*නාද්‍යා සොනාලි සල්වතුර*
“තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි”
මිනිහව දැක්කම මට මතක් උනේ ඔය සිංදුවා. බොරු කියන්නෝන නෑනෙ මට හීනියට හිනාවක් ගියා. මට ඒ හිනාගිය එක මිනිහා භාරගත්තේ නිකන් මිනිහට දැම්ම කෝචෝක් එකක් විදියට කියලා මට තේරුණෙ මිනිහා ඇස් හීනි කරලා, නළලා රැලි ගස්සගෙන මං දිහා බලපු බැල්මට.
“පුංචි මහත්තයා මේ නෝනා කෙනෙක් ඇවිත් මහත්තයව හම්බෙන්න” කියලා මනුස්සයගෙ ගෙදර වැඩට උන්න, අපිව ගේ ඇතුළට එක්කරගෙන ගිය මනුස්සය කියද්දි තමයි මිනිහට මතක් උනේ කන්න වගෙ මං දිහාව බලාගෙන උන්නට මෙතන ඉන්නෙ මං විතරක් නෙවෙයි මෙතන මමයි, එයයි, මංජුයි, අර මනුස්සයයි හතරදෙනෙක් ඉන්නවා කියලා.
“හරි සිරිල්, තැන්ක්‍යු” කියලා එයා කියද්දි මිනිහගෙ ඉංග්‍රීසියෙ තිබ්බ බ්‍රිටිශ් ඉංග්ලිශ් ඇක්සන්ට් එකෙන් මං තේරුන් ගත්තා මේ තාර පැටියා පිටරට ගිහින් ඉගෙන ගත්ත කොල්ලෙක් වෙන්න පුළුවන් කියන එක.
“ඔයා කවුද?” කියලා තාර පැටිය අහද්දිත් මගෙ ඇස් තිබ්බෙ මිනිහගෙ මූණෙ ගෑවිලා තිබිච්ච ආෆ්ටර් ශේප් තලිය දිහා බලාගෙන. මූණ පුරා වවාගෙන උන්න රැවුලෙ කෙඳි උඩ වලාකුලක් වගේ රැඳිල තිබිච්ච හන්දද මන්දා මිනිහ උන්නේ ඒක ගැන නොතේරුම්කමෙන් කියන එක තේරුම්ගන්න බැරිකමක් මට තිබුණෙ නෑ. ඔය ආෆ්ටර් ශේව් වලාකුල දිහා බලාගෙන ඉන්න ගමන් මනුස්සයා එක්ක ප්‍රොෆෙශනල් දෙයක් කතාකරගන්න බෑ කියලා දන්න හන්ද තමයි මං ඒක මනුස්සයට කිව්වේ.
“සර් රැවුල කපාගෙන එන්න. මූණෙ තාම ආෆ්ටර් ශේව්. වී කැන් වේට්”
තාරානාත්ගෙ ඇස් ලොකු උනෙත් රැවුලෙන් වැහිච්ච මූණ අස්සෙ උනත් ලැජ්ජාවක ජායාවක් ඇඳීගෙන ගියෙත් එක පාරම අත ඉස්සිලා රැවුල ඇල්ලුනෙත් නියන් ස්වයංක්‍රීයව වගේ. අනිච්චානුගව.
“මං තාත්තාගෙ රැවුල කපන ගමන් හිටියෙ. වෙනදට කවුරුහරි එනවනම් කලින් දන්නලනෙ එන්නෙ. අද ඔයාලා නොදන්වා ආව හන්දා මට රෙඩි වෙලා ඉන්න බැරි උනා” කියද්දි මිනිහගෙ හිතේ ඇතිවෙච්ච අපහසුතාවය මට නොතේරුනා නෙවෙයි.
“ඉට්ස් ඕකේ සර්. සර් ගිහින් වැඩ ටික කරලා ඉන්න අපි එලියෙන් වාඩිවෙලා ඉන්නම්” කියලා මං මංජුටත් “අපි යන්” කියාගෙනම ඇවිදන් එද්දි මට ඇහුණා තාර පැටියා කාටහරි කතාකරලා කියනවා “සුමනම්මා මේ තේ දෙකක් හදලා සර්ව් කරනවද?” කියලා.
අපි එළියට ඇවිත් වාඩි උනේ ගෙදර මිදුලට මූණ දාලා හදලා තිබ්බ ලස්සන ඕපන් වැරැන්ඩා එකක. ලස්සන බතික් කුශන් අල්ලපු දිගම දිග සෝෆා එකකුත් පැත්තක් ලස්සන ඔංචිල්ලාවකුත් පොඩිම ටීපෝ එකකුත් ඇරෙන්න වෙන මුකුත් තිබ්බේ නැති උනාට නිදහසේ වැවෙන්න දීලා තිබිච්ච ගාඩන් එකේ තිබිච්ච දම්බර්ජියා මල් එහෙම තිබ්බෙ ඒ ලස්සන වැරැන්ඩා එක හරිම ආදරෙන් තුරුළු කරගෙන. මල් වරුසාවක් වගේ ගාඩ්න් එකට ඇල කරලා තිබිච්ච උළු වහලෙන් වෑස්සෙන දිහා බලාගෙන ඉද්දි මට මතක් උනේ අපේ ගෙදර වහලෙ මේ විදියට ගිහිල්ලා තිබිච්ච පැශන් ෆෘට් වැල. තනි තට්ටුවේ පරණ, උලු වහලක් එක්ක හදපු ගේ තාත්තට පරම්පරාවෙන් හම්බෙච්ච ගේ උනාට තාත්තා එයාගෙ ක්‍රියේටිව් අයිඩියාස් පාවිච්චි කරලා තව කෑලි බෑලි එක්කහු කරලා වඩා ලස්සන කරලා තිබ්බට, ගෙදර බිමට තිබිච්ච ටෙරාකොටා ගලවලා ටයිල් දාන්න, ලී ගරාදි අයින් කරලා ස්ටේන්ලස් ස්ටීල් දාන්න, උලු වෙනුවට උලු ටයිල් එක දාන්න අම්මා චුට්ටක්වත් ආස උනේ නෑ.
“ඔයාලට දැන් මේවයි අගයක් නැති උනාට තව කාලයක් යද්දි මිනිස්සු මේවා පිස්සුවෙන් වගේ තමයි එකතුකරන්නෙ” කිය කිය ගාඩ්න් එක පුරාවටම එක එක ජාතියේ ඔසු පැලයු, දුර්ලභ මල් පැලයි වවන ගමන් අම්මා කිව්වා. අපේ ගෙදර වහලෙට ගිහිල්ලා තිබිච්ච පැශන් ෆෘට් වැල හද්ද පරණ එකක් උනාට මොකෝ අවුරුදු ගාණක් ජීවත්වෙලා ලබපු අත්දැකීම් හන්දමද මන්දා පොඩ්ඩක් වත් ඇඹුළක් තිබ්බෙ නැති හන්දා අම්මා ඕක පරිස්සම් කරේ මාවයි නංගිවයි පරිස්සම් කරනවා වගේමයි. මං නාස්ති උනාට නංගි වගේම පැශන් වැලත් තාම පරිස්සම් වෙලා ඇති කියලා හිතෙද්දි මගෙ හිත හීනියට රිදුණා. මට අම්මව මතක් උනා. අම්මට අන්තිමට යවපු ලියුම මතක් උනා. මට දරුවෙක් හම්බෙන්න ඉඳියා කියන එක තියා දරුවා හම්බුනා කියන එකවත් ලියන්න මට හයියක් තිබ්බෙ නැති එකේ අම්මලා ඒ ලියුම මං වගේ වෙන කවුරුහරි එව්ව එකක් කියලා හිතලා දුක ආය ආය වැඩි කරගත්තද කියලාත් මට හිතුනා.
ඒ හිතුවිලි ඔක්කොම මග නතර උනේ තාර පැටියා වොශ් එකක් දාගෙන වෙන ඇඳුමක් දාගෙන ඇවිත් ඉන්නවා දැක්කම. ඉස්සෙල්ලා ඇඳගෙන උන්න බාච්චු කමිසෙයි කොට කලිසමයි වෙනුවට ලිනන් දුඹුරු පාට කලිසමකට ඇඟ ඇතුළ ලාවට වගේ පේන සුදු කමිසයක් ඇඳගෙන උන්න එයාව මං දැක්කෙ තාරා පැටියා වගේ නෙවෙයි තාරානාත් දහම් වංශනායක වගේ. දම්බර්ජියා වැල් අස්සෙන් පෙරිලා ආව ඉර එළිය එයාගෙ ඇඳුම අස්සෙන්, රැවුල් ගස්, කෙස් ගස් අස්සෙන් විනිවිද ගිහිල්ලා එයාට දීලා තිබුණෙ පුදුමාකාර හිත ඇදිලා යන ලස්සනක්. ඒ ලස්සන ඉස්සරහා, ඒ පිරිමිකම ඉස්සරහා මං දියවෙලා යනවා වගේ හිතෙද්දිම මගෙ හිත කිව්ව “ඔය විදියටම නේද ගයාන්වත් ඉස්සර දැක්කෙ? ඔය විදියටම නේද ගයාන් ඉස්සරහදිත් දියවුණේ? අන්‍තිමේ දැන් දියවෙච්ච තැනම මිදිලා ඉන්නවා නේද මෝඩ ගෑනි?” කියලා.
මං මගේ ඇස් අවනත කරගත්තෙ අන්න ඒ කටහඬට යටත් වෙලා. අම්මා කෙනෙක් උනත් මං තාම තරුණ කෙල්ලෙක් විත්තිය, මේ වගේ කොල්ලො පාරෙ යනවා දැක්කම ඉස්සර යාලුවො එක්ක එක්කහු වෙලා අපේ “අයෑම් ඉන්ටු ඕල්ඩර් මෙන්, ඕල්ඩර් මෙන් ලුක් සෝ ගුඩ්, ශුගර් ඩැඩී ෆැන්ටසීස්” ගැන කතාකරපු ෆීලින්ස් ආය හිත උඩට එන එක බොරුවක් නෙවෙයි. අම්මා කෙනෙක් උනා කියල කිසිම ගෑනියෙක් මේ එකපාර සෝවාන් වෙච්ච තැනකට යන්නෙ නෑ. අම්මා කෙනෙක් උනත් අපිට ෆීලින්ස් තියෙනවා. පිරිමි වගේම සමාජෙ ඉන්න බහුතරයක් අම්මා කෙනෙක් හිරවෙලා ඉන්නෝන කියලා හිතුවට ඒක එහෙම නොවෙන විත්තිය ජීවිතේ එක පාරක් හරි අම්මා කෙනෙක් වෙච්ච ගෑනියෙක් දන්නවා.
“යු ආ?” කියලා තාරානත් අහද්දි මං උන්නෙ ඇත්තටම මාව ඉන්ට්‍රඩියුස් කරලා දෙන විදිය කල්පනා කර කර.
“මම නාද්‍යා සල්වතුර. මම තමයි ලන්ච් ක්ලබ් එකේ ෆෞන්ඩර්” කියලා කිව්වම තාරානාත්ට තමන් කරපු දේ මතක් වෙයි, මිනිහා බය වෙයි, ලැජ්ජ වෙයි වගේ එක්ස්ප්‍රෙශන් එකක් මම මිනිහගෙ මූණෙන් දකින්න බලාපොරොත්තු උනාට ඒ කිසිම දෙයක් නැති නියුට්‍රල් මූන ලඟ මම ඇත්තටම නිරුත්තර උනා.
“ලන්ච් ක්ලබ් කිව්වෙ?” කියලා තාරානාත් අහද්දි මං ආයෙ කල්පනා කරා මං මොකද්ද කියන්නෝන කියලා. ඒ උනාට ඊට කලින් මංජු ඉස්සර උනා.
“මහත්තයා මේ නිකන් දැන් බොරුවට අපේ ලන්ච් ක්ලබ් එක දන්නෙ නෑ වගේ බොරු පානිය දාන්න එන්න එපා හරිය. ඉස්ම යන්න දෙන්නෙ හරිය” කියාගෙන මංජු වත්තෙ වචන එකක් දෙකක් එලියට දාද්දි මං උන්නෙ මිනිහව සයිලන්ට් කරන්න විදියක් නැතුව.
අනික් එක අඩි හයයි පහක් වගේ රිටක් වෙච්ච තාරානාත්, රස්තියාදුකාර ටෝන් එකකින් තමන්ට කෝචෝක් දාන මංජු දිහා බැලුවෙ බිම තියෙන බෙට්ටක් දිහා බලනවා වගේ කියන එකත් මට තේරුණා.
ඒත් එවෙලෙත් මට කට ඉස්සර කරන්න උනේ නෑ. මොකෝ මංජුව සයිලන්ට් කරන්න තාරානාත්ගෙ වචන වලට පුළුවන් උනා.
මංජු විතරක් නෙවෙයි මාත් සයිලන්ට් උනා කිව්වා නම් වඩා හරි.