දවස් තුනකට වඩා කෙනෙක්ව පොළොව යට වළ දාලා ඉඳලා, ආයෙත් පණ පිටින් එළියට ගන්න පුළුවන්ද?
පොඩ්ඩක් ඇහෙද්දිත් අමුතුයි නේද?
එහෙම දෙයක් වෙන්න විදියක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ කියලා දන්නවා උනත් මේ ආටිකල් එක කියෙව්වට පස්සෙ ඔයාට උනත් තේරේවි “අපි ඔය හිතන් ඉන්න වෙන්න බැරි දේවල්” ඇත්තටම මේ ලෝකේ වෙලා තියෙනවා කියන එක.
ඒ 1968 දෙසැම්බරයේ අඳුරු රාත්‍රියක්.
බාබරා ජේන් මැකල් කියන අවුරුදු විස්සක් වයස වෙච්ච කෙල්ලෙක් හිටියා. බාබරා ඒ දවස්වල ජෝර්ජියාවේ එමෝරි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් තමයි හිටියේ. ඒත් ශීත ඍතුවේදී පැතිර ගිය උණක් නිසා බාබරා අසනීප වුණා. ඒ වෙලාවේ, එයාගෙ අම්මා ජේන් ෆ්ලොරිඩාවේ ඉඳන් ඇවිත් බාබරාව නත්තල් නිවාඩුවට ගෙදර එක්කගෙන යන්න බලාගෙන තමයි උන්නෙ. ගෙදර යන ගමන් රෝඩ්වේ ඉන් කියන හෝටලයේ කාමරයක රෑට නවතින්න මේ දෙන්නා ගියේ එක දවසකින් මේ ගමන යන එක ලේසි නෑ වගේම, බාබරා ඒ වෙද්දිත් උන්නෙ ටිකක් විතර අසනීපෙන් හන්දා.
ඒක හරිම සාමාන්‍ය දවසක්. හැබැයි කිසිම කෙනෙක් හිතුවේ නැහැ එච්චර සාමාන්‍ය දවසක් වෙච්ච එදා දවස තව පැය කීපයකින් මේ අයගේ ජීවිත සදහටම වෙනස් කරන්න හේතු වෙයි කියලා.
පාන්දර හතරට විතර දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා.
“වාහන අනතුරක් වෙලා” කියපු පිරිමි කටහඬක් ඇහුණාම, බාබරාගේ අම්මා බයෙන් දොර ඇරියා. මොකද එයා හිතුවෙ මේ කතාකරන්නේ එයාගේ පුතා හරි එහෙමත් නැත්තම් බාබරාගේ පෙම්වතා වෙන්න ඇති කියලයි. ඒත් ඒ මොහොතේ, තුවක්කුවක් අතේ තියාගෙන හිටපු මුහුණු ආවරණය කරගත්තු ආගන්තුකයන් දෙදෙනෙක් කාමරේට කඩා වැදෙන්නෙ හරිම අනපේක්ෂිත විදියට. ඒ තමයි ගැරී ස්ටීවන් ක්‍රිස්ට් සහ රුත් අයිසමන්-ෂියර්. එයාලා බාබරාගෙ අම්මාව ගැටගහලා සිහි නැති කරලා, බාබරාව තුවක්කුව පෙන්නලා බය කරලා Kidnap කරනවා. බාබරා උන්නෙ හරියට shock වෙලා. බාබරා උන්නෙ මේ අය කවුද, මේ අය තමන්ව කොහෙටද ගෙනියන්නේ කියලාවත් දන්නෙ නැතුව.
ක්‍රිස්ට් සහ රුත්, බාබරාව ගෙනිච්චේ ජෝර්ජියාවේ ගුවිනෙට් කවුන්ටිවල තියෙන ඝන වනාන්තරයක් ඇතුළට. එතැන එයාලා කලින්ම ෆයිබර්ග්ලාස්වලින් හදපු අමුතු පෙට්ටියක්, වළලන්න ලෑස්ති කරලයි තිබුණේ. ඒක බැලූ බැල්මටම මිනී පෙට්ටියක් වගේ තමයි පෙනුනේ. ඒ ඇතුළේ බැටරි ලාම්පුවක්, කෑම ටිකක්, නිදිමත හැදෙන බෙහෙත් මිශ්‍ර කරපු වතුර බෝතල්, වගේම පොළොවට උඩින් හුස්ම ගන්න පුළුවන් ප්ලාස්ටික් බට දෙකක් තිබුණා.
එයාලා බාබරාව ඒ පෙට්ටිය ඇතුළට දාලා, පියන වහලා, පස් වලින් වහලා දැම්මා. හිතපු නැති විදියට තමන්ව පොළොව යට පණපිටින් වැලලෙද්දි බාබරා උන්නේ ඇත්තටම ශොක් වෙන්න පුළුවන් උපරිමේටම ශොක් වෙලා. ඒ අත්දැකීම ගැන බාබරා පස්සේ කිව්වේ, “පස් වැටෙන සද්දේ ඈතින් ඈතට ගිහින්, අන්තිමට උඩින් කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වුණා. මම ගොඩක් වෙලා කෑ ගැහුවා” කියලා. ඒක හරියට පණපිටින් භූමදානය කරනවා වගේ අත්දැකීමක්!
හිතන්නවත් අමාරුයි නේද?

ක්‍රිස්ට් සහ රුත්, බාබරාගේ තාත්තා, ධනවත් ව්‍යාපාරිකයෙක් වුණ රොබට් මැකල්ගෙන්, ඒ කාලේ හිතාගන්න බැරි විශාල මුදලක් (ඩොලර් 500,000ක්) ඉල්ලනවා බාබරාව නිදහස් කරන්න ඕන නම් දෙන්න කියලා. පවුලේ අය මුදල් දෙන්න සූදානම් වුණත්, මුලින්ම කප්පම් මුදල් භාරදෙන එක අසාර්ථක වෙනවා. ඒ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අහම්බෙන් ඒ පැත්තෙන් ගිය නිසා. පැහැරගත්ත අය තමන්ගේ කාර් එක දාලා පැනලා ගියා. FBI නියෝජිතයන්ට ඒ කාර් එක ඇතුළෙන් ව්‍යාජ නම් ඇතුළත් හැඳුනුම්පත් සහ ඡායාරූප හම්බ වෙනවා. ඒ අනුව තමයි ප්‍රධාන සැකකරු හිරෙන් පැන ආපු ක්‍රිස්ට් බව හෙළි වෙන්නෙ.
දෙවන වරට මුදල් සාර්ථකව දුන්නත්, බාබරාව නිදහස් කිරීම ගැන කිසිම තොරතුරක් ලැබෙන්නෙ නෑ. මේ දවස් කිහිපය පුරාම බාබරා ඒ පුංචි පෙට්ටියේ හිටියේ නිදි පෙති මිශ්‍ර කරපු වතුර බොමින්, ඒ පුංචි බට දෙකෙන් හුස්ම ගනිමින්. එයා පස්සේ කිව්වේ, නත්තලට ගෙදර ඉන්නවා කියලා හිතෙන් හිතාගෙන සහ බලාපොරොත්තුව අත් නොඇරපු එක තමයි තමන්ව ජීවත් කළේ කියලා. තමන් මැරෙයි කියල එක තප්පරේකටවත් හිතුවෙ නැති බව බාබරා මාධ්‍යයට කියනවා.
දවස් තුනකට පස්සෙ දෙසැම්බර් 20 වෙනිදා ක්‍රිස්ට්, FBI එකට කතා කරලා බාබරාව වළ දාලා තියෙන තැන ගැන හෝඩුවාවක් දෙනවා. ඒ විස්තරයත් එක්ක සියයකට වඩා වැඩි FBI නියෝජිතයන් කණ්ඩායමක් ජෝර්ජියාවේ වනාන්තර ප්‍රදේශයකට යනවා. ඒක කාලයත් එක්ක කරන සටනක් වගේ තමයි ඇත්තටම ඒ වෙලාවෙ නම් පේන්න තිබුණේ. හැමෝම උදලු, පොලු, සමහර අය අත් දෙකෙන්ම පිස්සුවෙන් වගේ පස් හාරන්න පටන් ගන්නවා මොකද තමන් පරක්කු වෙන එක තප්පරයක් බාබරාව තමන්ගෙන් ඇත්වෙන්න හේතුවෙන්න පුළුවන් කියන එක එයාලගෙ හිත දැනගෙන හිටිය හන්දා.
එයාලා දැනගෙන හිටියා තවත් ප්‍රමාද වුණොත් බාබරාට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා.
පැය ගණනක දැඩි සෙවීමකින් පස්සේ, අන්තිමට පොළොව යට හංගපු ඒ පෙට්ටිය හම්බ වෙනවා. එයාලා පියන ඇරලා බලනකොට දකින්න ලැබුනෙ කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතිච්ච දෙයක් නෙවෙයි.
සාමාන්‍යයෙන් දවස් තුනක් පුරාවට මෙහෙම කෙනෙක්ව පොළොව යට වළලලා තිබ්බොත් කෙනෙක් මැරෙන්න උනත් හේතු වෙනවා.
හැබැයි බාබරා උන්නේ ජීවතුන් අතර!
එයා දුර්වල වෙලා, විජලනය වෙලා, බයෙන් හිටියත්, ඒ පැය අසූතුනක කාලෙ එයා කොහොමහරි අල්ලගෙන ඉඳලා තියෙනවා.
මේ ගැලවීම මුළු රටම පුදුම කරනවා. බාබරාගේ මානසික ශක්තිය ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා.
හැමදේකටම පස්සෙ ආයෙම නිදහස් කෙල්ලෙක් විදියට ගෙදර ඇවිත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙච්ච බාබරා පස්සේ විවාහ වෙලා, දරුවන් එක්ක සතුටින් ජීවත් වුණා.
අපරාධකරුවන් දෙදෙනාගෙන් ක්‍රිස්ට් ටික දවසකින් ෆ්ලොරිඩාවේ වගුරු බිමක හැංගිලා ඉන්නකොට අහුවුණා. රුත් මාස කීපයකට පස්සේ අහුවුණා. ඒ දෙදෙනාටම සිර දඬුවම් ලැබුණත්, කෙටි කාලයකින් නිදහස් වෙනවා. හැබැයි මේ අපරාධය නිසා එයාලගේ ජීවිත සදහටම අපකීර්තිමත් වුණා.
“83 Hours Till Dawn” කියන නමෙන් පොතකටත් චිත්‍රපටයකටත් හැරුණු බාබරාගේ මේ අත්දැකීම, මනුෂ්‍යත්වය තුළ තියෙන කෲරත්වය වගේම ඊට එරෙහිව නැඟී සිටින අසාමාන්‍ය බලාපොරොත්තුව ගැන අපිට ලස්සන කතාවක් කියලා දෙනවා.
අවුරුදු විස්සෙදි මෙහෙම ඇත්තටම ජීවිතය සහ මරණය අතර සටනකින් දිනපු බාබරා කියන්නේ “සුපිරි කෙල්ලෙක්” නේද?