මා හිස පිරිමැද 10

විශ්ව විද්‍යාල භූමිය තුළ රිය නතර කළ මම ඉන් පිටතට විත් කැබ් රථයකට ගොඩ වීමි. මගේ මෝටර් රථයෙන් විදුර ගේ බෝඩිමට යන එක කොයි ආකාරයෙන් හෝ නරකක් නපුරක් වෙන්නට බැරි නැත. ඉතා පරිස්සමෙන් ජීවත් වෙන වටිනා මිනිසෙකු මගේ අදූරදර්ශී බව නිසා අනතුරක හෙළිය නො හැකි බව සිත තදින් ධාරණය කරගෙන තිබිණ. විශ්ව විද්‍යාලයට යාමට පෙර සුපිරි වෙළෙඳ සැලකින් මිල දී ගත්, සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකුට අවශ්‍ය විය හැකි පැරසිටමෝල්, පස්පංගුව පැකට්, හිසරදයට සුදුසු බාම්, ඕඩිකොලෝන් වැනි භාණ්ඩ කිහිපයක් මගේ බෑගයේ විය. බෑග් එකට ඔබා ඇද වේවියි බියෙන්, කෑම පෙට්ටියකට බෙදා සර්වියට් එකකින් ගැට ගසන ලද බත් එක මා තියා ගත්තේ අතේ ය. ඊට අමතරව පළතුරු ටිකක් මම ඔහු වෙනුවෙන් ගතිමි.

මෙය සුවිශේෂී ගමනකි. හිතේ ඕනවටත් වැඩිය දිරිය වූවාට ගැස්මක් නො වූවායි කිව නො හැක. අනිත් අතට රසයක් හදවත වාං දමමින් තිබිණ. මෙය මුලින් ම ජනරාව පුවත්පත් කන්තෝරුවට ගිය ගමනට වඩා රහසිගත මිහිරක් හිතෙහි ඇති කරයි. 

මග සලකුණු අනුව විත් කැබ් රිය නතර වූයේ කොළ පාටින් පිරියම් කළ තාප්පයක් සහිත කොළ පාට ගේට්ටුවක් ඉදිරියේ ය. ගෝල්ඩන් බෙල් මල් වැලක් තාප්පය දිගේ ගොස් කහ පාට මල් කැරලි සිය ගණනින් එල්ලා ගෙන සිටියේ ය. එහි කුඩා ගේට්ටුව කෙළින් ම විවර වන්නේ කුඩා පෝටිකෝවකට හා ඉන් ඔබ්බෙහි පටු පියගැට පෙළකට ය. පෝටිකෝවෙහි  විදුර වරදත්ත ගේ මෝටර් රථය විය. ඔහු පිය ගැට පෙළ ඉස්මත්තට එන්න ඇත්තේ ගේට්ටුව ඇරෙනා හඬට විය යුතු ය. මා එන තුරු ඔහු බලා සිටියාද කියා සිතෙත්දී දෙතොල් පෙති අතරේ මන්දස්මිතයක් පිපිණි.

විදුර හිටියේ බොටම් කලිසමක් හා ටී බැනියමක් හැඳ අත් දෙක පපුවේ බැඳගෙන ය. වෙනදා වන දීප්තිය ඔහු ගේ ඇස් වල වූයේ නැත. ඒවා බොර පාටක් ගෙන ගිලන් බව ඉඟි කොට කියමින් සිටියේ ය. කොණ්ඩය අවුල් වී තිබිණි.

“උණ වගේ හොඳටම”

මම ඔහු ගේ නළලත පිටි අත්ල තබා බැලීමි. එහි ගින්දර රස්නයක් විය.

“පැරසිටමෝල් බිව්වෙ නැද්ද පැය හයෙන් හයට”

“නෑ. මේ ළඟ ඩිස්පෙන්සරි එකේ ඩොක්ටර් එන්නෙත් හවසලු. ඊයෙ මං හිතුවෙ නෑ මෙච්චර අමාරු වෙයි කියල”

ඔහු ගේ හඬ ගිලන් බවින් බරිත ව තිබිණි.

“එහෙනං කාල පෙති දෙකක් බොන්න”

මම ඔහු ගේ අතට කෑම එක දුන්නෙමි. එය තනි කාමරයකි. විදුර ගේ ලියන මේසය ද තනි ඇඳක් ද කුඩා කබඩ් එකක් හා දිග සෝෆාවක් ද පමණක්  එහි විය. ඉන් ඇතුළත ඉතා ම කුඩා කුස්සියක් හා නාන කාමරයක් තිබිණි. තනි මිනිසෙකු ගේ ජීවිතය කෙතරම් නම් සරල ද යන සිතිවිල්ල මුලින් ම මගේ සිත් කවුළු විවර කර ගෙන ආවේ ය. 

ඔහු කෑම පෙට්ටියත් සමග සෝෆාවේ කොනක හිඳ ගත්තේ ය. මම අනිත් කොනෙහි අසුන් ගතිමි. මෙය අමුතු මොහොතකි. මීට පෙර මගේ ජීවිතයට හමු වී නැති අත්දැකීමකි. ඒ නිසා කුමක් කෙසේ විය යුතු ද යන දෙගිඩියාව මා වට කොට ගෙන තිබිණ. 

“කන්න පුළුවන්ද…මං කවන්නද…”

මා එසේ ඇසුවේ ඔහු ගේ අතක් වෙව්ලනවා වාගේ දැනුණ නිසා ය. 

“පුළුවන්”

විදුර මගේ ඇස් මගහැරියා ද? මම මුළුතැන්ගේ කොටසට ගොස් පස්පංගුව පැකට්ටුවක් භාජනයකට දමා තැම්බෙන්නට තැබුවෙමි. ඔහු තනිව උයා ගෙන කන බවට සලකුණු එහි විය. විදුර වරදත්ත ගැන දැනෙමින් තිබූ ස්නේහී හැඟීම තවත් වැඩි වී වාගේ දැන් මට දැනේ. මම වතුර වීදුරුවක් ගෙන ඔහු වෙත ගියෙමි. කෑම පෙට්ටිය පසෙක තැබූ ඔහු සෝෆාවට හිස හේත්තු කොට ගෙන ඇස් පියා සිටියේ ය. 

“ඇයි…”

“කන්න බෑ”

“අනේ ඉතිං නොකා කොහොමද…මං කවන්නද..”

“එපා කන්න බෑ”

ඔහු වතුර වීදුරුව දෙසට අත දිගු කළේ ය. මම පැරසිටමෝල් පෙති දෙකක් කඩා ඔහු අත තැබීමි. 

“එහෙනං තේ එකක් හදල දෙන්නද…මං කොත්තමල්ලි ලිපේ තිබ්බ”

“පස්සෙ බොමු”

අත හෝදා ගෙන ඇවිත් ඔහු සෝෆාවේ වැතිරුණේ ය. මම ඕඩිකොලොන් අහුරක් හිස් මුදුනේ හලා අතැඟිලි වලින් නළල් තලය මත ඕඩිකොලෝන් ගැල්වීමි. විදුර ඇස් පියා ගෙන සිටියේ ය.

“එහෙනං ඔහොම ටිකක් නිදියන්න. පැරසිටමෝල් වලට උණ බහී”

මා ඔහු ගේ හිස කේ අතරේ අතැඟිලි දිවවූයේ අප්‍රමාණ භක්තියකිනි. ආදරයක් හෝ ශෘංගාර හැඟීමක් කෙසේ වී ද ගැහැනු හිතක පිරිමියෙකු ගැන එවන් භක්තියක් ඇති වන්නේ කලාතුරකින් කියා සිතමි. ඔහු ඇස් පියාන සුවෙන් හිටියේ ය. විදුර ට නින්ද යන්නට ඇතැයි කියා සිතුණ වෙලාවේ නැගිට ගොස් බේසමක දමා තිබූ ඔහු ගේ ඇඳුම් ටික සෝදා වැනුවෙමි. මීට පෙර කිසි දාක මා අතින් රෙදි සෝදා නැත. ප්‍රේමය වෙනුවෙන් ගැහැනියකට කරන්නට බැරි දෙයක් නැති වග මා තේරුම් ගත්තේ විදුර වෙනුවෙන් ඒ දේවල් කරන අතරේ ය. 

කෙටි නින්දකින් ඔහු අවදි වන විට මා ගේ අතු ගා ඉඳුල් භාජන සෝදා අවසාන ය.  ඒ ගැන විදුර මට දොස් කීවේ ය. 

“සනීප වෙනකල් බෑනෙ ඉතිං. ගෙදර යන්නකො මෙතන තනියම ඉන්නැතුව. මං ගිහිං ගෙදර බස්සල එන්නද…”

ඔහු ලස්සනට සිනහ වූයේ ය. මම නළලේ අත තබා බැලුවෙමි. පැරසිටමෝල් වලට උණ අඩු වී තිබිණ. 

“ඕන්නෑ තිසුරි. ගෙදර ගියාම අම්ම මං ගැන හරියට වද වෙනව. ඒක මගෙ හිතට මහ කරදරයක්. අපි එයාට සලකන්න ඕන කාලෙ…තාමත් එයා පොඩි එකෙක් ගැන වගේ මං ගැන වද වෙනව..”

ඔහු කොත්තමල්ලි බීවේ ය. කෙතරම් පෙරැත්ත කළ ද බත් කෑවේ නැත. මා ගෙනා පලතුරු ටිකක් හෝ කන්නයි කීවාට ඔහු එය ද පස්සට දමමින් සිටියේ ය.

“මං ගේන ඒව කන්න බයද…මං කාගෙ හරි ඉත්තෙක් කියල හිතනවද…එහෙම කළොත් මට පව් සිද්ද වෙයි”

එසේ කියා ගෙන යත්දී මගේ මගේ හඬ බිඳී ගියේ. රිදුමක් අතරින් ඇස් පියන් බිමට හැරවිණ. විදුර වඩාත් මා වෙතට බර වී පහළට හැරවුණ මුහුණට එබීමේ උත්සාහයක් ගත්තේ ය.

“එහෙම හිතනවනං මං ඔයාට මෙතනට එන්න කියනවද..ම්…”

මම  දිගට ම සිටියේ බිම බලා ගෙන සිටියෙමි. සැබවින් ඔහු සිය ආරක්ෂක බලකොටුවක් වන් නවාතැනට එන්නට මා වාගේ කෙල්ලකට ඉඩ දෙන්නට ඇත්තේ ජීවිතයත් මරණයත් අතරේ වන අවදානමට අභියෝග කරමිනි. ගෑනු ළමයෙකු වශයෙන් ජීවිතයේ ප්‍රථම වතාවට මෙවන් ගමනක් එන්නට තරම් මා හිත සවිමත් කර ගත්තේ ද මට කියන්නට නොතේරෙන හැඟුම් සමුදායක් නිසාවෙනි. හැම කෙනෙකු වෙනුවෙන් ම ඒ විදිහට හදවත් දොරටු විවර කරන්නට හිතෙන්නේ නැත. එහෙම කරන්නට හිතුණ කෙනෙකු වෙනුවෙන්, මොන බාධක තිබුණත් එසේ නොකර සිටීමට හැකි වන්නේ ද නැත.

“ඔයා දන්නවද තිසුරි…එක කාලයක් තිබුණ මගෙ ජීවිතේට හරි දරුණුවට තර්ජන තිබුණ. දේශපාලකයො ඕන ඕන හැටියට රටේ පිස්සු කෙළිද්දි අපි කටවල් පියාගෙන පෑන පැත්තකින් තියල ඉන්න ඕන කියල උන් හිතපු කාලයක්. මං ගෙදර ගියා කියන ඔත්තුවත් උන්ට කොහොමහරි ලැබෙනව. අපේ ගෙදරට රෑට ආයුධ ගත්ත එවුං කඩං පනිනව විදුරව දීපං කියාගෙන. මං නැත්තං අම්මලට ගාණක් නෑ. මං ඉද්දි…ඔයා හිතන්න ඒ මිනිස්සුන්ගෙ පපුවට දැනෙන ගින්දර. දවසක් දෙකක් රෑට අම්ම මාව අඬ අඬ සිවිලිම අස්සෙ හංගල තිබ්බ. ඊට පස්සෙ අම්ම අඬල අඬල ටික කාලෙකට මාව රටෙං යැව්ව. මං ඒ ගමන ගියේ අම්මගෙ පපුවට සැනසීමක් දෙන්න ඕන නිසා විතරයි”

“මං කා එකත් කැම්පස් එකේ දාල කැබ් එකක් කෝල් කරං ආවෙ”

අපේ ඇස් එකට හමු වී තත්පර ගණනක් එක මත සමපාත ව තිබිණ. ඉනික්බිති විදුරසෝෆාව මතින් නැගිට ගත්තේ ය. ඒ වෙලාවේ මට යන්න කියන්නට ඔහු ට ඕනෑ වූ නමුත් එසේ කියන්නට බැරිව හිත ද මුව ද හිර වී තිබූ බවක් පසු කලෙක ඔහු මට කීවේ ය.

“ඔයාට පුළුවන්නං කට්ටසම්බලයක් හදල තියල යන්න. මං මේ බත් ටිකක් එක්ක පස්සෙ කන්නං”

තාත්තා ට පින් සිදු වෙන්නට මම යන්තම් මොනවා හෝ උයා ගන්නට දැන සිටියෙමි. ඔහු කිරිබත් කන්නට දෙහි යහමින් දමා හදන කට්ට සම්බලය වාගේ එකක් කෙසේ හෝ හදා ගන්නට මට හැකි විය. මා ගෙන ආ බත් දැනටමත් සීතල වී ඇති නිසා අලුතෙන් බතක් ද ඉව්වෙමි. ලූණු අමුමිරිස් යහමින් දමා බිත්තරයක් ඔම්ලට් දැමුවෙමි. මා යළි ඉස්සරහාට එන විට විදුර නැවත ද සෝෆාවේ නින්දකට වැටී සිටියේ ය. මම යන්නට සූදානම් වී නැවත ද උණ තත්වය කෙසේ දැයි බැලීමි. නළලත රස්නයක් වූයේ නැත. කෝකටත් මම යළි ඕඩිකොලෝන් ටිකක් දමා හිස පිරිමැද්දෙමි. විදුර සිටියේ නින්දේ ම ය. මට ඔහු අවදි කරන්නට ලෝභ සිතිණ. 

“මං යනව. පැය හයෙන් හයට පැරසිටමෝල් බොන්න. උණුවෙන් බත් කන්න එතකොට අප්පිරිය නැති වෙයි. ඔම්ලට් එකත් ඔක්කොම කන්න. ඉක්මනට සනීප වෙන්න!”

බෑග් එකේ තිබූ ස්ටිකි නෝට් පෑඩ් එකේ කහ පාට කොළයක එසේ ලියා මම ඔහු ගේ පොත් මේසයේ පෙනෙන තැනක එය ඇලවීමි. බෑග් එක පිටේ එල්ලා ගෙන නැවත ද ඔහු වෙත විත් බලා සිටියෙමි. අර තරම් දරුණු දේශපාලන ලිපි ලියන මහා මාධ්‍යවේදියා පොඩි දරුවෙකු සේ නිදා සිටී. ඔහු ගේ නළල සිප ගැනීමේ දැඩි හැඟීමනින් මම ඔහු වෙත පහත් වීමි. නමුත් එසැනෙන් මගේ ආත්මය තුළින් සයිරන් හඬක් නැගුණේ ය. මම මා පාලනය කර ගෙන හෙමින් නැගී සිටින්නට ගියෙමි. නමුත් එහෙම කරන්නට හැකි වූයේ නැත.  එසැනෙන් මා ඔහු ගේ පපුව මතට වැටී හිර විය. විදුර ගේ දෑත් ඉතා තදින් මා බදා ගෙන තිබිණ. මගේ මුහුණ ඔහු ගේ පපුවත් උරහිසත් අතර අවකාශයේ තද වී තිබිණි. මම ඉක්මනින් හුස්ම ගන්නට වීමි. මේ හැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා සිතිය යුතු වූයේ ය. ඒ කුමක් වුණත් මම ඉතා තදින් ඇස් දෙක පියා ගෙන සිටියෙමි. විදුර ගේ හදවතේ ලබ් ඩබ් හඬ හැරෙන්නට මට ඇහෙනා වෙන කිසිවක් ම නොවී ය. මා හෙලවුණේ හෝ නැති බව ඉඳුරා කිව හැක. විශ්වය මත වන සුවදායක ම තැන එතැන ය. ඔහු ගේ පපුව මත සුව යහනාව ය. කල්ප කාලයක් වුණත් නො සෙල්වී ඒ සුවය විඳ ගන්නට මගේ ගැහැනු ආත්මය කඩිනමින් සූදානම් වූයේ ය. වේගවත් වූ මගේ ශ්වසනය මඳ වෙලාවක් තුළ ඉතා සන්සුන් හා සාමකාමී අතට හැරී තිබිණ.

” මේක දැං ඇති”

නිහඬව ගෙවී ගිය කෙතරම් වෙලාවකට පස්සේ ද මන්දා විදුර හෙමිහිට කීවේ ය. ඒ තරම් ගොරෝසු හඬක් ඒ සා ළයාන්විත විය හැකි බව, ආදරණීය විය හැකි බව, ගැහැනු හදක් උමතු කරවන්නක් විය හැකි බව ඔබ නො දන්නවා විය යුතු ය.

“මොකද්ද…”

ඇස් නෑර ම මම කෙඳිරුවෙමි.

“උගුරට හොරෙන් බෙහෙත් ගිලින්න හදන එක…”

“කොහොමත් මං එහෙම කළෙ නෑ”

විදුර ගේ අතක ග්‍රහණය ලිහිල් විය. ඒ අතේ ඇඟිලි තුඩු මගේ හිස කේ අතරින් හිත හිරිවට්ටනා සංස්පර්ශයක් තවරමින් රිංගා ගියේ ය. මම හෙල්ලෙන්නේ හෝ නැතිව ඔහු ගේ පපුව බදා ගෙන සිටියෙමි.

“ඒත්…මට කියන්න දෙයක් තියනව”

අම්මා ගැන කියන්නට මට ඕන විය. නමුත් මීට පෙර වාගේ ම හිතේ එක පැත්තක් මාව පස්සට ඇද්දේ ය. 

“කියන්න”

විදුර ආදරයේ පරිසමාප්තිය හදෙහි දනවනා හඬකින් අනුබල දුන්නේ ය.

“ඒත්…මේක කිව්වට පස්සෙ මේ හැම දේම වෙනස් වෙයි. මෙච්චර දවස් මං ඒක රහසක් විදිහට හිතේ හිර කරං හිටියෙත්…මාව ඈතටම ඈත් කරල දායි කියල..”

කොහේදෝ සිට පැමිණි කඳුළක් විදුර ගේ පපුව ට තෙත උරා ගත්තේ ය. ඔහු දිගට ම මගේ හිස පිරිමදිමින් සිටියේ ය.

“මගෙ අම්ම…”

“මං දන්නව”

මම වහා හිස නගා බැලීමි. විදුර සෝෆාව මත වැතිර ගත් ඉරියව්වෙන් නැගී සිටීමට සූදානම් වූයේ ය. මීට මොහොතකට පෙර අප අතරේ කිසිවක් ම සිදු නොවූ සෙයින් බිම බලා ගෙන, හොඳ ළමයෙකු සේ මම අසුන්ගත වී සිටියෙමි. විදුර මට සමීප ව හරි බරි ගැහුණේ ය. ඔහු ගේ දණහිසක් මගේ කකුලක යන්තම් ස්පර්ශ වූයේ ය. ඔහු ගේ ඇස් හිරු මඬලක් සේ මා මතින් පායා එහිරු කිරණ මා සිප ගනිමින් තිබිණ. මම යන්තම් ඇස් ඔසවා බැලීමි. දඟකාර යෞවනයෙකු ගේ බඳු සිනහවක් ඒ දෙතොලතර සරැලි නැගුවේ ය. පෙර කිසි දාක නො දැනුණ මගේ කමක් මට ඔහු ගැන දැනෙන්නට ගති.

“ඔයාගෙං වජිරපාණි වික්‍රමබාහුව දකින්න තරං මෝඩ මිනිහෙක් නෙවේ මං”

“ඒ..ත්…”

“ලෝකෙටම වෙට්ටු දදා හිටියත් එක ගෑනියෙක්ට අහු වෙන තැනක් දෙයියන්නාන්සෙට වුණත් සෙට් වෙනව මං හිතන්නෙ”

උදම් රළක් සේ ඉහළ නැඟුණු ඒ හැඟීම් ප්‍රවාහය යටපත් කොට දමන්නට මට ඕන වුණේ ම නැත. මම ඔහු ගේ ගෙල මගේ දෑතින් ම බදා ගතිමි. විදුර ගේ දෑත් මගේ බඳ වටා වෙළෙනු දැනිණ. 

“දැං ඔයා යන්න තිසූ…නේද…”

කියා ඔහු අසනා තෙක් ම අපි එහෙම සිටියෙමු. ඒ එතෙක් මදිවිය තුළ මට මුහුණ දෙන්නට සිදු වී අසීරු ම සමු ගැනීම ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles