නිලැසි -34

“ඇයි ඔයා ඩිවෝස් එකට අකමැති?”

කිසිත් නොකියා යහනේ පෙරළී හුන් අක්කාගෙන් දිගැසි ඇසුවේ ඉවසිලිවන්ත ස්වරයකිනි.රශ්මිට පුතෙකු ලැබුණේ පෙරදා රාත්‍රියේ ය.රසාදරී රෝහලට වී රශ්මි අසලම හිඳින්නේ දරුවන් වෙනුවෙන් උපන්නාටත් වැඩි ආදරයක් මුණුබුරන් වෙනුවෙන් උපදින බව හදවතේ ගැඹුරුම තැනකින් ඇයට රහස් මිමිණෙන නිසා ය.මිතුරියන්ගේ නිවෙස් ද එරන්දගේ නිවසේ ද කල් ගත කරමින් සිටි නිලැසි නිවසට පැමිණියේ ම අම්මා නිවසේ නොවූ නිසා ය.අම්මාට සත්‍ය පවසන්නට නිලැසිට වූයේ බියකි.

“මට තිසරුට පරදින්න ඕනකමක් නැති නිසා..”

නිලැසි කෝපත් ස්වරයකින් මුමුණද්දී දිගැසි හිනැහුණා ය.

“කොහොමටත් පැරදිලා ඉන්නෙ තිසරු අයියා තමා.ඔයා දිනපු හින්දනෙ එයා ඔය ඩිවෝස් එකකට ලෑස්ති වෙන්නේ..”

දිගැසි එසේ කියද්දී නිලැසි තොල කනපිට පෙරළා මොහොතක් ගෙවූවා ය.තමන් නිසා තිසරු කම්පා වීම එක කාරණයකි.නමුත් ඔහු නඩු පවරා තමන් අතහැර දැමූ විට තමන්ගේ ගෞරවය විනාශ වන බව දැන් නිලැසිට සිතෙයි.ඒ කාරණය අසා සිටි දිගැසි සමච්චලයට හිනැහුණා ය.

“ඔයා ඇයි ඉතින් දික්කසාද වෙන තාලෙ වැඩ කරේ.අනිත් කාරණාව තමයි අක්කා, කසාදයක් බැඳල ඉන්නකොට වෙන කෙනෙක්ට ආදරේ හිතෙන්නෙ එයා ඕන නිසානෙ.ඉතින් එහෙම ඕන කෙනා ගාවට යන්න දැන් ඔයාට බාධාවක් නෑනෙ.තිසරු අයියා ඔයාව නිදහස් කරා..”

එරන්ද තමන් හා විවාහයකට එකඟ නැතැයි නිලැසි පැවසුවේ සිහින් හඬකිනි.එය දිගැසිගේ සවනත වැටුණේ අකුණක් පරිද්දෙනි.

“මොකක්…දැන් මේ ඔක්කොම අවසානෙදි එයා ඔයාව බඳින් නෑ? ඒ කියන්නේ ඔයාලා බ්‍රේකප්ද?”

එරන්ද වැනි තරුණයෙකු විවාහය සලකන්නේ ඉතා අසත්‍යයක් ලෙස බවත් ඔහු විශ්වාස කරන්නේ ආදරය පමණක් බවත් පැවසූ නිලැසි එරන්දගේ ආදරය ඔප්පු කරන්නට කිහිප දෙනෙකුගේ උදව් ගත්තා ය.ඕෂෝ,පාවුලෝ කොයියෝ,ඉසබෙල් අයියන්දේ වැනි මිනිසුන්ගේ සුන්දර වාක්‍ය එරන්දගෙන් උගත් හන්දා ඒ අයගේ උදව්වෙන් දිගැසිට ආදරය ගැන පාණ්ඩිත්‍ය පවසන්නට නිලැසිට අසීරු නොවීණ.නමුත් දිගැසිට ඒවා අසා නැඟුණේ සමච්චලයට ළඟ සිනාවකි.

“යස අගේට තිබ්බ පවුලක් කඩල දාලා ආදරේ ගැන නිර්වචන කියන මනුස්සයට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා කීයක් විතර ඉන්නවද බලන්නකො.අන්න එතකොට මොලේ පෑදෙයි..”

දිගැසි අක්කා වෙතින් මෑත් වූයේ එසේ කියන අතර ය.නිලැසි කරදරකාරී විවාහයකින් පීඩා විඳිමින් සිටියදී හමු වූ හද සනසන ප්‍රේමය එරන්ද වූවානම් ඔවුන්ට වඩාත් සහයෝගය දක්වන්නේ තමන් බව දිගැසි හොඳින්ම දන්නී ය. අක්කාට තමන් සමඟ ඕනෑම රහසක් හෙළි කළ හැකි අතීතයක් තිබිණ.තිසරුගේ පිටතින් නොපෙනෙන ගැටළුවක් පවා නොසඟවා හෙළි කරන්නට අක්කාට තමන් අසල ඉඩ ඇති බව දිගැසිට විශ්වාස ය.නමුත් මෙතන ඇත්තේ ගැටළුවක් නිර්මාණය කිරීම ය.

“මිනිස්සුන්ගේ හැඟීම්වලට වැටවල් බඳින්න බෑ අක්කා.මොකක්ම හරි කියා ගන්න නොතේරෙන හේතුවකට ඔයා තිසරු අයියගෙන් ඈත් වෙලා එරන්දට ළං වෙන්න ඇති.එතනදි එරන්ද හරි.ආදරේට නිර්වචන නෑ.ඒ වුණාට අක්කේ ඔයා තිසරු අයියව රවට්ටන්න එපා.ඒ මනුස්සයා නිදහස් කරන්න..”

නිලැසි යහනේ ඒ මේ අත පෙරළෙමින් කළ යුතු දේ සිතුවේ දිගැසි එසේ පවසා කාමරයෙන් නික්මී ගිය පසුව ය.

“මං අද ඉඳන් දිගටම ඉන්නෙ ඔයාගෙ ගෙදර..”

එරන්දට එසේ පණිවිඩයක් යවා ඇය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූවා ය.

“මේක ඔයා රෙන්ට් ගෙවන ගෙදරනෙ.ඇවිත් ඉන්න.මං වෙන තැනකට යන්නං..”

නිලැසි තමන්ගේ කර ගන්නට පින් මදි වීම ගැන වද වෙමින් සිටි එරන්ද දැන් එසේ කියද්දී නිලැසිට කර කියා ගන්නට දෙයක් නොතිබිණ.ආදරය කියන්නේ අසීරු මොහොතක අත නෑරීම බව පැවසූ මිනිසාම දැන් ඇය පිටු දකින්නේ සිතීමටත් අපහසු තරමේ වේගයකිනි.

“ඔයා මාත් එක්ක මොනතරම් ෆොටෝස් ගත්තත් කමක් නෑ නිලැසි.ඒවා සෝෂල් මීඩියා දාන එක නවත්තන්න.ඔයා හොඳම යාළුකම් ගැන කැප්ෂන් දැම්මට ඒ යාලුකමට එහා ගිය කතාවක් කියල බලන ඕන ළදරුවෙකුට පේනව.මට ඩිවෝස් නඩුවක සම විත්තිය වෙන්න ඕන නෑ.අන්න ඒ හින්දා ඔයාගෙ ප්‍රශ්නෙ ඔයා තනියම බලා ගන්න..”

ඔහු ඊළඟට එසේ එවී ය.නිලැසි ඒවා කියැවූයේ කඳුළු පිරුණු දෑසකිනි.ප්‍රේමය මෙසේ අතරමඟ අත හැරෙන්නක් බව පිළි ගැනීමට ඇගේ සිත ඉඩ නොදේ.නමුත් දැන් ඇය වාලුකා කතරක අතරමං වී හමාර ය.තිසරු ඇය නැවත නොපිළිගැනීමට වඩා නිලැසිට දරා ගන්නට අපහසු වූයේ එරන්දගේ ප්‍රතික්ෂේප කිරීම ය.

“ආදරේ කියන්නේ මේකටද එරන්ද”

කෙටි පණිවිඩ අත් හළ නිලැසි ඇමතුමක් ගෙන එසේ ඇසුවා ය.එරන්ද මොහොතක් නිහඬව සිටියේ පිළිතුරක් සොයා ගන්නට ය.

“ආදරේ කියන්නෙ ඔයා හිතනව වගේ වදයක් වෙන එකටත් නෙවෙයි.කරුණාකරලා ඔය නඩුව ඉවර කර ගන්න.ඊට පස්සෙ නිදහස් ගෑනියක් වෙලා නිදහසේ ජීවත් වෙන්න..”

එරන්දට ඇය වෙනුවෙන් වැය කරන්නට තිබුණේ සීමිත වචන ගණනකි.ප්‍රේමයට වඩා රැවටීම සහ අත් හැර දැමීමක ශෝකය නිලැසි වටහා ගනිමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles