පෙමාතුර – 26 කොටස

ප්‍රේමය, නිර්වාණයක ශාන්තිදායක බව දරයි. වලාකුළු වලටත් මත්තෙන් උඩු ගුවනේ වන සැහැල්ලුව උසුලයි. මහා වැසි වනාන්තරයක වන ගුප්ත බවින් ආතුර වෙයි. නිදහසේ හිස් බවින් පිරෙයි.

මම ප්‍රේමයෙහි ඒ සියල් හැඩයන් හා වර්ණ දෙස සන්සුන් ව බලා සිටියෙමි. මේ දවස් හා මේ සංවේදනා ඉතා ඉක්මනින් අතීතයට එක් විය හැකි බව දැන සිටි නිසා මට ඕනෑ වූයේ නිවී සැනසිල්ලේ ඒ සියල්ල විඳ ගන්නට ය. පොතක් කියවීමෙන් වුව ඒ දැහැනින් මා මිදේ යයි සිතිවිල්ලෙන් මම වලාකුළක් සේ නිකං ම පා වෙවී හිටියෙමි. වැඩ එක්ක කාර්ය බහුල වෙනවාට වඩා හිතත් එක්ක තනි වීම වෙනස් හැඟීමක් දනවයි. කිසිත් ම නො සිතා උන්න ද අතෝරක් නැති සිතිවිලි විත් හිත ළඟ පේළි ගැසෙයි. නමුත් ඒ සිතිවිලි මගේ සන්සුන් දැහැන් බිඳ නො දමයි.

විසල් ගේ මව් රෝහලේ සිට ගෙදර ගෙන ගිය බව ඔහු ගෙන් දැන ගන්නට ලැබිණ.

“අපිත් වෙලාවක එන්නංකො. විසල්ගෙ අම්මව බලන්න”

පුංචි කීවා ය. අම්මා ඒ කතාව අනුමත කරමින් හිස සැලුවා ය. මගේ නම් උගුරේ යමක් හිර වෙනවා සේ දැනිණ.

“අනේ කරදර වෙන්න එපා”

“නෑ ඉතිං..ලෙඩෙක් බලන්න යන එක කරදරයක් නෙවෙයිනෙ”

“අපි කොහොමත් දළදා වැඳගෙන එන්න නුවර යන්නයි ඉන්නෙ”

සිද්ධ වෙන දේවල් දෙස බලා ගෙන පමණක් හිඳීමෙහි ද අමුතු නිදහස් බවක් තියේ. විසල් ගේ ගෙදර යාම හෝ ඔහු ගේ මව් ට මුහුණ දීම කෙබඳු අත්දැකීමක් වේවි දැයි මම නො හිතා සිටියෙමි. ඇතැම් විට ඉෂිනි දැනටමත් මා ඇගේ ගේ අනාගත සැමියා ගේ හිත හෙළවූ ගැහැනිය ලෙස හැඳින ගෙන තිබෙනවා ද කියා නො දනිමි. එසේ දන්නේ නම් මා සම්බන්ධයෙන් ඒ ගෙදර ප්‍රතිචාර කෙබඳු වේවි දැයි සිතා ගත නො හැකි ය.

“එහෙනං ෆ්‍රයිඩේ හවස ගිහිං අපි සැටර්ඩේ එමු. මාත් ෆ්‍රයිඩේ යන්නයි ඉන්නෙ”

විසල් ගේ යෝජනාව ට වැඩිහිටි ගැහැනුන් තිදෙන ම එකඟ වූහ. ඔවුන් මගේ කැමැත්තක් විමසුවේ නැත.

“කිසා ට එදාට වැඩක් නැතුව ඇතිනෙ ..”

පුංචී නිකමට වාගේ කීවා ය. මම මූණ හකුළා ගෙන ඇදෙස බැලුවෙමි.

“මට වැඩ. ඕගොල්ලො යන්න”

මා එසේ කීවේ බොරුවට ය.

“අනේ මේ. කියන වැඩක් කෑන්සල් කරල යමං”

“බෑ. විරංගලගෙ ටීවී කමර්ශල් එකේ රෙකෝඩිංස්. මට එන්න කියලයි තියෙන්නෙ”

මදෙස ම බලා ඉන්නා විසල් ව අඩැසට පෙනී ද මම ඔහු දෙස නොබලා සිටියෙමි.

“තනියම ගෙදර ඉන්න බෑනෙ ඉතිං”

“විරංගලගෙ ගෙදර ඉන්න පුළුවන්නෙ”

අම්මා ගේ ප්‍රකාශයට විසල් එසේ ප්‍රතිචාර දක්වාවියි කිසිවෙකු සිතන්නට නැත. අනිත් අයට නො දැනෙන සේ  මම ඔහු ට රැව්වෙමි.මොහොතකට මුළු ගෙදර ම නිහඬ විය. ඒ නිහඬ බව තුළ විසල් මඳ අපහසුවකට පත් වන්නට ඇත.

“විහිළුවක් හොඳේ කළේ”

සිනහවකින් ඔහු ඉක්මනින් එසේ කීවේ එබැවින් වන්නට ඇත.  මා බොරුවට කී පටිගත කිරීම ගැන කතාව ගෙදර අය සැබවින් ගත්තේ එය දුර දිග ගිය නිසා වන්නට ඇත.

“අපරාදෙ බං…කැන්ඩි පැත්තෙ රවුමක් දාල එන්න තිබුණ එක නැති වුණානෙ උඹේ කෙහෙම්මල් රෙකෝඩින් එකක් නිසා”

රාත්‍රියේ මා මිදුලට වී අහස දෙස බලා සිටියදී නදීරා මවෙත පැමිණ තිබිණ.

“ඉතිං ඕගොල්ලො යන්න”

මම ගණනකට නැතිව කීවෙමි.

“අර විසල් කිව්ව වගේ උඹ විරංගගෙ ගෙදරද ඉන්නෙ එතකොට..අන්න අම්ම කිව්ව පස්සෙ යන්න දාගමු කියල”

“හරි හරි යං”

මම නො සැලකිලිමත් ලෙස කීවෙමි. නදීරා මා විනිවිද බැලුවා ය.

“මො..කද…”

“මොකද කියල තමයි බැලුවෙ”

“ඉතිං දැක්කද..”

මම හඬ නගා සිනාසුණෙමි. ඇය තව දුරටත් මදෙස බලා ගෙන ම සිටියා ය.

“ඇයි අනේ ඔහොම බලන්නෙ..මං බය වෙනවනෙ…ඔයා සීඅයිඩී බැල්මක් දාන්නෙ”

“අහිංසක මිනිස්සුුත් සීඅයිඩී වගේ පේන්න ගන්නව හොර කමක් හිතේ තියෙනවනං”

ඇගේ ඒ වචන වලට එතෙක් මයිතේ වූ සාමකාමී බව බිඳී දෙදරීමක් ඇති විය. ඉෂිනි නදීරා ගේ හිතවතියයි. ඇය මා හා විසල් ගැන කිසිවක් නදීරා සමගින් පැවසී යයි සිතිය නොහැකි ද?

“ඔයා මට මොකක් හරි කියන්න හදනවද…”

අමාරුවෙන් කෙළ බිඳක් ගිල මම විමසීමි. සැබවින් නදීරා ගේ ඇස් වල සැකයේ වාසියක් වූයේ ය.

“ඔයාට මට මොනා හරි කියන්න තියෙනවද කිසා…”

“නෑ”

මම තනි වචනයෙන් ප්‍රතික්ෂේප කළෙමි. ඇය ඊට වඩා යමක් හාරා අවුස්සන්නේ නැති බව මම දනිමි. නදීරා ගේ දෙසට යන්නට හැරුණා ය.

“මං තියන වැඩ කෑන්සල් කරන්නං. ගමන දා ගන්න”

ඇය වැරැන්ඩාවෙන් ආලින්දයට ගොඩ වන්නට පෙර මම තරමක් කෑ ගසා කීවෙමි.

විසල් එක්ක මගේ ඇසුරක් ගැන දැන ගත හොත් ගැහැනු ගෙදර ගැහැනුන් කැළඹීමකට ලක් නොවනා බව මම දනිමි. ප්‍රේමය පිළිබඳ ඔවුන් ගේ දර්ශනය පුළුල් ය. ඔවුන් ට ගැඹුරු වූ විඳීම් හා විඳවීම් ඇත්තේ ය. තවමත් සුව නොවූ හදවතේ ගැඹුරු තුවාල ඇත්තේ ය. නමුත් ඔවුන් සියලු දෙනා ම සහකම්පනයක් සහිත ස්ත්‍රීන් ය. එනිසාවෙන් ඉෂිනි ගේ විඳවීමට හේතු තැනූ ගැහැනු පරාණය මා යයි දැන ගැනීම, ඔවුන් තුළ යම් කම්පනයක් ඇති කරනු නිරනුමාන ය.  

සිකුරාදා පාසල් නිම වී ආ වෙලාවේ සිට පුංචී ගමනට සූදානම් වූවා ය. නදීරා වේලාසන සැලූන් එක වසා ආවා ය.

“ඩ්‍රයිව් කරන්නෙ නැතුව එහෙම ගමනක් නිදහසේ වාඩි වෙලා යන්න ලැබෙන එක මාර දෙයක්. නැත්තං හැමදාම මංමනෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ”

පුංචා ගේ සිහින් කලබල සිනහවේ ද ඒ සතුට තැවරී තිබිණ. මගේ මොළයේ ක්‍රියාකාරිත්වය යම් පමණකට ඇනහිට තිබුණා ද කියා මට සිතුණේ, මා අතිශය අසංවේදී ව සිටි නිසා ය. ඉෂිනි ගේ පැත්ත තවමත් මට අපැහැදිලි ය. මා විසල් ගැන විසල් පෙමක් දරා හිඳිනවා යි ඇය ට නොකියා ඇගෙන් හැංගී සිටියා සේ, ඒ ප්‍රේමය හැඳින ගත්තා යි මට නොකියා ඇය ද රහසේ සිටියා වන්නට බැරි ද? අවසාන වශයෙන් ගමට යනවා ය යන තීරණය ගෙන ඇය විසල් ව ද දෙමව්පියන් මැදිහත් කොට ගෙන්වා ගන්නට බැලුවේ ඒ රහස් ඒ විදිහට ම මිය යන එක හොඳ යයි සිතා වන්නට බැරි ද? මේ විදිහට යළිත් අප ඔවුන් ගේ නිවෙස් වෙතට ම යත්දී ඇගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්ද?

ඒ කිසිත් නො සිතා මේ මොළයේ අක්‍රීයත්වයත් සමගින් ම ගමන යන්නට අන්තිමේ මම හිත හදා ගතිමි. සිදු වෙන්නට නියමිත දෙයක් සිදු වුණාවේ!

විසල් හිටියේ කිසිදු බිය සැකකින් තොර ව සතුටෙනි. එනිසාවෙන් මගේ මනස්ගාත හිතළු පමණක් ය කියා අමතක කරන්නට මට අවස්ථාව තිබිණ. අම්මා ට විසල් ගේ රියෙහි ඉදිරි අසුන වෙන් විය. මම පසු අසුනේ, රියදුරු අසුනට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි කොන අල්ලා ගතිමි. වම් පැත්තට ඇස් හැරවූ කල මට පාර දෙස බලා ගෙන හෝරා ගණනක් ගමන් කළ හැක. යන්තම් දකුණු පැත්තට හිස හැරවූවොත් ඉදිරි කැඩපත ඔස්සේ විසල් ගේ ඇස් වල පැටළෙන්නට පුළුවන. දෙවැන්න වඩා භයානක විය හැකි නිසාවෙන් මුල් එක ගැන මම විශ්වාසය තැබුවෙමි. මන්ද මගේ දකුණු අත පැත්තෙහි සිටියේ රහස් පරීක්ෂක ගැහැනුන් දෙදෙනෙකි. මට දැනෙනා ලෙසට දැනටමත් මම නදීරා ගේ සැකයට බඳුන් ව සිටියෙමි. ඒ නිසා ප්‍රවේසම් සහගත වන්නට ඇරඹුමේ දී ම මම සිතා ගතිමි.

වර්ග අඩි කිහිපයක් වන රිය ඇතුළේ ළෙංගතු කම් වල උණුහුම රැඳී තිබිණ. කතා කරන්නට ඕනෑ තරම් මාතෘකා තිබිණ. නිහඬ ව සිටියේ මා පමණකි. යන්තම් හිස හරවනා ඕනෑ ම වෙලාවක විසල් ගේ ඇස් දකිත හැකි වූයෙන්, බියට ම අනිත් පැත්ත බලා සිටි මගේ ගෙල රිදුම් දුන්නේ ය. ඒ වෙලාවට පාරේ තදබදය අඩු වූයෙන් විසල් ඇතැම් විට ඉතා වේගයෙන් රිය පැදවී ය. සමහර විටෙක ඔහු නිදහස් තැනක රිය නවතා අපට ලස්සන දකින්නට හැරියේ ය.

මේ රෑ පානේ ගෙවල් වලට යාම නුසුදුසු නිසා රාත්‍රියේ නුවර හෝටලයක නතර වන්නට අම්මා කැමති වූවා ය.

“ඇයි ආන්ටි ඉතිං…අපේ ගෙදර නවතිමු”

විසල් ඉල්ලා සිටියේ ය.නමුත් අම්මා එකඟ වූයේ නැත. එය ගෙදර අයට අනවශ්‍ය කරදරයක් විය හැකි නිසා අප හෙට උදයේ එහි යන එක හොඳ ය යන්න අම්මා ගේ අදහස විය. එය මට ද පහසුවක් දැනවී ය. හතර දෙනෙකුට රෑ ගත කළ හැකි කාමරයක් වෙන් කර ගැනීමෙන් පසු දළදා විහාරයට යන්නට කතිකා විය.

“මට රෑ වෙනකල්ම වැව රවුමෙ ඇවිදින්න ඕනෙ”

මෙතෙක් මා කළ එක ම ඉල්ලීම ඒ ය.

“බෑ බෑ. විසල් අපිව ඩ්‍රොප් කරල ගෙදර යන්නත් ඕනනෙ”

අම්මා වහා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.

“හරි කමක් නෑ ඉතිං. කිසා වැඩත් කෑන්සල් කරල ආපු එකනෙ. අපි ටැක්සි එකක රෑ වෙලා හොටේල් රූම් එකට යං. කාල එහෙම. කොහොමත් අපි ඩිනර් ඕඩර් කළෙත් නෑනෙ”

පුංචී මා වෙනුවෙන් පෙනී සිටියා ය.

“නෑ නෑ ටැක්සි ගන්න ඕන නෑ. නුවරට ආව කියන්නෙ ගෙදර ආව වගේ තමයි. මට ඕන වෙලාවක යන්න පුළුවන්”

ඒ අනුව සෙංකඩ ගල පුර නිදහස් රැයක් ගෙවන්නට මට අවස්ථාව සැලසිණ. අප විහාරයට යන්නට රියට ගොඩ වූ ගමන් විසල් ට දුරකතන ඇමතුමක් ආවේ ය.

“එනව එනව. මග. ඔව්. රෑ වෙයි”

ඒ කෙටි පිළිතුරු අනුව, කතා කරන්නේ ඉෂිනි විය යුතු යයි මම අනුමාන කළෙමි. ඉසිහින් කටුවක් පපුවේ ඇනුණේ ය.

“ඉෂිනි බලං ඇතිනෙ. විසල්ට යන්න කියල අපි කැබ් එකක් කෝල් කර ගත්තනං හරි නේද…”

අර සම්ප්‍රදායික කටුව ගලවා විසි කරනු වෙනුවට උවමනාවෙන් ම එය තවත් ගැඹුරට ඇන ගෙන රිදුම් ලබනා වියරු ආශාවක් මා තුළ ඇති වෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...