සීත මාරුතේ -02

සෙනසුරාදා ඉරිදා දෙදිනෙහි අප්පච්චි නිල නිවස වටා බිම කොටා පාත්ති දමා එළවළු, පළතුරු හා අර්තාපල් බීජ සිටවූයේ ය. කොළඹ දී කැත්තක් උදැල්ලක් අල්ලනවා අප දැක නැති හෙතෙම ඒ කටයුතු කළේ හුරුබුහුටි ගොවියෙකු පරිද්දෙනි. සිය ශරීරයේ මඳ වෙහෙසක් පෙනෙන්නට තිබුණ ද අප්පච්චි හිටියේ සතුටෙන් බව ඔහු ගේ මුහුණේ නිරන්තර රැඳි සිනහව සාක්ෂි දැරුවේ ය.

“අප්පච්චිට උදව් කරන්න”

අම්මා අප තිදෙනාට ම පොදුවේ කීවා ය.

“මේගොල්ලො රස්තියාදුවෙ ගිය වෙලාවෙ මන්නෙ උදව් කළේ. දැං මේගොල්ලන්ට කියන්න”

මල්ලී සිය විරෝධය පළ කළේ එසේ ය. සාමාන්‍යයෙන් ගෙදර සිටිනා ළමයින් ගණන වැඩි වෙන විට ආරවුල් හා පංගු පේරු ද වැඩි වන බව අපේ පවුල දෙස බැලීමෙන් පෙනේ. නමුත් කුඩා කල සිට ම අප අතරේ ලොකු බැඳීමක් විය. කාට හෝ ලෙඩක් දුකක් කරදරයක් වූ විට ඒ සහෝදර බැඳීම ඉවුරු කඩා ගෙන පිටතට පැන්නේ ය. වතාවක් කොළඹ දී මල්ලී ට පහරක් ගසා තිබූ උපකාරක පන්තියක ළමයෙකුට නංගී හොඳට ම බැන පාරේදී ම පහර දෙන්නට ද ගොස් තිබුණා ය. අම්මා ඒ පුවත අප්පච්චි ගෙන් සඟවා ගෙන සිටියේ අසීරුවෙනි. බොහෝ විට අප තිදෙනා ගේ දඟ හා මුරණ්ඩු කම් ද ඇට්ටර කම් ද නිසා අසහනයට පත් වූයේ අම්මා ය. අප්පච්චි දැන ගත්තේ වී නම් අපට දඬුවම් විඳින්නට වන බව දන්නා නිසා අම්මා ඒ ගැටළු හැකි තාක් ඇය විසින් විසඳන්නට කටයුතු කළා ය.

කෙසේ වෙතත් මම කැමැත්තෙන් ම ගොස් අප්පච්චි ට උදව් කරන්නට පටන් ගතිමි. ඉන් පසු නංගී ද මූණ ඇඹුල් කර ගෙන පැමිණියා ය.

“මොකටද අප්පච්චි බිම කොටාගෙන මහන්සි වෙලා හිටවන්නෙ…මේ පාර දිගේ ටිකක් පහළට ගිහිං බලන්නකො…අර්තාපල් යායවල් තියෙන්නෙ…නේද අක්කෙ..එළවළු…ඕන තරං…මන් දැක්කා බෝංචි කොටු වගයක් ආසාවෙ බෑ. ලාබෙට අලුත් එළවළු ගන්න පුළුවන්නෙ අප්පච්චි මෙහෙදි…ඉතිං අපි මොකට වවනවද…”

නංගී සිය ශරීර හොර කම වෙනුවෙන් නිදහසට කාරණා කීවා ය. නමුත් ඇය කියන්නේ ඇත්තක් බව මට ද නො සිතුණා නොවේ.

පාත්ති කැපීම නවතා අප්පච්චි උදළු මිට අත් දෙකෙන් ම අල්ලා ගෙන අප දෙස බැලුවේ ය. ඔහු ගේ මුහුණේ වූයේ මෘදු සිනහ රැල්ලකි. 

“ලාබෙට අලුත් එළවළු ගන්නනං පුළුවන් තමයි ළමයි. ඒත් මේ පැත්තෙ වාණිජ බෝග වගාවක්නෙ කෙරෙන්නෙ..”

“ඒ කිව්වෙ…”

“ඒ කිව්වෙ පොඩි දුව…ඔය අපි පාරෙ යද්දි දකින වගා ඔක්කොම කෙරෙන්නෙ මාකට් එකට දාන්න”

“ඔව් ඉතිං…විකුණන්න තමයි වවන්නෙ…නිකං දෙන්න බෑනෙ”

“වාණිජ බෝග වගාවෙදි ප්‍රධාන අරමුණ මොකද්ද…ම්…විශාල අස්වැන්නක් ලැබීම. අස්වැන්න වැඩි වෙන තරමට තමයි එයාලට ලාබෙ වැඩි වෙන්නෙ”

“ඉතිං හොඳයිනෙ”

“දරුවෝ…අස්වැන්න එහෙම නිකංම වැඩි වෙන්නෙ නෑනෙ. අස්වැන්න වැඩි කර ගන්න ගොවියො පුදුම විදිහට රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙලා. මොකද කාබනික වගාවෙදි එහෙම ලොකු අස්වැන්නක් ලබන එක ටිකක් අමාරුයි. ඔය අර්තාපල් වුණත් බෙහෙත්ම තමයි. ඉතිං ඕව මිනිස්සුන්ගෙ බඩවල් වලටනෙ යන්නෙ. කාලයක් තිස්සෙ ඔය කෙමිකල්ස් ශරීරගත වුණහම ලෙඩ තමයි ඉතිං….ඕගොල්ලො ඉගෙන ගෙන තියෙනවනෙ..පිළිකා…වකුගඩු රෝග…”

අප්පච්චි දිගු දේශනයක් පවත්වා, පසෙක වසා තිබුණ වතුර ජෝගුවකින් වතුර ටිකක් බීවේ ය.

මේ දේශගුණයයි පසයි දෙකම වගාවට කියාපුව. ඉතිං මේ නිකං ඉන්න වෙලාවට පොඩ්ඩක් මහන්සි වෙලා අපිට කන්න එළවළු පළතුරු ටිකක් වවා ගත්තට පාඩු වෙන්නෑ. අනික් එක ළමයි…එහෙම දේකින් ලැබෙන ආත්ම තෘප්තිය සල්ලි වලට ගන්න පුළුවන් කියලද…”

අප්පච්චි නැවතත් බිම කොටන්නට පටන් ගත්තේ ය. අපි පාත්ති තනා බීජ තවාන් දැමුවෙමු. ඒ සියල්ල අතරේ මගේ හද පතුලේ එක පිරිමි දෑසක් රසවත් වෙමින් තිබි බව නො කියා බැරි ය. මම හැකි තාක් ඒ ඇස් අමතක කොට ඉන්නට හැදුවෙමි. මග තොටක දී දකිනා රුවක් කියන්නේ හද තුළ තියා සුරකින්නට තරම් දෙයක් නොවන බව මම දනිමි. අනිත් අතට කොළඹ ජීවත් වුණ යුවතියක ලෙස මා වූ කලී පිරිමින් දැක නැති, ඇසුරු කොට නැති කෙනෙකු නොවේ. ඉතින් මේ නන්නාඳුනන්නා ගේ රුව මේ තරම් තදින් සිතේ කෙටී ගියේ ඇයි දැයි මට සිතා ගත නො හැකි ය. ඔහු යළි කිසි දා ක දැකිය හැකි නො වන්නට ද පුළුවන. ඔහු බොරලන්ද අවට කෙනෙකු ද පිටස්තරයෙකු ද කියා හෝ දන්නේ නැත. කෙසේ වෙතත් ඒ සුළු මොහොතක මතකය මගේ යොවුන් සිත මිහිරට පත් කරමින් ද සිතිවිලි රසවත් කරමින් ද නො සන්සුන් කරමින් ද ඇතුළාන්තයේ එහෙ මෙහෙ වෙමින් තිබුණේ ය.

ඉරිදා පාසල් වත්තේ ඇවිදින්න යන්නට කසුනි හා හංසිකා පැමිණියහ. මල්ලී අපේ අවසරයකින් තොරව ම ඒ ගමනට එක් වූයේ ය.

“අපේ ඉස්කෝලෙ ඇවිදින්න මට කාගෙංවත් පර්මිශන් ඕන නෑ. මගෙං පර්මිශන් ගන්නව ඔය දෙන්නා”

ඔහු පණ්ඩිත ලීලාවෙන් අපට ඉස්සර වූයේ ය.

එය බෝඩින් පාසලකි. ඒ නිසා ඉතා හොඳ පරිසරයක විනයවත් ව හොඳ අධ්‍යාපනයක් ලබනු වස් දිවයින පුරා සිටින ළමයින් මෙහි නේවාසික ව සිටිති. දෙමාපියන් විත් ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු සති අන්තයේ දී නිවෙස් වලට කැඳවා ගෙන යති. 

සත්ව ගොවිපලේ නිෂ්පාදනය වන කිරි හා බිත්තර, නේවාසික දරුවන් ගේ පරිභෝජනය වෙනුවෙන් වෙන් වෙන බව හංසිකා කීවා ය. අපි අශ්ව ඉස්තාලය බලන්නට ද ගියෙමු. 

“අද මන්දාකිණී සයිලන්ස්…ඊයෙ වගේ නෑ”

උන් හිටි ගමන් කසුනි කීවේ මා ගැන ය. මා ගැස්සී ගියේ ඇයි කියා නම් ඇත්තට ම නො දනිමි.

“තාම ඉන්නෙ බොරලන්දෙ. අර පේස්ට්‍රි ශොප් එකේ…බබාලගෙ තාත්ත ළඟ තාම හිත”

නංගී කීවා ය. මා ඇස් කුඩා කොට ඇදෙස බලනකොට ම මල්ලී මැද්දෙන් පැන ඉවර ය.

“මොකද්ද ඒ කතාව…කවුද බබාලගෙ තාත්ත…”

මම දෙතොල් තද කර ගෙන ඉවත බැලුවෙමි. ඉතිරි තිදෙනා උස් හඬින් සිනහ වෙන්නට ගත්හ. මල්ලී මුව අයා මදෙසත් ඔවුන් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය.

“මේ නංගි..හනුමන්තා වගේ වටේ ගිනි තියන්නෙ නැතුව ඉන්නවද…නිකං බොරුවට..”

“නිකං බොරුවට…මන් නොදන්නවනෙ මෙයාව…”

යළිත් හදවතේ ගැස්මකි. 

“කවුද කවුද ඔය බබාලගෙ තාත්ත…ඉන්නවකො මං අම්මට කියන්න”

මම නංගී දෙස බලා රැව්වෙමි. ඇය සැහැල්ලු සිනහවක් නගා ගත්තා ය.

“අම්මට කියන්න ඕන නෑ ඉතිං…”

නංගී ඒ සියල්ල මල්ලී සමගින් පවසන්නට යනවා යි සැබවින් ම මා තුළ බියක් ඇති විය. මල්ලී තවම ලොකුවට නො හිතා අම්මා ගේ හොඳ පුතා වෙන්නට අප ගැන කේළාම් කියයි. මාත් නො දැන ම මම ලොකු හුස්මක් ගනිමින් සිටියෙමි.

“ඊයෙ මෙයා පේස්ට්‍රි ශොප් එකකදි බබෙක් වඩං හිටිය තාත්ත කෙනෙක්ගෙ ඇඟේ හැප්පිල හොඳ බැණුමක් අහගත්තනෙ”

හෙමිහිට ගත් හුස්ම ක්ෂයෙන් පිට වී ගියේ ය. නංගී තදින් වැළඳ ගන්නට තරම් සහනයක් මට දැනිණ.

“ආ…ඕකද…”

අපි සිනහව තද කර ගෙන ඇවිද යන්නට වූයෙමු. ඒ හැන්දෑවේත් මීදුම ගලමින් තිබිණ. සුළඟක් ද ගුම් නදක් නගමින් හමා ගියේ ය. ටර්පන්ටයින් ගස් වල සුදුවන් සිනිඳු උස් කඳ පිරිමදිමින් මම තුරු මුදුන් දෙස බැලුවෙමි. 

“පාර එහා පැත්තෙ තියන කැලේට යන්න ඕන මට. ඉස්සර ට්‍රිප් එනකොටත් මට හිතිල තියනව ඔය සයිප්‍රස් කැලයක් ඇතුළෙ ඇවදින්න…”

“මෙච්චර කල් මෙහෙ ක්වාටර්ස් වල ඉඳලවත් අපිට එහෙම සිතුවිල්ලක් පහල වෙලා නෑ”

කසුනි හා හංසිකා සිනහ වූහ.

“ඔය තාම කසකාරයො විතරයි. මෙයාගෙ විකාර පෙරහැර තාම මග. බලං ඉන්නකො ඕගොල්ලො”

නංගී මා හඳුන්වා දුන්නේ එසේ ය.

ඒ පාසල තුළ ඇවිදීමත් සැතපුම් ගණනක පයින් ගමනකි. නමුත් මට කිසිදු වෙහෙසක් නො දැනුණ බව සහතික ය. හැන්දෑවේ හංසිකා ලා නික්ම ගියේ අපේ අම්මා හැදූ තේ ද බිව් පසු ය.

“මේ දෙන්නා එන්න කැමති වුණේ ම නෑනෙ. මෙහෙම යාළුවො දෙන්නෙක් හම්බ වුණ එක හොඳයි. දැන් ඔය බොහොම ශෝක් එකට ඇවිද ඇවිද සතුටෙන් ඉන්නෙ”

අම්මා කීවා ය.

“මන්නං නෙවෙයි. මෙන්න මෙයානං දැනටම මෙහෙට බොහොම කැමති වෙලයි ඉන්නෙ”

නංගිගේ ඒ කතාවට මගේ පපුව සීතල වී ගියේ ය. නමුත් ඕ අවන් හලේදී දුටු නන්නාඳුනන්නා ගැන කිසිත් කීවේ නැත. 

චමත්කාරයක් මා තුළ වූ බව පිළි ගත යුතු ය. සමහර විට ඒ කුමක් දැයි මම ම වුව නිසැක ව නො දැන සිටියෙමි. නමුත් නංගී විටින් විට ඊයේ වූ සිදුවීම සිහිපත් කරනා විට ඒ චමත්කාරය මලක් සේ පෙති දෙපෙති විදා ගෙන පිපී ආවේ ය. කෙසේ වෙතත් එය අයාලේ යන වරා මලක් වන් අරමුණකින් තොර හැඟීමකි. හරියට නින්දක් සමබර කරනු වස් පෙනෙනා සිහින බඳු ය. කඳුකරයට මම ආදරය කරන්නට පටන් ගෙන ඇති බවක් පමණක් මට දැනිණ.

සඳුදා හවස කසුනි අපේ නිල නිවාසය දෙසට දිව එනු කාමරයේ ලොකු වීදුරු ජනේලයෙන් දුටු මම පිටතට ආවෙමි. මා නිල නිවසෙන් මිදුලට පිය ගැට පෙළ බැස්සේ ද යටි හිත විසින් දන්වා සිටිනු ලැබූ යම් කිසිවකට අවනත ව ය. හදවත යමක් සොයමින් සිටින විට විශ්වය ඒ ගැන අවදියෙන් සිටින්නේ ය. ඒ සියල් පණිවිඩ විශ්වීය බලවේගයක් විසින් අපේ යටි හිත් වෙත ලැබෙන්නට සලස්වන්නේ ය.

“මාර වැඩේනෙ වුණේ”

‘ඇයි කසූ කලබලෙන් වගේ’ කියා මා අසන්නට පෙර ඇය කීවා ය. හදවත ගැස්ම වැඩි වී තිබුණේ මොන හේතුවක් නිසා ද කියා හෝ සිතා ගත නො හැකි විය.

“බොරලන්දෙ මං එලකියුශන් ක්ලාස් එකක් කරනවනෙ..නර්සරි ඇන්ඩ් ප්‍රයිමරි බබාලට…”

“හ්ම්…”

“අද ඒකට අලුත් බබෙක් ආව. පුරුදු ගතියක් දැනුනත් මට එක පාරටම මතක් වුන්නෑ. පස්සෙයි මීටර් වුණේ. අර පේස්ට්‍රි ශොප් එකේ හිටිය මිස්ටර් හැන්ඩ්සම්…”

“ඕ…”

“බබාගෙ අම්ම තමයි ඇතුලට ආවෙ. හැබැයි අරය එළියෙ හිටිය”

“ඒ කියන්නෙ පොර තාත්තද කෙල්ලගෙ..”

මම සිනහ වෙමින් ම දුක්මුසු ඉරියව්වක් පෑවෙමි. පිටින් පෙන්වූ ඒ සැහැල්ලුවට යටින් අවංකව ම ශෝක වන පරාජිත ගෑනු ළමයෙකු මා තුළ ඉකි බිඳිනා හඬක් මට ඇසිණ. කසුනි සිනහ වූයේ මගේ ඉකි හඬ අතරිනි. 

“මිස්ටර් හැන්ඩ්සම්ගෙ නංගි ඒ. නිවුස් එකට මට සෑහෙන්න ගෙවන්් ඕන හරිද…”

මගේ දෙතොල් අතරට ආ සිනහවට නියත හේතුවක් සැබවින් ම වේ ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content