දෑත දරා – 39

සවස්  වෙද්දී මනුජ නොසන්සුන් වූයේය. සින්දූපා තනිව නිවසට යෑමට වුවද නොහැකි බව මනුජට සිතුණේය. සාරතී නැන්දා ගේ පැමිණීමද නවත්වා දමන්නට තරම් හිතුවක්කාරකමක් පෙන්වූ ඇයට නිවෙසට තනිව යෑමට සිතීම කල නොහැක්කක් නොවේය.

උපකාරයක් ඉල්ලා ගැනීමට සිටින්නේ විශ්ව පමනි. එහෙත් වෛද්‍ය අධිකාරිවරයා සහ සින්දූපා අතර වන ගැටුමේ විශ්ව දන්න කොටස පිළිබඳව මනුජ දන්නේ නැත. එනිසා සින්දූපා ට අනතුරක් වීමට හැකි යැයි ඉස්මතු කර ඔහුගෙන් උදව්වක් ඉල්ලීම කල නොහැක්කකි.

අවසානයේ මනුජ රියැදුරාද සමඟින් රාජකාරී කැබ් රියෙන් පිටත් වූයේය.

” සර් … මොකක් හරි ප්‍රශ්නයක්ද ?”

වැඩි දුරක් යන්නට පෙරම රියැදුරා මනුජගෙන් විමසුවේය. මනුජ ඔහු දෙස නොබලාම කිසිවක් නොමැති බව පැවසුවේය.

එහෙත් රියැදුරා එය  විශ්වාස කල බවක් නම් පෙන්වුයේ නැත.

” මෙතනින් ඉඳපං … මං පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්නම් …”

මනුජ  සින්දූපා ගේ වාට්ටුව වෙත ඇවිද ගියේය. රෝගීන් බැලීම සඳහ වෙන් කරතිබූ වෙලාව ඇරඹි තිබූ නිසා කිසිවෙකු ඔහු කෙරෙහි විශේෂ අවධානයක් දුන්නේද නැත.

සින්දූපා වාට්ටුවේ ඇයට හිමි අසුන අවට නොමැති බව පෙනෙද්දී මනුජගේ හද ගැස්ම වේගවත් විය.  ඔහු වාට්ටුව පුරා  දෑස්  කරකවා බැලුවේය. එහෙත්, පිළිතුරක් ලැබුනේ නැත. විමසන්නටය කියා කෙනෙක් පිලිබඳවද මනුජට එක්වරම අදහසක් ආවේ නැත.

ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය. පහයි හතලිස් පහය. තවත් වැඩි වේලාවක් යන්නට පලමුව අඳුර වැටේ. ඇය මඟක නම්, නවාතැනට යන විට අනිවාර්‍යෙන්ම අඳුර පරිසරය පුරා පැතිරී ඇතිවාට සැක නැත.

මනුජ ආපසු හැරුනේය. මෙවෙලෙහි පිළිසරණ විශ්ව පමණි.  ඔහුට ඇමතුමක් ගත්තේය.

” මම ඕපීඩී එක ළඟ….. වරෙංකෝ….පොඩ්ඩක් …”

එලෙසින් පවසා ඇමතුම විසන්ධි කලේය.

” උඹ දැන් අපේ හොස්පිට්ල් එකෙත් ඩියුටිද ?? …බැලුවොත් ඇත්නම් මේකේ නේ… උඹලත් අනේ මන්දා…”

විනාඩි කිහිපයක් යන්නට පළමු විශ්වගේ හඬ ඇසුණේය. මනුජ ඔහුට අමනාපය සහ මද කෝපයක් පෙන්වූයේය

” අරයා කෝ බං…”

“කවුද ?”

“අර… ඩොක්ටර් බං…ඩොක්ටර්…”

” ඇයි උඹට සති අන්තේ වීර වික්‍රම වලට හවුල් කරගත්ත එකීගේ නම ඔච්චර ඉක්මනට අමතක උනාද ?”

විශ්ව කෝපයෙන්, පහත් හඬින් විමසුවේය. මනුජ ඔහු පැවසූව විශ්වාස කරගන්නට නොහැකිව බලා උන්නේය. විශ්ව ඒ ගමන පිළිබඳව දන්නේ කෙලෙසදැයි මනුජට වැටහුනේ නැත. එකත් එකටම එය පවසන්නට ඇත්තේ ඇයය.

” උඹළාට කරන්න හොදයි.. අපි කතා කරාම ඒ ගැන මූන සත පහ කරගන්නවා.. අන්න ඒ කාරැනාව ගත්තාම  නම් බං, උඹලා දෙන්නා මාරම මැචින්..සිරාවටම …”

“උඹ මාව ජෝක් එකකට අරගෙනද බං?”

“අනේ නෑ.. ගෲප් කමාන්ඩර් කෙනෙක්ව ජෝක් එකට ගන්න මම කවුද ? ..පිස්සුද ..?? නා..නෑ…. පිස්සුද ?”

විශ්ව අතිශෝක්තිය මවාගෙනම කීවේය.

” කෝ බං සින්දූ?”

“වෝර්ඩ් එකේ…”

” එහෙ නෑ බං… මම බලලා උඹට කතා කලේ…”

විශ්ව මනුජ දෙස දැඩි බැල්මක් පා කලේය. මනුජට එහි අහුකොනක්වත් සිතාගන්නට හැකි වූයේ නැත.

” යකෝ… මිනිහෙක් වුනාම ජීවිතෙ වැරදෙන්න , පැටලෙන්න පුලුවන් … අත්වැරැදීම් වෙන්න පුලුවන් … වැරදි වෙන්න පුලුවන් ..අඩුපාඩු තියෙන්න පුලුවන් … ඒත්, ටිකක් මැචුවර් වෙද්දී ඒවා තේරුම් ගන්නෝනා… ඇජෙස් වෙන්නෝනා… තමන්ගේ හිතුවක්කාරකම් අනෙකාගේ නහය ලඟින්  ඉව්‍ර කරන්නෝනා කියලා තේරෙන්නෝනා…. ඒක උඹට නොතේරෙන්න විදියක් නෑනේ මනුජ… නිර්ධාටයි උඹටයි තිබ්බේ ඊගෝ එක…උඹට දියතලාව ඕනි වුනා.. ඒකිට කොළබ ඕනි වුණා…අන්තිමේදි ඒකි රටත් දාලා ගියා…පාඩුව අර පොඩි එකීට.. උඹේ අම්මා අප්පච්චී ට… උඹ කෙල්ලෙක් සෙට් කරගෙන ටයිම් පාස් එකේ හිටියා…. උඹේ අන්න ඒ චරියාව හොඳටම  දන්න එකා හින්දා තමයි මම උඹට කිව්වේ, සින්දූපා ගේ ජීවිතෙ එහෙම සෙල්ලමකට ගන්නෙපා කියලා…. “

“මම කොයි කෙල්ලගේ ජීවිතෙ එක්කද විශ්ව සෙල්ලම් කලේ ?”

“හරි හරි.. සොරි.. ඒක මට කලබලේට කියවුනේ… දෙගොල්ලන්ගේම කැමැත්තෙන් ඇති වෙලා නැති වුණ සම්බන්ධතා කියමුකෝ ඒවා…. හැබැයි, සින්දූපා එක්ක එහෙම ටෙම්පරි අදින්න තියාගන්නෙපා කියලා මම උඹට කිව්වනේ..”

“උඹ මට කිව්වේ සින්දූගෙන් අයින් වෙන්න කියලානේ..?”

“ආහ්…. ඉතින් ඒක මතක තිබ්බා නම්, උඹ අයින් වෙන්නෙපැයි බූරුවෝ.. මොන එකකටද ඒකිගේ කාර් එකෙන් මහ රෑ කොළඹ ඇද්දේ…?”

“මං ගියේ එයා තනියෙන් යවන්න බැරි නිසා…”

“අනේ බූරුවෝ… ඒකි මෙලෝ කවදාවත් කොළඹ රෑට ඩ්‍රයිව් කරපු එකියක් නෙවෙයි… ඒක ගෑණු ගැටයක්…”

මනුජද එය දැන උන්නා නමුත්, නොදන්නා සේම හැසිරුනේය.

” හරි දැන්, උඹ කෙල්ලව දාලා තනියෙන් ඇවිල්ලා…. ආයේ මොකද මේ?”

” මං… ආවේ… ගෙදර..ඇරලවන්න …”

“ආහ්.. උඹ දැන් මේ උඹේ කිට් එකෙන් ඩ්‍රයිවර්, සිකුරිටි ජොබ් කරන්නත් පටන් අරගෙනද ?”

” නවත්තගනින් බං… කෙල්ල කෝ කියහං…”

” ඒක තමයි කිව්වේ හු*##… වෝර්ඩ් එකේ..”

” හරි වරෙං… පෙන්නපං…”

මනුජ ආපසු හැරුනේය. විශ්ව යමක් පවසමින්ම අනෙක් පසට හැරුනේය.

“ඔහේ නෙවෙයි .. මෙහෙ.. ඇක්සිඩන්ට් වෝර්ඩ් එකේ…”

මනුජ ගත් අඩිය එලෙසින්ම තබා නැවතුණේය.

ආපසු හැරුණේය.

” ඇයි ? වෝර්ඩ් මාරු කරලාද ?”

මනුජ එලෙස විමසූවේ සිත තුළ අනෙකක් යුධ වදිමින් තිබියදීය. විශ්ව  කිසිවක් නොපවසාම ඉස්සර වූයේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles