හිරයක් ද? හිර ගෙයක්ද?

“එයා තමයි මගේ මුළු ලෝකෙම” අපි කොච්චර නම් මෙහෙම කියලා තියෙනවද නේද තව කෙනෙක් ගැන?

කාලයක් තියෙනවා කෙනෙක් අපේ මුළු ලෝකෙම වෙන. සෙනග ගොඩක් මැද්දෙ අත අල්ලන් ඉන්න එක, කනට කරලා කොඳුරන එක, ලෙඩ උනාම ඇඳ උඩටම කෑම ගෙනත් දෙන එක, අමාරු දවස්වල කඳුලු පිහිදාන එක එහෙම නැත්තම් අඬන්න උරහිසක් වෙන එක වගේ දේවල් ආදරෙ මාරම සුපිරි green flags විදියට දැක්ක කාලයක් අපි හැමෝටම තියෙනවා.

අපි විශ්වාස කරනවා “එයා මාව සහමුලින්ම understand කරලා තියෙනවා” කියලා.. සමහරවිට ඒ කාලෙ එයා ඇත්තටම එහෙම දකින්න ඇති.

ඒත් සමහර වෙලාවට ආදරය කියන එක වෙනස් වෙනවා. විකෘති වෙනවා. 

මං කියන්නෙ නෑ ඒක මුලින්ම පටන් ගන්නේ අත පය උස්සලා කියලා. සමහර විට ඒක පටන්ගන්නෙ නිශ්ශබ්දතාවයකින්. රවා බැලීමකින්. සුසුමකින් වෙන්න පුලුවන්. නැත්නම් “ඇයි ඔයා හැමදාම මාව අපහසුතාවයට පත් කරන්නේ?” වගේ වාක්‍යයකින් වෙන්න පුලුවන්

ඊට පස්සේ… ටිකෙන් ටික ආදරය බයක් බවට පත් වෙනවා.

ඇත්තටම abusive marriage එකක් කියන්නේ මොකක්ද?

අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපයෝජනය කියන්නේ ශාරීරික හිංසනය විතරයි කියලා. ඒත් ඒකට ඊට වඩා ගොඩක් වෙස් මුහුණූ තියෙනවා.

මානසික අපයෝජනය: එයා ඔයාට හැමතිස්සෙම කියනවා ඔයා වැරදියි කියලා. ඔයාගේ අදහස් හරිම ගොං කියලා. ඔයා “ඕනවට වඩා සංවේදී” කියලා. එයාට තරහ නොයන්න ඔයා ගෙදර ඇතුළේ හරිම පරිස්සමෙන්, ඕනවටත් වඩා ඔයාව control කරගෙන ඉන්න හදනවා. එයා ඔයාව ගෑස්ලයිට් කරනවා – ඇත්ත බොරුවක් කරලා, ඔයාට තමන් ගැනම සැක හිතෙනකම්.

වචනයෙන් අපයෝජනය: එයා ඔයාට එක එක ඒවා කියනවා. ඔයාගේ හීන පල්ලෙහට දාලා පාගලා දාන්න හදනවා. නිතරම කෑ ගහනවා.

ආර්ථික අපයෝජනය: එයා සල්ලි පාලනය කරනවා. ඔයාට රස්සාවක් කරන්න දෙන්නේ නෑ, නැත්නම් ඔයාගේ පඩිය එයා අරගන්නවා. ඇඳුමක් ගන්න, නැත්නම් අම්මට තෑග්ගක් දෙන්න ඔයාට එයා ලඟ වැඳ වැටෙන්න වෙනවා.

ලිංගික අපයෝජනය: ඔයා අකමැති වුණත් එයා ඔයා එක්ක එකතුවෙනවා. එයාව සතුටු කරන්න ඔයාට බැරි වුණා කියලා ඔයාට වරදකාරී හැඟීමක් ඇති කරනවා. සම්බන්ධකමකට වඩා ලිංගික හැසිරීම ආයුධයක් විදියට පාවිච්චි කරනවා.

ශාරීරික අපයෝජනය: ඒක පටන් ගන්නේ ඔයාගේ අත ටිකක් තදින් අල්ලන එකෙන්. ඊට පස්සේ තල්ලු කරන එකෙන්. ඊට පස්සේ කවදාවත් වෙයි කියලා හිතපු නැති කම්මුල් පහරකින්.

ඒත් අපයෝජනය කියන්නේ ඒ ක්‍රියාව විතරක් නෙවෙයි – ඒක සිද්ද වෙන රටාව. කුරිරුකම්වලට පස්සේ සමාව ඉල්ලන චක්‍රයක් තමයි මේක.

 “මම බීලා හිටියේ. මට අද එච්චර හොඳ දවසක් නෙවෙයි. ඔයා නිසා තමයි මට එහෙම කරන්න වුණේ.” ඊට පස්සේ තෑග්ගක්. හාදුවක්. පොරොන්දුවක් දීලා ඔයාව ශේප් කරගන්නවා.

ඊට පස්සේ ආයෙ ආයෙත් ඒකම සිද්ධ වෙනවා.

මිනිස්සු ඒ වගේ සම්බන්ධතාවල ඉන්නේ ඇයි?

“ඇයි එයාලා ඒකෙන් අයින් වෙලා යන්නේ නැත්තේ?” කියලා අහන එක ලේසියි. ඒත් ඇත්තටම ඒක කරන්න සංකීර්ණයි. බය කියන එක ලොකු දෙයක් මෙතන කරනවා – ශාරීරික හිංසනයට තියෙන බය, නින්දාවට, විනිශ්චය කිරීම්වලට, නැත්නම් දරුවන්ගේ අනාගතය ගැන බය නිසාම සමහරු මේ abusive relationships අස්සෙ හැංගිලා ඉන්නවා. සමහර අය හිතනවා තමන්ට මේවා වෙන්නෙ තමන්ගෙ වැරදි හන්දා කියලා. තවත් අයට  මේ abusers ලා හැමතිස්සෙම කියන්නේ වෙන කවුරුවත් එයාලට ආදරය කරන්නේ නෑ කියලා. බලාපොරොත්තුවක් තියෙනවා – හැමදේම හොඳ වෙයි, මේක ටික කාලෙකට විතරයි, නැත්නම් ආදරයට හැම තුවාලයක්ම සුව කරන්න පුළුවන් කියලා.

සමහර අය ආර්ථික වශයෙන් තමන්ට වද දෙන මේ මනුස්සයා මත යැපෙනවා. තවත් අය මානසිකව හිරවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට, අපයෝජකයා ටිකෙන් ටික වින්දිතයාගේ ආත්ම ගෞරවය නැති කරලා, මේ සම්බන්ධය නැතුව තමන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා විශ්වාස කරවනවා. මේක චක්‍රයක් – වේදනාව, සමාව, තාවකාලික සාමය, සහ ආයෙත් වේදනාව කියන තැනට ආයෙ ආයෙ එන චක්‍රයක්.

අවධානය යොමු කළ යුතු කාරණා

ඔයා මේ වගේ විවාහයක හිරවෙලා ඉන්නවා නම් සහ යම්කිසි දෙයක් වැරදියි කියලා හිතෙනවා නම්, ඔයාගේ හිත කියන දේ විශ්වාස කරන්න. ඔයාගෙන්ම අහන්න:

  • ගොඩක් වෙලාවට මට මගේ සහකරු ගැන බයක් දැනෙනවාද?
  • එයාගේ ප්‍රතිචාරයට බය නිසා මම සමහර මාතෘකා ගැන කතා කරන එක මඟහරිනවාද?
  • මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ මගේ ආත්ම විශ්වාසය නැති වෙලාද?
  • මම දැන් මොකක් හරි වරදක් වෙයි කියලා බයකින් හැසිරෙනවාද?
  • හැම වැරද්දකටම මට චෝදනා කරනවාද?

මේ ප්‍රශ්නවලින් එකකට හරි ඔයාගේ උත්තරය “ඔව්” නම්, ඔබ මානසික හෝ ශාරීරික අපයෝජනයකට ලක් වෙනවා වෙන්න පුළුවන්.

මොකද්ද ඉතින් කරන්නෙ?

ඇත්ත පිළිගන්න මුල්ම සහ අමාරුම පියවර තමයි ඔයා ඉන්නේ අපයෝජනීය සම්බන්ධයක කියලා පිළිගන්න එක. ඇත්ත පිළිගන්න අකමැති වෙන එක ආරක්ෂාකාරී ක්‍රමයක් වුණාට, ඒකෙන් ඔයාව ඒක ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. “මේක ආදරයක් නෙවෙයි” නැත්නම් “මට මේ දේවල් තවදුරටත් මෙහෙම වෙන්න ඕන නෑ” කියලා කියන එකත් ධෛර්ය සම්පන්න ක්‍රියාවක්.

හැමදෙයක්ම ලියාගන්න සිද්ධ වුණු අපයෝජනීය සිදුවීම් හැම එකක්ම ලියාගන්න – මැසේජ්, තුවාලවල ෆොටෝ, තර්ජනාත්මක පණිවිඩ, නැත්නම් සංවාද. ඔයාට කවදාහරි නීතිමය උපකාරයක් අවශ්‍ය වුණොත් මේවා හරිම වැදගත්.

මානසික සහය පතන්න ඔයා විශ්වාස කරන කෙනෙක්ට – යාලුවෙක්ට, සහෝදර සහෝදරියෙක්ට, නැත්නම් උපදේශකවරයෙක්ට  කතා කරන්න. මේ ගැන කතා කරන එක නිදහසට තියෙන පළමු පියවර වෙන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා. අපයෝජකයෝ දියුණු වෙන්නේ නිහඬතාවයෙන් සහ ඔයා හැමදේම රහසක් විදියට තියාගෙන ඉන්න එකෙන් බව අමතක කරන්න එපා.

ආරක්ෂිත සැලැස්මක් හදන්න ඔයා අනතුරක ඉන්නවා නම්, ආරක්ෂිතව යන්න සැලසුම් කරන්න. කොහාටද යන්නේ, කොහොමද යන්නේ, සහ කවුද ඔයාට උදව් කරන්නේ කියලා දැනගෙන ඉන්න. හදිසි අවස්ථා අංක සේව් කරලා, වැදගත් ලියකියවිලි ආරක්ෂිත තැනක තියාගන්න.

වෘත්තීය මට්ටමේ උදව් ගන්න මනෝචිකිත්සකයෙක්ට, කාන්තා අයිතිවාසිකම් සංවිධානයකට, නැත්නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන කණ්ඩායමකට කතා කරන්න. මේවායෙන් මානසික මඟපෙන්වීම, නීතිමය සහය සහ සමහර වෙලාවට ආරක්ෂිත නවාතැන්පල පවා ලබා දෙනවා.

තත්වය දරුණු වෙනකම් බලාගෙන ඉන්න එපා අපයෝජනය කියන්නේ කාලයත් එක්ක වැඩි වෙන දෙයක්. ඔයා “පැහැදිලි” සංඥාවක් එනකම් බලාගෙන ඉන්නවා නම්, හැමදාම නින්දාවෙන් සහ බයෙන් ජීවත් වෙන එකම ඇති මෙතනින් අයින් වෙන්න signal එක විදියට පාවිච්චි කරන්න. තත්වය දරුණු වෙනකම් ඉන්න ඕන නෑ.

ප්‍රශ්නය ඔයා නෙවෙයි

අපයෝජකයෝ කියන ලොකුම බොරුව තමයි වින්දිතයාගේ වැරැද්දක් නිසා මේ දේවල් වුණා කියලා හිතෙන එක. ඕනවට වඩා සංවේදී, ඕනවට වඩා ඉල්ලීම් කරන, ඕනවට වඩා නොසැලකිලිමත් වුණා කියලා එයාලා ඔයාට කියනවා. ඒක ටිකෙන් ටික ඔයාගේ ආත්ම අභිමානය නැති කරලා, ඔයාට ඔයාවම විශ්වාස නැතිවෙන තැනක් වෙනකම් දුරදිග යනවා. ඒත් ඇත්ත මේකයි: ප්‍රශ්නය ඔයා නෙවෙයි. අපයෝජනය කියන්නේ අපයෝජකයා හිතාමතාම ගන්න තීරණයක්. 

අපයෝජනයෙන් පසු සුව වීම

සම්බන්ධය අත්හැරලා යන එක කතාවේ අවසානය නෙවෙයි – ඒක අලුත් කතාවක ආරම්භය. සුව වීමේ ගමන දිගු වෙන්න පුළුවන්. ඒත් ඒ ගමන තමන්ව නැවත සොයා ගැනීම, චිකිත්සාව, ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම සහ සමහරවිට මුල සිටම පටන් ගැනීම වගේ දේවල්වලින් පිරිලා තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන.

සමහර අය ඒ ගැන කතා කරලා ශක්තිය ලබා ගන්නවා. තවත් අය කලා කටයුතුවලින්, ආගමෙන්, නැත්නම් සමාජයෙන් සුවය ලබා ගන්නවා. හැමෝටම සුව වෙන්න එකම පාරක් කියලා නෑ, ඒත් හැම වෙලාවෙම මොකක් හරි පාරක් තියෙනව. ඒකම කොච්චර වටිනවද නේද?

විවාහය කියන්නේ යුධ පිටියක් වගේ වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඔයා බයෙන් හුස්ම හිර වෙලා ඉන්න තැනක් වෙන්න බෑ. ඔයාගේ ගෙදර ඔයා ඉන්නෙ ලොකු බයකින් නම් යමක් වෙනස් වෙන්න ඕන කියලා තේරුම්ගන්න.

ඔයා ඒ සම්බන්ධයේ හිටපු එක ඔයාව දුර්වල කෙනෙක් කරන්නෙ නෑ. එහෙම සම්බන්ධෙකින් මිදිලා යන්න තීරණය කරපු එකම මාරම powerful movement  එකක්. 

ඉතින් අමතක කරන්න එපා, 

You are allowed to want more.

You are allowed to be safe.

You are allowed to be free.

Related Articles

Don't Miss


Latest Articles