සඳක් කළ සක්මන් -39

ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු, ආශා හා පැතුම් සියල්ල අවසාන වශයෙන් මා වෙත පැමිණි ආකාරය මේ ද? 

කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම ගිනි ගන්නවා බඳු දැවීමක් මට දැනෙමින් තිබිණ. නමුත් මේ ගින්නට හසුව මා දැවී හළු වී යා යුතු දැයි හදිසියේ ම මගේ යටි හිත නැගී සිටිමින් ප්‍රශ්න කරන්න ට විය. මම ඉක්මන් ඇස් පිය සලමින් සිහි එළවා ගන්නට තැත් කළෙමි.

ආකාශ් මුල සිට ම නංගී ගැන කියා තිබුණේ ය. මම ද නංගී ගැන දැන සිටියෙමි. ඉතින් ඈ කියන එක වචනයක් මත, මගේ මුළු අනාගතය ම භාර දී සිටිනා ආකාශ් ව මා අවිශ්වාස කළ යුතු ද? ප්‍රේමයෙන් මිස ක්ලේශයෙන් ඔහු මගේ අතැඟිල්ලකට හෝ අත තබා නැති බව මා තරම් හොඳින් දන්නා කෙනෙක් නැත. විනූ වැනි ලස්සන උගත් සම වයස් වෛද්‍යවරියක ඔහු ගැන කැමැත්තෙන් පසු වන්නී ය. එහෙව් තත්වයක් මත ඔහු නංගී වැනි කෙනෙකුව වරදට පොළඹවා ගනිතැයි සිතිය හැකි ද? මම වියරු සිනහවක් නගා ගතිමි.

“දැං තමුසෙ මට කියන්නෙ ඔය කියන බහුබූත පිළිගන්නයි කියලද…ආ…”

නංගී ඇස් ලොකු කරගෙන මදෙස බලා ඉන්නට වූයේ තරමක මවිතයකිනි.

“තමුසෙට තමංගෙ නංගිට වැඩිය ඒ පිට මිනිහව විශ්වාසයිනං එහෙම විශ්වාස කර ගෙන ඉන්නවකො. මට මොකද…”

එපමණකි. ඇය ඇඳෙහි මුණින් තලා වැතිරී කොට්ටයක් බදා ගත්තා ය. මම තත්පර කිහිපයක් නිසොල්මනේ බලා ගත් අත බලා ගෙන සිටියෙමි. අම්මා අප අසල නොවන බව මා දුටුවේ එවිට ය. ආච්චම්මා නිකටේ අතක් ගසා ගෙන බිම හිඳ සිටියා ය. මා ඇඳෙන් නැගිටිත්දී ඇය මදෙස බලා සුසුමක් හෙළුවා ය.

“මේකිගෙ කොටහළු නැකතට කියවුණ දේවල් හරියටම හරි. අනේ දෙයියනේ මේකි ඒකිව විනාස කර ගත්තා මදිවට අහිංසක උඹවත් විනාස කරන්න හදන එකයි මට වාවන්නෙ නැත්තෙ ලොක්කියෙ”

“අම්ම කෝ ආච්චම්මෙ…”

“මං එපා කියද්දි අන්න අර ගෙදරට දුව ගෙන ගියා. කේළම ඒ මිනිස්සුංගෙ කනේ තියන්න. ඕවයෙ ඇත්ත නැත්ක නොදැන අන්තිමට මොනවයිං මොනව වෙයිද මන්දන්නෑ”

ගුරුගේ ලා වූ කලී මෙතෙක් මට දැනුණේ දෙවිවරුන් සේ ය. ඔවුහු මිනිස් ගති ඉක්මවා ගොස් අපට පිහිට වූහ. අප ව ඔවුන් ගේ පවුලේ කොටසක් කර ගන්නට තරම් නිහතමානී වූහ. නංගී යමක් කී පළියට එය එසේ දැයි ඔවුන් ගෙන් විමසිය හැකි ද? පොළොව පළා ගෙන ගොස් හැංගෙන්නට තරම් ලැජ්ජාවක් මට දැනිණ.

ඊළඟ තත්පරයේ නෙරංජලා සිටියේ අපේ ගෙතුළ ය. 

“මොකද්ද මේ කියන කතාව…”

ඇය හති දමමින් නංගී ව ප්‍රශ්න කළා ය. සිටි ඉරියව්වේ ම හිඳ හිස පමණක් නගා බැලු නංගී, රැවීමක් බඳු බැල්මකින්, ‘වුණ දේ තමයි කිව්වෙ’ යනුවෙන් මුරණ්ඩු ලෙස කියා නැවතත් කොට්ටය බදා ගත්තා ය. මගේ ඇස් වලින් වැස්සක් සේ කඳුළු වහින්නට පටන් ගත්තේ ය.

“නිකංම මෙහෙම කියයිද මැඩම් කෙල්ලෙක්”

අම්මා කතා කළේ අරෝවට සේ ය. මට කෑ ගැසී හැඬිණි. ඒ ආකාශ් කෙරේ සැකයකින් බියකින් නොව අපේ ගෙදරින් ම ඔහු ට මේ වාගේ චෝදනාවක් එල්ල වූ දුකට ය. නෙරංජලා ගුරුගේ මවෙත විත් මගේ හිස සිය ළයෙහි හොවා වැළඳ ගත්තා ය.

“මේක බොරුවක් පූජා. මගෙ කොල්ල කවුද කියල මං දන්නව. මේක අමූලික බොරුවක්. ඔයා හීනෙකින්වත් මේ කතාව විශ්වාස කරන්න එපා”

“නෑ අම්ම නෑ”

මම ඉකි බිඳිමින් ම කතා කළෙමි.

“මට හරි දුකයි අම්මෙ. ආකාශ් අයියට මෙහෙම කියපු එක ගැන මට දුකයි”

“පුතා පුදුම විදිහට අවුල් වුණා මේ කතාව අහල”

“අනේ අම්මෙ…මං හෙට අයියට කතා කරන්නං. දැං..දැං…මට බෑ දෙයියනේ…මං කොහොමද එයාගෙ මූණ බලන්නෙ…”

“මේව මහ හෙණ ගහන කතා පූජා. අහිංසක කොල්ලංට මේ වගේ ජරා චෝදනා කරන්න නරකයි. ඒව ජාති ජාතිත් සහ ගහන අපරාද”

එසේ කියමින් නෙරංජලා නික්ම ගියේ අම්මා සමගින් ද කේන්තියෙන් බව මට වැටහිණ.

“එයා මෙතන පුතාව සුද්ද කරන්න ආව. ඔයත් පිස්සියක් වගේ උංව විස්වාස කරන්න හදන්නෙපා ලොක්කි. ඇයි ආකාශ් කියල දෙයියෙක්ද…උපාසක බළල්ලු තමයි දෙන්නා දෙන්නා අල්ලන්නෙ කියල කතාවක් තියෙනවනෙ. මේකනං ලේසියෙං අතාරින්න බෑ. මං දැංම තාත්තට කතා කරල කියනව ඇවිත් මේකෙ දෙකෙං එකක් බලා ගන්නයි කියල”

අම්මා පරල වී සිටියා ය. කළ යුතු දේවල් ඒ වෙලාවේ දී කිරීම ඇය හැම විට ම පැහැර හැරියා ය. දැන් බොරුවට දඟලයි. අම්මා කෙරේ මා තුළ ඇති වූයේ අතිශය කෝපයකි.

“මෝඩ විදිහට හැසිරෙන්න එපා අම්මෙ. අර පැත්තක ඉන්න තාත්තවත් නිකං බොරුවට අවුස්සල ඒ මනුස්සයට ඒ රස්සාව කර ගන්නත් නැති කරන්න හදන්න එපා”

මගේ ඇස් වලින් ගිනි පිට වෙන්නට ඇත. නමුත් අම්මා මේ වෙලාවේ මට පාලනය කළ හැකි තත්වයක නො සිටියා ය.

“ඒගොල්ලන්ට එහෙම ශේප් වෙන්න දෙන්න බෑ. කොච්චර වැරැද්දක්ද ආකාශ් කරල තියෙන්නෙ…උංගෙ සල්ලි වලට අපි යටත් වෙලා ඉන්න ඕන නෑනෙ”

“කාගෙවත් සල්ලි වලට යටත් වෙන්න ඕන නෑ තමයි. හැබැයි ඒ මිනිස්සුන්ට නිකං බොරුවට චෝදනා කරන්න ඕනත් නෑ”

මම තරයේ කීවෙමි. නමුත් අම්මා එක දෙක කොට තාත්තා ට කීවා ය. ඇයට උවමනා වුණේ කුමක් දැයි මට සිතා ගත හැකි වූයේ නැත. නංගී මොන බොරුවක් කීවත් මේ වෙලාවේ ආකාශ් වාගේ කෙනෙකු මීට පටලා ගන්නට ඇත්නම් එය නංගිගේ වාසනාවකැයි ඇය සිතුවාද කියා නො දනිමි. නමුත් එසේ ඈ සිතුවානම් ඒ වෙලාවේ සිය ලොකු දුව ගැන සිහිපත් නො වුණා ද කියාත් මම නො දනිමි.

ඇඳෙන් නැගිට ගන්නට බැරි තරම් ඇඟ පතෙහි කෙඩෙත්තුවකින් උදේ මම පීඩා විඳිමින් සිටියෙමි. ඒ හිතේ රිදුම් නිසා ඇති වූ අපහසුවක් බවත් සිහිනයෙන් සේ මට සිතිණි. වැඩට නොයා ඉන්නට ඕනා වුණත්, මා ඔහු මග හරිනවා යි එතකොට ආකාශ් සිතාවියි මම බිය වුණෙමි. සියලු කායික මානසික වේදනාවන් පරයා නැගී සිට මා රැකියාවට යාම සඳහා සූදානම් වූයේ එබැවිණි.

“ලොක්කි….මේ වෙලාවෙ බුද්ධිමත් ව වැඩ කරන්න ඕනෙ. අපිට කවුරු හරිද කියල තාම තක්කෙටම කියන්න බෑ. මේ ලෝකෙ ඕනම දෙයක් වෙන්න පුළුවන් ලොක්කියෙ. වෙන්න බැරි දෙයක් නෑ”

මා සූදානම් වී ආකාශ් එන තුරු පුරුදු පරිදි පාර ළඟ බලා සිටියදී ආච්චම්මා කීවා ය. මම ඇතුළාන්තයෙන් සැලී ගියෙමි.

“ඒ වගේම ඇස් දෙකෙන් දැක්කත් කන් දෙකෙන් ඇහුවත් සමහර දේවල් ඇත්තයි කියල පිළි ගන්න බෑ. ඒ නිසා කල්පනාවයි ඉවසීමයි ඇතුව කටයුතු කරන්න ඕනෙ”

ආච්චම්මා මහ ලොකු උගත් ගැහැනියක නොවේ. නමුත් සමාජ අවබෝධය අතින් ඈ සිටිනුයේ අපට වඩා කෙතරම් ඉදිරියෙන් ද?

ආකාශ් ගේ මූණේ වෙනසක් දකින්නට මම බලාපොරොත්තු වුණෙමි. ඔහු වූ කලී මුණිවරයෙකු නොවේ. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුවත් ඔහු ත් සාමාන්‍ය මනුශ්‍යයෙකි. මේ වාගේ චෝදනාවක් සිය පෙම්වතිය ගේ ගෙදරින් ම මතු වෙත්දී ඔහු ගේ මානසිකත්වය කෙබඳු වනු ඇත් ද? එක්කෝ ඔහු කේන්තියට පත් විය යුතු ය. නැතහොත් ලැජ්ජාවට පත් විය යුතු ය. නමුත් මා ආකාශ් වෙතින් දුටුවේ වෙනදා මා දුටු තැන්පත් රුව ම ය.

“මං හිතුවෙ ඔයා අද මාත් එක්ක යන්න ඉන්න එකක් නෑ කියල”

ඔහු ඉතා ම පහළ ස්වරයකින් කීවේ ය. මම හිස නගා ඒ මූණ බැලුවෙමි. ආච්චම්මා කී කතාව ඇත්ත බව පිළි ගත යුතු ය. මෙලොව වෙන්නට බැරි දෙයක් නැත. තාත්තලා ඔවුන් ගේ ම දියණිවරු දූෂණය කළ පුවත් නිතර අසන්නට ලැබේ. එහෙව් එකේ නංගී කියන්නේ වෙන්නට බැරි දෙයක් නොවේ. නමුත් ආකාශ් ව ළඟින් ම ඇසුරු කළ ගැහැනු ළමයෙකු ලෙස එය මා පිළි ගත යුතු නැත්තේ ය.

“ඒක මාරම ජරා චෝදනාවක් පූජා. එහෙම නින්දාවකට ලක් වෙන්න…එහෙම අපහාසයක් විඳින්න මාත් සසරෙ කොතනක හරි වරදක් කරල ඇති. ඒත් ඔහොම දෙයක් හීනෙකිංවත් මගෙන් වෙලා නෑ පූජා. මං දන්නව. මට තේරෙනව. මං මෙහෙම කිව්වට ඔයාට ඒක පිළිගන්න බෑ. දැං මට ඔයාට ඒක ඔප්පු කරන්න විදිහකුත් නෑ. හැබැයි ඔය ලැබෙන්න ඉන්නවයි කියන දරුව හොඳ පෘෘෆ් එකක්. ඒ ළමය ඉපදුණාම අපි ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරමු. මං ඕන වෙලාවක ලෑස්තියි ඒකට. හැබැයි මං එහෙම හරි කරන්නෙ ඔයා ඉස්සරහ නිර්දෝෂී මිනහෙක් වෙන්න ඕන නිසා. අර ගෑනු ළමයනං….ශිට්…”

මගේ හදවත ඔහු වෙනුවෙන් ඉකි බිඳ හඬන්නට ගත්තේ ය. මේ තරම් ශාන්ත ලෙස සිටියත් ඔහු ගේ හද තුළ කැකෑරෙන සංවේගය ඒ වචන ටික අනුව මට සිතා ගන්නට පුළුවන.

“එහෙම දෙයක් ඕන නෑ අයියෙ”

මම මිමිණුවෙමි. ආකාශ් නොතේරුම් බැල්මක් හෙළුවේ ය.

“මං කියන්නෙ…ඔයා කවුද කියල ඔප්පු කරල පෙන්නන්න මට අමුතුවෙන් ටෙස්ට් එකක් ඕන නෑ”

මගේ ඇස් දෙකට කඳුළු බින්දු දෙකක් මෝදු වී ආවේ ය. එය ඔහු ට නො පෙනෙනු වස් මම බිම බලා ගතිමි.

“ඔයාට මාව විශ්වාසයිනං ඔයා දැනට මේ මුකුත් හිතන්නැතුව පාඩං කරන්න පූජා. මේ සැරේ කොහොම හරි මෙඩිසින් සිලෙක්ට් වෙන්න බලන්න. නැත්තං ඔයා පව්. ඔයාට පුළුවන්. ඔයා ඒක කරන්න ම ඕනෙ”

“මං පොරොන්දු වෙනව අයියෙ”

විභාගය සඳහා ඉතිරි ව තිබුණේ සති දෙකක කාලයකි. ඒ කාලය සඳහා මම රැකියාවෙන් පාඩම් නිවාඩු ලබා ගතිමි. හිත එකලාසයෙන් එතැන වැඩට යන්නට බැරි තරම් මානසික වශයෙන් විඩාවක් ද මට දැනිණ. ආනන්ද ගුරුගේ ගේ මුහුණ බලන්නට බැරි තරම් අපහසුතාවයක් මා වෙලා ගෙන තිබිණි.

එදා තාත්තා ගෙදර ආවේ ය. ඔහු ද නංගී ගෙන් මේ ගැන ප්‍රශ්න කළේ ය. ආකාශ් ගේ නම හැරෙන්නට වෙන නමක් ඇය කීවේ නැත. ඇගේ කොණ්ඩයෙන් ඇද අතේ හයිය ඇති තරම් පහර දෙන්නට පවා මට නො සිතුණා නොවේ. නමුත් එසේ කළ නො හැකි ලෙස මා අප්‍රාණික ව ගොස් තිබිණ. ආච්චම්මා ගේ ප්‍රකාශය නිරන්තර මගේ මනසේ හොල්මන් කරන්න ට වූයේ ය. වෙන්නට බැරි කිසිවක් ම නැත!

නංගී පෙර දා රාත්‍රියේ කීවේ බොරුවකි. ඒ බොරුව යළි බොරුවකැයි කිව නො හැකි නිසා දිගින් දිගට ම ඇය ට ඒ බොරුව නඩත්තු කරමින් පවත්වා ගෙන යන්නට සිදු විය. අන්තිමට මා සිතා ගත්තේ එහෙම ය. දිගින් දිගට ම කියත්දී බොරුවක් වුව සිතක් තුළ ඇත්තක් සේ වන්නේ ය!

ගෙදර ආවාට තාත්තා රාත්‍රියේ හෝ ගුරුගේ මැදුර වෙත ගියේ නැත. එහි යන්නට අම්මා කිහිප වරක් ඔහු ට කතා කරනු මට ඇසුණේ ය. නමුත් තාත්තා නිහඬව සිටියේ ය. මම එළි වන තුරු ම නො නිදා පාඩම් කළෙමි. ඇතැම් වෙලාවක තදින් පාඩම තුළ දැහැන් ගත වන්නට මට හැකි විය. සමහර වෙලාවක සිත ඉබාගාතේ සැරුවේ ය. මම ඒ හිත මෙල්ල කරන්නට වෙහෙසුණෙමි.

නංගී දිගින් දිගට ම වැරදි කරුවා ලෙස නම් කළේ ආකාශ් නිසාවෙන් ද මන්දා පසු දා සවස තාත්තා තනිව ගුරුගේ මැදුර වෙත ගියේ ය.අම්මා ත් යන්නට තැත් කළත් තාත්තා ඊට ඉඩ දුන්නේ නැත.

මගේ හදවත ගැස්ම ගැන යමක් කියන්නට මට වැටහෙන්නේ නැත. ඔහු එහි ගොස් එන තුරුත් ඒ ගැස්ම නො වෙනස් ව එසේ ම පැවතිණ. එහි ගොස් ඇවිත් කමිසය ගලවා එල්ලූ තාත්තා පිටතටත් ඇසෙන තරම් සුසුමක් හෙළා ගෙන පරණ ඇඳෙහි වැතිරුණේ ය. 

“මේකිගෙ බොරුවක්”

ඔහු කතා කළේ යටපත් කර ගත් වේදනාවකිනි. මේ වහලය යටම ඉන්නා අනිත් දියණිය, චූදිතයා ගේ පතිණිය වෙන්නට නියම වී සිටි එකිය ගේ හිත මේ ගිනි මැළය නිසා කෙතරම් ගිනි වැදී ඇත්දැයි හෙතෙම හොඳින් ම වටහා ගෙන සිටියා විය යුතු ය.

“ඒ මිනිස්සු හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ මේ චෝදනාව ගැන. මට කේන්ති මේකි ඔය වගේ බොරුවකට තමුංගෙ අක්කගෙම කොල්ලව අල්ල ගත්ත එකටයි යකෝ”

“එහෙම ඉතිං බොරුමයි කියන්න බෑනෙ. මොකද පොඩ්ඩිට පිස්සුදැයි බොරුවට වෙන කාවවත් අල්ලන්න”

අම්මා කට දැම්මා ය.

“අනේ මේ තමුසෙගෙ නල්ල මලේ දූ සිඟිත්ත ගැන මට කියන්නැතුව ඉන්නව”

තාත්තා ඇය නිහඬ කළේ ය.

“ඒ මිනිස්සු කියනව ළමය හම්බ වුණාම ටෙස්ට් එකක් කරනවලු. බය නැතුව ආකාශ් එහෙම කියයිද ඕයි මෙහෙම දෙයක් කළා නං…”

මේ දේවල් අසමින් උසස් පෙළ විභාගය ට සති දෙකක් තිබියදී කෙදේ නම් මම පාඩම් කරන්නෙම් ද? නමුත් මම හැකි වෙර යොදා පාඩම් කළෙමි. ඉක්මනින් ම විභාගය නිම වනු දැකීම මගේ පැතුම විය.ගුරුගේ ලා කී ලෙස ඩී එන් ඒ පරීක්ෂණයක් කොට ඔහු වැරදිකරු වන තෙක් ගුරුගේ ලා ගේ හෝටලයේ වැඩ කිරීම නො නවත්වන්නේ යයි  එක හෙළා කියා තාත්තා යළි කතරගම ගියේ ය.

අන්තිම සති දෙකේ මම ගුරුගේ මැදුරට නො ගියෙමි. නෙරංජලා මට කතා කළේ ද නැත. ඒ නිසා ආකාශ් ගේ උදව් අන්තිම මොහොතේ දී බලාපොරොත්තු නොවූ ලෙස මට අහිමි වී ගියේ ය. නමුත් මම ඒවා අමතක කොට පාඩම් කළෙමි. 

හොඳින් පාඩම් කරන්න යි ආකාශ් දිනපතා ම කෙටි පණිවිඩ එවා තිබිණි.විභාගය පටන් ගන්නා දා ඔහු මා පාසල වෙත කැටිව යන්නට ආවේ ය.

නමුත් අපි එකඟතාවයකට පැමිණ සිටියා සේ නංගී ගැන හෝ ඇගේ චෝදනාව ගැන කතා නො කළෙමු. එය නො කීවාට මගේ හිතේ බරක් ව පැටවී තිබුණේ ය.

“මං බයේ හිටියෙ ඔයාගෙ විභාගෙ ගැන විතරයි”

විභාගයේ අවසාන දිනයේ ආපසු එන ගමන් ආකාශ් කීවේ ය. මම ලොකු සුුසුමකින් නිදහස් වුණෙමි. නමුත් මා මුළුමනින් නිදහස් වී නොමැති බව දැනුණේ එදා හැන්දෑවේ මට ගෙදරට කතා කොට නෙරංජලා කී කතාව නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ) හිමි සිහින -148

අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය...

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content