දෑත දරා – 21

0
306

 

සාරතී දියණිය නලවා ගන්නට උත්සාහ කරමින් උන්නේ මිදුලේය. සින්දූපා මනුජ අතෙහි වූ කුඩා බෑගයේ වූ ඖෂධ පැකට්ටු බැලුවාය. ඒවායෙන් එක් බෙහෙට් වේලක් භාවිතා කර ඇති බව නිගමනය කළාය. 

මනුජ උන්නේ දෑස් ඇර ගන්නට අපහසුවෙන් උත්සාහ කරමිනි.  ඉහල ශරීර උෂ්ණත්වය නිසාම ඔහුගේ දෑස් විවෘතව තබා ගෙන සිටීම පවා පහසු වූයේ නැත.  අසුනේ හිඳ සිටිම පවා ඔහුට වෙහෙසක්ව තිබුණි.

හිස පුපුරන්නට රිදුම් දේ. ගත තලා දමා ඇති සෙයක් දැනේ. සන්ධි වේදනාව දැනෙන්නේ කලකින් නොදැණුනු ලෙසිනි. සන්ධි අසලින් වෙන්වී යාවියැයි සිතෙන තරමේ රිදුමක් ඇත. අත ඔසවාගෙන නළලත තදින් පිරිමැදගන්නට මනුජට අවශ්‍ය වූවද, අත ඔසවා ගැනීම පවා ඔහුගේ පාලනයෙන් තොරව තිබුණි.

” අ..ම්ම්මේ…. අම්මේ…”

මනුජගේ කෙඳිරිය අවසන එලෙසින් විය . සින්දූපා මනුජට එලෙසින් සිටින්නට හැර මිදුලට එබුනේය.

“ආන්ටි… මිස්ටර් මනුජගේ රූම් එක මොකක්ද ?”

“ඔය පහල කොනේම කාමරේ ඇඳක් තියෙනවා නෝනේ…”

“හරි හරි..දරුවා පොඩ්ඩක් ඔහොම තියාගෙන ඉඳළා ඇතුලට එක්ක එන්න.. මම මිස්ටර් මනුජව රූම් එකට එක්ක ගියාම…”

“අනේ …නෝනේට ඇහැකිය ? .”

” පුලුවන් පුලුවන් ….. ආන්ටි ඔහොම ඉන්නකෝ …”

 සින්දූපා කාමරය වෙත එබුණේය. නිල් පැහැ ඇතිරිල්ලක් අතුරා තිබූ සයනය රැල්ලක් හෝ නොවන සේ සකසා තිබුණි. සින්දූපා ආපසු හැරී ආවාය. මනුජගේ කෙඳිරිල්ල අඩු නැත. ඔහුට දැඩි වෙහෙසක් දැනෙනවා විය යුතු බව සින්දූපා සිතුවාය. ඇතැම් විට දින කිහිපයක් තිස්සේ ඔහුට උණ වැළඳී තිබෙනට ඇත.  ඔහු එය නොතකා රැකියා කටයුතු වල නියැලෙන්නට ඇත. සාරතී පැවසූ ආකාරයට ඔහු කොළඹට මෝටර් රිය ධාවනය කර, අනෙක් දිනයේ පෙරළා පැමිණ ඇත. ඒ වෙහෙසද ඔහුට බලපා ඇතිවා විය යුතුය.

සින්දූපා   මනුජව වාරු කරවා ගත්තාය. ඔහුගේ බර ඇයට දරාගන්නට පහසු මට්ටමේ වූයේද නැත. 

” මේ ..පිස්සුද ? කෝ…කෝ…. කොහෙද මාව ගෙනියන්නේ ? … ඕයි …. මේ… මගේ ඇඟට අත තියන්නෙපා…. සාරතී නැන්දා … කෝ.. මේ.. කෝ ම්. මේ ගෙදර අය….”

මනුජ සින්දූපා ට විරුද්ධ වෙමින් ආපස්සට ඇවිද යන්නට උත්සාහ කල නිසා සින්දූපා තවත් අපහසුවට පත් වූවාය.

” මිස්ටර් මනුජ … ලිස්න් …. යූ ආර් නොට් වෙල් …. හිතුවක්කාර නොවී චුට්ටක් සපෝර්ට් කරන්නකෝ… ඔයාට බෙඩ් රෙස්ට් ඕනි … ඔයා ඔහොම හිතුවක්කාර වෙලා, ඉක්මනට සනීප නොවුනොත් එහෙම බබාටත් ආයේ අසනීප වෙයි….” 

එවර මනුජ නිසොල්මන් වූයේය. සින්දූපා පහසුවෙන් ඔහු වාරු කරවාගෙන,  යහන තෙක් ගෙන ගියේය.  තරු ගසා තිබූ කමිසය බුරුල් කළාය. කලිසමේ පටියද බුරුල් කළාය. සපත්තු දෙක ගලවා දමා මේස් යුවලද ගලවා දැම්මාය. 

ඒ හැඟීම ඇය උණුසුම් කරවමින් තිබුණි. මනුජගේ දෙපා පවා වූයේ ගිණියමකය. 

සින්දූපා ආපසු හැරුණේ ඔහු සිසිල් කරවාගන්නට යමක් සිදු කරන කල්පනාවෙනි

” ඔව් … මම හිතුවක්කාරයි ….  මම ..හි..තු..වක්කාරයි ….. උඹලා ..ඔක්කොමලා හරි… මම වැරදි … ඒකනේ… ඒකනේ තනි වුනේ.. ඒකනේ මම තනි වුනේ…. .. තනි කලා..දෝණියි මායි… යනවා… තමුසෙත් .. යනවා ඩොක්ටර්…. එකෙක් ඉන්නෙපා…”

සින්දූපා ආපසු හැරුණේ මනුජ අසිහියෙන් කියවමින් උන් හඬ ඇසීමෙනි. ඔහුගේ බිරිඳ හැර යෑමේ වේදනාවෙන් ඔහු අසිහියෙන් කියවීම වටහා  ගත හැක. එහෙත්, ඔහු තමාට චෝදනා කරන්නේ  මන්ද ? තමා ගේ හැර යෑමක් පිළිබඳව එවන් ඇනුම් පද කියන්නට තරම් තම දෙදෙනා අතරේ හිතවත්කමක් නැත.

එහෙත්, මනුජගේ එම හඬින් සින්දූපා ගේ හදවත උණුසුම්ව ගියා සේ විය. එයට හේතුවක් ඇයට හරි හැටි වැටහුණේ නැත. මනුජ පිළිබඳව වූ හැඟීම  උණුසුමක් බව පමණක් ඕ වටහා ගත්තාය. 

මනුජගේ කියවිල්ල නොතකාම ඕ සාලයට පිවිසියාය.  සාරතී ද උන්නේ සාලයේය. 

දියණිය සාරතීගේ උරිස්සට වාරු වී දෑත් ගෙල දෙපසුන් දමා ගෙවත්තෙන් කඩා ගන්නා ලද මලක් කරකවමින් තනිව කියවමින් උන්නාය. 

” මිස්ටර් මනුජ උදේ ඉඳන් අසනීපෙන් හිටියද ආන්ටි ??…”

“එහෙමට, අසනීපයක් තේරුණේ නෑ නෝනේ… ඇස් රතු වෙලා වගේ පෙනිලා මම ඇහුවම, නින්ද ගියේ නැති කතාවක් කිව්වේ…”

“මේ දවස් වල හොස්පිට්ල් එකෙත් වෛරස් උණක් සෑහෙන්නම පැතිරෙනවා… මට පේන විදියට මිස්ටර් මනුජටත් ඒ රෝග ලක්ෂණ තියෙන්නේ….  කොහොමටත් දවස් දෙක තුනක් ඇඳේ ඉන්න වේවි…”

“හනේ මන්දන්නේ නෑ නෝනේ… මේ දරුවාගේ වැඩයි, සාත්තු සප්පායම් වැඩයි  එක්ක…. මට රෑට එන්න ඇහැක් වේවිද දන්නේ නෑ එහෙ…. “

“ඒක හිතන්න එපා.. මම එහෙම වුනොත් මේ දවස් ටිකේ නයිට් එක කරන්නම් … ආන්ටි මෙහෙ වැඩ බලාගන්නකෝ…  මිස්ටර් මනුජගේ කෑම්ප් එකේ කවුරු හරි ගෙන්නගන්න වේවි නේද උදව්වට… ඇඳුම් අයින් කරලා ඇඟ චුට්ටක් පිහිදාන්න වේවී… ආන්ටිට බෑනේ…”

සින්දූපා සිදු විය යුතු දේ සැලසුම් කිරීම සඳහා මාවතක් සොයා ගන්නට උත්සාහ කලාය. 

මනුජ අසලින් හිඳීමේ නිළ නොළත් අයිතිවාසිකමක් ඇයට දැනෙන්නේය. අන් සියළු කාරණා පසෙක දමා, මනුජට උවටැන් කර ඔහු සුවපත් කර ගැනීම අවශ්‍ය බව දැනෙන්නේය. 

“ඒ මහත්තැන්ලා විස්තරේ දන්න නිසා බාගදා හවස් වෙද්දී මෙහෙ ඒවී නෝනේ…”

“ඔව් නේද ? එතකල්, මම චුට්ටක් ඇඳුම් බුරුල් කරන්නම් …. “

සින්දූපා කපටි ලෙසින් සාරතී ගේ අවසරය ලැබුවා ලෙසින් ආපසු  හැරුණාය.

” අනේ..නෝනේ.. නෝනාට බෑ ඕවා අහක් කරන්න … නෝනා බබාව ගන්නකෝ… මං මහත්තයා ගේ ඇඳුම් අහක් කරලා එන්නන් …”

“ආන්ටි ඔහොම ඉන්න … මම ඩොක්ටර් කෙනෙක් … මට ඒකේ අරුමයක් නෑ.. මම මගේ මොන පේෂන්ට වුනත් මෙහෙම තමා කරන්නේ…”

සින්දූපා සාරතී දෙස නොබලාම එලෙස පවසමින් කාමරය තුළට  රිංගා ගත්තාය.  අපහසුවෙන් සිර කරගෙන උන් හුස්ම හෙලුවාය. 

මනුජ උන්නේ කෙටි හුස්ම ගනිමින් සහ හෙලමිනි.  ගත ගුලි කරගන්නට උත්සාහ කරමිනි.

සින්දූපා ඔහු අසලට ඇවිද ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here