ආදිත්‍යය දුරකථන ඇමතුමක් ලබා දීම අශිකා ගේ සිතට මද අස්වැසිල්ලක් එකතු කලද ඇය පසු වූයේ දෙගිඩියාවෙනි. ආදිත්‍ය කොයි මොහොතේ හෝ නිවසට පැමිණෙතැයි කියා සහ දුරකථන ඇමතුමක් ලබා දෙතැයි කියා අශිකා බලාපොරොත්තුවෙන් උන්නද තවත් දින දෙකක් ගත වන තුරුත් ආදිත්‍යය පිළිබඳව කිසිදු ආරංචියක් ලැබුණේ නැත. අභිමන් හට දුරකථන ඇමතුම ලබා දීමෙන් පසුව නැවතත් ආදිත්‍ය විසින් ඔහු ගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුණි.
මෞර්යා දින ගත කළේ කැළඹීමෙනි. ආදිත්‍යය සුවෙන් පසු වන බව අභිමන් මාර්ගයෙන් දැන ගන්නට ලැබුණද මෞර්යාට උවමනා වූයේ ආදිත්‍යව දැකීමට සහ ඔහු සමග කතා කිරීමටය. බොහෝ නිහඬව කල් ගත කරන තම දියණිය ගේ වෙනස හඳුනා ගැනීමට නිල්මිණිට අපහසු නොවූ අතර ඇය උන්නේ ඒ පිළිබඳව චන්දික සමග කතා බහ කිරීමට අවස්ථාවක් පැමිණෙන තුරුය.
රාත්‍රී ආහාරයෙන් පසුව චන්දික පොතක් කියවමින් ඇඳ මතට වී හුන් අතර නිල්මිණී කන්නාඩි මේසය ඉදිරිපිට වාඩි වී කොණ්ඩය පීරමින් කණ්නාඩියෙන් පෙනෙන චන්දිකගේ රුව දෙස බැලූවාය.
” ඇහුනද චන්දික ? ”
චන්දික පොත වෙතට දෑස් යොමු කර ගෙන සිටියද ඔහු උන්නේ කල්පනාබරවය. එහෙත් නිල්මිණි තමා අමතන හඬ චන්දික හට පැහැදිලිවම ඇසුණේය.
” මොකක්ද අශිකා ? “
නිල්මිණි පනාව කණ්ණාඩි මේසය මත තබා එහෙමම චන්දික දෙසට හැරුනාය. චන්දික උපැස් යුවළ ගලවා අත තිබූ පොතද වසාා දැම්මේය. නිල්මිණීගේ මුහුණේ රැඳී තිබුණේ බැරෑරුම් බවකි.
” ඔයාට දුවගෙ වෙනසක් තේරෙන්නේ නැද්ද ? ”
චන්දික සුසුමක් මුදා හලේය. මෞර්යා ගේ වෙනස පිළිබඳව සහ ඇය මේ මොහොතේ සිටිනා තත්ත්වය පිළිබඳව නිල්මිණී සමග සාකච්ඡා කිරීමට මග බලමින් උන්නද හිතේ තිබූ චකිතය නිසාවෙන් චන්දික එය කල් තබමින් උන්නේය.
” තේරෙනවා “
චන්දික පිළිතුරු දුන්නේය. නිල්මිණි වාඩි වී හුන් තැනින් නැගිට විත් ඇඳේ කෙළවරකින් වාඩි වූවාය.
” ඔයාට හිතෙන්නේ ඒ ඇයි කියලද චන්දික ? ”
නිල්මිණී විමසුවේ සාමාන්‍යයෙන් චන්දික යනු මෞර්යාගේ ඕනෑම කුඩා වෙනසක් පවා හඳුනා ගන්නා නිසාය.
” දරුවා ඉන්නේ ප්‍රශ්නෙක නිල්මිණි. මං මේ ගැන ඔයාට කියන්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටියේ.ඒත් ඒක කියන්න තරං මට හයියක් තිබුනේ නැහැ ”
චන්දික පාපොච්චාරණයක ස්වරයෙන් කීවේය. තම දියණිය පත්ව ඇති තත්ත්වය දැන ගැනීමට ඇගේ මව ලෙස නිල්මිනී හට සම්පූර්ණ අයිතිය ඇති අතර තමා ගේ තත්ත්වය දැන ගැනීමට ද තමාගේ බිරිඳ ලෙස ඇයට අයිතියක් ඇත. ඒ අයිතිය උදුරා ගැනීම කිසිසේත්ම කළ නොහැක.
” මොනාද චන්දික ඔයා මේ කියවන්නේ ? ”
නිල්මිණී ඇසුවේ පුදුමයෙනි.
” මේ සිද්ධ වෙන දේවල් කොහෙන් කෙළවර වෙයිද කියන්න මම දන්නෙ නෑ නිල්මිණි. ඒත් ඔයාගෙ හිත රිද්දන්න මට ඕන උනේ නැහැ. මොකද වැටිලා හිටපු තැනින් මට ගොඩ එන්න අත දුන්නේ ඔයා ”
නිල්මිණී උන්නේ චන්දික කියනා කිසිවක් වටහා ගැනීමට නොහැකිවය. තමා ඇසුවේ එකකි.චන්දික කියන්නේ තව එකකි.නිල්මිණි ඒවා ගලපා ගැනීමට උත්සාහ කළද එසේ කළ හැකි වූයේ නැත.
” කියන දෙයක් තේරෙන්න කියන්නකො චන්දික. මගේ ඔළුවත් අවුල් කරනවා ඔයා ”
චන්දික තවත් මොහොතක් දෙකක් පමා වූයේය. සමහර විට මෙය නිල්මිණී සහ තමා අතර බැඳීම දෙදරා යන ගැටලුවක් දක්වා වුවද වර්ධනය විය හැක. එසේ කියා මේ සිදුවන කිසිවක් ඇය ගෙන් සැඟ වීමද විශාල අසාධාරණයකි.
” මෞර්යා මොකක් හරි පටලැවිල්ලක් වත් හදා ගෙනද ? ”
නිල්මිණී ඇසුවේ අනුමානයටය. මෙවැනි වයසක පසු වන තරුණියක ගේ හැසිරීමේ හදිසි වෙනස්කමක් පවතිනවා නම් එය බොහෝ දුරට ප්‍රේම සම්බන්ධයක් හේතු කොට ගෙන වීම අතිශය සාමාන්‍ය දෙයකි.දෙමව්පියන් වශයෙන් එවැනි ගැටලු වලට මුහුණ දීම කළ යුත්තේ ද ඉතාම කල්පනාකාරීවය.මෞර්යා මේ මොහොතේ සිටින්නේ එවැනි ගැටළුවක නම් ඉතා නුවණැති ලෙස එයට මුහුණ දීමට නිල්මිණි සිතා ගත්තාය.
” පටලැවිල්ලක් වගේ දෙයක් නම් තමයි. ඒත් ඒක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි නිල්මිණි. එයා ඒ හදා ගෙන තියෙන පටලැවිල්ල නිසා මමත් පටලැවිලා ඉන්නේ ”
” ඇයි මේ ළමයා පටලැවිලා තියෙන්නේ අපිට නොගැලපෙන තැනකටද චන්දික ? ”
නිල්මිණී ඇසුවේ හඬ බාල කරය. නමුත් මෞර්යා එවැනි සම්බන්ධයක පැටලීමට තරම් අනුවණ තරුණියක ද නොවේ.
” ඔයාට මතකද අශිකා ව ?”
චන්දික ඇසුවේ නිල්මිණී ගේ දෑස් මඟ හරින අතරේය. නිල්මිණී මොහොතක් නැවතී කල්පනා කළාය. අශිකා යනු කවුරුන් දැයි ඇගේ මතකයට පැමිණියේ ඉන් අනතුරුවය.
” අශිකා කිව්වේ…… ”
” ඔව්. ඔයා හිතන කෙනා තමයි. මෞර්යා පැටලිලා ඉන්නෙ එයා ගේ ලොකු පුතා එක්ක ”
නිල්මිණී පුදුමයෙන් එක් අතකින් මුව වසා ගත්තාය. මෞර්යා මෙවැන්නකට සම්බන්ධ වූයේ කෙසේ දැයි සිතා ගත නොහැකි වුවත් මේ ගැටළුව චන්දික දැන ගත් ආකාරය , ඔහු මේ පිළිබඳව වියවුලට පත්ව සිටිනා කාරණාව නිල්මිණී කල්පනා කළාය.
” ඔයා කොහොමද මේවා දන්නේ චන්දික ? ”
පිළිතුරු දීම වෙනුවට චන්දික කළේ දිගු සුසුමක් හෙලීමය. මේවා නිල්මිණී හට සැඟවිය යුතු නොවේ. ඇය පිටස්තරයෙකුගෙන් හෝ වෙනත් ආකාරයකින් මේ කාරණා දැන ගැනීමට පෙර , ඒවා දැනගෙන සිත රිදවා ගැනීමට පෙර ඇගේ ස්වාමිපුරුෂයා වශයෙන් මේවා ඇයට කියා තැබිය යුතුය. නැත හොත් තමා සිදු කරන්නේ තමා ගේ ජීවිතය ගොඩ ගත් නිල්මිණී හට ද්‍රෝහී වීමකි.
” අවුරුදු තිස් ගානකට පස්සේ මං අශිකාව දැක්කේ මෞර්යා ඔෆිස් ට්‍රිප් එක යන දවසේ. එදා එතන අශිකා ඉන්න කොට මෞර්යා තමයි මට කිව්වේ ඒ එයා ගේ බොස්ලා දෙන්න ගෙ අම්මා කියලා ”
චන්දික කියන ආකාරයට එය අහඹු හමුවීමකි. ඔහුගේ ජීවිතය වෙනුවෙන් තමා කළ කැප කිරීම් වලට අනුව කිසිසේත්ම ඔහුට තමාව රැවටීම කල නොහැක.
” ඔයා එයත් එක්ක කතා කළාද චන්දික ? ”
” නෑ නිල්මිණි . මං අශිකාව දැක්කට එයා මාව දැක්කෙවත් නැහැ. පස්සේ තමයි මං ඒ පවුලේ තියෙන ප්‍රශ්න ගැන දැන ගත්තේ. ඒවා ගැන දැන ගත්තහම මං දුක් උනත් මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මොකද අපි දෙන්නම දෙපැත්තකට වෙලා ජීවිත දෙකක් පටන් ගත්තෙ මීට අවුරුදු තිස් ගානකට කලින් නේ.අපි ඉන්නෙ ආපහු හැරෙන්න පුළුවන් වයසක වත් , හැරෙන්න පුළුවන් තත්වෙක වත් නෙමෙයිනේ “
චන්දික එවැන්නක් සිතීම පවා සැනසීමකි. චන්දික අශිකාට කළ ආදරය සහ ඔවුන් දෙදෙනා අතර තිබූ දුර දිග ගිය සම්බන්ධතාවය චන්දික කිසි දිනකත් තමාට සැඟවූයේ නැත.තමා චන්දික හා විවාහ වූයේ ද චන්දිකගේ දියුණුව උදෙසා කැපකිරීම් කළේද ඒ සියල්ල පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව බව නිල්මිණී යළි සිහිපත් කළාය.
” ඔයාගේ birthday එක දවසේ ඔයාට gifts ගන්න යනකොට අශිකාව මූණට හම්බ වෙලා කතා කළා. එතනින් එහාටවත් අපි ආපහු හම්බ උනේ වත් කතා කළේ වත් නැහැ වැරදිලා වත්. මොකද මට කවදාවත් ඔයා ගෙනුයි දුව ගෙනුයි තොර ලෝකයක් නැහැ නිල්මිණි ”
” හරි ඒ ඔක්කොම හරි කියලා කියමුකෝ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද චන්දික ? ”
” මෞර්යා ඔය ඔෆිස් එකට යන්න කලින් තමයි එයාට ජොගින් ට්‍රැක් එකේදි ආදිත්‍යව හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අශිකා ගේ ලොකු පුතා. කොහොම හරි ඒ ළමයත් ඉඳලා තියෙන්නේ ප්‍රශ්නෙක. පහුගිය කාලෙ ඒ ළමයා ඩිවෝස් උනා ”
චන්දික නතර වූයේය.නිල්මිණි තවමත් උන්නේ මේ කතාවල අගක් මුලක් ගලපා ගත නොහැකිවය.
” කොහොමින් හරි මෞර්යා ඒ ළමයා එක්ක සම්බන්ධයක් පටන් අරගෙන. ඇත්තටම ආදිත්‍ය කියන්නේ කියන්න කිසිම නරකක් නැති ගුණ යහපත් ළමයෙක් ”
” ඉතින් එහෙනම් මෙතන තියෙන වැරැද්ද මොකද්ද චන්දික? එයා අශිකාගේ පුතා වෙච්ච එකද ? ”
” නෑ නිල්මිණි.මෙතන ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ”