ශරදාකාසේ -26

පිලපිටිය මැදුර පිහිටන්නේ පර්චස් හතළිහක චතුරස්‍රාකාර ඉඩමක පිටුපසට වන්නට ය. ඒ නිසා එහි ඉදිරිපසත් දෙපසත් සැලකිය යුතු මිදුල් කොටසක් වේ. මැලේසියානු තණ කොළ වවා මැනෙවින් නඩත්තු කරනු ලබන ඒ මිදුලේ තැන් තැන් වල සෙවන පිණිස රතු විලාඩ් අඹ ගසක් ද, කහ පාට මල් වැල් සැලෙනා ඇහැල ගහක් ද කහ කරඳ හා මල් සමයට රෝස පාට පලස් එලනා රොබරෝසි ගසක් ද වවා තිබේ. ඒ හැරෙන්නට සුදු පාටින් පිරියම් කරනා ලද තාප්පය අයිනට වෙන්නට සමාන පරතර වලින් කහ පාට සිහින් බට දරන උණ පඳුරු සිටුවා තිබේ. ඒ අතර තාප්ප අයින් දිගට ම නො උස් විවිධ මල් පඳුරු ය. ඇහැල ගහ පා මුලට වන්නට තබා තිබූ සුදු පාට චීනච්චට්ටි උද්‍යාන පුටු කට්ටලය වෙත නිශාමනී ආකාස ව කැටුව ගියා ය. 

“මොකද ළමයො මේ ඔයාගෙ හැටි…දවසට දෙකට ඇදිල ගිහිං..ඔයාටම නේද ඕන වුණේ මේ තීරණේ ගන්න…”

ආකාස සිය සිත තුළ ඇය දුටු මොහොතේ පටන් කැකෑරුණ ප්‍රශ්නය, උද්‍යාන පුටුවෙහි හිඳ ගමන් ඇසුවේ ය. ඇය මළානික සිනහවක් පෑවා ය.

“ශාරදට සමාව දීල හුඟක් ගෑනු අය වගේ මට ආයෙ ඒ ජීවිතේ කන්ටිනිව් කරන්න බෑ තමයි. ඒත් ඔයා දන්නවද ආකාස…ලේසියට වචනෙට කිව්වට ඩිවෝස් එකක් කියන්නෙ ගෑනු කෙනෙක්ට එයාගෙ ජීවිතේ මොන වගේ බිඳ වැටීමක්ද කියල…ඒක දරා ගන්න හරි අමාරු දෙයක්. පුදුම පරාජිත හැඟීමක්…අපි අතරෙ කාලයක් තිස්සේ වෙන නොගැලපීම් ආරවුල් තිබුණනං එහෙම නොවෙන්න තිබුණා. මේක මහ අමුතු දෙයක්. අපිට කොහෙත්ම අපෙන් වෙන් වෙන්න ඕන කමක් නොතිබුණ වෙලාවක අපිට අපෙන් වෙන් වෙන්න සිද්ද වෙලා තියනව. මන් දන්නව මේක ශාරදටත් ගොඩක් අමාරු ඇති. නමුත් ඒ අමාරුව ගැන හිතල අපි ආයෙ එකට ජීවත් වෙන්න තීරණය කළොත්…අන්න එදාට මට ඉස්සර වගේ ශාරද දිහා බලන්න බැරි වෙයි. මං එයාව සැක කරයි. මං එයා එක්ක නිතර රණ්ඩු වෙයි. අපිට අපිව පේන්න බැරුව යයි. එහෙම වෙලා ආයෙ මෙතනටම එනවට වැඩිය දැන් ම මේ තීරණේ ගන්න එක හොඳයි”

නිශාමනී ට මඳ හති ගතියක් දැනිණ. නිදන්ගත රෝගයක ගොදුරක් බවට පත් ව ඇති ගැහැනියක සේ ඇය දවසට දෙකට කෘෂ වී හේ බා ගොස් තිබිණ. කෙළින් ආකාස දෙස නො බලා ඉන්නට ද ඕ ප්‍රවේසම් සහගත වූවා ය.

“ඒ කියන්නෙ ඔයා ආයෙ ශරදාකාසෙට එන්නෑ…”

“මට එන්න හේතුවක් නෑ නේද…”

“අයියත් එක්ක තිබුණ සම්බන්දකං ඉවරයි කියන්නෙ…එතනිං එහාට එතන කිසිම දෙයක් නැද්ද…මමත් ඔයාගෙ අතීතෙං මැකිලම යන සලකුණක් වෙනවද…”

මහෝඝයක් වන් පීඩනයක් නිශාමනී ව වට කර ගෙන යට කර ගෙන යන බවක් ඇයට දැනිණ. ඇස් දෙක පහළට හරවා ගත් ඕ දෘෂ්‍ය පථය බොඳ වී යනු දැනී ඉක්මන් ඇස් පිය කිහිපයක් සැළුවා ය. 

“ඊට පස්සෙ පංචලී ඔයාලගෙ ගෙදර බලා ගනී”

“ඔයා ඒක ලේසියෙං කිව්වට…ඒකට ෆේස් කරන එක ලේසි වෙන එකක් නෑ”

“කාටද…ශාරදට….”

නිශාමනී එවර නම් ආකාස ගේ දෑස් වලින් ඇතුළට එබී බැලුවා ය. ඔහු ‘නෑ’ යි හැඟවූයේ හිසෙනි.

“මට”

ඔවුන් ගේ සිව් නෙත් තත්පරයකට අඩු කාලයකට එක මත පතිත ව තිබිණ. මුලින් ඉවත බැලුවේ නිශාමනී ය.

“මාත් එක්ක තියන නෑකං ඉවර වුණාට ඔයාටයි ශාරදටයි එසඳිත් එක්ක තියන නෑකං ඉවර වෙන්නෙ නෑනෙ ආකාස”

ඔහු ටික වෙලාවක් ඇදෙස ම බලා සිටියේ ය. ඔහු ගේ ඇස් වල කතන්දර කෝටි ගණනක් වන බව, ඒ දෙස නො බලා ම හිතා ගන්නට නිශාමනී ට පුළුවන. හිත ළඟ පෝලිම් ගැසුණු කිසිදු හැඟීමක් ඔහු වචන වෙන්නට ඉඩ හැරියේ නැත. ඒ සියල්ල ඇතුළාන්තයේ සිර කඳවුරෙහි සිර කොට දමා සුසුමකට පමණක් පිට වෙන්නට හැරියේ ය.

“ලෝයර් මොකද කියන්නෙ…”

“විශේෂ දෙයක් නෑ. ශාරද ට දැනුම් දෙයි. පුළුවන් තරං ඉක්මනට ඩිවෝස් එක ලැබෙනවනං තමයි මං කැමති”

ශාරද සිය දෑස් පුරා ඇදෙස බැලුවේ ය. ඒ වගේ පිරුණු පිරිමිකාර බැල්මකට එක හෙලා මූණ දෙන්නට ගැහැනියකට වන අසීරුව මීට පෙර ද නිශාමනී ට දැනී නො තිබුණා නොවේ.

“මං එහෙම හිතුවෙ එතකොට ශාරද ට පංචලීව බඳින්න පුළුවන් නිසා. කොච්චර වුණත්…පංචලීට දරුව ලැබෙන්න කලින් ඒ දෙන්න බඳිනවනං හොඳයි”

“ඔයා මොකද්ද කරන්න ඉන්නෙ…”

“මං ඉතිං මොනා කරන්නද…ලංකාව වගේ රටක ඩිවෝස්ඩ් ගෑනු කෙනෙක්ට ෆේස් කරන්න වෙන ජීවිතේ ගැන මං කල්පනා කළා. ඒක ලේසි නෑ ආකාස. ඒක මාර චැලේන්ජ් එකක්. හැබැයි හුඟක් ගෑනු අයට මතු වෙන ආර්ථික ප්‍රශ්න මට එන එකක් නෑ තාත්තල නිසා. ආර්ථිකය විතරක් සේෆ් වුණාට ඒ අඳුරු හෙවනැලි වලින් මුළුමනින් හැංගිලා ඉන්න බැරි වෙයි. මට ඕනෙ අපේ දික්කසාදෙ එසඳිගෙ අනාගතේ උඩ කළු පැල්ලමක් නොවෙන්න විතරයි”

ශාරද ගේ ජීවිතයට බලපෑම් කළ ඔහු ගේ පියා ගේ සම්බන්ධය ආකාස ට සිහි විය. එවැනි ම හෝ ඊට සමාන හෝ වෙනස් හෝ බලපෑමක්, දික්කසාදයක් නිසා දෙපසට වන මවු පියන් ගේ දරුවන්ට ඇති නොවෙතැයි සිතිය හැකි ද? දෙදෙනෙකුට එක් ව සතුටෙන් දිවි ගෙවිය නො හැකි නම් වෙන් වීමට ඉඩ තිබිය යුතු ය යන්න ඇත්තකි. නමුත් ඒ වෙන් වීම ඒ දෙදෙනා ගේ දරුවන්ට කෙසේ බලපානු ඇත්ද කියා කොතැනක හෝ සලකා බැලෙන්නේ නැත. දෙමාපිය දෙදෙනා ගෙන් කාගේ රැකවලෙහි ඇති දැඩි වූව ද ඔවුන් ට අනිත් කෙනා අහිමි වේ. එවැනි දරුවන් ගේ සෙනෙහස් අවකාශයෙන් පිරෙන්නේ හරි අඩක් ලෙස සිතිය නො හැකි ද?

“මං කොහොම හරි එයාව හොඳ දරුවෙක් වගේ හදනව ආකාස. මං එයාට කියල දෙනව ආදරේ කියන්නෙ මොකද්ද කියල. අම්ම වගේම එයත් ආදරේ ගැන වෙනස් විදිහට හිතන දරුවෙක් වෙයි. ආදරේ කියන්නෙ තියා ගන්න එකට නෙවෙයි දෙන එකටයි කියල මං තේරුං ගත්තෙ මේ අන්තිම මොහොතෙ. හැබැයි එයා ඒක දැන්ම තියාම දැන ගනියි. එයාට තාත්තව ශෙයා කර ගන්න වුණා එයාගෙම මල්ලි හරි නංගි හරි එක්ක කියන එක එයා තේරුං ගනී”

ආකාස ඉක්මන් ඇස් පිය සැලුවේ බොඳ වෙන කඳුළු ඇස් මත්තේ ම ගබ් සා කරනු වස් ය. ඔහු ට තිබුණේ ඉතා කුඩා වූ ලෝකයකි. ඒ ලෝකය ශරදාකාසයට සීමා වන්නට සිය පෙම්වතිය ගේ නික්ම යාම බලපෑවේ ය. ඉනික්බිති එසඳි, නිශාමනී හා ශාරද හැරුණු විට ඔහු ට පුළුල් සමාජ ජීවිතයක් වූයේ නැත. 

“එසඳිට තාත්ත එයා ළඟ නෑ කියන එක දැනෙන්න දෙන්න බෑ”

ශාරද නැගී සිටියේ ඒ ස්ථිරසාර වූ ප්‍රකාශයත් සමගිනි. නිශාමනී දෑස් පුළුල් කොට ඔහු දෙස බැලුවා ය. ඇයට යනවා කියන්නේ හෝ නැතිව ඔහු ඉක්මන් ගමනින් රිය වෙත ගොස් එහි නැගුණේ ය. 

“බාප්ප…”

එසඳි ගෙතුල සිට දිව ආවේ ආකාස රිය පණ ගන්වන හඬට ය. ඔහු යළිත් රියෙන් බැස දියණිය ඔසවා ගෙන තදින් සිප ගත්තේ ය.

“අම්මි මාව ගෙදර එක්කං යන්නෙ නෑ. බාප්පි අපිව එක්කං යන්නකො.  මං ආස මගෙ ගෙදරට. තාත්තියි බාප්පියි නැතුව මට පාළුයි. අපිව එක්කං යනව නේද…”

“පාප්ප පුතාව එක්කං යන්නංකො හෙට. ම්…හෙට වෙනකල් ආච්චි ගෙදර සෙල්ලං කරන්නකො හොඳේ”

එසඳි නිශාමනී ට බාර දුන් ආකාස නික්ම ගියේ බරපතල හිත් අමාරුවකිනි. නමුත් ඔහු ගේ හිතේ යම් අදහසක් ක්‍රියා කරමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content