දෑත දරා – 45

විශ්ව  නිවාඩු ඉල්ලුම් කලේය.බැල්කනිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැම්මේය. මනුජගේ හිස සම්බාහනය කලේය. දියණිය පහල සාරතී සමඟ මනුජ ඉල්ලා කෑ ගසනු ඇසෙද්දි ගොස් දියණියවද නලවා ආවේය.

” කාලා බීලා ඇලර්ට් එකක් දාලා හිටහං… මං රෑ වෙලා එන්නන් අපේ නෝනා එක්ක ….”

“කරදර වෙන්නෙපා බං.. මේ ඇති…”

” අනේ කුණුහරුප  කියවන්නේ නැතුව හිටහං… මනුජ …. මේක සෙල්ලමක් නෙවෙයි මහත්තයෝ… උඹට ඔහොම ආතල් ගන්න බෑ… තීරණයක් ගනින් … උඹලා දෙන්නම එක තීරණේ නම් ඔහොම ඉන්නේ, නැන්දා මාමා නෙවෙයි, සක්කරයා අනෙක් පැත්තේ හිටියත් මායි නෝනයි උඹලා එක්ක …එච්චරයි… හැබැයි.., උඹ … උඹව වෙනස් කරගන්නෝනි මහත්තයෝ…….  “

” අන්න අර දරුවා , අර ආන්ටිට නොසෑහෙන්න වද දෙනවා … පොඩ්ඩක් බලපං..”

විශ්ව යලි පැමිණ එලෙස පැවසීමෙන් පසු මනුජ වහා නැගිට්ටේය. ජංගම දුරකතනය ද ක්‍රියාත්මක වන්නට හරිමින් පහලට බැස්සේය. විශ්ව පිටව යනු ඇසුණි.

දියණිය දිව විත් මනුජගේ කරට පැන්නාය. මනුජ ඇය සිප ගන්නා අතරේම ජංගම දුරකතනය දෙසට අවධානය යොමු කලේය. අම්මා සහ තාත්තාගෙන් මඟ ඇරුණු ඇමතුම් රැසකි.

“සාරතී නැන්දේ.. ඊයේ අපේ අම්මාලා..?”

මනුජ විමසන්නට පෙරම පිළිතුරු ලැබුනේය.

” ලොකු නෝනයි මහත්තයයි සුදු නෝනායි ඔක්කොමලා කතා කලා මට…. මං කිව්වා මහත්තයාට හිසේ කැක්කුමක් අල්ලලා වේලපහ නිදි කියලා.. සුදු නෝනා නම් ආයේ ආයෙම ගත්තා වීඩියෝ එකෙන් පෙන්නන්න කියලා… පස්සේ මම සුදු නෝනාට කිව්වා.. මොකක්දො ආරෝවක් වෙන්නැති.. උඩ දොරත් වහගෙන නිදි කියලා…”

සාරතී එලෙස පවසා මනුජට කිසිවක් විමසන්නට නොදීම පිටත්ව ගියාය. මනුජ නංගීගේ වට්සැප් පණිවිඩ විවෘත කලේය.

පණිවිඩ වැලකි. මනුජ අවසාන පණිවිඩය පලමුව කියෙව්වේය.

” අහම්බෙන් අද සෙට් වුනාට අද දවස .. තමුසේ හැමදාම මෙහෙම වෙන්නැති අය්යා… කාර් එක නැතුව මහ රෑ ගෙදර ආවා කියලා අම්මා කිව්වම මට නිකමට හිතුනා මොකක් හරි නාඩගමක් නටන්න ලෑස්ති වෙනවා ඇති කියලා … මම නෙක්ස්ට් මන්ත් එනවා… කොහොමම හරි එනවා…. අපි දෙන්නා එන්ගේජ් වෙනවා.. දරුවාව අපට දීලා තමුසේ ඕනි නාඩගමක් නටාගන්නවා අය්යා.. ඔය කෙල්ලෙක්… තව ටික දවසකින් ඉස්කෝලේ යන්න ඉන්න කෙල්ලෙක්… තාත්ත එක එක ගෑණු එක්ක නටම නාඩගම් ඒ කෙල්ලට පේන්න ඕනි නෑ…. මං අම්මලාට මේවා කියන්නේ නෑ.. හැබැයි දරුවා මට ඕනි… මම මෙයා එක්ක කතා කලා.. එයා ලෑස්තියි … එයා කොහොමටත් දරුවාට පණ ඇරලා…. ඔයා එයාගේ අප්පච්චී වෙලා දරුවට ආදරේ කරනවාට වඩා මගේ කොල්ලා ඔයාගේ දරුවට ආදරෙයි අය්යා… කොටින්ම එයා එයාගේ ශිෆ්ට් එක පවා ඇජෙස් කරගෙන ඉන්නේ බබා එක්ක වීඩියෝ කෝල් එකට සෙට් වෙන්න … ඔයා .. ඔයා…නම් මහම පුදුම මිනිහෙක් අය්යා… නිර්ධා අක්කා ඔයාව දාලා ගියාට එයාට ආයේ බනින්නේ නෑ කියලා මම තීරණය කලා… මොකද , අනිවාර්‍යෙන්ම එයා ඉවසලා බැරිම තැන ඔය තීරණේ ගන්න ඇත්තේ…. මට සැකයක් නෑ ඒකේ…  ලාස්ට් අය්යා.. බබා මට දෙන්න  .. ඒ දීලා ඔයා කැමති ජීවිතයක් තෝරගන්න.. ඔයා මගේ අය්යා වුනාට මම හරි ලැජ්ජයි අය්යා… ඔයාගේ සෙල්ලක්කාර ජීවිතේ මට ප්‍රශ්නයක් නෙවෙයි.. හබැයි ඔයා ඒ ජීවිතෙ පටන් අරන් තියෙන්නේ ඔයාට  රෝස මලක් වගේ පොඩි කෙල්ලෙක් ලැබිලා වීම මට ප්‍රශ්නයක්…..  .”

මනුජගේ හදවත කැබලි ව ගියේය. තමාගේම නැගණිය, තම උර මතින් ලෝකයේ ඉහලටම රැගෙන ගිය නැගණිය , ඇයද තමාව දකින්නේ එලෙසින් ය.

ස්ත්‍රීන් විශයෙහි ලා තමා කිනම් අයෙකුදැයි නංගී දන්නීය. ඇගේ මිතුරියක තමා හා පැටලෙන්නට විත් ඇති  කරන ලද යම් ගැටලුකාරි තත්ව වලදි තමා හැසිරුනේ කෙලෙසදැයි නංගී හොඳටම දන්නීය.

මනුජ කිසිවක් නොසිතා  ජංගම දුරකතනය පසෙකින් තැබුවේය. දියණිය දෑතින් ඔසවාගෙන කොපුල් ඉම්බේය. කුසද ඉඹිමින් ඇය සිනා ගැස්වූයේය

” මගේ පැටියෝ ….”
ඉන් පසුව මනුජ  දියණියව ඉතා තදින් වැළඳ සිප ගත්තේය

” අප්පච්චී ට මගේ පුතා ඉන්නවානේද  සුදු නෝනා ?  නැන්දා ත් බනිනවා පුතේ අප්පච්චී ට… විශ්ව මාමත් බනිනවා..සුදු අම්මත් බනිනවා.. අප්පච්චී සීයත් බනිනවා… ඒ තියා   සුදු මාමත් බනිනවා…. බලන්නකෝ පුතේ … අප්පච්චී ….පවු …දැක්කනේ සාරතී ආච්චිත්  අප්පච්චී ට කෑ ගහලා ගිය හැටි… අප්පච්චී .තමයි පුතේ.. නරකම… අප්පච්චී නරකම….  මගේ පැටියාගේ  ඩොක්ටර්ට ආන්ටිත් අප්පච්චී නරකයි කියලානේ ගියේ පුතේ…. කමක් නෑ මගේ සුදු නෝනා…”

මනුජගේ හඬ සැබැවින්ම බිඳි ගොස් තිබුණි.

විශ්ව කෙලින්ම නිවෙසට ගියේය. බිරිඳ සමඟ විස්තර පවසමින් දිවා ආහාරය ගත්තේය.

” අනේ මන්දා… ඔයා හොඳයි හිතෙන දෙයක් කරන්න බබා…  අන්තිමේදි ඔයා ඕවට වැරදිකාරයා නොවී ඕනි දෙයක්..”

” අපි දෙන්නාට තිබ්න  ප්‍රශ්න වලට වඩා මේක මගේ ඔලුවට වදයක් වෙලා සුදූ … සින්දූපා ගේ පුදුමම හිතුවක්කාරකමක් තියෙන්නේ…. මනුජ ඊට එහා… උන් දෙන්නාට දෙන්නා කාලගුණේ වගේ වෙනස් වෙනවා ඒ මදිවාට…  ඔක්කොමත් හරි, මනුජයා අර කිරි දරුවෙක් එක්ක මෙහෙම රෑ තිස්සේ බීගෙන කරගෙන ඉන්න ගියාම අර වැඩට ඉන්න ආන්ටි වුනත් ඒමට කියලා ඉන්න බලන්නේ නෑනේ  සුදූ….. නිර්ධා ගේ ප්‍රශ්නේ ඉවර වුනේ මූ සතියකට ඉන්ටඩික් වෙන්න ඔන්න මෙන්න ඇවිල්ලා….. දැන් මූ අද නිවාඩු දාලා… ඒ කියන්නේ මූ වැටෙන්න බොන්නම ප්ලෑන් කරලානේ සුදු…”

විශ්ව කීවේය. ඔහුගේ බිරිඳ සියල්ල අසා සිටිමින්  , ඉන්  ඔහුට සන්සුන් වීමට පමණක් ඉඩ සැලසුවාය. ඒ හැරුනුකොට ඒ වෙනුවෙන් කුමක් පැවසිය යුතුදැයි ඕ දැන උන්නේ නැත.

නිර්ධා හා සමඟ විවාහය බිඳී යෑමෙන් පසු, මනුජ ස්ත්‍රීන් හා වූ සම්බන්ධතා  දියණියක් සිටින පියෙකුට යුතු නොවන බව ඕ විශ්වාස කලාය. විශ්ව මනුජ හා සමඟ  වන ඇමතුම්  එහෙන් මෙහෙන් අසා සිටීමෙන් ඕ වටහා ගත් දේවලට එහා බොහෝ කතන්දර මනුජගේ ජීවිතයේ ඇති බව ඕ වටහාගෙන උන්නාය. එය එලෙසින් තිබියදී සින්දූපා මනුජ හා සම්බන්ධතාවයකට හා වීම   ගැන ඇයටද වූයේ පහන් හැඟීමක් නොවේය.

එහෙත්, සින්දූපා ගේ හිතුවක්කාරකම ගැනද ඇය නොදන්නවා නොවේ.

සින්දූපා විශ්වට ඇමතුම් පනහකට වැඩියෙන් ගෙන අවසානයේ ඔහුගේ බිරිඳටද ගත්තාය.

” අක්කේ…  විශ්ව අය්යා ?.”

“ආහ්. .. එයා මේ ..නිදිනේ…”

විශ්ව පසෙක සිට එලෙසින් පැවසූ නිසා ඇය කීවාය.

” අනේ අක්කේ.. ඇහැරුනාම මට කෝල් එකක් දෙන්න කියන්නකෝ… “

“ඇයි නංගී .. හදිසියක්ද ??”

සින්දූපා නිහඬ වූවාය.  කවුරුන් හෝ තමා අසා සිටිනවා නම් කියා ඇයට සිතී තිබුණේ පසුගිය දා පටන්මය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles