සීත මාරුතේ -12

ගුරු නිවාසයේ මිදුලේ සමන් පිච්ච මල් ගාලෙන් මම මල් ටිකක් නෙලා ගෙන ගියෙමි. මිස්ට් ෆීල්ඩ් කාර්යාලයේ පොදු බරාඳය දොරකඩ අළු පැහැති කොංක්‍රීට් කුළුණක් මත වඩමවා ඇති ගලෙන් නෙලූ සමාධි බුදු පිලිමයකි. ඒ පිළිමයේ සමාධිය, එහි ගිය ප්‍රථම දින පටන් මා තුළ සමවත් සුවයක් ඇති කරයි. දැල්වෙන නිවෙන බෝ කොළයක හැඩැති සූත්‍රිකාවක් සහිත විදුලි පහනක් දල්වා තිබුණා මිසක එහි දිනපතා පහන් දැල්වූයේ නැත. ඒ තරම් මල් පිපෙනා අඩවියක මල් ටිකක් පිදුනේ ද නැත. 

දිසානායක මහතා සමු ගෙන ගියා ට පසු දා මිස්ට් ෆීල්ඩ් වෙත යත්දී මා තුළ යම් කිසි වගකීම් සහගත බවක් විය. වෙන දා ඔහුත් එක්ක බෙදා ගත් කාර්යාල කාමරයේ දැන් මා තනිව ය!

මා එහි යත්දී කිසිවෙකු පැමිණ ඇති බවක් නො පෙනිණ. මම තිර රෙදි විවර කොට දුහුවිලි පිස දමා අතු ගාන්නට පටන් ගතිමි. මුණිවර ගේත් සුපර්වයිසර් වරයා ගේත් කුටි දෙක ම වීදුරු ගෙවල් යයි කියන්නට පුළුවන. ඒවා විශාල වීදුරු තලා වලින් නිමවා තිබෙන්නේ හාත්පස මුළුමනින් පෙනෙනා සේ ය. සැබවින් කුටිය තුළ සිටියදී ද දැනෙන්නේ පිටත අවකාශයෙහි සිටින්නා සේ ය. මෑත ඩේලියා, ඩේසි හා ලිලී මල් පිපුණ පාත්ති ය. ඊට ඔබ්බෙන් සරුවට වැඩුණු ලා කොළ පැහැති තණ පලස ය. ඉතා ඈතින් නිල් කඳු යාය දිස් වේ. ඒවායේ පෙනීම මොහොතින් මොහොත වෙනස් කරනා තීරණාත්මක සාධකය වන්නේ මීදුම ය. මේ කුටිය තුළ සිට මුළු පරිසරය චිත්‍රයක් ව දකින්නටත් විඳින්නටත් පුළුවන.

“ඇයි ඔයා අතුගාන්නෙ…ක්ලීන් කරන අය නැද්ද…”

මම එහඬින් තිගැස්සී ගියෙමි. මුණිවර කලිසම් සාක්කු වල දෑත් ඔබා ගෙන මා ළඟ සිට ගෙන සිටියේ ය. මම ඉක්මන් සිනහවක් නගා ගතිමි.

“ගුඩ් මෝනිං මිස්ට මුණිවර. ක්ලීන් කරන අය තාම ඇවිත් නෑ වගේ. මං හිතන්නෙ මං ටිකක් කලින් ඇවිත්. ඉතිං පොඩ්ඩක් අතුගා ගත්ත”

“තමුන්ට අදාල ඩියුටි එක කළාම ඇති. ඕක පුරුද්දට ගියොත් ක්ලීන් කරණ අය මේ පැත්ත අත් අරියි”

ගොරවමින් හෙතෙම සිය කුටියේ දොර ඇරියේ ය. පිරිසිඳු කරනා සේවිකාව සිය කාරිය සඳහා පැමිණියේ ඒ වෙලාවේ ම ය. ඇය මගේ අතින් කොස්ස උදුරා ගත්තේ බියපත් ව මුණිවර දෙසත් මදෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

“අනේ සුදු මැණිකෙ…මොනාද මේ කරන්නෙ දෙයියෝ…මං ඉන්නෙ අතුගාන්න…චූටි මිස් මොකටද ඒව කරන්න ගියේ…”

“සෙල්වරානි සර්ගෙ රූම් එක ක්ලීන් කරන්න”

මම දෑත් සෝදා ගෙන මා ගෙන ආ සමන් පිච්ච මල් සුදු පීරිසියක තබා බුදුන් ට පූජා කළෙමි. දෑත් පපුවේ බැඳ වැඳ ගෙන සමාධි බුදු රුව දෙස බලා සිටියදී සිත සන්සුන් වී අලුත් ශක්තියක් හදවතට කාන්දු වෙනවා දැනිණ.

“අපේ ජීවිතේ කොයි වැඩකට කලිනුත් ආගම කියන දේ තියෙන්න ඕනෙ. අපි අදහන ඕන ම ආගමක්…ඒක තමයි අංක එක. මනුස්සකං තියන මිනිස්සු විදිහට අපිට වැඩ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නෙ එතකොට…”

අප්පච්චි ගේ හඬ මගේ සවන් අසලින් ම ඇසෙන්නා සේ දැනිණ. ඔහු සිය ගෝලයන්ට ද අපට ද ලබා දුන් ජීවිතයේ වැදගත් ම උපදේශයක් සේ ඒ හැඳින්විය හැකි ය.

ඉන්පසු කුටියට ගිය මම පොත් පෙරළා ගෙන දවසේ වැඩ කටයුතු ඇරඹුවෙමි. සියලු අංශ වල දෛනික ව සිදු වෙන කටයුතු පොත් වල වාර්තා කළ යුතු වේ. නිකුත් කරනා පොහොර හා සත්ව ආහාර ප්‍රමාණයන් සේ ම කුකුළු කොටුවෙන් එකතු වෙන බිත්තර ගණන හා එක් එක් හරිතාගාරයෙන් දෛනික ව කැපෙනා මල් ගණන ද ඒ පොත් වල සටහන් දැමේ. ඉන් පසු ඒවා පරිගණක ගත කෙරේ. 

දවසේ මුල් ම කටයුත්ත වන්නේ මල් කඩන්නන් විසින් කැඩූ මල් ඒවා අසුරන අංශයේ දී  නිසි පරිදි ලේබල් කොට ඒ ඒ පැති වලට ගමන් ගන්නා වාහන වලට යොමු කිරීම ය. මේ වාහන තුළ මල් පර නොවී තබා ගනු වස් ශීතකරණ තත්ව තිබේ. 

ඒ කටයුත්තෙන් පසු සයිට් එකේ යා යුතු ය. අවශ්‍ය පොත් කිහිපය ස්කූටියේ ඉදිරිපස ලාච්චුවේ දමා ගෙන මා එය පණ ගන්වන විට ම මුණිවර මිදුලට බැස්සේ ය. 

“යමු අද මාත් සයිට් විසිට් එකක් එනව”

මගේ පපුව හෙලවී යනවා මට දැනිණ. ඔහු එක සිනහ පොදක බුරුලක් නො දෙන්නේ වී ද, ඒ හඬෙහි ඕනෑ නැති තරම් අහංකාරයක් තැවරී ඇත්තේ වී ද මුණිවර කියන්නේ දැන් බැතින් හදවත උඩ මළුවෙහි පිදුම් කෙරෙනා ආගමකි. දිසානායක මහතා විසින් පාවිච්චි කරනා ලද ස්කූටරය පැද ගෙන ඔහු මට ඉස්සර විය. මා මඳක් පහු වූයේ හිතා මතා ම ය. ඔහු මාත් එක්ක සයිට් එකේ ඇවිදින්නට යයි. මේ පපුවේ ගැස්ම නිසා ස්කූටිය පෙරළී මා ඇද වැටේවිද කියන සිතිවිල්ල පවා විටෙක මා තුළ ඇති නො වූවා නොවේ. දෑත් ඇතැම් විටෙක වෙව්ලා යනවා ද මට දැනිණ. 

දිසානායක මහතා සමග පැමිණි වාර වලදී ට වඩා ගරු සරු බවක් මුණිවර නිසා ඒ ඒ තැන් වල වැඩ කරන පිරිස ගෙන් ලැබිණ. ඇතැම් විට මුණිවර මේ විදිහට පැමිණීම ගැන ඔවුන් හදිසි විශ්මයකට පත් වන්නට ද ඇත.

“මේ මිස්ට කවුරුත් උපරිම සහයෝගය දෙන්න ඕන…තේරුණාද…මට හැම දාම එන්න බැරි වෙයි. හැබැයි මට වගේම මන්දාකිණී මිස්ටත් අවශ්‍ය දේවල් කරල දෙන්න ඕනෙ”

මට ඔහු ගේ අත් ගොබයක දෑතින් හ එල්ලී ගෙන තදින් ඒ උර මඬල සිප ගන්නට ඕනෑ වූයේ ය. සත්තකට මා වෙනුවෙන් ඔහු එවන් පෙනී සිටීමක් කරතැයි මම කොහෙත් ම බලාපොරොත්තු නොවුණෙමි. මට කිසිදු බුරුලක් නො පෙන්වූවා ට සෙවකයන් ඉදිරියේ දී ඔහු මුළුමනින් මගේ පැත්තේ සිටියේ ය. 

ආපසු කාර්යාලය වෙත එන ගමනේ දී මා ස්කූටිය පැද ආවේ කිරිල්ලියක ගේ සැහැල්ලු ප්‍රීතියෙනි. සුළඟ සීතලට මගේ පපුවේ හැපුණේ ය. කෝටි ගණනක් මල් වල සුවඳ මට හාදු දිදී ඔට්ටු තාං කළේ ය. ඒ සැහැල්ලුව වූ කලී වචන ප්‍රකෝටි ගණනකින් වුව විස්තර කළ නො හැකි විදිහේ එකකි. 

“මල් පූජ කරපු එක හොඳයි”

අප ආපසු කාර්යාලය වෙත එත්දී ආඩම්බරකාරයා ආඩම්බර ලෙස කියා ගෙන සිය කුටියට ගියේ ය. මම නෝක්කඩු බැල්මකින් බලා සිටියෙමි. ඒ ගැන ප්‍රශංසා කරන්නට වචන පහ හයක් වැය කරන්නට ඔහු ට බැරි ද? නමුත් මගේ බැල්ම දකින්නට ඔහු මදෙස බැලුවේ නැත.

“නංගි කිව්ව වගේ ජූජක බමුණෙක්ම තමයි”

මම පසු දා සඳහා මල් ඕඩර ලබා ගෙන මල් කඩන්නන්ට ඒවායේ ලැයිස්තු ලබා දීමෙන් පසු හරිතාගාර වෙත ගොස් ඒවායේ පිපෙන්නට නියමිත සියලු මල් පොහොට්ටු පරීක්ෂා කිරීමේ යෙදුණෙමි. දවස අවසානයේ ගතට යම් කිසි විඩාවක් දැනුණත්, පිපුණු මලකටත් වඩා මම හිතින් ප්‍රබෝධවත් ව සිටියෙමි.

හවස ලැබුණ ඉසිඹුවක දී මම දිය දහර ඉවුරේ තණ පළසෙහි දණ හොවා මාළුන්ට පාන් කන්නට දුන්නෙමි. උන් රංචුව පොර කමින් පාන් කත්දී මම ඒ දර්ශනය දුරකතන කැමරාවෙහි සටහන් කර ගනිමින් සිටියෙමි.

“මන්දාකිණී”

එහඬින් මා තිගැස්සී යන්නට ඇත. මා මුලින් දුටුවේ මුණිවර ගේ දිලිසෙන කළු සපත්තු ය. මම වහා නැගී සිටියෙමි.

“අපේ ඕබීඒ එකේ ඒජීඑම් එක මේ වීක් එන්ඩ් එකේ නිසා මං ටිකක් බිසී. මන්දාකිණී වැඩ ටික හරියට බලන්න. මාළුත් එක්ක සෙල්ලං කර කර ඉන්නෙ නැතුව”

“මට ආරංචි වුණා. මිස්ට මුණිවර ඩිපියුටි ප්‍රසිඩන්ට්..”

“සීනියර් වයිස් ප්‍රසිඩන්ට්”

ඒ හඬ සේ ම බැල්ම ද ආඩම්බර ය. නමුත් ඔහු ට එය ආභරණයක් මෙනි. වෙන කොල්ලෙකු ඔය විදිහට ආඩම්බරකම් පෑවා නම් මට ඔහු ගේ මූණවත් ඉන් පසු බලන්නට නො සිතෙන බව සහතික ය. නමුත් මේ ආඩම්බර කාරයා ට යන්නට හැර පිටුපසින් ගොස් ඔහු වැළඳ ගන්නට තරම් ස්නේහයක් මට ඔහු ගැන දැනේ.

“හරි ඉතිං ඔය දෙකම එකනෙ”

මා එසේ කියන විට ඔහු ඒ හඬ නෑසෙන දුරකට ගොසිනි.

ඊළඟ දෙදින ඔහු මිස්ට් ෆීල්ඩ් වෙත ආවා නාවා ගාන ය. නංගී කීවේ ඔහු හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ම පාසලේ රැඳෙමින් නොයෙකුත් කටයුතු වල නිරත ව සිටි බවයි.

සිකුරාදා සෙනසුරාදා හා ඉරිදා යන තෙදින ආදි ශිෂ්‍ය හමුව සඳහා වෙන් වේ. සිකුරාදා යනු ආදි සිසුන් පාසලට එන දිනයයි. බොහෝ ආදි සිසුන් දැනට සිටින්නේ කොළඹ ඇතුළු ව දිවයින පුරා විසිරී ය. ඒ ඒ ප්‍රදේශ වල සිටිනා අය එක් වී බොහෝ විට වැඩි පිරිසකට එක වර යත හැකි වාහන ගෙන පැමිණෙති. මට ඒ විස්තර කීවේ මුණිවර ය.

“ඔය එන ගමන් ඉතින් කරන්නෙ බොන එක තමයි. දන්නැද්ද උන් සෙට් වෙන්නෙ හුඟක් වෙලාවට අවුරුද්දකට ම සැරයක් ඒජීඑම් එකට එන්නමනෙ”

මිස්ට් ෆීල්ඩ් වෙත විත් වැඩ කටයුතු ගැන මා විමසමින් සිටි වෙලාවක ඔහු ඒ පිළිතුර දුන්නේ දින තුනක් ඔය වැඩේට කුමකට දැයි මා විමසූ පැනයට පිළිතුරු වශයෙනි. වෙනත් ප්‍රශ්නයක දී නම් මූණ පුප්පා ගෙන කෙටි පිළිතුරක් දෙන ඔහු මේ මාතෘකාවේ දී මෘදු සෞම්‍ය පිරිමියෙකු වන බව මට දැනී තිබිණි. මා හිතා මතා ම ඒ ගැන ඒ කලබල අස්සේත් කතාව ඇද ගත්තේ ඔහු දොඩමළු වනු දැකීමේ ආශාවෙන් ම ය. මුණිවර ගේ මුහුණ මත අර ගැහැනු හිත් වසඟ කර ගන්නා සිනහව පිපී ගෙන ආවේ ය. මට ඕනෑ වූයේ තව තවත් ඒ සිනහව දකිමින් ඔහු ළඟට වී ඉන්නට ය.

“එතකොට දැං ඉඳන්ම කොලේජ් එකට වෙලා මිස්ට මුණිවරල මොනාද කරන්නෙ…”

“කරන්න කොච්චර වැඩ තියනවද මන්දාකිණී..හොස්ටලර්ස්ල මිඩ් ටර්ම් වැකේශන් එකට ගිය ගමන් අපි ඔය ඉතුරු වෙන ප්‍රසන්ට් ස්ටුඩන්ට්ස්ලව එක ඩෝර්ම් එකකට දාල අනිත් ඩෝර්ම්ස් ඇරෙන්ජ් කරන්න ඕන පාස්ට් ස්ටුඩන්ට්ස්ලට. එතකොට එදා රෑ උන් කොලේජ් එකේනෙ ඉන්නෙ. උන්ට කෑම ඇරේන්ජ් කරන්න ඕන”.

“ආ කෑමත් දෙනවද…”

“නැත්තං…පැකේජස් තියනව. ඩිනර් පහුවදා බ්‍රෙක්ෆස්ට් ලන්ච් ඩිනර්…එතකොට ඕවගෙන් කැමති විදිහට සිලෙක්ට් කර ගන්න පුළුවන්. එතකොට එන දවසෙ රෑ කාල බීල පිස්සු නටල පහුවදා උදේම පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට් ස්ටුඩන්ට්ස්ලගෙ ක්‍රිකට් මැච් එක පටන් ගන්නව. ඒකෙන් පස්සෙ පූල් එකේ ඩිප් එකක්. ලන්ච් අරං එහෙම හවස බාස්කට් බෝල් මැච් එක තියනව. හය විතර වෙනකොට ඒජීඑම් එක පටන් ගන්නව. එදා රෑත් කොලේජ් ඩෝර්ම්ස් වල නතර වෙලා ඉඳල තමයි කොල්ලො පහුවදා යන්නෙ. ඕක ඕගනයිස් කරන එක සෙල්ලමක් නෙවෙයි”

“කොල්ලො…”

මම කට ඇද කළෙමි. ඔහු අඩ බැල්මක් හෙළුවා ට සිනහව ගිල ගත්තේ ය.

“ආ…ඉස්සර”

එවර ඔහු හෙළු බැල්මේ ආදරණීය තර්ජනාත්මක බවක් මට දැනිණ. නමුත් එවැන්නක් පෙන්වා සිටින්නට ඔහු ට ඕන වුණේ නැත. 

“මැච් එක බලන්න එනවනං සැටර්ඩේ නිවාඩුවක් ගන්න”

ඔහු නික්ම යන්නට පෙර මට කීවේ ය. මා කට ඇද කළේ සමච්චලයට බව දැනගෙන දෝ, කිසිත් කියන්නට පෙර නික්ම ගියේ ය. 

කසුනි හා හංසිකා සමගින් ආදි හා වර්තමාන සිසුන්ගේ ක්‍රිකට් තරගය නැරඹීමට යාමට නංගී ද කල් ඇතිව ම සූදානම් වූවා ය. ගුරුවරුන් ට කොහොමත් එය විවෘත ය. ගුරු නිවාස වල හිඳිනා අයට ද එය නැරඹීමට බැරි කමක් නැත. නමුත් මට විශේෂ ආරාධනයක් තිබෙනවා සේ මට දැනිණි. 

සෙනසුරාදා උදා වූයේ ම නො ඉවසිලිමත් ගැස්මක් එක්ක ය. මුණිවර ද ආදි ශිෂ්‍ය කණ්ඩායමට ක්‍රිකට් ගැසූ නිසා මම වඩාත් උනන්දුවෙන් ඔවුන් ට ඔල්වර සන් දුනිමි. මුලින් පහර දුන්නේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායම වන අතර ඔවුන් ව අඩු ලකුණු සංඛ්‍යාවකට මෙල්ල කොට ජයග්‍රහණය අත් පත් කර ගන්නට ආදි සිසුනට හැකි විය.

“බොරුවක්යැ….මේ දඩාර් සයිස් අංකල්ල එක්ක සෙල්ලං කරන්න පුළුවන් යැ අර පොඩි එවුන්ට..”

ඔවුන් ගේ ජයග්‍රහණයේ දී මා අසීමිත ව ප්‍රීති වන විට නංගී මට නෝක්කාඩු කීවා ය. ඇය සේ ම කසුනි හා හංසිකා ද ජය පැතුවේ වර්තමාන සිසුන් ට ය. ක්‍රිකට් තරගය නිමා වූ පසු ද ආදි සිසුහු පිටියේ රැඳී සිටි අතර අපේ කෙල්ලන් නඩයට ඔවුන් ගෙන් විවිධ විහිළු තහළු එල්ල විය.

“අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ නෑනෙ හාමුදුරුවනේ මේ වගේ ටීචර්ල…”

කවුදෝ එසේ කියනවා ද ඇසිණ. අයිස්ක්‍රීම් කාරයෙකු ගෙන් ඔවුහු අයිස්ක්‍රීම් ගනිමින් සිටියහ. අප සිව් දෙනා සිටියේ ඒ ආසන්නයේ අසුන් ගෙන ය. මගේ ඇස් නිරන්තර තිබුණේ මුණිවර වටා ය. ඔහු ගේ ක්‍රියාශීලීත්වය හා මනා සංවිධානාත්මක බව තව දුරටත් මා වසඟ කර ගනිමින් තිබිණ. එක මොහොතක දී ඔහු පසු පස දුව ගිය මගේ ඇස් බැල්ම ඔහු ට හසු විය. හෙතෙම හිසින් මට ළඟට කතා කළේ ය. මා නැගී සිටියේ යන්ත්‍රාණුසාරයෙන් සේ ය.

“බලපල්ලකො..කසාද ගෑනිට වගේනෙ කතා කළේ”

කෙල්ලක එසේ කියනවා මට සිහිනයෙන් සේ ඇසිණ. තව නිමේශයකදී මා සිටියේ ඔහු ළඟ ය. මුණිවර මගේ  අතට අයිස්ක්‍රීම් කෝන් හතරක් දුන්නේ ය. මේ සිහිනයක් ද හැබෑවක් ද කියා වෙන් කර ගත නො හැකි මායාවක මම පා වුණෙමි.

“ආ..ඒක බලපංකො…මුණිවරයා මුණිවර උත්තමයෙක් වගේ ඉඳගෙන ටීචර් කෙනෙක්ට ඇහැ දාල මචංල”

“කවුදෝ පිරිමි හඬක් එහෙම කෑගසනවා ද මට ඇසිණ.

“ෂ්..පිස්සුද බං…ටීචර් කෙනෙක් නෙවෙයි. ඒ ළමය මගෙ ෆාම් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක්”

මුණිවර ගේ ලැජ්ජාශීලී හඬ ද මට යන්තමට ඇසිණ. කෙල්ලන් අතරට විත් අයිස්ක්‍රීම් දෙන විට මා අයිස් ක්‍රීම් එකක් තරමට සීතල වී සිටින්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...