ඉඩෝරයක මල් වැස්සක් – 33

පාරින්දට හදිසි අනතුරක් සිදුවී ඇති බවත් ඔහු රෝහල් ගත කළ බවත් සොහොයුරිය දුරකථනයෙන් කතා කොට පවසද්දී සුරංග සිටියේ කාර්යාලයේය. එවේලේම ඔහු කාර්යාලයෙන් නික්මුණත් රජයේ රෝහලේ රෝඟීන් බැලිය හැකි වූයේ සවස පහටය. ඔහු රෝහලට යද්දී සොහොයුරියත් දියණියත් වූයේ බංකුවක වාඩි වී ගෙනය. මඳක් එහාට වන්නට සොහොයුරියගේ සැමියා සිටගෙන උන්නේය

“මොකද අක්කේ උනේ…”

“අනේ මන්ද බං..ජීවිතේට රණ්ඩුවකට පැටලිච්ච කොල්ලෙක් නෙමෙයිනෙ මේ. කවුද ගහල පාර අයිනේ දාලා ගිහිල්ල. අර සමීර ළමයා තමයි ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ. බලන්නකෝ මල්ලි වෙච්ච දේ.”

“අමාරුද…”

“අමාරුද කියලා අහන්නෙ බං බැට් එකකින් ගහලා පාරක් අයිනේ දාලා ගියාට පස්සේ..අනේ මං මේ බයේ ඉන්නේ උගේ කකුල් දෙක කැඩිලද කියලා.”

“ඔපරේෂන්  වලට මොනවටවත් ගත්තේ නෑනෙ…”

“නෑ… නෑ මල්ලි..එක්ස්රේ කලා  තැල්මවල් විතරයි තියෙන්නේ කියලා කියනවා. මෙයා මේ බොරුවට කලබල වෙලා. දන්නවනේ ඉතින් පොඩි දේටත්.”

එසේ පැවසූයේ රෝහල් කොරිඩෝවේ කණුවකට හේත්තු වී උන් මස්සිනාය.

“කලබල නොවී ඉන්නකෝ අක්කේ.”

“කලබල නොවී ඉන්නේ කොහොමද බං. ලාහෙන් මනින ගානට මට දරුවො නෑනේ.”

ඉකිබිඳුම උස් හඬක් බවට පරිවර්තනය වූයේ ඈ එසේ පවසද්දීය.

“ලෙකු පුතා  ගැන හිතන්න එපා කියනවා නෙමෙයි අක්කේ. ඔය තරුණ කාලෙට පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා තමයි. අක්කට මතක නැද්ද ඒ කාලේ අම්මා මගේ පස්සෙන් පිට්ටනියටත් ඇවිල්ලා එතනට වෙලා ඉන්නවා. ඕව සාමාන්‍ය දේවල්. එහෙම කකුල් අතපය කැඩිලානම් මේ වෙනකොට ලොකු පුතා ඔපරේෂන් එකක ඉන්න ඕනේ.”

“අනේ මන්ද බං, පහ වෙනකල් මුං ඇතුලට යන්න දෙන්නෙත් නෑනේ. බලහං ඉතින් නැකත් බලවගෙන ආවා විතරයි. උදේ මං හිතන්නේ ඉසුරිත් මුණගැහිලා තමයි වැඩට යනවා කියලා කිව්වේ.”

“නැකතුයි මේවයි අතරේ සම්බන්ධයක් නෑ අක්කේ. ඉසුරිට ලොකු පුතා කෝල් කලාද දන්නෙ නෑ මං කතා කරලා බලන්නම්.” 

සුරංග ඉසුරිගේ දුරකථනයට දෙතුන් පාරක්ම ඇමතුම් ලබා ගත්තත් ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. පාරින්දව රෝහල් ගත කළ මිතුරා එළියට පැමිණියේ එවේලෙහිය.

“අනේ සමීර කොහොමද මගේ කොල්ලට..”

සොහොයුරිය ඔහු වෙත ගියේ දුවගෙන සේය.

“අත මෙන්න මෙතනින් පොඩ්ඩක් ට්‍රැක්වෙලා කියලා කිව්වා. වෙන නම් ආබාධයක් නෑ. මෙන්න මේ ලියලා තියෙන විදිහේ බැන්ඩේජ් එකක් ගෙනත් දෙන්න කියලා කිව්ව නැද්දේ. මේක නෝමල් තුවාල වලට දාන විදිහේ එකක් නෙමෙයි.”

“කෝ දෙන්න පුතා….”

සුරංග අත දිගු කර තරුණයා අත වූ කොළය සිය දකුණතින් අල්ලා ගත්තේය. 

“අනේ මන්ද මොන බාධාවක්ද උනේ කියලා. ඔය ළමයත් එක්කවත් කිව්වද සිද්ධ වෙච්ච දේ හරියට.”

“ඔව්.. මෙන්න මේ පාරෙ එද්දී කාර් කාරයෙක් වෙට්ටු දදා ආවලු. මෙයාත් ඉතින් කොයි වෙලාවෙත් කේන්ති ගත්ත ගමන්නේ. මොකක් හරි වචන හුවමාරුවක් වෙන්න  ඇති. පස්සේ උන් වාහනෙන් බැහැලා ඇවිල්ල බැට් එකකින් ගහලා.” 

“අනේ කාලකන්නියගේ අතපය කැඩෙන්න ඕනේ. මගේ අහිංසකයට කරපු අපරාදෙට. ඒ වෙලාවේ පාරේ යන එන මිනිහෙක්වත් ඉඳලා නැද්ද ළමයෝ.”

“එච්චර මතකයක් නෑ. මම යද්දිනම් දෙතුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඉස්පිරිතාලේ ගේන්න හදනකොට පාරින්ද  කියලා තියෙනවා යාළුවෙක් එනවා, එතකල් ඉන්නවා කියලා.”

“කාර් එකේ නම්බර් එක බලාගෙනද?”

එසේ ඇසුවේ සුරංගය. 

“ඔව්.. උන්ට නඩුවක් දාලා වන්දියක් ඉල්ලමු. දැන් ඉතින් කොහොමත් කීප දවසක් රස්සාවට යන්න වෙන්නෙත් නැහැනේ.”

පාරින්දගේ පියා  ඉස්සර වූයේ මෙතෙක් වේලා නොවූ උනන්දුවකින්ය.

“ඒවා මුකුත් බලාගෙන නෑ මාමේ….”

සමීර එසේ පැවසූයේ සැබෑවටම නොවේ. එතැන උන් ත්‍රීවිල් රියදුරෙකු පැවසූ විදිහට වරද පාරින්දගේය. යතුරුපැදියේ ගිය  කිහිප දිනකම තමාගේ අතේ වරද තබාගෙනත් ඔහු මිනිසුන්ට කෑ ගැසූ අයුරු සමීරට මතකය. 

“එහෙනම් මාමේ ඕක ගෙනල්ලා දෙන්න. කාටවත් ළඟ ඉන්න දෙන්නේ නෑ කියලා මටත් එළියට යන්න කිව්වා. බැන්ඩේජ්  එක ගෙනාවට පස්සේ ඒක ඇතුලට ගිහින් දෙමු. කොහොමටත් කට උත්තරයක් ගනියිනේ මාමේ.”

තරුණයා එසේ පැවසූයේ අසල වූ බංකුවක අසුන් ගනිමින්ය. සොහොයුරිය සනසන්නට යමක් පැවසූ සුරංග තම යතුරුපැදියට නැගුනේ වෙළුම් පටිය ගෙන ඒමටය. 

                            *******************

කොපුල් රතුව දෑස් වල කඳුළු පුරවා ගනිමින් සැරට සෑදූ චීස් කොත්තුවෙන් අඩක්ම නිම කළ යුවතිය  දෙස බිනර බලා සිටියේ සිනහසෙමින්ය. ඇය දැනටමත් වතුර බෝතල් දෙකක් හිස්කර තිබිණ. ඒ කොපුල්  රතුව තිබුණේ කොත්තුවේ සැරට බව විශ්වාසය. සූස්..සූස් ගාමින් ඉහලට ඇද්දේත් ඒ සැරය. ඔහු චීස් වැඩිපුර යෙදූ  සොසේජස් පීට්සා එකක් ගෙන්වා  ගත්තේ එතරම් සැරට ආහාර ගත නොහැකි නිසාය. 

“දැන් හරිද…ආසාව..ඇස් දෙකත් රතු වෙලා. කොහොම කනවද මන්දා.”

“සැරවුණාට ඒක හරි රසයි. අතාරින්න ලෝබයි.” 

“ඩ්‍රින්ක් එකක් මොනවා හරි ගෙනත් දෙන්නද?”

“එපා වතුර ඇති. ඔයාට කන්න බැරිද?”

“අම්මෝ බෑ..ඕක මං කෑවොත් හොස්පිට්ල්  ගෙනියන්න වෙයි. ඇමරිකා ඉඳපු අවුරුදු හතරෙම මම කෑවේ මිරිස් චුට්ටක්වත් නැතුව. මොකද මම හිටියේ එහේ ෆැමිලි එකක් එක්ක.”

“අනේ ඔයා ඇමරිකාවෙත් හිටියද?”

බිනර තිගැස්සුනේ ඈ එසේ අසද්දීය. මේ බොරුව තවදුරටත් කරගෙන යාම ලෙහෙසි පහසු එකක් නොවූවත් එය එසේ කළ යුතුමය. තමා කාගේ කවුරුන්දැයි හරි හැටි දැන ගතහොත් යුවතිය තමාව මේ සා සැහැල්ලුවෙන් ඇසුරු නොකරනු ඇතැයි ඔහු බිය විය. එසේ වුවහොත් ඇය ආපසු ගොස් නතර වන්නේ පෙර උන් තැනමය. තරුණයා තමාටම ටොක්කක් ඇන ගත්තේ ‘කල්පනාවෙන් කොල්ලෝ..’යැයි තමාටම පවසා ගන්නා ගමන්ය.

“ඔව්…..ස්ටඩී වලට.

“එහෙනම් ඔයා ලොකු සල්ලිකාරයෙක්.”

“එහෙම නැහැ. තාත්තාට ඕන වුණා මාව පිටරටකට යවලා උගන්වන්න. ඒ වෙනුවෙන් එයාලා එයාලට තිබුණු සමහර දේපළ විකුණුවා. එහෙම නැතුව සල්ලි ගොඩක් තිබිලා එයාලා මං වෙනුවෙන් වියදම් කළා නෙමෙයි. ඒ කතාව පස්සේ දවසක කියන්නම්කෝ. ඉතින් කියන්නකෝ සුලක්ශා අක්ක මොනවාද කිව්වේ කියලා.”

බිනර එසේ පැවසූයේ හැකිතාක් සැහැල්ලු වන්නට උත්සාහ දරමින්ය. හෙට අනිද්දාම යුවතිය තමාගේ අතීතයත්, වර්තමානයත් පිළිබඳව හාරා අවුස්සන බව විශ්වාසය. එවේලෙහි ඇයට  පිළිතුරු සැපයීම සඳහා මීට වඩා සූදානමක් තිබිය යුතුය.

“ජීවිතේ ගොඩක් දේවල් මට අතෑරිලා කියල හිතුනේ සුලක්ෂා මැඩම් කතා කළාට පස්සේ. ඇත්තමයි බිනර මම මම වෙනුවෙන් මුකුත්ම කරගෙන නෑ. මගේ හිත සතුටු වෙන දෙයක්වත්, මාව ලස්සන කරගන්න දෙයක්වත්,  මගේ අනාගතය ගැන හිතන දෙයක්වත් කිසි දෙයක් නෑ. ඉස්කෝලෙ මමත් එක්ක ඉඳපු මමත් එක්ක ටියුෂන් ගියපු යාලුවෝ ට්‍රිප් ගිහිල්ලා, ලස්සන ඇඳුම් ඇඳලා එයාලගේ ජීවිතයේ විශේෂ අවස්ථාවල ෆොටෝස් එෆ් බී  එකට දාද්දි මං හැමදාම කලේ ඒවට සුබ පතපු එක විතරයි. එයාලා කවුරුවත් දැන් මට ගමනක් යන්නවත්, ආදි ශිෂ්‍ය හමුවකටවත් කතා කරන්නේ නෑ. එයාලා හදලා තියෙන වට්ස්ඇප් ගෲප්වල  මම නැහැ. එහෙම ෆොටෝ එකක් දාන්න තරම් ජීවිතේ කිසිම විශේෂ සිදුවීමක් මගේ ජීවිතේ සිද්ධවෙලත් නෑ. උපන් දිනේකට උනත් කලේ පන්සලට යන එක විතරයි. අම්මා හැන්දෑවට හන්දියේ බේකරියන් කේක් එකක් ගේනවා. ඒක කාලා අපි තේ බොනවා. හැමදාම ගෙදරට කොටුවෙලා ඉඳපු මම හිතුවෙ ඒ ගොල්ලෝ කොහොමද ඒ තරම් සැහැල්ලු වෙන් ජීවත් වෙන්නේ කියලා. සුරක්ෂා අක්ක කියන්න වගේ එයාලා  එයාලටම  ආදරේ කරන අය වෙන්න ඇති. අයිබ්‍රෝ හදා ගන්නවත් සැලොන් එකකට ගියපු කාලයක් මට මතක නැහැ. එහෙම දේකට ලොකු අයියගෙන් අවසර ලැබෙන්නෙත් නැහැ. අම්ම මට කියනවා එයා සමහර වෙලාවට මූණෙ ගාන එක එක දේවල් මටත් ගා ගන්න කියලා. ඒ වෙලාවට මට අම්මත් එක්කත් කේන්ති යනවා. ලොකු අයිය කැමති වුණේ මම දණහිසෙන් පහළට ඇඳුම් අඳිනවට. සම්පූර්ණ ඇඟ වැහෙන්න ඇඳුම් අඳිනවට. යාළුවෙක් ගෙදරට ආවත් එයා ඊළඟ දවසේ මට බනිනවා ඇයි ගෙන්න ගත්තෙ කියලා. මං දන්නෙම නැතුව මං ජීවත් වෙලා තියෙන්නේ ලොකු අයියට ඕන විදිහට. එයාගේ බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දාද්දි මගේ හිතට ඇතිවෙන්⁣ පුදුමාකාර නොසන්සුන්කමක් හරියට බයක් වගේ දෙයක්. මං මාව දැකලම නෑ බිනර…හරියට මං මාවම මරලා දාල වගේ. අදටත් පාරේ එද්දි මගේ හිත ගැස්සෙනවා. මට හරි බය හිතෙනවා. මගේ මූණට හිනාවෙන මිනිස්සු ආපහු හැරිලා බලලා මං ගැන වැරදි විදිහට කතා කරනව ඇති කියලා මට හිතෙනවා. මට හිනා වෙනව ඇති කියලා හිතෙනවා…

මට තව ටිකක් ඉහලට ඉගෙන ගන්න උවමනාව තිබුණා. එක්ස්ට්‍රනල් ඩ්‍රිග්‍රි එකක් කරන්න වුවමනාව තිබුණා. දෙවනි පාර ඒලෙවල් කලානම් අනිවාර්‍යයෙන්ම මාව කැම්පස් සිලෙක්ට් වෙනවා කියලා අදටත් ගුරුවරු කියනවා.  ඒත් ලාකු අයියා හැම තිස්සෙම කිව්වේ ඒ දේවල් මොකටද කියල. අපි මැරි කරලා බබාලා ඉන්නකොට මම ජොබ් එකක් කරන්න ඕනේ නෑ කියලා තමයි එයා කිව්වේ.”

“මං ඔයාගෙන් දෙයක් අහන්නද?”

“මොකක්ද බිනර…..”

“ඔයා ඔය කියපු දේවල්  කරන්න ඔයාට කවදාවත් ආස හිතුනෙ නැද්ද?”

“අනේ ඇයි නැත්තේ..මට හැමදාම ඕන උනේ මගේ වයසේ ඉන්න අනිත් අය වගේ වෙන්න..”

“ඔයා ඔය කියන ජීවිතේ ගැන මට හිතාගන්නවත් බෑ. මට අක්කල දෙන්නෙක් ඉන්නවා ඉසුරි. එක අක්ක කෙනෙක් මැරි කරලා එයාගේ හස්බන්ඩ් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එයාලගේ එෆෙයාර් එක තියෙන කාලේ මං එයාලව ගොඩක් ළඟින් දැක්කා. එයාලා හරි නිදහසේ රිලැක්ස් එකේ ආදරය කළා. අදටත් ඒ දෙන්නා අතරේ එහෙම එපා, නෑ, හොඳ නෑ කියන දේවල් මම දන්න තරමින් නෑ. ඒගොල්ලෝ ලොකු අවබෝධයකින් එයාලගේ  රිලේෂන්ශිප් එක මේන්ටේන් කරනවා. ඊළඟට මගේ අනිත් අක්කා. මේ වෙද්දි  එයා මැරි කරන්න බෝයි කෙනෙක් ඉන්නවා. එයාලා එයාලට හරියට රෙක්ස්පෙක්ට් කරනවා. ඒගොල්ලෝ නිදහසේ ඒ දෙන්නගෙ ජොබ් කරනවා. මං දැකල නෑ අයියා කවදාවත් මගේ අක්කිට එහෙම නීති දාලා එයාව හිර කරනවා. හැබැයි ඒගොල්ලෝ අතරේ වෙන පුංචි සිදුවීමක් වුණත් දෙන්නත් එක්ක කතා කරනවා ඩිස්කස් කරනවා. රිලේෂන්ශිප් එකක් කියන්නේ ඒ තේරුම් ගැනීමට නේද ඉසුරි. ඒ මානසික නිදහස තියෙන්න ඕනේ නේද ඉසුරි.”

“ඔව්…..ලොකු අයියා හැමදාම හිතුවේ ගෑනු කෙනෙක් ජීවත් වෙන්න ඕනෙ තමන්ගේ හස්බන්ඩ්ට  යටත් වෙලා කියලා,  හස්බන්ඩ් එයාව හැම වෙලාවකම පාලනය කරන්න ඕනේ කියලා,  ගෑනු කෙනෙක්ට යන්න පුළුවන් දුර සීමා සහිතයි කියලා. එයා මගේ හිතට හැමදාම දුන්න දෙයක් තමයි එහෙම නොවුනොත් මගේ අම්මට වගේ ජීවිතය වරදියි කියලා. මිනිස්සු මට හිනාවෙයි කියලා. මං ඒකට හරි බයයි..”

“ඒක වැරදි අදහසක් ඉසුරි. ඉමෝෂනල් බැලැක්මේල් කිරීමක්. ඔයාගේ අම්මා ඩිවෝර්ස් උනා තමයි. මං විශ්වාස කරනව ඉසුරි  එකට ඉන්න බැරිනම් වෙන්වෙන එක තමයි වැදගත්ම දේ කියලා. එහෙම කරපු නිසා තමයි අද ඔයාගේ තාත්තා එයාගේ ෆැමිලි එක ඇතුලේ සැනසීමෙන් ජීවත් වෙන්නේ. ඔයා කියන විදිහට තාත්තා ඉන්නේ සතුටින්. මිනිස්සු මුළු ජීවිත කාලය පුරාම හැම දෙයක්ම අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සතුට නේද ඉසුරි. අම්මගේ අතින් පුංචිම හරි වරදක් උනා කියලා අපි හිතමු ඉසුරි. ඇයි අම්ම කරපු හොඳ හැම දෙයක්ම අමතක කරලා මිනිස්සු එයාගේ වරද විතරක් දකින්නේ. ඉසුරි තාත්තා වගේම අම්මත් වෙන මැරේජ් එකකට ගියානම් අද ඔයාලා මෙහෙම නොවෙන්න තිබුණා. එයාට එහෙම කරන්න අයිතිය තිබුණනේ ඉසුරි. උවමනාවත් තියෙන්න ඇති. හැබැයි එයා ඔයාලත් එක්ක රැඳිලා හිටියා. ඔයාලා බලා ගත්තා, ඔයාලට කන්න බොන්න දුන්නා.”

යුවතිය වෙනදාට වඩා විවෘතව යමක් කතා කරමින් උන්නාය. 

“ඔයා හිතන විදිහ හරි ලස්සනයි බිනර. සමහර වෙලාවට මම නොදැකපු ලස්සන දේවල් ඔයා මට පෙන්නනවා. ඉස්සරට වඩා මං දැන් මිනිස්සු දිහා බලන් ඉන්න හරි ආසයි. මේ ලෝකේ මට මගහැරිච්ච අතෑරිච්ච ගොඩක් ලස්සන දේවල් තියෙනවා බිනර. මට හිතෙනවා මම මැරිලා අලුත් ලෝකෙක ඉපදිලා වගේ කියලා. ඒ හැම දේකම ක්‍රෙඩිට් එක ඔයාට. ඇත්ත…හැම කෙනෙක්ටම හොඳ යාළුවෙක් ඉන්න ඕනේ..”

බිනර ඇය කතා කරන දෙස බලා සිටියේ ආසාවෙන්ය. ඒ වචන පැහැදිලිය. මිනිසුන් සුන්දර වන්නේ හදවතින්ම කතා කරද්දීය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…..)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles