ආදිත්‍ය පිළිබඳව තොරතුරක් නොවූ තවත් එක් දිනක් ගෙවී ගිය අතර ඊළඟ දිනයේ දී මෞර්යා ගේ දුරකථනයෙන් චන්දික අභිමන් ඇමතුවේ අශිකා සමග කතා කරනු පිණිසය. මෙය අභිමන්ව මුණගැසුණු දිනයේ චන්දික සැලසුම් කර ගත්තේ වසර තිස් පහක් පුරාවට තමා ද නොදැන සිටි මෙම කාරණාව පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දැන ගැනීමේ බලාපොරොත්තුවෙනි.
එය සෙනසුරාදා දිනයක් වූ අතර නිල්මිණි ඇගේ මිතුරියක ගේ නිවසෙහි පැවැත්වෙන පින්කමක් සඳහා පිටව ගොස් සිටියාය. මෞර්යා ඇගේ දුරකථනයෙන් අභිමන් ගේ අංකය අමතා පෙර කතිකා කර ගත් පරිදි අශිකාව ඇමතුමට සම්බන්ධ කර ගත්තාය.
” අශිකා ”
චන්දික සන්සුන් වන්නට උත්සාහ දරමින් දුරකථනයේ අනෙක් පස උන් අශිකා ඇමතුවේය.
” අනේ චන්දික මගේ දරුවා ”
අශිකා හඬා වැටෙන්නට පටන් ගත්තාය. දින දෙකක් පුරාවට ආදිත්‍ය පිළිබඳව කිසිදු තොරතුරක් නොලද නිසා අශිකා උන්නේ හඬා වැටී හෙම්බත් වීමෙන්ය.
” අශිකා මං ඔයාට කතා කළේ මේ කාරණාව ගැන කතා කරන්න. ඔයා මේ කියන දේ ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා ඔයාට තේරෙනවා නේද ? මේකෙන් අපි හැමෝගෙම ජීවිත සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්. ඔයාට එහෙම සැකයක් තිබුණා නම් ඔයාට තිබුණා මට පණිවිඩයක් හරි දෙන්න.එහෙනම් අපිට ඒ කාලෙම මේක ගැන හොයලා බලලා විසඳුමක් ගන්න තිබුණා. ඒත් දැන් අපේ දරුවෝ හුඟක් ලොකුයි.ඒ විතරක් නෙමෙයි අපි අපේ ජීවිත වලත් හුඟක් ඉස්සරහට ඇවිත් ඉවරයි.ඒව මේ විදිහට වෙනස් වෙන්න දෙන්න බෑ අශිකා ”
චන්දික කීවේ බොහෝ දුර දිග සිතා බලාය.මේ වන විට දේවකද මේ කාරණාව පිළිබඳව දන්නා නිසා මේ මොහොතේ ඔහු සන්සුන්ව හැසිරෙන මුත් ඉදිරියේදී ඔහුගේ තීරණය කුමක් වනු ඇති දැයි සිතා ගත නොහැකිය. අනෙක් අතට මෞර්යා ගේ තත්ත්වයද ඒ තරම් යහපත් නොවන නිසා අශිකා ගේ මේ අනුමානයේ වැරදි නිවැරදි බව අනිවාර්යයෙන්ම තහවුරු කර ගත යුතුය.
” මං කොහොම කියන්නද චන්දික ? ඔයා දන්නව මං කසාද බැන්දේ මගේ උවමනාවට නෙමෙයි කියලා.අනිත් එක කසාද බැඳලා මාසයක් යන්නත් කලින් මට ආදිත්‍යව හම්බ වෙන්න ආවෙ. ඔයා කියන්නේ ආදිත්‍යය ඔයාගේ නෙමෙයි කියලද ? ”
” මම කියන්නේ නෑ එහෙම නොවෙනවා කියලා. ඒ උනාට අපිට ස්ථීරවම කියන්න බැහැ ආදිත්‍යය අපි දෙන්නගේ දරුවෙක් කියලා.ඔයා ඒ දරුවාගේ ඔලුවට මේක දාන්න කලින් ඔයාට හිතලා බලන්න තිබුණ අශිකා. මේකෙන් කී දෙනෙක් දුකට වැටිලද කියලා බලන්න. එහෙන් ඔයා ගේ දරුවා.මෙහෙන් මගේ දරුවා. මේක මීට වැඩිය හොඳ විදිහකට විසඳ ගන්න තිබුණ අශික අපිට ”
තමා ඉක්මන් වීම නිසා සිදු වී ඇති විනාශය පිළිබඳව අශිකා දහස් වරක් හදවතින් තැවුනාය. සියල්ලටම පෙර ආදිත්‍යය පිළිබඳව විස්තරයක් සොයා ගත යුතු බවත් ඒ සඳහා තමාට කළ හැකි සියල්ලක්ම කරනා බවටත් පොරොන්දු වෙමින් චන්දික දුරකථන ඇමතුම අවසන් කළේ තවදුරටත් අශිකා ගේ හදවත පෑරීම නොකළ යුතු නිසාය.
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ තමාගේ සහාය නිවසට අත්‍යවශ්‍ය බැවින් දේවක දින කිහිපයකට නිවසෙහි නතර වීමට පැමිණියේය.එය අභිමන්ට මෙන්ම අශිකාටද විශාල අස්වැසිල්ලක් විය.
ගාලු පුරවරයේ වෙරළ තීරයක තැබූ බංකුවක අසුන් ගෙන ආදිත්‍ය රළ බිඳෙන ආකාරය බලා උන්නේය. මෞර්යාව මුණගැසුණු පළමු වන දිනයේ සිට ඇයව මුණ ගැසුණු අවසන් හවස් වරුව දක්වාම මතක මෙනෙහි කරමින් ආදිත්‍යය දෑස් අගිස්සට ඉනූ කඳුළු බිඳු පිසදා ගත්තේය. මේ වන විට තම පවුලේ අයද මෞර්යාද තමා නොමැති ශෝකයෙන් කල් ගෙවනවා ඇත. කළ යුත්තේ කුමක් දැයි යනුවෙන් නිශ්චිත තීරණයක් නොමැතිව නිවසින් පිට වී පැමිණියද සියල්ලන් ගෙන්ම ඈත් වී ජීවත් වීම මේ තරම් අසීරු කාරණාවක් වනු ඇතැයි ආදිත්‍ය සිහිනෙකින් වත් සිතා තිබුණේ නැත. තමා ගේ අතුරුදහන් වීම අශිකා කෙසේ දරා ගනු ඇති දැයි සිතා බලද්දී ආදිත්‍යය හට දැනුණේ ඇය කෙරෙහි විශාල අනුකම්පාවකි. අතීතයේදී ඇය අතින් සිදු වූ වැරදි වලට මේ වන විට ඇය විශාල ලෙස විඳවමින් සිටිනවා විය හැකිය.ඒ ගැන සිතන විට ආදිත්‍යය හට දැනුනේද පසුතැවීමකි.
ආදිත්‍යය සාක්කුවේ තිබූ දුරකථනය ගෙන එය ක්‍රියාත්මක කළේ දින දෙකකට පසුවය. කෙටි පණිවිඩ , මගහැරුණු ඇමතුම් පිළිබඳව පණිවිඩ බොහෝමයක් එක දිගට පැමිණ අවසන් වනතුරු ආදිත්‍ය බලා උන්නේය. අනතුරුව අභිමන් විසින්ද මෞර්යා විසින්ද එවා ඇති කෙටි පණිවිඩ සහ වට්සැප් පණිවිඩ කියවා බැලූ ආදිත්‍යය තවත් බොහෝ වාරයක් කල්පනා කිරීමෙන් පසුව අභිමන් හට දුරකථන ඇමතුමක් ගත්තේය.
” මල්ලි ”
තත්පර ගණනාවක් ඇතුළතදී අභිමන් දුරකථන ඇමතුමට සම්බන්ධ වූයේය.
” අනේ දෙයියනේ අයියා ඔයා කොහෙද ඉන්නේ? “
අභිමන් දුරකථන ඇමතුමේ අනෙක් පස සිට කෑගැසුවේය
” අම්මා ළඟ ඉන්නවද මල්ලි ? ”
” අම්මා පල්ලෙහා. අනේ ඔයා මොකක්ද අයියා මේ කරන්නේ ? ”
ආදිත්‍ය නිහඬ වූයේය.තමා සිහිනෙකින් වත් බලාපොරොත්තු නොවූ කාරණාවක් දැන ගන්නට ලැබුණු ඒ මූසල සන්ධ්‍යාව ආදිත්‍යය නැවතත් සිහිපත් කළේ ශෝකයෙනි.
” මට කරන්න වෙන දෙයක් හිතා ගන්න බැරි වුණා මල්ලි. මං හරි අසරණයි ”
” අයියා ඔයා මං කියන දේ පොඩ්ඩක් අහන්න “
අභිමන් කීවේ ආදිත්‍ය දුරකථන ඇමතුම විසන්ධි කරතැයි බියෙනි
” මොකද්ද ? ”
” එදා උනේ මොකක්ද කියලා මම දන්නවා.මං විතරක් නෙමෙයි ඒක තාත්තා , මෞර්යා වගේම එයාගෙ තාත්තත් දන්නවා.”
” අනේ මල්ලි ඒකෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එකනේ. මං මෙහෙම ආවේ ප්‍රශ්න වැඩි කරන්න හිතා ගෙන නෙමෙයි. මෞර්යා උනත් කාලයක් යනකොට හිත හදා ගනී.සමහර විට එයා ඔයාට ආදරේ කරන්නත් පුළුවන්.ඒ තැනට එයාගේ හිත හදන්න බලන්න ”
අභිමන් එසේ කීවේ හිතකින් නොවේ. එහෙත් මේ මොහොතේදී කළ හැකි යමක් නැත. මෞර්යා තමාට කොතරම් ආදරය කළද මේ කාරණාවේ දී ඇයට පියවරක් පසු පසට ගෙන හිත හදා ගැනීමට සිදු වනු ඇත.
” අපි හැමෝම මේක ගැන කතා කළා අයියා. තාත්තා උනත් මේ ප්‍රශ්නෙ තේරුම් අර ගෙන ඉන්නේ .මේක අම්ම ගේ සැකයක් විතරයි.ඒක හරියටම ඔප්පු කර ගන්න නම් ඔයා ආපහු ගෙදර එන්න ඕනේ.එහෙම නැතුව මේ ප්‍රශ්නෙන් පැනලා යන එක නෙමෙයි අයියා ඔයා කරන්න ඕනේ.තාත්තා උනත් හැමදාම කලේ ප්‍රශ්න වලින් පැනලා යන එක.ඒකෙන් මේ ගේ ඇතුළෙ තිබ්බ එක ප්‍රශ්නයක් වත් විසඳුනාද ? මේ ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි මේ කතාව ඇත්තද නැත්තද කියලා හොයා ගන්නත් පුළුවන් කම තියෙද්දි ඔයා අපි හැමෝගෙන්ම හැංගිලා ඉන්න එකේ තේරුම මොකද්ද? ”
අභිමන් කියන්නේ සත්‍යය ය. තාක්ෂණය බොහෝ දියුණු කලෙක මෙතරම් සංවේදී කාරණාවක් පහසුවෙන්ම ඔප්පු කර ගැනීමට හැකියාව තිබෙද්දී තමා මෙලෙස සැඟවී සිටීමෙහි අර්ථයක් නැතැයි ආදිත්‍ය හට පළමු වතාවට සිතුනි.
” ඔයා නිකමට හිතන්න , මේක අම්මගේ සැකයක් විතර නං, මේ කතාව බොරුවක් නං ඔයා මෞර්යාට කරන්නේ කොච්චර අසාධාරණයක්ද ? අපි හැමෝම දාලා ගිහින් ඔයා අපිට කරන්නේ කොච්චර ලොකු අසාධාරණයක්ද ? අඩුම ගානෙ ඔයාට තිබුණා ගෙදරින් යන්න කලින් මට හරි මේ ගැන කියන්න. එහෙනම් අපිට තිබුණා කතා කරලා බලලා මොකක් හරි විසඳුමක් හොයා ගන්න.මෙච්චර කල් මේ ගේ ඇතුලේ අපි මූණ දුන්නේ මේ වගේ දේවල් වලටද අයියා ? ඔයා මෙහෙම හැංගිලා ඉන්න එකෙන් වෙන්නේ අපි හැමෝම විඳවන එක මිසක් මේ ප්‍රශ්නෙ විසදෙන එක නෙමෙයි . අම්මා උනත් ඉන්නේ ලොකු පසුතැවිල්ලකින්. අඩුම ගානේ එයාට ඒකෙන් නිදහස් වෙන්න වත් ඔයා ගෙදර ඇවිල්ලා මේ ප්‍රශ්නෙ හරියට විසඳ ගන්න ඕනේ. ඔයා ගෙදර එන එකෙන් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. තාත්තා උනත් ආපහු ගෙදර ඇවිල්ලා ඉන්නේ ”
ලද අවස්ථාවෙන් අභිමන් කිවයුතු සියල්ලක්ම ආදිත්‍යය වෙත කියා දැම්මේය.නැවත නිවසට පැමිණෙනවා නම් මේ කාරණා කිහිපය ආදිත්‍යය හට හොඳටම ප්රමාණවත්ය.
” ඔයා කියන්නේ මං ගෙදර ආවොත් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලද මල්ලි ? ”