ගර්භණී සමය ගෙවන ඔබ මේ වසංගත කාලයේ ආරක්ෂා වෙන්න ඕනෑ කොහොමද?

ඔබ ගර්භණී මවක්. ඇත්තටම මේ පවතින වාතාවරණය තුළ ඔබේ ජීවිතේ ගෙවෙන්නෙ බියෙන්, සැකෙන් සහ ආතතියෙන්. ඒ වුණත් ඔබ නිවැරදි සෞඛ්‍ය පුරුදුවලට අනුගතව ජීවත් වෙනවා නම් නිසි කල වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් ඔබේ කුසේ ඉන්න දරු පැටියාවත් ආරක්ෂා කරගෙන මවක වන සිහිනය සැබෑ කර ගන්න එක අසීරු කාරණයක් නෙවෙයි. එහෙම නම් අද අපි කතා කරමු කොරෝනා වෛරසය හමුවේ ගර්භණී මවක් වන ඔබ අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන්.

එළියට යන්න වුණොත්..

ගර්භණී මවක වන ඔබ මේ දිනවල නිවස තුළම හිඳීම බෙහෙවින් වැදගත්. එබැවින් ඔබ සායනයට යාම, රෝහලට යාම වැනි අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගෙදරින් එළියට යෑම නවත්වන්න. ඒ අවස්ථාවලදී ත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත්. ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුතු මුව ආවරණයක් පැළඳීම,සබන් යොදා දෑත් සේදීම, දුරස්ථබව පවත්වා ගැනීම කළ යුතුමයි. ඒ වගේම ජනතාව එක් රොක්වන තැන්වලට යාමෙන් වළකින්නත් ඕනෙ.

ගෙදර ආසාදිතයෙක් ඉන්නව නම්….

ඔබේ පවුලේ අයෙක් නිවෙස තුළ නිරෝධායනය වෙනව නම් ඒ පුද්ගලයාගෙන් වෙන්වෙලා හිඳීම අවශ්‍යයි. එවන් අවස්ථාවක දී ඔබට නිවෙස තුළදීත් මුව ආවරණය පැළඳීමට සිදුවෙනවා. එවන් මොහොතක හුස්ම ගැනීමේ අපහසුතා, උණ, කැස්ස ආදී කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ එකක් හෝ ඔබට දැනෙනවා නම්, ඒ පිළිබඳව හොඳ අවධානයෙන් පසුවීමත් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කරන්නට වෙනවා. ඒ විතරක් නෙවෙයි ගර්භණී සමයේදී මතුවන අවදානම් සංඥා ලෙස සැලකෙන තද හිසරදය, වලිප්පුව, රුධිර වහනය, කුසේ ඉන්නා දරුවාගේ දැඟලීම අඩුවීම ආදී ලක්ෂණ පිළිබඳවත් හොඳ අවධානකින් පසුවීම වැදගත්. එවන් ලක්ෂණයක් ඇත්නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකි ඉක්මනින් දැනුම් දෙන්නට ඕනෙ. පවතින තත්ත්වය අවදානම් බව හැඟෙනවා නම් සුවසැරිය ගිලන් රථ සේවයට කතා කර ඉක්මනින් රෝහල් ගතවීම අවශ්‍යයි.

කොරෝනා එක්ක එන සංකුලතා …

දැනට රට තුළ පවතින බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය එක්ක ගර්භනී මවකට ඇතිවිය හැකි සංකුලතා ගොඩක් තියෙනවා. කොහොමත් ගර්භණී සමයේදී මව්වරුන් තුළ පවතින ශාරීරික වෙනස්කම් එක්ක නිව්මෝනියා තත්ත්වය ඇතිවීමේ අවධානමක් තියනව. ඒ වගේම සංකුලතා ඇතිවීමෙන් දරුණු තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. බොහෝ විට ගර්භණී කාලයේ දී මව්වරුන්ට අධි රුධිර පීඩනය, දියවැඩියාව එන්න ඉඩක් තියෙනවා. ඒ සංකුලතා එක්ක ශ්වසන ආබාධ වැඩිවෙලා තත්ත්වය උග්‍ර වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඉතින් මේ තත්ත්වය තුළ සාමාන්‍ය හිසරදයක්, සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් වුවත් ගර්භණී මවක් සැලකිලිමත් වෙන්නට ඕනේ.

ඩෙංගු සහ කොරෝනා ලක්ෂණ එක සමානයි…

මේ දවස්වල ඩෙංගු රෝගයත් හිස ඔසවමින් එනවා. ඩෙංගු වලදිත් උණ එන්න පුළුවන්. කැස්ස හතිය වගේ ලක්ෂණත් මතු වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ඩෙංගු රෝග ලක්ෂණ ඇති අයෙක් කොරෝනා කියලා, එහෙමත් නැත්නම් සාමාන්‍ය උණක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ගර්භනී මවකට ඩෙංගු නැත්නම් කොරෝනා රෝගය යැයි සැක සහිත ලක්ෂණ ඇත්නම් ඒ කවර රෝගයේ ලක්ෂණදැයි ඔබට නිශ්චිතවම තීරණය කරන්න බැහැ. එබැවින් යන්තමින්වත් ඩෙංගු හෝ කොරෝනා යැයි සැක සහිත නම් එවන් මව්වරුන් අදාළ හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කළ යුතුව තියෙනවා. එවිට PCR එකකට හෝ Rapid Antigen test එකකට යොමු කළ යුතු වෙනවා. යම් හෙයකින් ඩෙංගු පැතිරෙන කලාපයක හිඳින ගර්භණී මවකට සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් ඩෙංගු හඳුනාගැනීමේ පරීක්ෂණයකට යොමු කරවීම වැදගත්. එම නිසා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා අවශ්‍යයි.

Sanitizer හොඳයි ද?

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට නම් නිතරම සබන් යොදා අත් සේදීමේ වැදගත්කම වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අත් සේදීමට පහසුකම් නොමැති අතරමගකදී හෝ ස්ථානයකදී තමයි මේ Sanitizer භාවිත කරන්නේ. එවන් මොහොතක ගර්භණී මවක් එය භාවිතයේ වරදක් නැහැ.

මුව ආවරණ දෙකක් අවශ්‍යයිද?

සමහර වෙලාවට වැඩි ආරක්ෂාවට අපි මුව ආවරණ දෙකක් භාවිත කිරීම සුදුසුයි කියනවා. හැබැයි හරි විදියට නිවැරදිව භාවිත නොකළොත් දෙකක් නෙවෙයි තුනක් දැම්මත් වැඩක් නැහැ. ඒ නිසා නිසි ක්‍රමවේදයට සකසන ලද ප්‍රමිතියකින් යුක්ත මුව ආවරණයක් භාවිතයයි වැදගත්. එවිට එක් මුව ආවරණයෙන් ලැබෙන ආරක්ෂාවත් ප්‍රමාණවත් විය හැකියි.

මවට කොරෝනා හැදුණොත් කුස තුළ හිඳිනා දරුවට බලපානවද?

එහෙම බලපෑම් වෙන්න ඉඩ තියෙනවා. දැන් කොරෝනා ආසාදනය නිසා මව්වරුන් කීපදෙනෙක් මිය ගියා. ඒ බලපෑම ළදරුවාටද එන්න පුළුවන්. සමහර කොරෝනා ආසාදිත අම්මලාගෙන් ළදරුවාටද කොරෝනා ආසාදනය වීමේ අවදානමක් තියනවා. . ඒ දරුවන්ට දරුණු සංකුලතා එන්න වගේම මරණයට පත් වෙන්නත් ඉඩ තියෙනවා.

කොරෝනා එන්නත ගත් මව්වරුන් දරුවන්ට මව් කිරි දුන්නොත් ….

එන්නත් ලබා ගත් අය මව් කිරි දීමේ කිසිම ගැටලුවක් නැහැ. එය දරුවන්ට කොහෙත්ම බලපාන්න හැකියාවක් නැහැ. එනිසා එන්නත ලබා ගත්තාය කියා දරුවාට මව් කිරි දීම නැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ.

කොරෝනා එන්නතෙන් වඳ භාවයට පත් වෙනවද?

ඔය වගේ මතවාද පැතිරෙන්න ගත්තෙ සයිනොෆාම් එන්නත ගැන. ඒත් දැනට හොයාගෙන තියෙන දත්ත අනුව කිසිම පර්යේෂණයක් මඟින් එවන් වඳ භාවයකට පත්වීමක් ගැන සනාතව නැහැ. ඒ ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ. කොහොමත් තවමත් අප ගර්භණී මව්වරුන්ට එන්නත් ලබා දීමක් සිදු කරන්නේ නැහැ.

කුඩා දරුවන් සිටින මව්වරුන්ට පණිවුඩයක් …

කුඩා දරුවන් සමඟ එළියට යන එක අවදානම්. නිවෙස තුළ තිබෙන ආරක්ෂිත බව එළියේ නැහැ. අවුරුද්දට අඩු දරුවන්ට මුව ආවරණ පැළඳීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් මේ දවස්වල එළියෙ සිට එන අය දරුවන්ව අත පත ගෑම, සිප වැළඳ ගැනීම සුදුසු නැහැ. පවුලේ අයෙක් වුණත් එළියේ සිට ආවා නම් දරුවා අත පත ගෑමට පෙර නා පිරිසිදු වීම වැදගත්.

තොරතුරු සැපයීම -වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ
අධ්‍යක්ෂක , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Related Articles

Don't Miss


Latest Articles