සoදේශ්ගේ උපන් දිනය යෙදී තිබුණේ එළැඹෙන සතියේ ඉරිදා දවසකය. කොට්ටාව නගරයේ වූ ළමා නිවාසයක් සඳහා දහවල් දානය ලබාදීම ඔහු කුඩා කල සිටම මවත් පියාත් පොරොන්දු වූ එකකි. ලංකාවේ නොසිටි වසර කිහිපයේදී හැරෙන්නට අන් සෑම වතාවකම ඔහු ඊට සම්බන්ධ විය. බිනර ඔහුගේ දුරකථන අලවිසැලට යද්දී සංදේශ්ගේ පෙම්වතියත් එහි පැමිණ සිටියාය.
“උඹ විතරයි අඩුවකට හිටියේ. වරෙන් වරෙන්…”
“කොහොමද අයියේ….”
සචිනි ඇසුවේ සිනහමුසුවය.
“ඉන්නවා නංගී..අරහේ කස්ටර්මර්ස්ලා පිරිලා. උඹ මෙහේ ලව් කරනවා.”
“ආ…අපි මේ දානේ ගැන කතා කරනවා.”
“අම්මේ උපාසකම්මා…මේ බලහංකෝ. සංදේශ් මොනවද මගෙන් කෙරෙන්න ඕනේ.”
“විශේෂ දෙයක් නෑ බං උඹ කැමති දෙයක් කරපන්. මං වෙනුවෙන් නෙමෙයි. ඒකෙ ඉන්න පොඩි උන් වෙනුවෙන්. මෙයත් මේ කිය කිය හිටියේ ඒක තමයි. එයා පොත්, පෑන් පැන්සල් අරන් දෙන්නම් කියලා.”
“හරි එහෙනම් මං ගානෙ ස්කුල් බෑග් අරන් දෙන්නම්.”
“ඒකනං හො අදහසක්. හැබැයි ලොකු වියදමක් යයි.”
“ඔයා මූ එක්කද වියදම් ගැන කතා කරන්නේ. මූට ඕක මහ සාගරයකින් දිය බිඳක් වගේ වෙයි.”
“උඹ හිතන් ඉන්නෙ එහෙම තමයි. මේ මාසෙත් මං පොඩි අක්කට සෑහෙන්න ප්‍රමාණයක් ණය වෙලා ඉන්නේ. නංගී… ඔයාට ඕන කරන දෙයක් ෂොප් එකට ඇවිල්ල ගන්න. මම මැනේජර්ට කියලා තියන්නම් ස්ෂෙල් ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා. මචං මං අහන්න හිටියේ ඉසුරිවත් එක්කරගෙන ආවට කමක් නැද්ද කියලා.”
සංදේශුත් සචිනිත් මුහුණෙන් මුහුණ බලාගත්තේ එවේලෙහිය. මිතුරා පැමිණීමට විනාඩි කිහිපයකට පෙර දෙදෙනා කතා කරමින් සිටියේත් ඔහු ගැනය. වෙනදා මෙන් නොව ඔහු මිතුරන් එක්වන සාද පවා මගහරිමින් සිටිනවා යැයි සචිනි හා පැවසූයේ සංදේශ්ය. ඉසුරිගේ ප්‍රශ්නයෙන් ඔහු ඕනෑවටවත් වඩා විඳවනවායැයි සංදේශ් පවසා සිටියේ වේදනාවෙන්ය.”
“මේ වැඩේ තේරුමක් නැති දෙයක් කියලා උඹට කිව්වට උඹ පිළිගන්නෙ නෑ. අන්තිමට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා නවතින්නෙ කියලා කිව්වට පිළිගන්නෙත් නෑ. මට ඉසුරි එක්කරගෙන ආවට ප්‍රශ්නයක් නෑ බං මොකද මං එයා උස්සන් ඉන්නවා නෙමෙයිනේ. හැබැයි ඉතින් මේ හැම දේකම කෙළවරක් තියෙන්න ඕනේ.”
“උඹ හිතන මඟුලක් නෑ බං. මං එයාව එක්කන් එන්නේ යාළුවෙක් විදිහට. මොකද එයා ප්‍රශ්නත් එක්කම හිර වෙලා ජීවත් වෙන කෙනෙක්. එහෙම කෙනෙක් මේ වගේ තැනකට ආවට පස්සේ රිලැක්ස් වෙයි කියලා මට හිතුණා.”
“එක්කන් වරෙන් ඒක ප්‍රශ්නයක් නෑ..ඒ උනාට අර ඒකිව මැරි කරන්න ඉන්නවා කියපු භූතයා කැමති වෙයිද?”
“යාළුවෙක් ආශ්‍රය කරන්න, යාළුවෙක් එක්ක ගමනක් යන්න අකමැති වෙන්න හේතුවක් නෑනෙ බං. අනිත් එක මේ යන්නේ නරක වැඩකට නෙමෙයි නේ.”
“අකමැති වෙන්න හේතුවක් තියෙනවා. ඒක තමයි යාළුවා පිරිමි යාළුවෙක් වෙච්ච එක. මං උඹට හැමදාම කියනවා මේක ඇමරිකාවවත්, ඔස්ට්රේලියාවවත් නෙමෙයි කියලා. ඒ ඉන්නේ උඹයි මමයි වගේ කොල්ලෙක් නෙමෙයි කියලා. ඒ කෙල්ලට ප්‍රශ්නයක් ඇති කරලා උඹත් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා බං. උඹ දන්නවා උඹ එහේ අතෑරලා හදිසියේ ලංකාවට ආවේ අම්ම නිසා.”
“මෙයාට බැරිද ගිහිල්ලා එයාගේ යාළුවෙක් කියලා ඉසුරිව එක්කරගෙන එන්න.”
මිතුරාගේ වදන් වලට ප්‍රතිචාර නොදැක් වූ බිනර එවේලෙහි ඇසුවේ සචිනි දෙස බලාගෙනය. ඇය සංදේශ් දෙස බැලුවේ ඊට අවසර පතන්නා සේය.
“පුළුවන්නම් කමක් නෑ.”
“අන්න එහෙම වරෙන් නොකෙරෙන පැත්තටම කතා කරන්නේ නැතුව. උදේට මෙයාට එන ගමන් වෙහිකල් එකේ දාගෙන එන්න කියපන්. මං එයාව කැමති කරගන්නම්. උඹලා දෙන්නට ඩිස්ටර්බ් වෙන්න මම මෙතනට වෙලා ඉන්න ඕනෙ නෑනේ. මම යනවා එහෙනම්..”
බිනර කාර්යාල කාමරයෙන් පිටවූයේ සංදේශ් තවත් යමක් පවසන්නට පෙරය. ඔහු තම පෙම්වතිය දෙස බලා සිනහසුනේ මිතුරාගේ හිතුවක්කාරකම් සිහිවය.
“අනේ මන්ද මූ ඒ පාර මොනවා කරගන්න ලෑස්ති වෙනවද කියලා.”
“හදිසියේ හරි ඉසුරි මෙයාට කැමති උනොත් තනි තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවද සංදේශ්.”
“පිස්සුද..මුංගෙ තාත්තටත් වඩා මූව පාලනය කරන්නේ සීයා. මමනං කීයටවත් හිතන්නෙ නෑ ඒ ගෙදරින් එහෙම දේකට කැමති වෙයි කියලා.”
“ඇත්තටම එහෙනම් ඉතින් ඒ ළමයට බලාපොරොත්තුවක් දුකක් දෙන එක තේරුමක් නෑ සංදේශ්.”
“ඒක මෙන්න මූට උගන්වන්න පුළුවන් වෙලාවක් තිබුනොත් ලොකු පිනක්.”
“කමක් නෑ අපි දාන්නෙට එක්කරගෙන එමුකෝ…”
අවසන සචිනි පැවසූයේ සිනහමුසුවය.
“පොඩි දුව මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ…”
නයනා හංසිකා උන් කාමරයට එබුණේ හෝරාවක පමණ කාලයක් බුදු කුටියට වී සිට උඩුමහලට නැගුනාට පසුවය. රාත්‍රී ආහාරයට අල තෙල් දමා පොල් රොටි සාදන්නයැයි පැවසූයේ සැමියාය. පුරුද්දට මෙන් ඈ ඔහුට දුරකතන ඇමතුමක් දී ආහාර ගැන විමසා සිටී. අල බැදුම සේම බැදපු තුන පහ දමා සකස් කල චිකන් බොරයකුත් පොල් රොටි වලට කදිමට පෑහේ. අවශ්‍ය අඩුම කුඩුම එක්කර තබන්නයැයි මෙහෙකාරියට ඕ උපදෙස් දුන්නේ උඩුමහලට නැගීමට ප්‍රථමවය. ප්‍රසිද්ධ ලේඛකයෙකුගේ අලුත් නවකතාවක අත්පිටපතක් පරීක්ෂා කරමින් සිටි හංසිකා සිය මව දෙසට හැරුනේ ලැප්ටොප් පරිගණකය පසෙකින් තැබුවාට පසුවය.
“එන්න අම්මා මං හදිසි වැඩක් නෙමෙයි. ඇයි අම්මට අපහසුවක් දැනෙනවද?”
ඇගේ ඉරියව් ගැන පවා දැන් මේ නිවසේ අය සැලකිලිමත්ය.
“නෑ දුව. මං වෙලාවට බෙහෙත් ටික ගන්නවනේ. මට ඕන වුණේ ඔයා එක්ක මල්ලි ගැන කතා කරන්න.”
“ඇයි අම්මා…”
“මට මල්ලිගේ ලොකු වෙනසක් තේරෙනවා. තාත්තා කියනවා එයා දැන් ටික ටික ඔෆිස් එකේ වැඩ වලට පුරුදු වෙනවා කියලා. තාත්තා ප්ලෑන් කරගෙන ඉන්නවා. එයාගේ බර්ත් ඩේ එක දවසට එයා කවුද කියන එක ඔෆිස් එකේ අයට එළි කරලා එයාට සුදුසු තැන දෙනවා කියලා. ඒත් මට මල්ලිගේ ඊට එහා ගිය වෙනසක් දැනෙනවා පොඩි දුව.”
“මොන වගේ වෙනසක්ද…..”
“එයා මොනවා හරි දෙයක් ගැන ඕනවට වඩා හිතනවා. එයා අකමැත්තෙන් නම් ඔෆිස් එකට යන්නේ එයාට කැමති තීරණයක් ගන්න කියන්න දුව. මට තාත්තත් එක්ක මේ ගැන කතා කරන්න බෑ. තාත්තාගේ හිතේ මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”
“තාත්තා ඒ බලාපොරොත්තු වෙච්ච දේ මල්ලි හරි ඉක්මනට කරයි. එයාට දැන් මිනිස්සුන්ගේ දුක තේරෙනවා අම්මා. පිරිමියෙක්ගේ වගකීම එයාට දැනෙනවා. මං හිතන්නේ සුලක්ෂාත් සමහර වෙලාවට මල්ලිත් එක්ක ඒවා ගැන කතා කරනවා.”
“ඒකනං ලොකු දෙයක් දුව. ඒත් ඇයි මේ මල්ලි ඒ විදිහට වෙනස් වෙලා ඉන්නේ.”
“ඒ අපි හැමෝම එයාගෙන් බලාපොරොත්තු වෙච්ච වෙනසනේ අම්මා. අම්මට එහෙම දැනෙනවා ඇත්තේ එයා වෙනදා වගේ සැහැල්ලුවෙන් කෑ ගගහා දඟල දඟල අපේ ළඟ හුරතල් වෙන්නෙ නැති හින්දා වෙන්න ඇති.”
යුවතිය නැගී සිට නයනා අසලින්ම අසුන් ගත්තේ ඇගේ දෙවුරහිස් වටා තම දකුණත යවමින්ය.
විටෙක සොයුරා මේ නිවස තුළ දඟලන්නේත් කෑ ගසන්නේත් හුරතල් වන්නේත් පොඩි එකෙකු පරිද්දෙන්ය. පසුගිය සමයේදී ඔහු තුළ ඇතිව තිබුණේ සැබෑ වෙනසකි. ඉන් එහා සිදු වූ කිසිවක් හංසිකා මව සමඟ පවසන්නට ඉක්මන් නොවූවාය.
“එහෙමනම් කමක් නෑ..කෝකටත් පොඩි දුව ඔයා වෙනදටත් වඩා මල්ලි ගැන ටිකක් අවධානෙන් ඉන්න. දරුවන්ගේ පුංචි වෙනසක් උනත් අම්ම කෙනෙකුට දරන්න අමාරුයි කියනවනේ. මං හිතන්නේ මටත් දැනෙනවා ඇත්තේ ඒ හැඟීම වෙන්න ඇති.”
නයනා තම දියණිය අසලින් නැගී සිටියේ ඇගේ නළලත සිප ගත්තාට පසුවය.
**************
හෝරාවකට ආසන්න කාලයක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට වී සිටි බිනර යුවතිය වෙනුවෙන් වටිනාකමින් වැඩි සුදු පැහැ ගවුමක් තෝරා ගත්තේය. ‘ඔයාට පුළුවන් එයා කැමතියි පුංචි පුංචි දේවල් අරන් දීලා එයාව සතුටු කරවන්න.’ සුලක්ෂා අක්කා පෙරේදා පැවසූයේ සොහොයුරියව කැඳවාගෙන යන්නට පැමිණි වේලේය.
“හවසට මං එනවා ඔයා එක්ක ටවුන් එකට පයින් යන්න.”
බිනර එසේ පැවසූයේ උදෑසනය. මෑතක සිට තමාත් ඉසුරිත් කතා කරමින් සිටින වේලාවන් වලදී සහන් රවාගෙන සිටිනු බිනර දැක තිබේ. අවස්ථාවක් හමු වූ හැටියේම ඔහු තමාටත් ඇනුම්පද පවසන්නේ අන් සේවකයන් අතරින් තමාව පහත් මට්ටමකට ඇද දමමින්ය.
“අපිටත් තිබුණා ඉතින් ලොක්කන්ට ගොටු අල්ලලා ලොකු පුටුවලට එන්න. ගවර්මන්ට් ප්‍රයිවට් කියලා වෙනසක් නෑ ඉතින් වැඩ බැරි උනත් අදාල නෑ ලොක්කන්ව සතුටු කරවනවා නම්…”
ඊයේ සවස ඔහු එසේ පැවසූයේ තමාට නියමිත වූ වැඩක් නිම කරවා ගැනීමට එහා පස අසුනෙහි උන් පැරණි සේවිකාවකගේ සහය පතද්දීය.
කාර්යාලය නිම නිම වී මුලින්ම පිටතට පැමිණියේ බිනරය. ආරක්ෂක අංශය අසලට වී සිටි ඔහු ඉසුරි පිටතට පැමිණෙද්දීම අඩි කිහිපයක් ඉස්සර වූයේය.
“අපි මොනවා හරි බීලා යමු…..”
ඔහේ කියවමින් සිනහසෙමින් ඉදිරියට පැමිණි බිනර සුපුරුදු අවන්හල අසල නතර වූයේ ඇයට ඇරයුම් කරමින්ය. යුවතිය කිසිත් නොකියා ඊට එකඟ වූයේ ඔහු අසල මේ විඳින සැහැල්ලුවට වූ ලෝබකම නිසාමය. තරුණයා අත වූ වර්ණවත් කඩදාසි බෑගය ඔහු ඈ වෙත දිගු කළේ දොඩම් යුෂ වීදුරු දෙකක් ඇණවුම් කළාට පසුවය.
“මේ මොනවද බිනර..”
“පුංචි තෑග්ගක් ඔයාට..ඊයේ මම ඇඳුම් ගන්න ගියා. ඒ වෙලාවේ ඔයාව මතක් වුණා.”
“අනේ ඇයි ඒ…”
“දන්නෙ නෑ ඉතින්. ගන්න හිතුනා. සැලරිනේ..”
“මෙතනදි දගෑරලා බලන්න බෑ ඒ උනාට ඒක හරි ලස්සනයි කියලා මට හිතෙනවා. ලොකු ගානකුත් වෙන්න ඇති.”
ඉසුරිගේ දෑස් මුල එකතු වී තිබුණේ කඳුලකි. පාරින්ද රැකියාවට ගොස් වසර දෙකකට වැඩිය. අඩු තරමේ ඔහුගේ මුල්ම වැටුපෙන්වත් යමක් තමාට රැගෙන දුන් බවක් ඇයට මතකයේ නොවේ. එසේ යමක් ලැබුනේනම් ඒ සිංහල අලුත් අවුරුද්දට පමණි. ගවුම් රෙද්දක් ගෙනැවිත් නැන්දා පවසන්නේ ‘අපිට රෙදි ගන්න ගියපු වෙලාවේ ඔය ළමයටත් ගත්තා. දැන් අපේ පවුලට එකතු වෙන්න ඉන්න කෙනානේ’ යනුවෙන්ය. තමා වෙනුවෙන් කරන්නා වූ සියල්ලටම ඔවුන්ගෙන් ලැබෙන්නේ අඩු ලංසුවකි.
(යළිත් හමුවෙමු ආදරයෙන්…….)