ළතෙත් ආදර හැඟුම් ගංගා – 02

0
38

මං නාද්‍යා සොනාලි සල්වතුර. මගේ නම අහන හැමෝම ඉස්සර මට කිව්ව දෙයක් තමයි මගේ නම මගේ රූපෙට මාරෙට මැචින් කියනවා. ඇත්තටම මම මාර ලස්සනයි. ඒක මම මටම කියාගන්නේ මොකෝ මිනිස්සු දාස් ගාණක් ඒ වෙද්දිත් මට ඒක නිතර නිතර කියලා තිබිච්ච හන්දා.

ලස්සන හන්දා ඔලුවට ගහලා තිබිච්ච ලොකුකම නිසාමද කොහෙද මම “මං ලස්සනයි” කියලා මට තේරිච්ච කාලෙ ඉඳලම මං කාවවත්ම ලොකුවට ගණන් ගත්තෙ නෑ. මං උන්නෙ හැමෝටම උඩින්. ඒ හන්දම මට ඕන උනේ අපේ ඉස්කෝලේ, අපේ ගමේ මගෙ වයස්වල උන්න කිසිම කෙනෙක් කරපු නැති විදියෙ, මට විතරක් ඇචීව් කරගන්න පුළුවන් විදියෙ ගෝල් එකකට යන්න.

මං බලාපොරොත්තු වෙන සුරංගනා හීනේ ඉස්ට කරගන්න පුළුවන් එකම විදිය තමයි මොඩ්ලින් වලට යන එක කියලා හිතිච්ච හන්දම කවුරුහරි මගෙන් ඇහුවම “ලොකුවෙලා කවුද වෙන්න ආස?” කියලා මම දෙපාරක් නොහිතම කිව්වා “මට ඕන මොඩ්ල් කෙනෙක් වෙන්න” කියලා. පුංචිකාලේ “අනේ මේ කෙල්ලන්ගෙ පොඩි කමටද කතන්දර?” කියලා අම්මලා හිනා උනාට ලොකු වෙද්දිත් මම මගේ අදහස කීයටවත් වෙනස් කරගෙන නෑ කියලා තේරෙද්දි මගේ මොඩ්ලින් හීනෙ කඩලා බිඳලා දාන්න මුලින්ම ගල් මුල් මුගුරු අතට ගත්තෙ අපෙ අම්මයි තාත්තයි.

“ඔය මොඩ්ලින් කරනවා වගේ නෙවෙයි නම ඉස්සරහින් කලු පැල්ලමක් වැදුණොත්” කියලා මොඩ්ලින් වල තියෙන විනාසකාරී පැත්තක් ගැන මට හීන් සැරේ කියලා දෙන්න උත්සහ කරපු අම්මා ටික දවසක් යද්දි මාරාවේස උනේ මම අම්මා නෙවෙයි මොන දෙයියන්නාන්සෙ කිව්වත් මගේ අදහස වෙනස් කරන්නෙ නෑ කියලා තේරිච්ච හන්දා.

“ළමයො අපි මේ මෙච්චර හොඳ රස්සාවල් කරනවා. මම ටීචර් කෙනෙක්, තාත්තා ඉන්ජිනියර්. එහෙව් ඉගෙන ගත්ත මිනිස්සු දෙන්නෙක්ගෙ දරුවෙක් මේ මෙලෝ ඉගෙනීමක් නැතුව ඇඟ පෙන්නන්න යන රස්සාවකට ගියාම අපි රෙද්දක් ඇඳන් ගෙවල් අහල පහල උන්ට උත්තර දෙන්නෙ කොහොමද කියන එක ඔයා හරිනම් කල්පනා කරන්න ඕන නේද?” කියලා අම්මා අහද්දි මට ඒකට දෙන්න උත්තර ඕන තරම් තිබ්බා.

“ඇඟ පෙන්නන්න නෙවෙයිනෙ මම යන්නෙ. අනික ඉගෙනීමක් නැතුව කියලා කියන්නෙ කොහොමද? මම ඒක තමයි කියන්නෙ ප්‍රොෆෙශනල් මොඩ්ල් කෙනෙක් වෙන්න මට මොඩ්ලින් ක්ලාස් එකකට යන්න සල්ලි දෙන්න කියලා. එතකොට මට ඉගෙනීමත් එක්ක ෆීල්ඩ් එකට ගියාම කාගෙවත් ලඟ පීචං වෙන්න ඕන නෑනෙ. මම යන්නෙ කොලිෆිකේශන්ස් එක්ක. ඕනම ජොබ් එකකට මිනිස්සුන්ව හයර් කරන්නෙ එහෙමනෙ. අනික අම්මා කොහොමද මේ අම්මා අකමැති හන්දා මං කැමති දේ කරන්න මට එපා කියන්නේ? මං කරන්නෝන මම කැමති දේ. අම්මම නේද මට කිව්වෙ ඔයාට ඕන උනේ ඇග්‍රිකල්චර් පැත්තෙන් ඉස්සරහට යන්න ඒත් ආච්චියි සීයයි කිව්ව හන්දා තමා ඔයා මේ ටීචින් පැත්තට ආවෙ කියලා. අම්මම හොඳටම දන්නවා අම්මා ඇග්‍රි කරා නම් අම්මා සමහර විට අදට වඩා සන්තෝසෙන් කරන ජොබ් එකක් කරන්න තිබ්බා කියලා.

අම්මලා කට පියාගෙන ආච්චියි සීයයි අරක කරන්න කිව්වම කරා වගේ මම කට පියාගෙන අම්මා කරන්න කියන දේ කරාවි කියලා හිතන්න එපා අම්මේ. මොකෝ මට අවුරුදු ගාණක් ගිහින් නාකි වෙලා සෆර් කර කර මගෙ දරුවන්ට කියන්න ඕන කමක් නෑ මට ඕන උනේ මොඩ්ල් කෙනෙක් වෙන්න ඒ උනාට මගෙ අම්මලා කිව්ව හන්දා මම ඒක අතෑරියා කියලා”

“නාද්‍යා මේ කරදඬු උස්මහත් උනා, ඒලෙවල් ඉවර කරා, ඉස්කෝලෙ ගිහින් ඉවරයි කියලා ඔයා හිතන්න එපා මෙතන මහ ලොකුයි කියලා. තාම ඔයාලා කන්නෙ බොන්නෙ යැපෙන්නෙ අපෙන්. තනියම ජීවත්වෙන්න පුලුවන්, තමන්ට ඕන දේවල් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒව කරන්න ඉස්සෙල්ලා මේ ගෙදරින් ගිහින් තමන්ට ඕන දේවල් කරන්න විදියක් හදාගන්න. එහෙම නැතුව මෙතන අපේ තැන වැටිලා ඉද්දි, අපෙන් කකා බිබී ඉන්න අතරවාරෙ අපිට පාට් දාන්න එන්න එපා.

අනික තමන්ට නංගි කෙනෙක් ඉන්නවා තමුන් වැරදි පාරෙ ගියොත් ඒ නංගිත් ඒ වැරදි පාරෙම යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියල අමතක කරන්නත් එපා” කියලා අම්මා කියද්දි නම් මං කරේ හිනාවෙන එක.

“අපෝ ඒක ගැන නම් අම්මා බය වෙන්න එපා. වැරදි පාරෙ නම් අම්මා එපා කිව්වොත් එයා කිසිම පාරක යන්නෙ නැතුව ඉඳීවි. කොහොමත් ඉතින් එයානෙ හොඳ එක්කෙනා. මම මේ අරන් හදාගත්ත දරුවනෙ. ඔයාලා මුල ඉඳලම ඒකනෙ මට වෙනස් කම් කරේ” කියාගෙන ඇඬෙන්න යන එක බොහොම අමාරුවෙන් නතර කරගෙන වගේ උඩ තට්ටුවට පඩිපෙල නැගන් යද්දි මට ඇහුනා අම්මා මෙච්චර වෙලා මේසෙට වාඩිවෙලා කිසි සද්දයක් නැතුව තේ බිබී උන්න තාත්තට කියනවා “බලන්න සිරී, මේ ළමයා කියන කතාව” කියලා. ඒත් එතනින් එහා තාත්තා මොනවද කිව්වෙ කියලා අහන්නවත් මං එතන උන්නෙ නෑ.

මට ඕන උනේ කාමරේට ගිහින්  හිතන්න. කොහොමහරි මොඩ්ල් කෙනෙක් වෙන්න පුළුවන් විදියක් බලන්න. ලංකාවෙ තියෙන මොඩ්ලින් ස්කූල් මොනවද කියලා හොයලා බලන්න. ඒත් මට හම්බෙච්ච හැම මොඩ්ලින් ස්කූල් එකකටම යන්න මට හිතාගන්නවත් බැරි විදියෙ ලොකු ගාණක් මුලින් ගෙවන්න ඕන කියල තේරුනාට පස්සෙ මට කරන්න තිබිච්ච එකම දේ තමයි “කවදහරි මම කොහොමහරි මොඩ්ල් කෙනෙක් වෙනවා” කියලා හිතලා මගේ හීනෙ පොඩ්ඩක් විතර ආපස්සට දාන එක.

අපේ අම්මගෙයි තාත්තගෙයි ලොකුම හීනෙ හැබෑ කරන ගමන් තමයි මම ජපුර කැම්පස් එකට සිලෙක්ට් වෙලා තිබ්බේ. කොමස් කරපු ළමයෙක් ජපුරට යනවා කියන්නෙම ලොකු දෙයක් හන්දා ඒ දවස්වල සුබ පතන්න මට ආව කෝල්, මැසේජ්වලට රෙස්පොන්ඩ් කරනවා ඇරෙන්න වෙන දෙයක් මට ඇත්තටම තිබ්බේ නෑ.

“දැන් ඉතින් කැම්පස් ගිහින් ඉවරවෙලා එද්දි ඔය මොඩ්ලින් කතන්දර ඔක්කොම එයාටම අමතක වෙලා තියේවි” කියලා අම්මලා තාත්තලා කතා කරද්දි මමත් හිතුවේ ඒක ඇත්තක් කියලා.

ඒත් මට මොඩ්ල් කෙනෙක් වෙන්න පුළුවන් උනෙ ජපුරෙදි. එහෙම නැත්තම් කොළඹදි. අම්මා ටීචර් කෙනෙක් තාත්තා ඉන්ජිනියර් කෙනෙක් වෙච්ච නාද්‍යා සොනාලි සල්වතුරට, නුවර ඉඳන් කොළඹ ඇවිත් උපාධියක් කරන්න සල්ලි හොයන්න අමුතුවෙන් රස්සා කරන්න උවමනාවක් තිබ්බෙ නැතත් බෝඩිමේ හැමෝම එක එක විදියෙ පාට් ටයිම් ජොබ්ස් කරන තැනක නිකන්ම බෝඩිමට වෙලා ඉන්නවට වඩා රස්සාවකට යන එක හොඳයි කියලා හිතුනා.

ඒ විදියට හිතපු මගෙ වාසනාවට හරි මොකක් හරි එහෙකට අත ඇරලා දාන්න වෙයි කියලා හිතපු හීනයක් දෙපතල් ලඟටම ඇවිත් කියලා මං දැනගත්තෙ දිවානි මාව හම්බෙන්න ආව වෙලාවෙ. දිවානිව කැම්පස් එකේ ප්‍රසිද්ධ වෙලා තිබ්බේ අපේ ඔරියන්ටේශන් ඒවා මේව ඉවරවෙලා අපිව බැච් එකක් විදියට කැම්පස් එකෙන් පිළිගත්තට පස්සෙ. මාතර ඉඳල ආව කෙල්ලෙක් වෙච්ච දිවානිගෙ ෆැශන් වලට කිට්ටු කරන්නවත් එයා ලඟ තිබිච්ච බඩු භාණ්ඩ ලඟින් යන්න පුලුවන් ලෙවල් එකේ කිසිම දෙයක් වෙන කාගෙවත් ලඟ තිබ්බෙ නෑ. අනික මිමෝසා එකටද, ජී ෆ්ලොක් එකටද, කෙලි ෆෙල්ඩර් එකටද එන එන ලස්සනම, මිල වැඩිම ඇඳුම ගන්න පුලුවන් ලෙවල් එකේ සල්ලියක් ගෑනිගෙ අතේ කොයිවෙලෙත් තිබ්බා.

“ඔයා මොඩ්ලින් වලට ආසාවෙන් ඉන්නවා කියල මට දැනගන්න ලැබුණා” කියලා දිවානි කියද්දි මං ඔලුව වනලා ඔව් කිව්වා. මට ලාවට වගේ තේරුණා දිවානි මේ අරින්න යන්නෙ මට ඇරගන්න බැරිවෙයි කියලා මං දුක්වෙච්ච දොරක් විත්තිය.

හැබැයි ඒ දොර ඇරුණෙ මම හිතපු ලෝකෙට නම් නෙවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here