දෑත දරා – 32

0
2510

මනුජ වේලාසන නිවසට ගියේය. දියණියවද සූදානම් කර ගෙන සාරතී නැන්දා ඇරලවන්නට පිටත් වූයේය.

” ඩොක්ටර්ට කියන්න අපි හොස්පිට්ල් එක ලඟ කියලා සාරතී නැන්දේ…  “

රෝහලට කිට්ටු වෙද්දී මනුජ එලෙසින් පැවසුවේය. සාරතී සින්දූපා ට ඇමතුමක් ගත්තාය. සින්දූපා ගේ මෝටර් රිය පැමිණියේ පැයකට පමණ පසුවය. දියණිය ඉදිරි අසුනේම  නින්දකට වැටී උන්නාය. සාරතී ගොස් සින්දූපා ගේ මෝටර් රියට ගොඩ වූවාය. සාරතී මෙන්ම සින්දූපා ද උන්නේ  සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවය.

” ඇයි ආන්ටි ඒ …?”

” අනේ කවුද දන්නේ නෝනේ… වේලපහ ගෙදර ආවා… බබාවත් ලෑස්ති කරගන්න කිව්වා… ඒ ගමන්ම ඉස්පිරිතාලෙට ආවා ….. නෝනේට කතා කරන්න කිව්වා… නෝනේගේ කාර් එක ගේට්ටුවෙන් පාරය දානකල් ඇස් අහකට ගත්තේම නෑ…. “

සින්දූපා සුසුමක් හෙලුවාය. දැනෙන ආරක්ශාකාරී හැඟීම ඇයට පහදා කියන්නට වැටහෙන්නේ නැත.

” නෝනේ මොකක් හරි කරදරේකද ?”

” එහෙම නෑ ආන්ටි…”

“එහෙම කරදරයක්නම්, අපේ මහත්තයාට කියන්න දෙපාරක් හිතන්න එපා නෝනේ…. මහත්තයා ඒවා බලාගනී…”

සින්දූපා කිසිත් නොපවසා උන්නාය. සින්දූපා නිවසට ඇතුලු වී ගේට්ටු අඟුලු දමා නිවසේ විදුලි පහන්ද දැල්වෙන තෙක්ම මනුජ උන්නේ, අවධානයෙනි. ඔහු ඉන් පසු මෝටර් රිය හරවා ගත්තේය. දියණිය අසීරි ඉරියව්වක නින්දේය. මනුජ බලෙන්ම ඇය ඇහැරවා ගත්තේය. මඟදී කඩයකින් ඇය රිසි පරිදි  සෙල්ලම් බඩු මිලදීගන්නට ඉඩ සැකසුවේය. ඉන් දියණියගේ නින්ද අවසන් විය.

දියණියගේ තොරතෝංචියක් නැති කියවිලි නිසාම මනුජගේ සිතෙහි වූ කණස්සලු ස්වභාවය නැතිව ගියේය. නිවෙසට ගොස්, දියණියගේ වැඩ කටයුතු අවසන් කර, ඇය නින්දට යවා අවසන් කරන විට දෙහෝරාවක් ඉක්මවා ගොස් තිබුණි.

මනුජට කුසගින්නක් දැනුණේ නැත. ඔහු නිරාහාරවම යහනේ වැතිරුණේ ජංගම දුරකතනය ද පසෙකින් තබා ගනිමිනි. විශ්වගේ ඇමතුමේ පටන් සිදුවූ සියල්ල ක්ෂණික සිතුවම් පටයක් සේ ඇදී ගියේය. අවසානයේ සින්දූපා ගේ බෝල ඇස් මඟ හැර තමා පැමිණි බව ත්, ඇය තමා නවතා ගන්නට හෝ උත්සාහ නොකෙරූ බවත් සිහිවී මනුජට වේදනාත්මක සුසුමක් හෙලුණේය.

යළි විශ්ව සිහි විය. ඔහු ට සින්දූපා කුමක් පවසා ඇතිදැයි නොදන්නා බව සිහි වූයේය. ඔහුගෙන් ඇමතුමක් හෝ නොමැති වීමද භයානකය. මනුජ විශ්ව ඇමතුවේය.

” කියපං …”

“උඹ කොහේද ?”

” සින්දූපා ගේ ගෙදර … ඇයි උඹට මොකද ?”

විශ්ව ගේ හඬෙහි වන කෝපය හඳුනාගැනීම මනුජට අපහසු වූයේ නැත. මේ ඔහු සමඟ කතා බස් කිරිමට  සුදුසු කාලයක් නොවේය.

” මං උඹට පස්සේ ගන්නම් එහෙනම්… උඹ ඉන්නේ මාත් එක්ක් ඇරගෙන නේ…”

“නෑ නෑ.. ආයේ ඉස්සරහට පස්සට අරගෙන මට උඹ එක්ක කතා කරන්න දෙයක් නෑ.. කියන දෙයක්දැන් කියලා ෆෝන් එක තියහං…”

මනුජ  කිසිවක් නොපවසා උන්නේය. විශ්ව ජීවිතේ අමාරුම හරියේ උන් මිතුරාය. තමාගේම අමනකමින් ඔහු අහිමි වී හමාරය. මනුජ කිසිත් නොපවසා දුරකතනය විසන්ධි කරදැම්මේය.

පැය භාගයකට පමණ පසු මනුජගේ ජංගම  දුරකතනය නාද විය. ඇමතුම කාගෙන්දැයි දුටු මනුජ තිගැස්සුණේය.

” හෙලෝ ….”

“ගේට්ටුව ඇරපං…”

මනුජ වහා මිදුලට බැස්සේය. ගේට්ටුව විවෘත කලේය. විශ්ව මෝටර් රිය මිදුලට ඇතුළු කලේය.    බෑගයක්ද ගෙන බැස්සේය. මනුජව නොතකමින් නිවසට ඇතුලු වූයේය.

මනුජ විශ්ව පසුපසින් නිවෙසට ඇතුළු වූයේ සැනසීමෙනි. විශ්වගේ ඒ බෑගයේ ඇත්තේ මොනවාදැයි පැරණි රසාංග ඇසුරෙන්ම මනුජ දනී.

මනුජ බිත්තර කිහිපයක් ඔම්ලට් දැම්මේය. කොමඩු ගෙඩිය කපා ගත්තේය. විටින් විට විශ්ව මුලුතැන්ගෙය දිහාවට විත් යනු දුටුවද, නොදැක්කා සේ ඔහුහේ කාර්‍යයේම නිරත විය.

මනුජ සාලයට එන විට විශ්ව සියල්ල සකසා තිබුණි.

” වොශ් එකක් දාගනින් …”

මනුජ වෙනදා හුරුවට පවසද්දීම විශ්ව වෙනදා හුරුවෙන් ක්‍රියාත්මක වූයේය.
පැය භාගයක් ඉක්ම යද්දී දෙදෙනා එකිනෙකාට සම්මුඛව හිඳ උන් හ.
විශ්ව විදෙස් මත්පැන් බෝතලය කැඩුවේය.

” චියර්ස්….”

පලමු , දෙවන උගුරු නිහඬවම ගිලදැමුණි.

” තෑන්ක්ස්…”

විශ්ව කීවේය. කුමකටදැයි නොදැනම මනුජ හිඅ සැලුවේය.

” කෙල්ල නිදිද ?”

“ඔව්….”

“උඹ දැන් කරන්න හදන්නේ මොකක්ද?…”

මනුජ නිහඬවම විශ්ව දෙස බැලුවේය. ඔහු විමසන්නේ සින්දූපා පිළිබඳව බව නොවැටහෙනවා සේ සිටින්නට උත්සාහ කලේය.

” උඹ මම මේ කියන එක හොඳටම අහගනින් මනුජ …. සින්දූපා කියන්නේ උඹ, මම අයිති පන්තියේ කෙල්ලෙක් නෙවෙයි …. ඒකිගේ තාත්තා, ඒ කියන්නේ මගේ මාමා , කින්ග්ස් නෙට්වර්ක් එකේ එම් ඩී…. ශෙයාර්ස් එයිටි පර්සන්ට් තියෙන්නේ මාමාට… හොස්පිට්ල් පහක්, හොටෙල් දෙකක්, රෙස්ටෝරන්ට් අටක්, සර්විස් සෙන්ටර් එකක්, කොෆී ශොප් පහලොවක් බං…. තව තියෙන එව්වා මට මතක් වෙන්නේත් නෑ…. සින්දූපා කියන්නේ සල්ලි වලින් නාලා ඉන්න  පුලුවන් කෙල්ලෙක්….

ඒ වුනාට ෆැකල්ටිය කාලේ ඉඳන්ම ඒකිට උණ තිබ්බෙ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න … නැන්දලාගේ අකමැත්තෙන් මෙහෙ ආවේ….. මම කෝම හරි වැඩේ අල්ලලා දුන්නා ඉතින් ..

ආව ගමන්ම අර ජරා බල්ලෙක් නාඩගමක් පටන් ගත්තා… එව්වාත් ශේප් කරන් උන්නා.. ඒකි මටවත් ඒ සීන් කිව්වේ නෑ…”

“මට ඔව්වාගෙන් වැඩක් නෑ බං…”

“වැඩක් නැති වෙන්නේ කොහොමද බල්ලෝ… තෝ ඒකිට කියලානේ තොගේ ජාතකේ.. ඒ කියල ඉන්න කියලත් කියලානේ…”

“ඉන්න කිව්වට ඉන්නේ නෑනේ.. ඒක ඉවරයි…රෙසිග්නේශන් දීලා මෙහෙන් යනවා කිව්වා.. ඒ යනකල්, මම බලාගන්නම් …”

” රෙද්ද තමා යනවා… හූල්ල හූල්ල අඬනවා … දැන්ම මුකුත් ගෙදරට  කියන්නෙපා කියලා… මඟුල…”

මනුජ තවත් වීදුරුවක් හිස් කලේය.

” සින්දූපා උඹ එක්ක ඉන්නෝනි කියන්නේ බං ? උඹට ශුවර්ද බං… අනේ මනුජ.. ඒ මගේම නංගි බං…. ජීවිත කාලේටම සැනසීමෙන් තියන්න බැරි නම් අනේ රත්තරනේ ඒ කෙල්ලගේ ජීවිතේට එන්න එපා බං.. ඒකි මාසය දෙකක අඬලා හිත හදාගනීවි බං …. පින්සිද්ද වෙයි යකෝ.. උඹට හරිහමං ප්ලෑන් එකක් නැතුව ශෝර්ට් ටර්ම් නම් සින්දූපා ව ඇතුලට ගන්නෙපා බං.. මං උඹට වැඳලා මේ කියන්නම් බං…. “

මනුජ එක දිගට වීදුරු දෙකක්ම හිස් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here