ආදර සැලසුම් – 79

0
487

DNA පරීක්ෂණයට මුහුණ දීම සඳහා දේවක ,ආදිත්‍යය , අශිකා සහ චන්දික උදෑසන පිටත්ව ගිය අතර රෝහල් ගතව සිටින මෞර්යා අසල නිල්මිණී පමණක් ඉතිරි වූවාය. මෞර්යා බලා ගත්වනම බලා සිටියේ අවිනිශ්චිත හැඟීමකිනි. 

පරීක්ෂණය සඳහා පිටත්ව ගිය සිව් දෙනා නැවත පැමිණියේ පැය ගණනාවකට පසුවය. සියල්ලන්ගේම මුහුණු වල දක්නට තිබුණේ ද මෞර්යා තුළින් දක්නට තිබූ අවිනිශ්චිතභාවයමය.

පර්යේෂණයේ ප්‍රතිඵල ලැබීමට දින ගණනාවක් ගතවන බව නීතිඥවරයා විසින් දේවකට කල්් තියාම දැනුම් දී තිබුණු නිසා සියලු දෙනාම සිටියේ ගෙවා ගැනීමට සහ ඉවසා බලා සිටීමට අසීරුම දවස් කිහිපයක් ගත කරමිනි. ඒ දවස් ගණනාව සියල්ලන්ටම වඩා ගෙවා ගැනීමට අපහාස වූයේ මෞර්යාට සහ ආදිත්‍යයටය.

දින දෙකකට පසුව රෝහලෙන් නික්ම ආ මෞර්යා තවත් එක් දිනක් කාමරය තුළටම වී උන්නාය. විවේක ගැනීම සහ නිසි වේලාවට ආහාර ගැනීම සඳහා වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණද මෞර්යා තවදුරටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළාය. චන්දික සහ නිල්මිණී කරකියා ගත දෙයක් නොමැතිව ආදිත්‍යය ඇමතූ අතර මෞර්යා ඔහුගේ දුරකථන ඇමතුම් වලට හෝ පිළිතුරු නොදී මුළු ගැන්වී උන්නාය.

ආදිත්‍යය මෞර්යාව මුණ ගැසීම සඳහා නිවසටම පැමිණියේ ඉන් පසුවය. නිල්මිණී බෙදා දුන් බත් පිඟානද වතුර වීදුරුවද ගෙන ආදිත්‍යය තරප්පුව නැග මෞර්යා ගේ කාමරය වෙත පැමිණෙන විට මෞර්යා ඇඳේ කොනක වාඩි වී බැල්කනිය වෙත අවතීර්ණ වන දොර දෙස බලා ගෙන කල්පනා කරමින් උන්නාය.

” මෞර්යා ” 

ආදිත්‍ය ගේ හඬට මෞර්යා තිගැස්සුනේ ඇය උන්නේ කල්පනා ලොවක නිසාය. බලාපොරොත්තු නොවූ මොහොතක ආදිත්‍යගේ පැමිණීම සිතට මඳ අස්වැසිල්ලක් එකතු කළද ඒ හා සමාන බරක් ද මෞර්යා උහුලමින් උන්නාය.

” මං ඔයාට කීප සැරයක්ම කෝල් කරා ” 

ආදිත්‍ය නෝක්කාඩු හඬින් එසේ පැවසූ විට මෞර්යා හිස හරවා කන්නාඩි මේසය දෙස බැලූවාය. ආදිත්‍ය ද අනතුරුව ඒ දෙස හිස හරවා බැලූ විට ඔහුට දක්නට ලැබුණේ කණ්ණාඩි මේසය මත අනෙක් පසට හරවා තබා ඇති මෞර්යා ගේ ජංගම දුරකථනයයි.එය දුටු ආදිත්‍ය සුසුමක් හෙලමින් වතුර වීදුරුව කණ්ණාඩි මේසය මතින් තබා බත් පිඟාන අතැතිව මෞර්යා පසෙකින් වාඩි වූයේය.

” කාලා ඉමු “

” මට බඩගිනි නැහැ ආදිත්‍යය ” 

” ඔයාට බඩගිනි නැති උනාට ඔයාගේ ඇඟට කෑම ඕනෙනේ. මතක නැද්ද ඩොක්ටර් කියපු දේවල් හොස්පිට්ල් එකෙන් එනකොට ” 

ආදිත්‍යය බත් අනන්නට පටන් ගත්තේ එසේ කියමිනි. එහෙත් මෞර්යා තවදුරටත් නිසොල්මනේ වෙන අතක් බලා ගෙන උන්නාය.

” හෙට අනිද්දට මොනවා වෙයිද ආදිත්‍යය ? ” 

මෞර්යා ඇහෙන නෑහෙන හඬින් විමසුවේ හිස හරවා ආදිත්‍යය දෙස බලමිනි. ආදිත්‍යය කිසිවක් නොකියා ඇනූ බත් කට මෞර්යා වෙත දිගු කළාය.

” ඒ එන රිසල්ට් එක දැන ගන්න හරි ඔක්කොටම කලින් ඔයා ජීවත් වෙලා ඉන්න ඕනේ. මෙන්න මේක කන්න මෞර්යා ” 

මෞර්යා ගේ මුව විවර වූයේ ඉබේටමය. ආදිත්‍යය ගේ මේ ආදරය සහ රැකවරණය අහිමි වේ යැයි යන බිය නැවත ඇති වූයේද ඒ සමගමය. ආදිත්‍යය බලා හිඳිද්දීම මෞර්යාගේ දෑස් වලට කඳුළු පිරී ඒවා කම්මුල් දිගේ රූරා වැටුණි.

” ඇයි මෞර්යා මේ ? ” 

” ඔයා මට මෙච්චර ආදරේ කරන්නේ මාව දාලා යන්න තියෙන හින්දද ? ” 

මෞර්යා හැඬුම් අතරින් ඇසුවාය.

” කවුද කිව්වෙ මං ඔයාව දාලා යනවා කියලා ? “

” ඔයාට එහෙම යන්න වුනොත් ? ” 

ආදිත්‍ය සුසුමක් හෙලමින් මොහොතකට නිරුත්තර වූයේය. පර්යේෂණයේ ප්‍රතිඵල පැමිණෙනතුරු කිසිවක් කිව නොහැක. එහෙත් ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව දැන සිටිය යුතුය.

” ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන අපිට මුකුත් කියන්න බැහැනේ මෞර්යා. ඒ නිසා අපි දෙන්නට එකට ඉන්න තියෙන මේ වෙලාව ගැන විතරක් අපි හිතමු ” 

ආදිත්‍යය පවසන්නේ සැබෑවක් වුවත් ඒ සැබෑවට මුහුණ දීමට තරම් මෞර්යා ඒ මොහොතේ ශක්තිමත් කෙනෙකු වුයේ නැත. හඬා දොඩා වැලපී හෝ විසඳා ගන්නට හැකි ප්‍රශ්නයක් නම් එය විසඳා ගත හැක. එහෙත් තමාට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ එවැන්නකට නොවේ.

” මට හරි බයයි ආදිත්‍යය ” 

මෞර්යා මිමිනුවාය. ඒ බියම ආදිත්‍යය හට ද දැනෙමින් තිබුණත් උත්සාහ කළේ එය අමතක කර මේ මොහොතේ ජීවත් වීමටය. තමාට වඩා අතිශයින්ම ශක්තිමත් හිතක් ඇති ධෛර්‍ය සම්පන්න තරුණියක් වූ මෞර්යා ද මේ තරම් මානසික පීඩාවෙන් සිටිනවා නම් තමා ඉදිරියේදී මේ ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සිතීමට පවා ආදිත්‍යය බිය වූයේ ය.

” ඔයා වත් මං වත් කාට වත් වරදක් කරලා නෑනේ මෞර්යා.ඒ නිසා අපි දෙන්නටම නරකක් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එන ඕනෙම දේකට මූණ දෙන්න වුනත් අපේ අම්මා කියන දේ ඇත්තක් වෙන්න එපා කියලා විතරක්ම හිතමු . දෙවියෝ වුනත් අපි දිහා නොබලා ඉන්න එකක් නෑ මෞර්යා. ඔයා ඔයාගේ ජීවිතේ හොඳම කාලේ පටන් ගත්තා විතරයි. මං වගේ එක පාරක් ජීවිතේ වැරදිච්ච මිනිහෙක්ට ආදරේ කරලා පිහිට වෙන්න තරං ලොකු හිතක් ඔයාට තිබුණා.ඒ හිත හින්දම ඔයාට වරදින්න විදිහක් නෑ මෞර්යා මට වැරදුනත්. ජීවිතේ එක එක තැන් වලදී දෙවියෝ අපිව පරීක්ෂා කරනවා. මේකත් එහෙම දෙයක් කියලා අපි හිත හදා ගමු ” 

මෞර්යා නිහඩව ආදිත්‍යය කියනා දේවල් අසා උන්නේ ඇවිදින මං තීරුවේදී ආදිත්‍යව දුටු පලවන දිනයේ සිට අනතුරුව ඔහුව මුණ ගැහුණු බොහෝ වතා වන්වල මතක චිත්‍රයක් සේ දෑස් ඉදිරියේ මැවෙද්දීය.

” අපි ඇඬුවා කියලා ,නොකා නොබී හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ වත් වෙන්න තියෙන දේවල් නොවී තියෙන්නෙ වත් නැහැ මෞර්යා. ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. මම ෂෙහාරාව කසාද බඳිනකොට මම කවදාවත් හිතුවේ නෑ එයා මට චීට් කරයි කියලා වත් මට ඩිවෝස් වෙන්න වෙයි කියලවත්. ඒත් ඒ දේවල් එහෙමම උනා. ඒ තැන්වලදිත් මට හයියක් වෙච්ච ඔයා අද මෙහෙම ඉන්න කොට මම කොහොමද බලන් ඉන්නේ මෞර්යා ? ” 

මෞර්යා ආදිත්‍ය දෙසට නැඹුරු වී ඔහුගේ උරහිස මතට හිස තබා ගෙන දෑස් පියා ගත්තාය. ආදිත්‍යය හදවතට දැනෙන දුක ආයාසයෙන් යටපත් කර ගෙන බලා උන්නේ අතිශය වේදනාවෙනි.

අභිමන් දින ගණනාවකට පසුව කාර්යාලයට යන්නට පිටත් ව ගියේය. දැඩි මානසික පීඩාවකින් සිටින අශිකාව නිවසේ තනි කර දමා යා නොහැකි නිසා දේවක නිවසේ නතර වූයේය. අශිකා වෙනදා ටත් වඩා නිහඬව කාලය ගත කළ අතර ඒ නිහඬතාවය තුළ ගැබ් වී තිබුණේ වරදකාරී හැඟීමක් සහ පසුතැවිල්ලක් බව තේරුම් ගන්නට දේවක හට අපහසු වූයේ නැත. නිදන්නට යන මොහොතේදී පවා හොර රහසේ අශිකා හඬා වැටෙන බව දින කිහිපයක්ම දේවක දුටු නිසා පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල කුමක් වුවත් අශිකාට වෙනසක් නොකර සලකන්නට දේවක සිතා ගෙන සිටියේය.

සියලු දෙනාගේම හදවත් වල තිබූ නොසන්සුන් භාවය සහ කලබලකාරී බව තව තවත් වැඩි කරමින් තවත් දින තුනක් පමණ ගෙවී ගියේ ඉතා දීර්ඝවය. සෙනසුරාදා දිනයක දහවල් වරුවේ දේවක කෑම මේසයේ වාඩිවී ලැප්ටොප් පරිගණකයෙන් ව්‍යාපාර කටයුතු වල තත්ත්වය පරීක්ෂා කරමින් සිටියේය. දේවක ගේ දුරකථනය නාද වූයේ ඒ අතරය. ඇමතුම පැමිණෙමින් තිබුණේ නීතිඥවරයාගෙනි.

” හෙලෝ මිස්ටර් රිටිගල ” 

දේවක එසේ කියනු ඇසුණු සැනින් මුළුතැන්ගෙයි හුන් අශිකා දේවක දෙසට දිව ආවේ කලබලයෙනි.

” මිස්ටර් දේවක කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ ? ” 

” ඔව් මිස්ටර් රිටිගල ” 

” DNA එකේ රිසල්‍ට් එක ආවා ” 

නීතිඥවරයා පැවසුවේ දේවක බලාපොරොත්තු වූ කාරණාවම නමුත් දේවක තප්පර ගණනාවකට නිහඬ වූයේය. 

” මිස්ටර් දේවකට පුළුවන්ද ඇවිත් මාව හම්බ වෙන්න ? ” 

” මොකක් හරි අවුලක්ද මිස්ටර් රිටිගල ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here