“මංජු ඇවිත් නංගි එක්ක කතාකරාලු නේද?” කියලා අහද්දි මංජු ඕල් රෙඩි ඇවිත් කාන්ති අක්කගෙ කනේ විස්තරේ කිව්ව විත්තිය මං තේරුම් ගත්තා.මං ඒ වෙද්දි උන්නෙ රතු බත් එක්ක, පොල් සම්බෝලයි, කරවලයි, පරිප්පුයි එක්ක බත් කන ගමන්. රස්නෙ හන්දා අපි දෙන්න බත් කෑවෙ ගෙදර ඉස්සරහ පඩිපෙලේ වාඩිවෙලා. මෙහෙට ආව මුල් දවස්වල කුණු ඇලේ ගඳ එක්ක ඔක්කාරෙට එන්න ආවත් දවස් ගෙවෙද්දි කුණු ඇල දිහා බලාගෙන බත් කන්න පුළුවන් ලෙවල් එකකට මම ආවා. ඒක අප්ග්‍රේඩ් වීමක්ද ඩිග්‍රේඩ් වීමක්ද කියලා තේරුම් ගන්න බැරි උනාත් ඒ වචන දෙකටම වඩා ගැලපෙන්නෙ පත්තියං වෙනවා කියන එකත් මට මතක් උනා.
“මිනිහා ඇවිත් කිව්වා මාව භාරගන්න කැමතියි කියලා” මං බත් කට හපන ගමන් කාන්ති අක්කා දිහා බලද්දිත් ඒ ගෑනි උන්නෙත් මං දිහාම බලාගෙන හරියට මං එයා දිහාව ඒ වෙලාවෙ බලාවි කියලා බලාපොරොත්තු උනා වගේ.
ඒත් මං කිව්ව දේට කාන්ති අක්කගෙ පැත්තෙන් වචනෙන් කිසිම සම්මාදමක් නැති විත්තිය තේරෙද්දි මං කරේ දිගටම කතාකරන්න ගත්ත එක.
“භාරගන්නවා කියලා කියන්න ලේසි උනාට කරන්න අමාරු විත්තිය මංජු දන්නෙ නැතුව ඇති අක්කේ. භාරගන්න වැඩේ එච්චර ලේසි නම් මේ දරුවගෙ තාත්තට තිබ්බනෙ මුකුත් නොකියා හැංගිලා යන්නෙ නැතුව අපි දෙන්නවම භාරගන්න. ඒ උනාට ඒ මනුස්සයා එහෙම දෙයක් කරේ නෑනෙ. ඒකෙන්ම තේරෙනවනෙ මේ භාරගැනිල්ල එසේ මෙසේ භාරගැනිල්ලක් නෙවෙන විත්තිය. එහෙම එකේ මංජු ඇවිල්ලා, සුපර් මෑන් වගේ කිව්වට අන්තිමේ වගකීම් අස්සෙ හිරවෙද්දි ඔය කොයි මෑනුත් මිසින් වෙන විත්තිය දන්න හන්දම මං මනුස්සයට කිව්වා අක්කෙ මිනිහා මොනා හිතාගෙන උන්නත් ඒක වෙන්නෙ නැති විත්තිය” කියද්දිත් මං කරේ බත් කටවල් අනන ගමන් ඒවා කටේ ඔබාගන්න එක. වෙනදා වගේ ගයාන්ව මතක් වෙද්දි තවදුරටත් මගෙ ඇස් අස්සෙ කඳුළු පිරුණෙවත්, හිත රිදුණෙවත්, හයියෙන් හුස්ම එළියට විසික් උනේවත් නෑ. මං කිසිම හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ බත් කටවල් කන ගමන් මගේ ජිවීතේ තියෙන ආගාධෙන් ගොඩ එන්න විදියක් කකුල් දෙක ළඟටම ඇවිල්ලත් ඒකට පයින් ගහපු එකෙක් විදියට එලියෙන් බලන මනුස්සයෙක් දකින්න තිබ්බා උනාට මං උන්නේ දරුවා ගැන එක එක විදියෙ හැඟීම් වලින් මගෙ හිත පුරව ගෙන.
ඒ හැඟීම් අස්සෙ, මං ඒ දවස්වල දැක්ක හීන අස්සෙ උන්නෙ මමයි මගෙ දරුවයි. මං ඒ වෙද්දිත් එයා දුවෙක්ද පුතෙක්ද කියලා නොදැන උන්න හන්දා ඒ දරුවාට තිබ්බෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අඳුරගන්න බැරි මූණක්. එයා ඇඳගෙන උන්නෙත් ඕන ළමේක්ට අඳින්න පුළුවන් ජාතියෙ ඇඳුම්. කොණ්ඩෙ කපලා, පිරිච්ච කම්මුල් එක්ක හිනාවෙවී උන්න දරුවා එක්ක මං උන්නෙ ඉර එළියෙන් නෑවිච්ච ලස්සන ගෙදරක. හරියට කතා පොතක වගේ අපි දෙන්නා සිංදු කිය කිය මල් පිරිච්ච මිටියාවත් අස්සෙන් දුවගෙන දුවගෙන ගියා. කැරකුණා. මං ඒ දරුවව වඩාගෙන ඉම්බා. හීනෙන් උනත් මට කිරි සුවඳ කියන එක දැනුනා. නාහෙට නෙවෙයි හිතට.
ඒ හීන අස්සෙ උන්න නාද්‍යාට මං ආස උනා. කවදාවත් මං මගෙන් නොදැක්ක, මං කවදාවත් මගෙන් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච “අම්මාමය” ලස්සනක් ඒ නාද්‍යාව පුදුමාකාර කෙනෙක් කරලා තිබ්බා.
“ඒත් නංගි හිතනවද පිරිමියෙක් නැතුව, දරුවා හම්බුනාට පස්සෙ හරිහමං රස්සාවක් එහෙමත් නැතුව ජීවිතේ ගැටගහන්න වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා?” කාන්ති අක්කා ඇහුවෙ “රස්සාවක් නැතුව ළමේක් ඉන්න එකී මගෙ බෝඩිං කුලිය ගෙවන්නෙ කොහොමද?” කියන ප්‍රශ්නෙ නෙවෙන විත්තිය මං දැනගෙන උන්නෙ මං ඒ වෙද්දිත් කාන්ති අක්කව හොඳටම අඳුරගෙන උන්න හන්දා.
“කොහොමත් මිනිහෙක් හම්බුනත් හම්බෙන්නෙ මට මිසක්, මේ දරුවට නෙවිනෙ අක්කෙ. මං හිතන්නෙ නෑ මට මිනිස්සු දාහක් හම්බුණත් මගෙ දරුවට තාත්තෙක් හම්බෙයි කියලා. එහෙම බැලුවොත් මං මේ තනිවෙලා ඉන්නවා වගේම එහෙම දවසක මගෙ දරුවා තනිවෙන්න පුළුවන්. එයාට මාවත් නැතිවෙන්න පුළුවන්. මට මෙහෙම බඩක් උස්සන් තනිවෙන්න උනේ මගෙ වැරැද්දකින් උනාට මං මිනිහෙක් හොයාගෙන, ඒ මිනිහට තාත්තෙක් වෙන්න බැරිවෙච්ච හන්දා මගෙ දරුවට තනිවෙන්න උනොත් ඒකත් මගෙ වරදක් වෙනවා නේද?
ඊට හොඳයි අක්කෙ මිනිහෙක් නැති මමයි, තාත්තෙක් නැති දරුවයි දෙන්නට දෙන්නා ඉන්න එක. තනිවෙච්ච දෙන්නෙක් දන්නවා නේ තනිකමේ රහ. අනික ඔය ආදරේ පෙන්නගෙන එන මිනිස්සු පස්සෙ වෙනස් වෙනවා කියන දේ මම හොඳටම දන්නවනෙ අක්කෙ. එහෙම එකේ මං මොනාහරි කරලා මාත් කාලා දරුවටත් කන්න දෙනවා. එන හැටියට භාරගන්නවා. හැබැයි මං කාගෙවත් ලඟ වැඳ වැටෙන්න යන්නෙ නෑ අක්කෙ”
එහෙම කිව්වට ඒ වැඩේ ලේසි නැති විත්තිය මට තේරෙන්න ගත්තෙ ටිකක් කල් යද්දි බඩ එන්න එන්න ලොකු වෙද්දි. බඩේ බර ඇඟට දැනෙද්දි, හිතේ බර එන්න එන්න වැඩි උනේ “මං හිතුවට වඩා මේ බර බර වැඩි නේද?” කියලා හිත හීන් සැරේ මුමුණද්දි. කාන්ති අක්කා එක්ක ගිහින් ලාබෙට තියෙන බබාලට ඕන කරන බඩු චුට්ට චුට්ට ගනිද්දි, “මනුස්සයෙක් උන්නා නම්, ඒත් නැතුව හරිහමං රස්සාවක් තිබ්බා නම් මට කොච්චර හොඳ බඩු බබාට ගන්න තිබ්බා නේද?” කියලා.
මිඩ්වයිෆ් උනත් ආවම, රජයේ ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට කාන්ති අක්කා එක්ක ගියාම දොස්තර නෝනා මගෙන් ඇහුවම “බබාගෙ තාත්තව එක්කන් එන්න බැරිද?” කියලා මට හිතට හයිය තිබ්බෙ නෑ “මේ බබාට තාත්තෙක් නෑ” කියන්න. ඒ නිසාමද මන්දා කාන්ති අක්කා “මහත්තය මැරිලා” කියලා කිව්වේ. අනික් අතට කාන්ති අක්කා කිව්ව දේ බොරුවක් උනෙත් නෑ.
“ඕනම වෙලාවෙ ළඟ නැති මිනිහෙක් කියන්නේ මැරිච්ච මිනියක් සමානයි නේද?” කියලා මං කාන්ති අක්කා එක්කම ඕන තරම් වෙලාවක කතා කරලා තියෙන හන්දා කාන්ති අක්කා එහෙම කියන්න ඇති කියලා මං මටම කියාගත්තා. ඒ උනාට මං හිත ඇතුළෙන් මටම කියාගත්තා “මං කවදහරි ඩොක්ටර්ටයි මිඩ්වයිෆ්ටයි කියනවා කියලා මේ දරුවට තාත්තා කෙනෙක්වත් මට මිනිහෙක්වත් නෑ” කියලා.
“මේ දවස්වල තමයි ඔයා සන්තෝසෙන් ඉන්නම ඕන. ඔයා සන්තෝසෙන් ඉන්න එක තමයි දරුවගෙ සන්තෝසෙටත් බලපාන්නෙ. මොකෝ තාම එයා ඉන්නෙ ඔයාගෙ බඩ ඇතුලෙ විතරක් උනාට ඔයා හිතන දේවල් එයාට හොඳටම තේරෙනවා. ඒකයි ඔයා එයාට නිතරම කතාකරන්න ඕන. ආදරේ හිතෙන වචන, ඔයා එයාට කොච්චර ආදරේද කියන එක නිතරම එයාට කියන්න” කියලා මිඩ්වයිෆ් කියද්දි මට දරුවට ඇහෙන්න කියන්න තිබිච්ච එකම දේ උනේ “ඔයාට මේ ලෝකේ ඔයාගෙ කියන්න ඉන්නෙ මං විතරක් වගේම මට මේ ලෝකෙ මගේ කියන්න ඉන්නෙත් ඔයා විතරමයි. ඒ හන්දා කිසිදවසක මම ඔයාව දාලා යාවි, අතරමං කරාවි කියලා බය වෙන්න එපා. මොකෝ මං නැතත් මගෙ ආදරේ ඔයාව හැමදාම පරිස්සම් කරාවි” කියලා.
දරුවා එක්ක මිඩ්වයිෆ් නෝනා කිව්ව විදියට හෙමින් සැරේ කතා කරද්දි මට ඇත්තටම තව දෙයක් මතක් උනා.
ඒ තමයි මමත් තව කාගෙ හරි දරුවෙක් නේද කියන එක. මේ දරුවට මං කොච්චර ආදරේද මගෙ අම්මා තාත්තත් මට එච්චරකටම ආදරේ කරා නේද කියන එක.
බඩ ඩිංග ඩිංග ලොකුවෙද්දි, කාන්ති අක්කා උයන බත් කොච්චර රහ උනත් “අම්මා හදපු චිකන් ස්ටූ එකක් කන්න තිබ්බා නම් කොච්චර හොඳද?” කියලා මතක් උනා. කාන්ති අක්කට ඒ කතාව කිව්වම එයා හදලා දුන්න චිකන් ස්ටූ එකේ කොච්චර හොඳ අම්මා කෙනෙක්ගෙ ආදරේක රහක් එක්කහු වෙලා තිබ්බත් ඒ මං හොයපු අපේ අම්මාගෙ ආදරේ රහ නෙවෙයි කියලා දිවට වගේම හිතට තේරෙද්දි හිත මහ හයියෙන් “අම්මා ඕන” කියලා අඬන්න පටන් ගත්තා.
මං උන්නේ කරන්න ඕන මොකද්ද කියලා හිතාගන්න බැරුව.
“ගෙදර ගියා නම් අම්මලා නංගිට පිටුපාන්නෙ නෑ කවදාවත්” කියලා කාන්ති අක්කා කිව්වට මං අම්මලට පිටුපාපු විදිය ඒ මිනිස්සු දැකලා දුක්වෙන විදිය දරාගන්න මට හයියක් නෑ කියලා දන්න හන්දම මට ඒ තීරණේ ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.
අන්තිමේ මං කරේ ගෙදෙට්ට ලියුමක් යැව්ව එක.
ඉන්පස්සෙ මං කරේ හැම දවසකම ඒ ලියුමට උත්තරයක් එනකං බලාගෙන උන්න එක.
ඒත් ඒ බලාපොරොත්තුව කවදාවත් ඉස්ට උනේ නෑ.