සැරිසරන්නී – 15

එය චෙරි වලින් සැරසිලි කරන ලද චොක්ලට් ගැටෝ එකකි. කපන්නට ලෝබ කමින් මම එදෙස බලා සිටියෙමි. ගැටෝ ගෙන ඒමෙන් පෙනෙන්නේ රවීන් මගේ කැමැත්ත ඉටු කර දෙන්නට ගත් උත්සාහයකි. මේ කේක් එක වෙන කෙනෙකුගෙන් ලැබුණත්, ගැටෝ වලට මගේ ඇති පෙරේත කමත් එක්ක මා සතුටු වනු ඇත. නමුත් එය රවීන් වෙතින් ලබත්දී හදවත වින්දනය කරන්නා වූ රස මිහිර වෙනම එකකි.

“ආ…එයා කියපු ජාතියෙංම එකක් ගෙනත් නේ”

මා තිගැස්සී ගියේ නංගී ගේ හඬිනි.

“අනේ මේ..මෝඩ කතා කියන්නැතුව ඉන්නව”

මම මගේ ගැස්ම ඉක්මන් කොට වචන බවට පත් කළෙමි.

“මොකද්ද මෝඩ…මං කියන්නෙ ඇත්තනෙ”

“ෂ්..කට කට”

මා බය වූයේ ඇගේ කටේ සද්දය රවීන් ට ඇසේ කියා නොව අම්මා ට ඇසේ කියා ය. සැකයේ එක බීජයක් හිතට වැටුණොත් ඇය රහස් පොලිස් පරීක්ෂක වරියක සේ ඒ පසු පස දිව ගොස් කරුණු කාරණා සොයන්නට පසු බාන්නේ නැත. තවම රවීන් මාව සිය මෝටර් රථයට හෝ නංවා ගන්නේ නැත. ඒ ගෙවල් වලට ආරංචි අත්තටු ගසමින් එන එක නවතාලන්නට ය. එහෙව් එකේ නංගී මෙතන අඬ බෙර ගසන්නට හදයි.

“මං කිව්ව ශෝට් ඊට්ස් වගේ ඒව හොඳයි කියල. කෝ ගෙනාවද…”

“ඇහෙන්න නැතුව ඇති”

මම බයාදු ලෙස මිමිණුවෙමි.

“ආ…එයා අර කොඳුරල වගේ කියපු එක ඇහුණා. මං ගාණ්ටාර ගහල වගේ කියපු එක ඇහුණෙ නෑ. ඒක මාර කන් දෙකක්නෙ. අඩු සංඛ්‍යාත වල හඬවල් වෙන්නැති ඇහෙන්නෙ නෑ”

“හාපෝ…මේක කටක් නෙවෙයි. බෝක්කුවක්”

කියමින් මම වතුර කේතලය පුරවා උඳුන මතින් තැබුවෙමි.

“මේක ගෙනාවෙ බල බලා ඉන්න නෙවෙයිනෙ. කන්නනෙ”

කියමින් නංගී පිහිය ගෙන කේක් එක දෙකට මැදින් කපා දැමුවා ය. මට දැනුණේ මගේ හදවත දෙපළු වී ගියා මෙනි.

“ආ හා මේක ගිහිං බෙදනව. මං තේ හදන්නං”

කේක් තසිම මවෙත පානා ගමන් නංගී කීවත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. මට ඔනා වූයේ රවීන් ට මගේ අතින් ම තේ සාදා දෙන්නට ය.

“ඔයා ගිහිං බෙදන්න. මට එකක් ඉතුරු කරනව හරිද”

මම සීනි පිටි ජොග්ගුවකට දමා කලවම් කරමි. එසේ කරත්දී  ඒ මිශ්‍රණයෙන් හැන්දක් කටට දමා ගැනීම මා පුරුද්දක් සේ කරනා දෙයකි. පිටි සීනි මුව තුළ දිය වත්දී නැගෙනා කිරි රසයට මා ඉතා ආශා ය.

“නැන්දෙ මෙන්න ලෙච්චමී පිටි සීනි අහුරක් කටට දා ගත්තෝ…”

මා තිගස්සවමින් මුළුතැන්ගෙට ගොඩ වෙමින් සිටියේ ලොකු අයියා ය. පිටි සීනි හිස්මොළයේ නො ගියා පුදුම ය. පොඩි කාලේත් ඔහු ඔහොම ය. ඔහු හා මා අතර වූ ළෙංගතු කමේ හැටියට, නැන්දලා නම් කීවේ නෑනා අයිති මස්සිනාට යන පුරාන කියමනට අනුව අප දෙදෙනා අපට ආදරය කරනු ඇති බවයි. නමුත් හැමදාමත් අප දෙදෙනා අපට ආදරය කළේ සහෝදර හැඟීමෙනි.

මගේ තේ එකේ රස ගැන කියමින් කට්ටිය තේ බොන්නට පටන් ගත්හ.

“මන්නං මුරුංගා අත්තෙ නැගල හැමදාම තේ හදන්නෙ නෑ හරිද…මන් දන්නව ඔය කපටිකං”

මම බොරු නෝක්කාඩුවක් පෑවෙමි.

“ඔයා හැමදාම තේ හදන්නකො සුු මැණික…මේ රවීන් හැමදාම ගැටෝ ගෙනෙයි”

රවීන් ගේත් මගේත් ඇස් එකට ගැටී විදුලියක් ඉපදිණි. ලොකු අයියා එසේ කීවේ ඇයි කියන තිගැස්ම මගේ පපුවේ ඉතිරි විය. රවීන් ඇස් වලින් යම් ඉඟියක් දෙන්නට තැත් කළේ ය. ඒ මට කලබල නොවී ඉන්නා ලෙසට ය. ඒ කතාව ලොකු අයියා කටට ආවාට කීවා මිස අප ගැන යමක් දැන කීවා නොවේ කියා මට හඟවන්නට ඔහු ට ඕනා වන්නට ඇත.

“බෑ බෑ හැමදාම එයා ආස දේවල් විතරක් ගේන්න බෑ. එහෙනං එයාට වඩා මං පොඩියිනෙ”

නංගී විරෝධය පෑවා ය.

“මේකි උසාවියෙ වගේමයි. ඔබ්ජෙක්ශන්මයි”

ලොකු අයියා ගේ කතාවට අම්මා ට ද සිනහ ගියේ ය.

“මං මැරෙන්න කලින් පළවෙනි නඩුව කතා කරන්න ඕනෙ නෙතුකියො. ඒක බලන්න මං උසාවියට එනවමයි”

ආච්චා බලාපොරොත්තු සහගත දෑසකින් නංගී දෙස බලා කීවා ය. මම ආච්චා හිඳ උන් පුටුවේ වත මත හිඳ ඇගේ උරහිසක් මුදු ලෙස පිරිමදිමින් ඈ සනසනා උත්සාහයක් ගතිමි.

මා හිඳ උන් තැනට කෙලින් ම ඉදිරියෙන් වන පුටුවේ ය රවීන් අසුන් ගෙන සිටියේ. ඒ නිසා අමුතු වෙහෙසකින් තොර ව මට ඔහු ව දකිත හැකි විය. පුටු තියා ගෙනත් මා ආච්චා ගේ පුටු වත මත ම වාඩි වූයේ ඒ නිසා යයි කිසිවෙකු සැක නොකරන බව මට විශ්වාස ය.

“අපරාදෙ. නෙතුකිය ලෝයර් කෙනෙක් වෙලා හිටියනං අපේ රවීන් ගෙ ඩිවෝස් කේස් එක බාර දෙනවනෙ. නැද්ද රවීනය…”

ලොකු අයියා ගේ කතාවට රවීන් පිළිතුරක් නොදී බිම බැලුවේ ය. මගේ ඇස් ඔහු වෙතට ම දැල්වී ගත්තේ ය.

“හැබෑට ඔය දරුවගෙ කසාදෙට එහෙම වුණේ ඇයි…මට පේන විදිහටනං එහෙම සෙල්ලක්කාර ඉලන්දාරියෙකුත් නෙවෙයි. ඒ වුණාට ඉතිං එහෙම වෙන්න මොකක් හරි වැරැද්දක් තියෙන්නත් එපැයි..නේද…”

මගේ හදවත ගැහෙන ලබ් ඩබ් හඬ පිටතට පවා ඇසෙනා තරම් වූයේ ය.

“වැරැද්ද…මූ කරපු වැරැද්ද මදැයි ඒ ළමයට. ඒ කෙල්ල මෙච්චර කාලයක් හරි මූත් එක්ක හිටපු එකයි පුදුමෙ”

අපේ සිව් නෙත් යළිත් මුණගැසිණි. මගේ අභ්‍යන්තර ගැස්ම ඔහු ට දැනෙන්නට ඇත.

“ඒ මොකද මලිත්…”

අපේ අම්මා මහන මැෂිම ද නවත්වා ගෙන ලොකු අයියා දෙස බැලුවා ය.

“නැන්දා කියන්නෙ මූ ගොරෝන ගෙරවිල්ලක්. ඇයි දෙයියනේ ගෑනියෙක්ට නිදා ගන්න පුළුවන් ද මූ ඉන්න ඇඳේ නෙවෙයි මූ නිදියන කාමරේ අහලකවත්. කොයි ගෑනිට දිගටම ඒ දඬුවම විඳින්න පුළුවන්..ඉතින් ඒකි ගියා”

නංගී හඬ නගා හිනැහෙන්නට වූවා ය. මම ඇයට රැව්වෙමි.

“ඔයානං මලිත්…හැම එකම විහිළුවටනෙ ගන්නෙ”

“විහිළු නෙවෙයි නැන්දෙ. සිරාවට”

ආච්චා සුසුමක් හෙළුවා ය. මේ ගැන ඇයට කියන්නට යම් දෙයක් වන බව මම දැන සිටියෙමි.

“එහෙම තමයි පුතා. ඉරණමේ හැටියටයි වැඩ සිද්ද වෙන්නෙ. ඉරණම්කාරි ඒ ළමය නෙවෙන්න ඇති. ඕව ගැන කණස්සලු වෙලාවත් කෝප වෙලාවත් ඇති පලක් නෑ දරුවො. උපේක්ෂාවෙන් බලන් ඉන්න තමයි තියෙන්නෙ. ඇත්ත කතාවනං අපිට මමය මගේය කියල කිසිම දෙයක් නෑ. එහෙම තියෙනවනං අපිට ඕන හැටියට ඒව පාලනය කරන්න පුළුවන්නෙ. මේ ශරීරෙවත් මගෙයි කියල කියන්න බෑ පුතාල. එහෙම පුළුවන් වුණානං මේ වගේ වයසට යන එක ලෙඩ වෙන එක අපිට නතර කර ගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙම බෑ. ඒ හැම දේම ඉෂ්ට සිද්ද කරන කෙනෙක් ඉන්නව. ඒ තමයි ඉරණම. ඒක ම තමයි කර්මය කියන වචනෙන් කියවෙන්නෙත්. අපිට අද ලැබෙන හැම දෙයක් ම මේ සංසාරෙ කවදම හරි අපි කරපු හොඳ නරක වල ප්‍රතිඵල. ඒ නිසා ජීවත් වෙන මේ මොහොතෙ යහපත් දෙයක් කරමින් සතුටෙන් ඉන්න එක තමයි අපි කරන්න ඕන. ඔය පුතාගෙ විවාහය ඒ විදිහට බිඳෙන්න…මේ ආත්මෙ නැතත් සසරෙ කවදක හරි ඔයා කරපු අකුසලයක් බලපාන්න ඇති. ඒ අකුසල කර්මය එතනින් ඉවරයි කියල සතුටු වෙලා ඉස්සරහට යන එකයි දැන් කරන්න තියෙන්නෙ”

ධර්ම දේශනයකට සවන් දෙන්නා සේ මම අසා සිටියෙමි. ලොකු අයියලා යළි නික්ම ගිය පසුත් රවීන් ගේ දුක් ඇස් මගේ හිතේ හොල්මන් කරමින් තිබුණේ ය. අපට සමීප ව උන් කෙනෙකු වෙතින් ප්‍රතික්ෂේප වීම කියන්නේ හිතකට එල්ල විය හැකි මරු පහරකි. ඒ ඇස් වලින් මා නිතර ම දුටුවේ ඒ ප්‍රහාරයේ මාරක වේදනාවයි.

උදේ මා වැඩට යන්නට සූදානම් වෙමින් සිටියදී “ලෙච්චමී” කියා ලොකු අයියා හඬ ගානු ඇසිණ.

“මලිත් නේද” කියා අසාගෙන අම්මා ඉස්සරහට යනු ද මට ඇසුණේ ය. ඔවුන් මොනවා හෝ කතා කරන හඬ ඇසුණත්, මම ඉස්සරහාට නොයා කාමරයට වී ඔවුන් කතා කරනා දෙයක් අල්ලා ගැනීමේ අදහසින් කන් එදෙසට විදා ගෙන සිටියෙමි.

“සනූ…ලොකු පුතා..”

කියා දොරකඩ සිට ම අම්මා හඬ ගෑවා ය. මගේ හද ගැස්ම තීව්‍ර නො වුණා නොවේ.

“සනූ…අන්න ලොකු අයිය කතා කරනව ඔයා යනවනං එන්නලු. මලිත් අර ළමයගෙ කාර් එකේ කොහෙද යනව. ඉක්මන් කරල යන්න. බස් එකට වද වෙන්නෙ නැතුව යන්න පුළුවන්නෙ”

අම්මා වෙත මඳ කලබලයක් විය.

“මං තාම ලෑස්ති වෙනවනෙ”

මම ඒ හැටි ගණන් නො ගෙන කීවෙමි.

“ඉතිං ළතවෙන්නෙ නැතුව අත ඉක්මන් කරල ලෑස්ති වෙන්නකො”

“හරි අම්ම. ලොකු අයියලට යන්න කියන්න. මං වෙනද ගිය විදිහට බස් එකේම යන්නං”

“ඉතිං ළමයො. ඔයාට පොඩ්ඩක් ඕක ඉක්මන් කරන්න බැරිද…”

“අනේ බෑ අම්ම. ඉන්නකො ටිකක්. එයාලට හදිස්සිනං යන්න කියන්න. හදිස්සි නැත්තං ඉන්න කියන්න”

මා එසේ කීවේ මඳ නො රිස්සුමකින් සේ ය.

“අම්මටසිරි. බලපල්ලකො මේ ටිකිරිමලීගෙ ගණං”

දොරකඩින් ලොකු අයියා ගේ හඬ මතු විය.

“ඇයි අනේ. බාගෙට ලෑස්ති වෙලා යන්න පුළුවන්ද…”

“හරි හරි. කොච්චර ලෑස්ති වෙලා ගියත් උඹේ ලස්සන බලන්නෙ ඉතිං අර හිපාටුවා…කවුද සුනෙත් නේද…ඌ විතරනෙ”

“අනේ මේ ඉන්නව. තමුසෙනෙ හිපාටුව”

“බලපංකො ඌට මොනා හරි කියනකොට මේකිට යන තරහ”

“ඔව් ඉතිං. මගෙ යාළුවනෙ එයා”

මම රවමින් ගස්සමින් ද කලබලයෙන් ද බෑග් එක සූදානම් කර ගෙන අම්මා ඉදිරියේ දෙකට නැවී වැන්දෙමි.

“ඔහොමද යකෝ වඳින්නෙ…වැඳපිය හරියට දෙකට නැවිල”

ලොකු අයියා මගේ බෙල්ලෙන් අල්ලා සොලවමින්, ඊළඟට කරට අතක් දමා ගත්තේ ය. රියට නැගුණ පසු අයියා රවීන් ට කේළාම් ටික ඔක්කොම කීවේ ය. මම මූණ හකුළා ගෙන ඉවත බලා සිටියෙමි. රවීන් ගේ හිරු මඬල සදිසි ඇස් වරින් වර මවෙත කිරණ විදහා ලන බව, ඉවත බලා සිටියත් මට දැනිණ.

ලොකු අයියා වැඩි දුර නොයා අතරමගකින් බැස ගත්තේ ය. ඉන්පසු ටිකක් ඉදිරියට ගිය රිය නැවත අයිනට කොට නැවතිණ. රවීන් පිටුපස හැරී බැලුවේ ය.

“දැං මොකද ඔය මූණ එල්ලං ඉන්නෙ..”

ඔහු ගේ ස්වරයේ සිනහවක් විය. රියෙන් බැස්ස මම ඉදිරි දොර හැර ගෙන ඉදිරි අසුනට ගොඩ වුණෙමි.

“මාව කා එකේ දාං යන්න බෑ කිව්වනෙ. ඉතිං අද මොකටද බලෙංම මාව දාං ආවෙ…”

“අද ඉතිං මලිත් හිටියනෙ”

“ඇයි මලිත් නැත්තං මං ඔයාව ගිලියි කියල බයද…”

මගේ ඇස් වල නෝක්කාඩුවක් වන්නට ඇත. නමුත් රවීන් සන්සුන් ලෙස හිනැහුණේ ය.

“නෑ. මට ඔයාව ගිලින්න හිතෙයි කියල බයයි”

බුම්මා ගෙන උන් මගේ මුහුණට සිනහවක් නැගිණි. ඔහු ඒ සිනහ වත දෙස බලා සිටියේ නිම් හිම් නැති ආදරයකින් ය කියා මට දැනිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content