ළතෙත් ආදර හැඟුම් ගංගා – 27

*තාරානාත් දහම් වංශනායක*

“මේ බිස්නස් එක ඇතුලෙ අපි දෙගොල්ලන්ට තියෙන්නෙ ප්‍රශ්න දෙකක්නෙ. මගෙ පැත්තෙන් ගත්තොත්, අපිට හොඳට උයන්න සහ මිනිස්සු ආස කරන රසට කෑම හදන්න පුළුවන් බව අපි දන්නවා. ඒත් ලොකු ගාණකට කෑම හදන්න තරම් අපිට මැෂින්වත් හොඳ ටූල්ස් වත් මදි. ඒ නිසා, කොච්චර ඩිමාන්ඩ් එක තිබුණත්, අපේ සප්ලයි  එක හැමදාම මාරම අඩුයි. අනික සර්ලගෙ මාකටින් මැනේජ කරපු වැඩේ හන්දා අපිට කලින්ට වඩා පිරිස තව අඩු වෙලා ඉන්නෙ. 

සර්ලගෙ පැත්තෙන් ගත්තොත්, එතන තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්නෙ. ඔයාලට බිස්නස් එක හරියට මැනේජ් කරන්න, නැතිනම් කෑම හැම වෙලේම හොඳ කොලිටියට හදන්න ඕන තරම් කට්ටිය නෑ. අපි දෙගොල්ලො එකතු වෙලා එක ටීම් එකක් වගේ මේ වැඩේ කරන්න ගත්තොත්, ඒ ප්‍රශ්න දෙකම එකපාර විසඳගන්න පුළුවන් නේද?” කියලා නාද්‍යා කියද්දිත් මම කරෙ එක දිගටම එයා දිහාව බලාගෙන උන්න එක. මං උන්නෙ හිත ඇතුලෙන් ලොකු ස්ට්‍රගල් එකක. මාත් එක්ක බිස්නස් මැටර් එකක් කතාකරගන්න ආව කෙනෙක් එක්ක මම කවදාවත් නැතුව මගේ පර්සනල් ලයිෆ් එකේ අවුරුදු ගානක් තිස්සෙ මගෙ හිත රිද්දන්න හේතුවෙච්ච දෙයක් මම කිසි ගානක් නැතුව වගෙ කියලා දැම්මෙ ඇයි කියන එක මට හිතාගන්න පුළුවන් උනේ නෑ. නාද්‍යා බිස්නස් එක ගැන දේවල් කියාගෙන ඉද්දි ඒ දේවල්වලට ඇටෙන්ශන් එක දෙන්න මට සෑහෙන්න ෆෝකස් කරන්න උනා.

“ඔයා කියන කතාව හරි. ඔයා කියන විදියට වැඩේ කරන්න පුලුවන් සහ ඒක අපි දෙන්නටම වාසි සහ මම ඒකට කැමති. මට තාත්තා එක්ක මේ ගැන හැබැයි කතාකරන්නෝන. ඒ වගේම මට තව දෙයක් දැනගන්නෝන” 

“මොකද්ද?”

“මේකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔයාට ශෙයා එක කොච්චරක් ඕනද?” කියලා මම කියද්දි නාද්‍යා කරේ හිනාවෙලා මං දිහාව බලාගෙන ඉන්න එක. 

“ෆිෆ්ටි වන් පසන්ට්”  කියලා කිව්ව එයා ආයෙ මම ඒකට හේතුව අහන්න කලින්ම තමයි කිව්වේ, “මැශිනරි ඔක්කොම, ලොකේශන් ඔක්කොම ඔයාගෙ උනාට කෑම බිස්නස් එකක් සක්සස් වෙන්න ලොකුවටම බලපාන්නේ අපේ කෑමවල තියෙන කොලිටි එකනෙ. ඔයාලගෙ මාකටින් ටීම් එකෙන් අපිට ප්‍රශ්නයක් ඇති කරන්න කලින් මිනිස්සුන්ට අපේ ෆුඩ් වල රස ගැනවත්, කොලිටි එක ගැනවත් කිසිම ඉශූ එකක් තිබ්බෙ නෑ. එහෙම එකේ මිස්ට තාරානාත්ට තේරෙනවා ඇතිනෙ මේකට ලොකුවටම එෆර්ට් එක දාන්න වෙන්නෙ අපිට කියන එකත්, ඒ එෆර්ට් එක උඩ තමයි මේ බිස්නස් එකේ සක්සස් එක වගේම ෆේලියර් එකත් ඩිපෙන්ඩ් වෙන්නෙ කියලා. අනික කොහොමත් ඔයාලා බිස්නස් එක ක්ලෝස් කරන්න උන්න එකේ අපි මෙහෙම දෙයක් අරන් ආවෙ නැත්තම් ඔයාලටා ෆෝර්ටි නයින් පසන්ට් වත් ශෙයා එකක් නෑ නේ නේද?”  කියලා නාද්‍යා කියද්දි මට ඇත්තටම පොඩි හිනාවක් ගියා. මේ අවුරුදු විසි ගානක පොඩි කෙල්ලෙක්, තිස් ගානක මගේ මැචුරිටි එක, බිස්නස් කරන ෆැමිලි එකක පොඩි කාලෙ ඉඳන් ජීවත්වෙච්ච ලයිෆ් එක්ස්පීරියන්ස් වගේම රට ගිහින් ඉගෙන ගත්ත දැනුම හැමදේම දෙවනි තැනට දාලා හරිම ප්‍රැක්ටිකල් විදියට කතාකරන එක දැක්කම ඒ හිනාව සාධාරණීකරණය කරන්න ඕන තරම් හේතු මට තිබ්බා.

අනික් අතට බිස්නස් කරන පවුලකින් ආවට ඒ බිස්නස් මගේ ඇඟේ නැත්තෙ ඇයි කියන එක සාධාරණීකරණය කරන්න හේතුවක් මට තිබ්බා.

“මම තාත්තා කියන්නෙ මගේ ඇත්ත තාත්තට නෙවෙයි. අපේ අම්මයි තාත්තයි මැරි කරලා තියෙන්නෙ ප්‍රපෝසල් එකකින් නාද්‍යා. බිස්නස් කරන ෆැමිලීස් දෙකක් එකතුවෙල ගහපු ඩීල් එකක් වගේ එකක් තමයි ඒ දෙන්නගෙ මැරේජ් එකත්.

මැරේජ් එකෙන් පස්සෙ තාත්තා අම්මට කොච්චර ආදරෙන් සලකන්න හැදුවත් අම්මා ඉඳලා තියෙන්නෙ එයාට තාත්තා හන්දා අත ඇරලා දාලා එන්න වෙච්ච එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන හිත හිත. එයා තාත්තා දිහා බලලා තියෙන්නෙ තරහෙන් මොකද එයාට අනුව එයා ආදරේ කරපු මනුස්සයව දාලා එන්න හේතු උනේ තාත්තා එක්ක වෙච්ච මැරේජ් එක. තාත්තල දන්නෙ නැති උනාට අම්මා තාත්තව මැරි කරාට පස්සෙත් ඒ අෆෙයාර් එක කන්ටිනිව් කරගෙන ගිහින් තියෙනවා. ඒත් ඒ මනුස්සයා තනිකරම කරලා තියෙන්නෙ තමන්ගෙන් ප්‍රයෝජන ගන්න එක කියලා අම්මට තේරිලා තියෙන්නේ ඒ මනුස්සයා අම්මටත් හොරෙන් වෙන කෙනෙක්ව කසාද බැඳල රට පැන්නයින් පස්සෙ. ඒ වෙද්දිත් අම්මා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නෙ. මං වගේ තමන් කසාද බැන්ද මනුස්සයගෙන් නැතුව වෙන කෙනෙක්ගෙන් ලැබිච්ච දරුවෙක් එක්ක කසාද මනුස්සයගෙ ගෙදර ඉන්න එක තමන් ජීවිත කාලෙටම කරගන්න යන මහම මහ වැරැද්දක් කියලා තේරිච්ච තැන තමයි අම්මා මාව් ඉපදිලා මාස ගානෙන් තාත්තගෙ බිස්නස් වල වැඩ කරන්න ආව මනුස්සයෙක් එක්ක යාලුවෙලා පැනලා ගිහින් තිබ්බේ.

“අම්මට සමහරවිට පෝස්ට් පාට්ම් ඩිප්‍රෙශන් වගේ දෙයක් හන්දා එහෙම ඩිසිශන් එකක් ගත්තද කියන්න මම දන්නෙ නෑ පුතා. අයි ඕල්සෝ වෝස් යන් ඇන්ඩ් අන් එක්ස්පිරියන්ස්ඩ්. මමත් මැරේජ් ලයිෆ් එකක් ගැන දැනන් උන්න කෙනෙක් නෙවි, සමහරවිට මගෙ පැත්තෙනුත් අඩුපාඩු වෙන්න ඇති.අපි එයාගෙ පැත්තෙන් කතාව දන්නෙ නෑනෙ” කියලා හිතපු තාත්තා කෙනෙක් උන්න හන්දා අම්මා ගැන වෛරෙන් බලන්න මට කවදාවත් බැරි උනත් තාත්තල නැතුව දරුවො හදන තනි අම්මලා දකිද්දි මගේ අම්මට මෙච්චර සැප සම්පත් මැද්දෙවත් මං වෙනුවෙන් ඉන්න, අඩුම මාව අරගෙන යන්න බැරිඋනානෙ කියලා හිතිච්ච තැන් මට අනන්ත තිබ්බා.

නාද්‍යා එක්ක මම බිස්නස් එක කරන්න පටන් ගත්තෙ ඒ විදියට. නාද්‍යා වගේ කෙනෙක් මේ වගේ තැනක ඉන්නෙ ඇයි කියන එක මට හිතාගන්න බැරි උනත් එයා එක්ක ආයෙම වතාවක් මේ බිස්නස් එක කරන එක මට හරිම ලේසි වැඩක් උනා. තාත්තටත් වැඩේ කියලා, අපේ බිස්නස් එකේ ඇග්‍රිමන්ට්ස් වලට ඇවිල්ලා, ඔක්කොම රෙඩි කරගෙන අපි වැඩේ පටන් ගත්තා. 

යකෙක් වගේ වැඩකරන නාද්‍යාව දකින හැම වෙලාවකම මට හිතුනෙ එකම එක දෙයක් විතරයි. ඒ තමයි “මෙච්චර පොඩි කෙල්ලෙක්ගෙ ඇඟ අස්සෙ මෙච්චර හයියක් තියෙන්නෙ කොහොමද?” කියන එක.

“ඔයා වැඩ කරනවා දකිද්දි මට හිතාගන්න බෑ ඔයා කොහොමද ඔච්චර පොඩි මනුස්සයෙක් වෙලා මෙච්චර වැඩ තොගයක් කරන්නෙ කියලා” කියලා මං කියද්දි නාද්‍යයි මමයි මිස්ට වංශනායක සහ මිස් නාද්‍යා කියන තැනින් එහාට ගිහින් “තාරානාත් – නාද්‍යා” කියන සම තැනක ඉන්න බිස්නස් පාට්නර්ස්ලා වෙලා තිබ්බා.

“ඇඟේ සයිස් එක අදාල නෑ ඉතින් වැඩ කරන්න. හිතේ සයිස් එක තමා ලොකුවටම වැදගත් වෙන්නෙ”

“ඒ කියන්නෙ ඔයාට එච්චර ලොකු හදවතක්ද තියෙන්නෙ?”

“ඔව් ඒක හන්දනෙ මම මේ වහන්න ගිය බිස්නස් එකක් ආය ගොඩ දාන්න බලාගෙන මෙච්චර නැහෙන්නෙ නේද?”  කියලා එයා කියද්දිත් මට තිබ්බෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.

“ඇත්තටම මෙච්චර ලස්සන කෙල්ලෙක් වෙලා මේකි හැම තිස්සෙම මාත් එක්ක මේ ඔරොප්පුවට වඩා කතා කරන්නෙ ඇයි කියන එක” ඒ උනාට ඒ ප්‍රශ්නෙ වචන කරන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ. කොහොමහරි හැමදාකම මම එයා එක්ක වැඩ කරන්න ගත්ත, කතාකරන්න ගත්ත හැම වෙලාවකම ඒ එෆර්ට් එක නතර උනේ මම හීනියට වගේ හිත රිද්දගෙන සහ “මට මෙහෙම කියන එකී එක්ක ලැජ්ජ නැතුව කතා කරන්න මාත් ගියානෙ” කියන ලැජ්ජා සහගත ෆීලින් එකක් හිත අස්සෙ පුරවගෙන.

ඒ විදියට තමයි එකම ලෙවල් එකක ඉන්න බිස්නස් පාට්නර්ස්ලා කියලා හිතුවත් මමයි නාද්‍යයි අතරෙ සීතල යුද්ධයක් පටන් ගන්න ගත්තෙ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles