මනුජව දියතලාව රෝහලට ඇතුලු කෙරුණේය. මනුජගේ පියා පසුදා යළි දියතලාව මනුජගේ නවාතැනට පැමිණියේ මනුජ යම් අපහසු තත්වයම උන් බැවිනුත්, දියණියගේ සම්පුර්ණෙ වගකීම සාරතී ට පවරා සිටිය නොහැකි නිසාවෙනුත් ය . මනුජ පියාට රෝහලට නොපැමිණෙන ලෙසත්, දියණිය සමඟ නිවසට වී සිටින ලෙසත් පැවසුවේ පියා වෙහෙසවන්නට වූ අකමැත්ත නිසාවෙන්මය.
දියණියගේ රැකවරණය පිළිබඳව සිතෙහි වූ කරදරය ඉන් නිම විය.
විශ්ව මනුජගේ තත්වය නිරතුරු සොයා බලමින් කටයුතු කලේය
” අර ඩොක්ටර් ගෙදර ආ බවක්, අපේ විශ්වට කියන්න එපා…”
මනුජ ලඟ උන් මිතුරාට අවධාරණය කලේය. මනුජ රෝහල් ගත කර දෙවෙනි දින අවසන් වන තුරුත් සින්දූපා ඔහු දකින්නට ආවේ නැත.
” අර ඩොකා බං උඹව ඇඩ්මිට් කරගත්ත හැටියට මම හිතුවේ උඹ ළඟ පැල් බැඳ ගනීවි කියලා… කෝ… දවස් දෙකක් ඉවර උනා…තවම නෑනේ…”
“උඹට ඕනි නම්ගිහින් බලලා වරෙංකෝ….. ඉවරනේ…”
මනුජ කෝපයෙන් මිතුරාට කීවේය
” මට ඕනි ඇති එකක් නෑ….. මං කිව්වේ ඉතින් එවෙලේ ගෙදෙට්ටම හොයාගෙන ඇවිල්ලා හොයලා බලපු තාලෙට නැති එක අවුල් කියලා… ඒකයි කිව්වේ මම ….”
මනුජ එයට පිළිතුරු නොදී මුනිවත රැක්කේය. එදින රාත්‍රීයේ සින්දූපා රෝහල් වාට්ටුවේ පිවිසුමෙන් මතු වනු පලමුව දුටුවේ කඳවුරේ මිතුරාය.
” ආවා … ආවා…”
ඔහු යන්තමින් මනුජව සොලවා ඇහැරෙව්වේය. සින්දූපා කෙලින්ම වාට්ටුවේ වෛද්‍යවරිය වෙත ඇවිද යනු දෙදෙනාම බලා උන් හ. ඉන් පසුව ඕ ඇය සමඟ යම් කතාබහක උන්නය. දෙදෙනාම එක්ව මනුජගේ රෝහල් සයනය වෙත ඇවිද ආවේ ඉන් පසුවය.
” සින්දූපා කොහොමද සර්ව දන්නේ ?”
“මගේ තනියට රෑට ගෙදර ඉන්න එන ඇන්ටි දවල් වරුවේ මිස්ටර් මනුජගේ බබාව බලනවා… අද තමා ඇන්ටි කිව්වේ චුට්ටක් බලලා විස්තරයක් කියන්න කියලා…”
ඒ කතාබහ මනුජට සහ මිතුරාටද ඇසිණි. මිතුරා ඇහිබැම ඔසවා මනුජට සන් කලේය. මනුජ උන්නේ කිසිම හැඟීමක් නොපෙන්වාය.
” දැන් නම් සර් ස්ටේබල් …. ඉන්ෆෙක්ශන් එකක් තිබුණානේ.. ඒකෙන් තව දවස් දෙක්ක විතර ඇඩ්මිට් වෙලා ඉන්න වෙනවා… ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවර වෙනකල්…”
“රිපෝර්ට් ?”
“රිපෝර්ට් ඔක්කොම නෝර්මල් දැන්…”
සින්දූපා වෛද්‍යවරියගේ පැහැදිළි කිරීම් අසා උන්නේ කිසිවක් නොදන්නා ලෙසය. එහෙත් ඒ වෙද්දීද ඕ උන්නේ මනුජගේ තත්වය ගැන සියලු තොරතුරු දැනගෙනය. සින්දූපා මනුජලා අසල තනි කරමින් වෛද්‍යවරිය යලි ඇගේ අසුම වෙත ගියාය. මනුජ අසල උන් මිතුරාද වාට්ටුවෙන් පිටතට ඇවිද ගියේය. සින්දූපා මනුජට ලං වූයේය.
” කොහොමද ?”
සින්දූපා කිසිඳු ආමන්ත්‍රණයක් නොමැතිවම විමසුවාය. ඇගේ විමසීමෙන් වූයේ ළයාදර බවකි.
” මම ඩොක්ටර්ගේ ඩී එම් ඕ ව දන්නවා… මම පර්සනලි එයාට කතා කරන්නම් ….”
මනුජ සින්දූපා දෙස බලා එක්වරම එලෙසින් පවසා දැම්මේය. සින්දූපා ගේ මුව මත වූයේ සිනහවකි. මනුජද පෙරලා ඇයට සිනහවක්ම දුන්නේය.
” එහෙම ඕනි නැහැ… ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි… අපේ සර් කොහොමත් මාත් එක්ක ටිකක් හොඳ නෑ… ඒ හින්දා පොඩි සිද්දියකට මම මැදි වුනත්, ඔහොම වෙනවා…”
“හේතුව ?”
“මොකටද ?”
“ඩී එම් ඕ ඔයත් එක්ක හොඳ නැති වෙන්න ..?”
සින්දූපා සිනාසුණාය. ගැඹුරු සුසුමක් හෙලුවාය. මේ ඒ පිළිබඳව කතා කරන්නට සුදුසු වේලාව හොක් සුදුසු පුද්ගලයාදැයි ඇයට විශ්වාස නැත. ඒවා ආන්දෝලනාත්මක කතන්දරය.
” එව්වා වැඩක් නෑ…දැන් ඔයාට ප්‍රශ්නයක් නෑ… ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවර උනාම ගෙදර යන්න පුලුවන් …”
මනුජ හිස සැලුවේය. මිස්ටර් මනුජ ගැලවී, ඒ වෙනුවට ඔයා ඇලවී ඇත. මනුජගේ හිතට යම් අමුත්තක් නොදැනෙනවා නොවේ.
” මම පහුගිය දවස් දෙකේ වෝර්ඩ් එකට නාවට තරහ වෙන්න එපා… විශ්ව අය්යගෙන් බේරෙන්න බෑ …එක එක ඒවා අහලා…. ඒකයි…. අද එයා නිවාඩු ගියා…”
මනුක සිනාසී හිස සැලුවේය. විශ්වගෙන් බේරෙන්නට බැරි කුමක් නිසාදැයි විමසන්නට ද සිතුණි. එහෙත් ඔහු කිසිවක්ම නොවිමසා සින්දූපා දෙස බලා හිඳීම පමනක් කලේය.
” කන්න අපහසු වුනාට කමක් නා…චුට්ටක් හරි කන්න මොනවා හරි…උදේට මම මොනවා හරි හදලා ගෙනල්ලා දෙන්නද ?”
“සාරතී නැන්දා නැතුව ඇනෙක්ස් එකේ ඉන්න පුලුවන් ද තනියම ?”
මනුජ පෙරලා විමසුවේ එක්වරම සිහියට ආ කරුණය.
” පුලුවන්… ලයිට් දාගෙන නිදාගන්නවා…”
සින්දූපා එලෙස කීවේ සිනහව ගිලගෙන, පහත් ස්වරයකිනි. මනුජටද යළි සිනහ නැඟුණි. අවුරුදුම තිස් පහක්වත් වන වෛද්‍යවරියකට ඇති භීතිකාවන් මෙලෙසද විය හැක.
” කරදර වෙන්නෙපා…කෑම්ප් එකෙන් මට කෑම එවනවා..”
මනුජ ඉන් පසුව එලෙසද කීවේය.
” මේ… මගේ නම්බර් එක සේව් කරගන්න …. මොනවා හරි ඔනි හිතුනොත් කෝල් එකක් දෙන්න ….”
සින්දූපා ඉතා අපහසුවෙන් එලෙස පවසා අවසන් වෙත්ම, මනුජ යහනේ හිස අසල වූ ජංගම දුරකතනය ගෙන සින්දූපා වෙත පෑවේය. සින්දූපා අංකය තිරයේ සඳහන් කර ඔහු වෙත පෑවේය.
” නම??.”
මනුජ ඇසුවේය.
” ආහ් ??”
“නම කොහොමද මම සේව් කරගන්නේ ?”
මනුජ පැහැදිළි කරමින් විමසුවේය.
” සින්දූපා මම …. ආදරේම අය කියන්නේ සින්දූ කියලා….”
මනුජ හිස සැලුවේය. ඇගේ අංකය සින්දූ ලෙසින් මනුජගේ ජංගම දුරකතනයේ සුරක්ෂිත වූයේය. මනුජ යලි සින්දූපා දෙස බැලුවේය.
” විශ්ව මගේ සහෝදරයෙක් .. උගෙන් නරකක් වෙන්නේ නෑ.. ඒ ගැන කලබල වෙන්න එපා…”
සින්දූපා යළි හිනැහුණාය.
” සාරතී ආන්ටි කිව්වා බබා ගේ සීයා ඇවිල්ලා කියලා…”
“ඔව්. තාත්තා දවසක් දෙකක් තව ඉඳීවි… අම්මව බලන්න එහෙ දෙන්නෙක් තියලා ඉන්නේ…”
“හ්ම්ම්ම්…”
” ඒ නිසා මම ඒ පැත්තේ ගියේ නෑ…”
මනුජ හිස සැලුවේය. ඇය මේ පෙන්වන්නේ අයිතිවාසිකම් ද ?
” මම එහෙනම් ගිහින් එන්නම් … මට මිස් කෝල් එකක් තියනවද ?…”
මනුජ ඉදිරිපත් නොවූ නිසාම සින්දූපා ඉදිරිපත් වූයේය.
මනුජ ජංගම දුරකතනය අතට ගත්තේය.