සුලක්ෂා ජයවර්ධන නිවසට පැමිණියේ හංසිකා හමුවීමටය. දෙදෙනා එක්ව රාත්‍රියේ පැවැත්වෙන යෙහෙළියකගේ උපන්දින සාදයකට යාමට කථිකා කරගෙන උන්නේය. සුලක්ෂා යනු මනෝ උපදේශකවරියකි. ඉසුරිගේ ප්රශ්නය යෙහෙළියකගේ ප්‍රශ්නයක්යැයි පවසා පොඩි අක්කා සමග කතා කළ පසුව ඇය පවසා සිටියේ ‘ඔය වගේ ප්‍රශ්න වලට මට වඩා හොඳට උත්තර දන්නේ සුලක්ෂා. එයා ක්ලිනික් හරි ප්‍රයිවට් චැනලින් හරි නැති වෙලාවක කරදර කරන්නේ නැතුව එයාත් එක්ක කතා කරන්න. එයා ඔයාට කරන්න ඕනේ මොනවද කියලා කියයි’ යනුවෙන් පැවසුවාය. ජීවිතයේ සතුට විතරක් හඳුනාගෙන උන් තරුණයා ඉන්පසු ඉසුරිගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ සුලක්ෂාගේ උපදෙස් මතය.
“කොහොමද අක්කේ…”
“හොඳයි..”
“අක්ක තවම බාත්රූම් එකේ පුතේ. ඔයා එහෙනම් සුලක්ෂා අක්කත් එක්ක කතා කර කර ඉන්නකෝ මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්.”
“අනේ ආන්ටි කරදර වෙන්න එපා…”
“මොන කරදරයක්ද දුව…”
අම්මා නැගී සිටියේ බිනර සුලක්ෂා ඉදගෙන උන් සුවපහසු සෝපාව අසලට පැමිණෙද්දීය.
“ඉතින් මල්ලි කොහොමද ඔයාගේ යාළුවගේ ප්‍රශ්නේ?”
“ඒක ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි අක්කේ..එයාලා යුතුකම් වගකීම් වලින් බැඳිලා. හැම තිස්සේම තමන්ගේ සතුට හිතනවට වඩා වෙන කෙනෙක්ගෙ සතුට ගැන හිතනවා. අනිත් එක තමන් ගන්න තීරණ වලින් තව කෙනෙක්ට අයහපතක් අසාධාරණයක් වෙයි කියලා බයක් එයාගේ හිතේ තියෙනවා. මං අහන්නේ අක්කේ ඇත්තටම ගෑනු කෙනෙක් තමන්ගේ මුළු ජීවිත කාලෙම තමන්ගේ සතුට හංගගෙන හස්බන්ඩ්ගේ සතුටට ඉඩ දීලා ඒක හරි උනත් වැරදි වුනත් දරාගෙන ජීවත් වෙන්න ඕනද..හරියට හිර කූඩුවක ඉන්නවා වගේ.”
“කොහෙත්වම නෑ මල්ලි…හැබැයි සමහර ප්‍රශ්න වලට විසඳුම් හොයද්දී මේක ශ්‍රී ලංකාව කියලා අමතක කරන්න හොඳ නෑ. විශේෂයෙන්ම මේ දකුණු ආසියාතික රටවල්වල පීතෘමූලික එහෙම නැත්නම් ස්වාමියා මූලික කරගතපු සංස්කෘතියක් තමයි ගොඩනැගිල තියෙන්නේ. මේ සංස්කෘතියත් එක්ක ගැලපිලා, ගැටිලා ඉස්සරහට ආපු මිනිස්සු අපි. යන්ග් ජෙනරේෂන් එක තරමක් දුරට වෙනදට වඩා විවෘතව ලෝකෙ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි තවමත් සංස්කෘතිය, සභ්‍යත්වය කරපින්න ගතපු පිරිසක් අපිත් එක්ක මේ රටේ ජීවත් වෙනවා. මෙන්න මේ සමාජ පන්ති දෙක අතර ගැටුම නිසා තවමත් සමහර තීරණ වලදී ගෑණු අය ඉස්සරහට එන්නේ නෑ මල්ලි. එහෙම කරලා මේ සමාජ ජීවත් වෙන එක ලේසි නෑ. තමන් මේ සමාජයතුල අසරණ වෙයි, පිළිගැනීමක් නැති ගැහැණියක් වෙයි කියල බයක් ඒ හිත්වල තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුල් ජීවිතයක පැවැත්ම සහ සතුට තීරණය වෙන්නේ ගැහැණියකගේ ඉවසීම මතයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ ඉන්න යන්ග් ජෙනරේෂන් එක කවද හරි දවසක අපේ අම්මල තාත්තලගේ වයසට ආවට පස්සේ අපේ රටේ යම්කිසි වෙනසක් ඇතිවෙයි. ඒක හොඳ පැත්තට වගේම නරක පැත්තටත් එකම විදිහට බලපායි. එතනදි හරි වැරැද්ද තේරුම් ගන්න තෝරගන්න ඉදිරි පරම්පරාවට ශක්තිය තියෙන්න ඕනේ.”
“එයාව සතුටින් තියන්න මට මොනවද කරන්න පුළුවන් අක්කේ…”
“මං කලිනුත් කිව්වා හැම වෙලාවකම ඔයා එයාට විශ්වාසවන්ත හොඳ යාළුවෙක් වෙන්න. එයා අද දවස වෙනකොට හිතේ තියෙන හැම දේම ඔයා එක්ක කතා කරන්න පෙළඹිලා ඉන්නවනම් ඇත්තටම ඒක හොඳ දෙයක්. ඔයා නොදැනම ඔයා එයාට ලොකු උදව්වක් කරලා. ඔයාලගේ යාළුකම නිසා එයා මේ වෙද්දිත් යම් තරමකට සතුටින් සැහැල්ලුවෙන් ඇති. ඔයාට පුළුවන් ඔයාගේ සීමාවෙ ඉඳගෙන අන්න ඒ සතුට එයාට දෙන්න. එයා ආස දෙයක් අරන් දෙන්න, එයා ආස කෑමක් කන්න එක් කරගෙන යන්න, එයා ආස විදිහේ ෆිල්ම් එකක් බලන්න එක් කරගෙන යන්න. එයාගේ ප්‍රශ්නත් එක්ක ඔයා ඉන්නවා කියලා පෙන්නන්න. හැබැයි මල්ලි ඒ හැම තැනකම මතක තියාගන්න ඕනේ එයා වෙන කෙනෙකුට ප්‍රපෝස් වෙච්ච ගෑණු ළමයෙක් කියන එක. එතනදී එයාගේ ආත්ම ගරුත්වය සහ පරිස්සම ගැන ඔයා වග කියන්න ඕනේ. දෙපාරක් හිතන්න ඕනේ…ඔයාට තේරෙනවා නේද මං කියන දේ…..”
“මට තේරෙනවා අක්කෙ…ඒක පුදුම අහිංසක කමක්. මම මේ ලෝකේ දැකපු අහිංසකම ගෑණු ළමයා එයා…”
අම්මා තැටිල්ලක තබාගත් බීම වීදුරුවක් රැගෙන විසිත්ත කාමරයට පැමිණියේ එවේලෙහිය. කළු පැහැ කෙටි ගවුමකින් සූදානම් වූ හංසිකා පහත මාලයට පැමිණියේත් ඒ අතරමය.
“ඔයාටත් බොන්න මොනවා හරි දෙන්නද දුව..”
“දැන් එපා අම්මා..මං හිතුවා මෙයා ගෙදර නෑ කියලා.”
හංසිකා පැවසූයේ තම සොහොයුරා දෙස බලාගෙනය.
“මගේ පුතා දැන් හොඳ දරුවෙක් වෙලා..”
“අම්මට ඉතින් කවදත් එයා හොඳ දරුවා තමයි. අපි නරක දරුවෝ උනාට”
හංසිකා සිනහසුනේත් අම්මා බිනර උන් අසුන අසලට ගොස් ඔහුගේ හිස සිප ගත්තේත් දයාබරවය. සැමියා පෙරදා රාත්‍රියේ පැවසූයේ බිනර ඉතා ඉක්මනින් තමා බලාපොරොත්තු වූ ඉලක්කය වෙත ළඟාවෙන බවය. ඔහු ටිකෙන් ටික වගකීම් දරන මිනිසකු බවට පත්වෙමින් සිටින බවය.
“මොකද අපේ මල්ලි කියන්නේ…..”
හංසිකා ඇසුවේ යෙහෙළිය විසින් පැද වූ හොන්ඩා වර්ගයේ රථයට නැඟුනාට පසුවය.
“ඒ ගර්ල් කවුරු උනත් බිනර ඒ ගර්ල්ට ආදරේ කරනවා.”
“ඔයාට එහෙම හිතෙනවද?”
“ඔව්….හැබැයි ඔයාගේ මල්ලි හරි ලස්සන අදහස් තියෙන කෙනෙක්. මට දැනෙන දේ තමයි ඒ ගර්ල් වෙන කෙනෙක් මැරි කරන්න ඉන්න බව දැන දැනත් මල්ලිට උවමනාව තියෙනවා එයා සතුටින් ඉන්නව දකින්න. එයා ලස්සන මැරේජ් ලයිෆ් එකක් ගත කරනව දකින්න. ඒක කරන්න හැමෝටම බෑ හංසි.”
“එතන භයානක පැත්තක් නැද්ද?”
“තියෙනවා…හැබැයි මට සීයට සීයක් විශ්වාසයි ඔයාගේ මල්ලිට ඒ වගේ පහත් තැනකට වැටෙන්න බෑ. එයා කවදහරි ඒ ගර්ල් වෙනුවෙන් හැම හැමදේම හරි ලස්සනට ඇරේන්ජ් කරලා දීලා සතුටින් හිනා වෙලා පැත්තකට වෙයි. එහෙම නැතුව ඒ ගර්ල් ඔයාගේ මල්ලිව විශ්වාස කරලා තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගත්තොත් ඇස් දෙක වගේ එයාව බලා ගනියි. මං දන්නෙ නෑ හංසි ඒක ඔයාලගේ ෆැමිලි එකට ඒ ගර්ල් මැරි කරන්න ඉන්න බෝයිට, ඒ ගර්ල්ගේ ෆැමිලි එකට මොන වගේ ප්‍රශ්නයක් වෙයිද කියලා. මම දන්නෙ මල්ලි ගැන විතරයි.”
“ඔයා එහෙම කියනකොට මට ඔලුව කැක්කුමත් හැදෙනවා…මේ ළමයා කවුරු වෙන්න ඇද්ද.. එයා එක්කම අපේ ස්ටාෆ් එකට එකතු වෙච්ච ගර්ල් කෙනෙක් ඉන්නවා ආශිකා කියලා ඒ ගර්ල්ගේ ඇස් අපේ මල්ලි ගාවම රැඳිලා තියෙනවා මං දැකලා තියෙනවා. මං මුලින් හිතුවේ මේ දෙන්නා අතරේ මොනවා හරි එෆෙයාර් එකක් ඇති වෙයි කියලා. ඒ ගර්ල්ගේ family background එක ගැන මම ටිකක් දන්නවා. එයාගේ නම් මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ.”
“අපි ටිකක් බලමු. දවසක මල්ලි එයා ගැන අපි දෙන්නා එකම කතා කරයි. එතකල් ඔයාට පුළුවන් විදිහට එයාට හයියක් වෙන්න හංසි. එයාව මානසිකව කඩන් වැටෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න මට පුළුවන්. හැබැයි මං එක දෙයක් දන්නවා එයා කවද හරි දවසක හරි ලස්සනට අපිට ලෝභ හිතෙන තරමටම ආදරේ කරයි.”
“එයා මාර සැහැල්ලුවෙන් ඉඳපු කෙනෙක්. තාත්තගේ අම්මගේ හිතේ බයක් තිබුනෙත් එයා කවදාවත් වගකීම් එක්ක ජීවත් වෙන එකක් නෑ කියලා.”
“නෑ…එයා තරං වගකීම් ගන්න පුළුවන් පිරිමියෙක් මං හිතන් නෑ වෙන ඇති ඇති කියලා. එයාට එතනට යන්න පුරුද්දක් නැති කමයි තිබුණේ. දැන් හරි..”
මිතුරිය පැවසූයේ සිනහසෙමින්ය. ඒ වදන් ගැන විශ්වාසය තබන්නට හංසිකා දෙවරක් සිතුවේ නැත. වර්තමානයේ ඇය රටෙහි සිටින ප්‍රසිද්ධම දක්ෂම උපදේශක වරියන් අතරින් කෙනෙකි. මේ මිතුරු දමට වසර ගණනකි. සුලක්ෂා යනු පවුලේ එකම දරුවාය. එනිසාම බිනර පිළිබඳව ඒ සිතේ සිතෙහි වැඩි ඉඩක් විය.
*******************
රාත්‍රී ආහාරයට ගෙන ආවේ පාන්ය. පරිප්පු හොද්දක් සෑදුවේ ඉසුරිය. අම්මා ගැන එවේලෙහි ඇගේ සිතෙහි වූයේ වේදනාවකි. තෙසතියකින්ම ඈ රැකියාවට නොගියාය. ඉඳහිට දවසක නිවසින් පිටව ගියේ පිටරට ගමනට අවශ්‍ය ලිය කියවිලි සකසා ගන්නයැයි පවසමින්ය. නංගීත් මල්ලිත් ඇගේ නික්ම යාම කෙසේ දරා ගනීදැයි ඉසුරිට සිතාගත හැකි කමක් වූයේ නැත. මෑත කාලයේ අම්මාත් ඔවුනුත් අතර වූයේ දුරස්ථ සම්බන්ධතාවයකි. නිවසේ සිටියත් ඔවුනොවුන් වචන දෙක තුනකට වඩා කතා නොකළ තරම්ය.
“ඉසුරි….මල්ලිට ඒ ලෙවල් කරන්න බෑ කියනවනං එයා මොනවා හරි පාඨමාලාවකට යොමු කරන්න ඕනේ. මේ ලෝකෙ දිනපු හැම කෙනෙක්ම ඉගෙන ගතපු මිනිස්සු නෙමෙයි. එයා තමන්ගේ ආත්ම තෘප්තියට ක්‍රිකට් ගැහුවට ඒ පැත්තෙන් එයාට තවදුරටත් ඉදිරියට යන්න බෑ කියලා කෝච් මමත් එක්ක කිව්වා. එයා ඒක සතුටක් විදිහට කරපුවාවේ. හැබැයි තවදුරටත් තේරුමක් නැති දේකට කාලෙ වැය කරන්න ඕනෙ නෑ කියලා එයා තේරුම් ගන්න ඕනේ. ඔයා ඔය ඉන්න ගමන් හෙමින් සැරේ අහන්න ඒ ලෙවල් කරනවද එහෙම නැත්නම් මොනව හරි වෘත්තිය පුහුණුවකට යොමු වෙනවද කියලා…”
සවස කතා කළ තාත්තා පැවසූයේ ඒ අයුරින්ය. සැබවින්ම ඔහු පාසැල් යාමට කම්මැලිය. ඉසුරිගේ හෝ කිරි අම්මාගේ වදයට පාසල් යන ඔහු මේසය මතට විසි කරන පොත් බෑගය යළි අතට ගන්නේ පසුදාය.
ඔහුට වාහනය ගැන ආසාවක් වූයේ අද ඊයේක සිට නොවේ. ඒකත් බර වාහන ගැනය. එනිසාම එකතු කරගත් පින්තූර පුවත්පත් ලිපි ඔහුගේ කාමරයේ ඕනෑ තරම් වේ. පොත් මේසයට මඳක් එහාට වන්නට බිත්තියේ ගසා තිබූ ලෑල්ලක් මත වූයේත් ප්ලාස්ටික් කුඩා දරුවන් සෙල්ලම් කරන බැකෝ යන්ත්‍ර කිහිපයකි.
මල්ලි සමඟ ඒ පිළිබඳව වැඩිදුරටත් කතා කළ යුතුයැයි ඇයට සිතුණේ පරිප්පුව ලිපෙන් බාගන්නා අතරය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)