මේ වගේ දේවල් වලට ඕනනැති විදිහට පෙළඹුණොත් මේ ළමයගෙ අනාගතේට ඒක ලොකු කැළලක්. ඔයා ඒක එයාට තේරුං කරල දෙන්න… ළමයව ලැජ්ජාවට අපහසුවට පත් වෙන්නෙ නැති වෙන්න’
මංගල කාරණාවක් ගැන කතා කරන්නට පටන් ගත් ගමන් සිදු වූ දේ ගැන සූරියබණ්ඩාර යුවළ තුළ යම් කිසි හිත් තැවුලක් විය. වජිරා ගේ කතා බහින් යසස්වි ඒ බව හැඳිනගත්තා ය. ඈ උත්සාහ කළේ ඒ කළු පැල්ලම වජිරා ගේ හිතින් තුරන් කර දමන්නටයි.
‘එහෙම තමයි අම්ම. අපි ජීවත් වෙන්නෙ සර්ව සුබවාදී ලෝකෙක නෙවෙයිනෙ. අෂ්ඨ ලෝක ධර්මයත් එක්ක. ඒ දේවල් වලින් හිත හොලවගන්න ඕන නෑ ඉතිං’
‘ඒ වුණාට මටනං හරි කේන්තියි’
‘කේන්ති ගන්නෙපා ඉතිං… ඉක්මනට වයසට යයි’
යසස්වි හඬ නගා සිනහ වූවා ය.
‘දැං ඉතිං අපේ තව මොනා වයසට යන්නද…’
‘ආ… ඔය කෙල්ල වගේ ඉන්නෙ අනේ. අම්ම වගේ ලස්සනට හිතන කෙනෙක් හැමදාම තරුණයි ඉතිං’
යසස්වි සිය නැන්දණිය වටා දෑත් යවමින් ඇගේ අත් ගොබයට තුරුලු වූවා ය. දිල්නුක ගේ සිදුවීම නිසා හිත් වල ඇති වූ කැළඹීම තුනී වී බොර ගතිය පැහැදිලි වී සන්සුන් වෙන්නට තුසිතය ට යම් කිසි කාලයක් අවැසි විය.
‘අපි එහෙනං සුබ නැකත් හදාගෙන එහෙම මංගල්ලෙට ලෑස්ති වෙමු නේද…’
විජිත යළි ප්‍රශ්නය මතුකරන ලද්දේ පසු දා හැන්දෑවේ තේ බොන අතරවාරයේ බරාඳයෙහි දී ය. ඒ වෙලාවේ නිලූකා හා දිල්නුක හැරෙන්නට තුසිතයෙහි සියල්ලෝ එතැන වූහ. චේතිය තැනවූ ගෙදර කුළියට සිටි අය එදා දහවල බඩු ඉවත් කොට ගෙදර යතුරු යළි ලබා දුන්නෙන් නිලූකා සිටියේ එහි ය.
‘ඔය නැකත් ඒව මේවනං නැතුවට කමක් නෑ තාත්ත’
ඒ අස්විද ගේ අදහසයි.
‘නැකත් හදාගන්නැතුව කොහොමද… සුබ කටයුත්තක් කරන්න ඕනෙ අසුබ වෙලාවල් මගඇරල සුබ වෙලාවකදි’
වජිරා මූණ නරක් කරගෙන කීවා ය.
‘අපිට හොඳයි කියල හිතෙන වෙලාව තමයි සුබ වෙලාව’
‘අනේ මේ ඕගොල්ලොන්ගෙ ඔය පණ්ඩිත වාක්‍ය හැම දේකටම හරියන්නෑ චූටි පුතා. මේක ජීවිතේ එක සැරයක් විතරක් කරන වැදගත් වැඩක්නෙ’
‘හරි දැං ළඟ නැකත් නෑ කිව්වොත් මොකද කරන්නෙ… අනික අම්ම අපි පොරොන්දං ගලපල හඳහං බලල බැන්දා නෙවෙයිනෙ. ඉතින් වෙඩින් එකත් අපිට නිදහස් විදිහට කරමු’
‘ඔයා කැමති විදිහට කරන්නකො එහෙනං’
වජිරා හිත නරක් කරගෙන ඉවත බලාගත්තා ය.
‘හරි හරි ඉතිං… සුබ නැකතක් බැලුව කියල මුකුත් වැරැද්දක්වත් පාඩුවක්වත් වෙන්නෑනෙ. අම්මල හිතන විදිහට හොඳක් වෙනවනං ඉතිං එ්ත් හොඳයිනෙ. අම්මල කැමතිනං ඒක කරපුදෙංකො’
යසස්වි මැදිහත් වූයේ අම්මා හා චූටි පුතා අතරේ සුළුවෙන් හෝ හිත් රිදීමක් වෙනවාට අකමැත්තෙනි. සිය විවාහය ඔවුන් අතරේ බැඳීම් වර්ධනය කරනු විනා බෙදීම් ඇති කරන්නක් නො විය යුතු ය.
‘නෑ මං කියන්නෙ ඉතිං… සමහර වෙලාවට ඕව බැලුවහම කියනවනෙ… මෙච්චර කාලයක් යනකල් වෙඩින් එක ගන්නෙපා අරව මේව…’
‘අපි ළඟම නැකත ඉල්ලල බලමුකො ඉතිං’
‘හරි හරි ඕගොල්ලො කැමති විදිහක්’
අස්විද යසස්වි ට එකඟ වෙත්දී වජිරා ගේ මුහුණේ ඇඳුණේ මඳ සිනහ රැල්ලකි. ඒ සිනහව නො කියා කීවේ ‘එයාටනං දැන්ම තියාම බයයි’ වාගේ කතාවක් වූ බැවින් අස්විද තරමක් නො සන්සුන් විය. ඔහු සිය සිතැඟි යසස්වි ඉදිරියේ දිගහැරියේ, ලා අඳුරෙහි ඔවුන් දෙදෙනා සඳැල්ලට වී කතා බහේ යෙදෙමින් සිටියදී ය.
‘එයාටයි ඉක්මනට වෙඩින් එකක් ඕනෙ කිව්වෙ… අන්තිමට මායි වැරදිකාරය වුණේ… එයා හොඳට අම්මවත් ශේප් කරගෙන… මාව නිකංම නිකං ගෑනිට බය මිනිහ ගාණට දැම්මනෙ’
‘ඒක ඉතිං එහෙමනෙ…’
යසස්වි සිනහව තද කරගෙන ඉවත බලාගත්තා ය.
‘කොහොමද…’
‘පිරිමි ඉතිං බයයිනෙ…’
‘කාටද…’
අස්විද යසස්වි ගේ මූණට එබී බැලුවේ ය. ඇය අසීරුවෙන් සිනහව හිර කරගෙන සිටියා ය.
‘ගෑනුන්ට. මං කිව්වෙ මේ ඔයා නෙවෙයි… අනිත් පිරිමි’
යසස්වි ගේ සිනහව පුපුරා ගියේ ය. අස්විද ඇගේ කන් පෙත්තක් මිරිකුවේ ය. ඈ සිය සිනහව ඔහු ගේ පපුතුර මුදාහැරියා ය.
‘ඒක බය නෙවේ හරිද… ආදරේ… එහෙම නැත්තං ගෞරවේ’
අස්විද සිය නිකට ඇගේ හිස මත්තෙහි රැඳවූයේ ය. ඔහු ගේ ස්වරයෙහි වූයේ, පාර සොයාගත නොහී ඈ අතරමං කරවන තරමේ ආදරයකි.
‘මං දන්නව ඉතිං’
යසස්වී අස්විද වෙතින් මිදී සඳැල්ලෙහි ගරාදි වැටට බර වූවා ය. අස්විද ඊට පිට දී ගත්තේ ය. ලා සඳ එළියට ඇගේ වතෙහි පැත්තක් තඹ පාට වී තිබිණ. ඔහු ඒ සඳ මඬලක් වන් සව්මිය මුව මඬල දෙස සන්සුන් දෑසකින් බලා සිටියේ ය.
‘මට ඔයා ළඟට එන්නෝනෙ තමයි. ඒත් ආන්ටිගෙ හිත රිදෙන දෙයක් කියන්නත් එපා. ඔයා මගෙ කවුරුවත්ම නොවෙන දවස් වල ඉඳංම මං දන්නව එයාගෙ හිතේ ඔයාගෙ වෙඩින් එකක් ගැන තිබුණ ආසාව. ඒ බලාපොරොත්තුව… අම්ම කෙනෙක්ට තමංගෙ දරුවො නිසා අයිති වෙන්නෝනෙ සතුටක් ඒක. ඒ දවසෙදි වැඩියෙන්ම ආඩම්බර වෙන කෙනා තමයි අම්ම කියන්නෙ. ඔයාගෙ අම්ම කොහොම අම්මෙක්ද කියල මං දන්නව. සමහර විට පිරිමි ළමයින්ට වැඩිය ගෑනු ළමයින්ට අම්මලගෙ හිත් ගැන දැනෙනව ඇති. මං නිසා වුණත් ඔයා එයාට රිද්දන්නෙපා කවදාවත්’
අස්විද මුදු ලෙස ඇගේ හිස මතින් අතක් තැබුවේ ය. නමුත් ඇයට දැනුණේ කිලෝ ගණනාවක බරකි. ඉදිරි ජීවිත කාලය පුරා ඔහු නමින් එහෙව් බරක් ඇගේ හිස මත පැටවී තැබෙනු ඇති! නමුත් අස්විද ගේ හදවතට දැනුණේ පියාපතක සැහැල්ලුවකි.