දෑත දරා – 37

0
258

මනුජලාව නිවසින් ඇරලවා සින්දූපා නිවෙසට පිටත් වූවාය. මනුජට ඇය තනිව යෑම පිළිබඳව අකමැත්තක් තිබුනත් එවෙලෙහි කරන්නට අන් යමක් වූයේ නැත.

” බලාගෙන යද්දී හූවයි බල්ටි දෙකේ දුරනේ අපි ඉඳලා තියෙන්නේ…”

විනාඩි විසි පහකින් සින්දූපා ගෙන් ඇමතුමක් ලැබුණි. මනුජ ඇයට අමනාපය පෙන්වමින් උන්නේය.

” අම්මලා අවුලක් නෑනේද ?”

සින්දූපා ම යලි ඇසුවාය.

” බයිනවා…බයිනවා… “

මනුජ පිළිතුරු දුන්නේ සින්දූපා නොතකමිනි.

” ඔයා මොකද ඔහොම කතා කරන්නේ ?”

“කොහොමද ?”

“මට උත්තර දෙන එක වදයක් වගේ අඟවලා…”

“එහෙම එකක් නෑ….”

“ඔයා ඔය මූඩ් ගහලා ඉන්නේ මම කාලා එන්න පිටත් වුන වෙලේ  අර කීව කතාවට නම්, එච්චරට සීරියස්  ගන්නෙපා..අපි බබාලා නෙවෙයිනේ… කතා බහ කරලා විසඳගන්න බැරි නෑනේ..”

” එහෙම දෙයක් නෑ සින්දූපා …. අම්මලා ප්‍රශ්නයක් නෑනේ ?.”

“නෑ…”

“හරි … එහෙම නම් මම තියන්නම්….. මහන්සිත් ඇතිනේ.. නිදාගන්න …”

” හෙට හම්බෙමුද ?”

සින්දූපා එක්වරම විමසුවාය. මනුජට එයට දෙන්නට පිළිතුරක් වූයේ නැත. ඇයට මෙතරම් ඉක්මනින් ඉඩ දී, තමා කරගන්නේ වරදක්ද ?

මනුජ ඇයට පිළිතුරු නොදීම ඇමතුම විසන්ධි කලේය. සින්දූපා ඉන් යම් බිඳීමකට ලක් නොවූවා නොවේය.

” හොඳටම විශ්වාසයිද සින්දූ??..”

රෑ මැදියමේ ඇගේ කතාව අසා උන් මිතුරිය එලෙසින් විමසුවාය.

” මටත් තේරෙන්නේ නෑ නුවා… මම මේ කරන්නේ වැරදි දෙයක්ද කියලා… සමහරවිට කමාන්ඩර් හිතනවද දන්නේ නෑ මම එයාව ටැකල් කරගන්න හදනවා කියලා ටෙම්පරි… ඒත් එයා මට කිව්වා රිසයින් වෙලා එහෙන් යන්න එපා… එයා එක්ක ඉන්න කියලා…. ඊට පස්සේ එයා මාව ගන්න ,ඇරලවන්න හැමදාම ආවා… සාරතී ආන්ටිට වුනත් එයා මොනවත් හංගන්න උත්සාහ කරන පාටක් නෑ… සාරතී ආන්ටි වුනත් එයා ගැන එහෙම නරකක් කියන්නේ නෑ…”

” ඒ වුනාට විශ්ව අය්යා කැමති නෑනේ..?”

“ඔව්… විශ්ව අය්යගේ නම් ප්‍රශ්නයක් තියෙනවා… ඒක නම් එයා ඩිවෝස් කෙනෙක් වුන එකයි, බබා නිසයි වෙන්නෝනා… එහෙම නොවෙන්න විශ්ව අය්යා කියන්නේ මනුජයා මගේ සහෝදරයා කියලා…”

“අන්න ඒකම තමා මට තියෙන අවුලත් …”

“දරුවාවත් මෙයාට දාලා වයිෆ් මෙයාව දාලා ගියේ ඇයි කියලා නොදැන උඹ සම්බන්ධයකට යන එක ඉක්මන් වැඩි නැද්ද සින්දූ??…. අනෙක, ඌ එකම තැන ඉද්දී උඹ ෆෝර්වර්ඩ් වෙන එක උඹට හොඳ නෑ…කොච්චරක් වුනත්, ඒ මනුස්සයා ෆෝර්සස් නේ…”

” ඉතින්….?”

“ඒ මිනිස්සුන් ගෑණු දිහා බලන විදි වෙනස් සින්දූ…. ඒක උඹ නොදන්නවා වෙන්න බෑනේ…”

” පිරිමියෙක් ගෑණියෙක්ට සලකන විදිය ජොබ් එකත් එක්ක එන මඟුලක් නෙවෙයි නුවා… ඒක වෙනමම පර්සැනිලිටි එකක් ….එයා එහෙම නරකක් , අවැඩක් කරන්න බලන් ඉන්න  මනුස්සයෙක් නෙවෙයි… අනෙක ඒ ගෑණු දරුවෙගේ තාත්තෙක්…”

“අන්න ඒකම තමා ප්‍රශ්නේ… අන්න එතනම තමා අවුල සින්දූ…උඹට තේරෙන්නෝනා.. එතන ඉන්නේ අවුරුදු පහක පොඩි කෙල්ලෙක්…. අයා අනිවාර්‍යෙන්ම උඹලා මැද ඉන්නවා… දැන් ඒක හෙන කියුට් විදියට  පෙනුනත්,  ඒක යම් දාක උඹට ප්‍රශ්නයක් වුනොත් එදාට මහ දෙදරීමක් වෙනවා….

සිරාව්ටම මේක කරන්න කියලාවත්, එපා කියලාවත් කියන්න තරම් මට එහෙම කන්ෆිඩන්ස් එකක් නෑ සින්දූ..අනෙක මම මිනිහා කලුද සුදුද දන්නේත් නෑ.. මම මේ උඹ කියපු දේවල් වලින් මට තේරෙන් දේ ඇනලයිස් කරනවා … එච්චරයි….”

“මට තේරෙනවා… හෙට මෙහෙ එනවාද ?

“හෙට සංක ඔෆිස් යනවා කිව්වේ ලේට් වෙලා.. එයාට  කියලාම  ඇරලවාගන්නම්….”

සින්දූපා ගේ සිතෙහි වූ  සැහැල්ලුව  ඉවත්ව ගොස් තිබුණි. මනුජ නිම්නෙත් යනු වැරදි තෝරාගැනීම්ක් විය හැකිද ? ඔහු පිළිබඳව වන හැඟීම් සම්බන්ධව තමාට දැනෙන පීඩනයට හේතුව කුමක් විය හැකිද? විවාහයක් තුළ එක් වරක් අසාර්ථක වීම යනු , සදාකල් එම අසාර්ථක වීම තුළම ජීවත් වන්නට සිදු වීමද ?

සින්දූපා නින්දට ගියේ ඒ කල්පනා අතරේමය

දියණිය අම්මා සමඟ නින්දට ගොස් උන් නිසා මනුජ කාමරයේ ජනේලය හැර දමා සිගැරට්ටු කිහිපයක්ම හිස් කලේය.

සිත ඇත්තේ කිනම් කලබලයකදැයි සිතා ගන්නට නොහැක.  සින්දූපා ගේ ජීවිතය තුළ තමාට ඇති ඉඩකඩ පිළිබඳව සැක නැත. ඇය ඉතා වේගයෙන් තමා අතික්‍රමණය කරන්නෙ තමා කෙරෙහි වන ප්‍රහර්ෂණීය හැඟීමක් නිසා බවද සැක නැත. වයසින් වැඩුණු පිරිමියෙකුට තමා සිත් ගත් ගැහැණියකට ප්‍රේම කරන බව හෝ ආසක්තබව පැවසීමට ඇති  නිදහසේ ප්‍රාමාණික භාවයම, වයසින් වැඩුණු ගැහැණියකටද තමා සිත් ගත් මිනිසාට ප්‍රේම කිරීම පවසන්නට ඇති බව මනුජගේ පිළිගැනීමය. එනිසාම සින්දූපා ප්‍රශ්න කරන “ටූ මච් ෆෝර්වර්ඩ් ” කතා නිකම්ම පුස්සක් පමණි.

එහෙත් ගැටලුව ඇත්තේ තමා පසිනි. තමා ඉස්සර වී සින්දූපා ට තම ජීවිතයට පිවිසෙන්නටයැයි කල ආරාධනාවේය. ඉන් පසුව ඇයගේ වගකී. තම ලෙස දරමින් සිදු කල ක්‍රියාවන්හීය. වයසින් වැඩි , රැකියාවක වගකීම් දරනවා වුවද , ඇය අවිවාහක යුවතියකි. කෝටිපති දියණියකි. ඇය පිළිබඳව ඇගේ දෙමාපියන් සතු බලාපොරොත්තු වල ඉමක් කොනක් තමාට සිතාගන්නට හෝ නොහැකි වනු ඇත.

මනුජ බැල්කනියේ වැතිරී අහස දෙස බලා උන්නේය. ජීවිතය එක් වරක් පැටලුණු පසු ලිහා ගැනීම අපහසුය. සින්දූපා පිලිබඳව දැනෙන නැවුම් කිතිය ප්‍රේමයකැයි කියවාගන්නට හදිසි නැත. එහෙත්, ඇය සමඟ යම් තරමේ හෝ ආශ්‍රයක් ගොඩ නඟා ගැනීම තුළ වගකීම් විරහිත මිනිසෙකු ලෙසින් ක්‍රියා කිරීමට තමාට ඉඩ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here