නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක් නොදුටු දුක ම වැළඳූ මගේ ජීවිතයේ මේ තරමින් මා ශෝක වූ දිනයක් වෙන නැත්තේ ය. මේ මොහොත තුළ මා කෙතරම් නම් අසරණ ද? මල්ලී කිසි වරදක් නොකළේ ය. ඔහු අවන්තට පහර දෙන්නට පෙළඹුණේ අවන්ත විසින් සිදු කරන ලද අපහාසය හේතුවෙනි. ඒ තත්වය යටතේ නීතිය කියනා මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ දේත් කෙතරම් නම් දුර්වලතා වලින් සමන්විත ද? පහර දීම සිදු කළ පුද්ගලයා වැරදිකරුවෙකු කරන්නේ පහර දීමට හේතු වූ කාරණය ගැන ඇහැක් ඇර බලන්නේ නැතිව ය!

අහිමි වීම් කියන්නේ අපට ආගන්තුක වූවක් නොවූවත්, මල්ලීව නිදහස් කර ගන්නට බැරි වූවාය යන අසරණකම ප්‍රබල පහරක් ව මගේ ආත්මය දෙදරුම් කවා තිබිණ. අපට කිසිත් කර ගත නො හැකි වූයේ ය!

මල්ලීව පරිවාසය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. බන්ධනාගාරයට අයත් දැල් ගැසූ නිල් පාට බස් රථය උසාවි භූමියෙන් නික්ම යන විට, වීදුරු කවුළුවෙන් මල්ලී මදෙසට හෙලූ බැල්ම! එවන්නක් දකින්නට සොබා දහම මට අවස්ථාව සලසා දුන්නේ දෛවයේ කිනම් පරීක්ෂණයක් වෙනුවෙන් ද?

“මේක මෙතනින් ඉවර වෙන්නෑ නිබ්බුතා. සති දෙකක් යන්න කලින් රාහුල්ව එළියට ගන්න පුළුවන් හැම දේම මං කරනව”

ලෝචන පොරොන්දුනවක සරින් කීවේ ය. නමුත් ඒ වාගේ වචන දිග ලොකුවට බලාපොරොත්තු දල්වා ගන්නට මම බිය වීමි. සත්තකට නීතිය ගැන මසිත්හි වූ භක්තිය දිය වී යන්නට පටන් ගෙන තිබිණ.

අම්මා හඬමින් ද දොඩමින් ද සිටියා ය. කාලයකට පස්සේ ඇය මදුරාපුර මැදුරේ සේවයට නො ගියා ය. මේ දුක දරා ගැනීම අම්මා ගේ දුප්පත් පපුවට පහසු නැති බව මම දනිමි. ඇස් දෙක වාගේ ඇය ට තිබුණ ලොකු ම සහ එක ම හයිය අප දෙදෙනා ය. මල්ලීව මේ විදිහට උදුරා ගැනීම, එක ඇසක් උදුරා ගැනීමටත් වැඩි වේදනාවක් ඇය වෙත උරුම කරන්නට ඇත. නමුත් අපට තනි තනිව ද අප දෙදෙනා ලෙස ද දරා ගත යුතු ව තිබිණ.

“නන්දනියො”

මට ඒ හඬ ඇසුණේ කඳුළු ගඟක දිය වෙමින් සිටියදී සිහිනයෙන් සේ ය. ආච්චි මමී ගේ හඬ සිහිනයෙන් ඇසුණත් හිත කෝපයෙන් පිරී යන තත්වයකට දැන් මම පත් ව සිටිමි. මදිවියෙහි කිසි දාක මිනිසෙකුට වෛර කොට නැති, අපව තනි කළ පියාට වුව වෛර කොට නැති මම මහ ගෙදර මිනිසුන්ට වෛර කරන තත්වයකට පැමිණ සිටියෙමි.

“නන්දනී…කෝ බං උඹල නැද්ද…”

සිහිනයෙන් නොව ඒ හඬ මතු වූයේ සැබවින් ම ය. ඇඳෙන් බහින්නට ගොහිනුත් මා ඒ තීරණය වෙනස් කොට නතර වූයේ අම්මා ගේ හඬ ඇසුණ නිසාවෙනි.

“කුඩම්මෙ”

එය බිඳුණු හඬකි. හිතට ආ ආවේගය යටපත් කොට ගෙන මම නිදි සේ ඇස් පියවා ගතිමි. නමුත් මේ කුඩා ගෙයි කොතැන සිට කතා බහ කළ ද මට ඇසෙන බව මම ස්ථිර ව දැන සිටියෙමි.

“බලපං නන්දනියො ඉතිං උඹලත් කර ගත්ත දේ. මං මේ නීලිකා එක්ක ඇවිත් යන්න ආවෙම මේ ප්‍රස්නෙ විසඳුමක් කර ගන්න. අපරාදෙ අර පොඩි එකා හිරේ විලංගුවෙ තපින්නෙ..මහ ලොකු වයසක්යැ…ආ…”

“ඉතිං කුඩම්මෙ කුඩම්මලමනෙ මයෙ අහිංසකයට ඒ දේ කළේ. මං කකුල් දෙක ළඟ වැඳ වැටුණෙ නැති ටික විතරයි කොල්ලව පොලීසියෙං නිදහස් කරල දෙන්න කියල. උඹලත් අම්මල නේද නීලිකෝ…අම්ම කෙනෙක්ගෙ පපුවෙ පත්තු වෙන ගින්දර උඹලට තේරෙන්නෙ නැත්තං දවසක ඒක තේරුං ගන්න දෙයියො වැඩ සිද්ද කරයි”

“මොකද්ද අක්කෙ ඒ කතාව…අක්ක කියන්නෙ අපේ අවන්ත හිරේ යන්න ඕනයි කියලද…”

ඇඳෙන් නැගිට ගොස් ඔවුන්ව ගෙයින් පන්නා දමන්නට මට ඕනෑ වූයේ ය. නමුත් මා තව දුරටත් ඉවසා ගත්තේ ඔවුන්ට පවසන්නට ඕනෑ දේ දැන ගන්නා තුරු ය.

“අපි ආසාවට කොල්ලව හිරේ යැව්වෙ නෑ අක්කෙ. ඌ පොඩි කමට හරියට ඔළුව ඉදිමෝගෙන ඉන්නෙ. අර මදුරාපුරලගෙ ඉංජිනේරුවෙක් කියන පුතණ්ඩි එක්ක පාරවල් ගානෙ බෝල ගැහුවයි කියල ඌ මස්සිනා කියලයි රාහුල් හිතං ඉන්නෙ. අනේ කවුද දන්නෙ ඔය ඉංජිනේරුවො කිව්වට…ඕව ඇත්තද කියල”

මගේ කට කොනක් සිනහවකට ඇද වූයේ ය. 

“නන්දනියො…අපි උඹල පිට මිනිස්සු නෙවේනෙ. දැං ඔය වාද බේද වලින් වැඩක් නෑ. මොකෝ ඉංජිනේරුවෙක්ම වුණත් ඒ ඉලන්දාරියට පුළුවන් වුනායැ උඹේ කොල්ලව බේර ගන්න…බෑනෙ…ඒක කරන්න පුළුවන් එවුං එක්ක සමාදානෙන් ඉඳිල්ල. අන්න ඒක තේරුං කොරල දෙන්නයි මං මේ ආවෙ”

“ඒකනෙ අක්කෙ. රාහුල් අපේ අවන්තට ගහපු එකට සමාව දීල අපි ඒක අමතක කරන්නංකො. ඒ වගේම අපි කොල්ලව නිදහස් කරලත් දෙන්නංකො. හැබැයි අක්කලගෙ පැත්තෙනුත් වෙන්න ඕන දෙයක් තියනව”

“ඒ මොකද්ද නීලිකෝ…”

ගිලෙන්නට යන මිනිස්සු පිදුරු ගස් වලත් එල්ලෙති. මේ මොහොතේ අම්මා සිටින්නේත් එවන් තත්වයක ය. මා ඉවසා සිටියේ ඒකම ය.

“නිබ්බුතාට තියෙන්නෙ අවන්තට කැමති වෙන එක. ප්‍රශ්න ඔක්කොම විසඳෙනවනෙ ඒකෙන්. රාහුල් නිදහස් වෙලා ගෙදර එනව. ආයෙ මේ වගේ දේවල් සිද්ද වෙන්නෙත් නෑ. නිබ්බුතාට තේරුං කරල දෙන්න අක්කෙ…තමංගෙ පවුල වෙනුවෙන් තමංගෙ මල්ලි වෙනුවෙන් එහෙම දෙයක් කරන්න බැරිනං වැඩක් නෑනෙ ඒ සහෝදර කමෙනුත්”

මා ඇඳෙන් බැස්සේ යක්ෂාවේශයකිනි. මගේ කඳුළු වියළී ගිහින් මුත් ඇස් රතු වී තියෙන්නට ඇත. අවුල් වූ හිස කේ නිසා වියරු ස්වරූපයක් මගෙන් දිස් වූවාට සැක නැත. මා එක් වර කාමරයේ දොරකඩින් මතු වෙත්දී සියලු ඇස් මවෙත යොමු විණි. 

“මොකද්ද කියන්නෙ…මට කියන්නෙ අර ජරා මිනිහව කසාද බඳින්න කියලද…”

ඒ වචන ටිකත්, මගේ පෙනුමත්, මා කතා කළ අවිචාරවත් විලාශයත් නිසා ඔවුන් ක්ෂණික කම්පනයකට ලක් වූ බවක් පෙනිණ. ආච්චි මමී හා නීලිකා නැන්දා උනුන් ගේ මුහුණු බලා ගත්හ. අම්මා මදෙස බලා ගත් ඇස් වල වූයේ නිසංසල බවකි. එහි විශ්වාසය විය. ඇය මා විශ්වාස කරමින් සිටී. මේ මොහොත ගැන මගේ ප්‍රතිචාරය කෙබඳු වී ද ඇය මා විශ්වාස කරමින් සිටී.

“නෑ ඕන්නෑ. මල්ලි ඔය සති දෙකත් ඔහොම හිටපුදෙං. ඒත් මදිනං තව අවුරුදු දෙකකට හිරේ යවන එකයි. ඒත් මං ඔය ජරා මිනිහව බඳින්නෑ. මේ ලෝකෙ වෙන එක පිරිමියෙක්වත් නැතුව ගියත් මං ඔය මිනිහව බඳින්නෑ. ඔය ජරා සතාට ගහල එක දවසකට හරි හිරේ ගිය අර පොඩි එකාට කරන අගෞරවයක් ඒක. කරුණාකරල මේ ගෙදරින් දොට්ට බහින්න”

මම අතැඟිල්ලකින් ගේට්ටුව පෙන්වමින් සිටියෙමි. මල්ලීගෙන් කෙසේ වී ද මොවුන් මගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නේ නැත. නැන්දම්මා හා ලේලිය ගේ ඇස් ලොකු වී තිබුණේ එනිසාවෙනි.

“නිබ්බුතෝ…උඹ අපිට යන්න කියලද ඔය කියන්නෙ…”

ආච්චි මමී විශ්මය හා මුසු වෙමින් විමසා සිටියා ය. මම මගේ තියුණු විෂ කටු බවට පත් ව තිබි ඇස් වලින් ඇයට ඇන්නෙමි.

“ඔව්. පොඩි කාලෙ ඉඳං ඔය මහ ගෙදර කියන ගෙදර එවුං අපිට කරපු වෙනස්කං නොදැන හිටිය නෙවෙයි මං. හොඳට දැනගෙනයි හිටියෙ. අපිට දෙන්න වෙනවට බත් මුට්ටියෙ ඉතුරු වෙච්ච බත් කුණු වළට හැළුව. ඉස්කෝලෙ යන්න සීසන් එක ගන්න කීයක් හරි ඉල්ල ගනිං කියල අම්ම මාව මහ ගෙදරට යවපු වෙලාවෙ පුළුවං හැටියට වැඩ කරහල්ල ඇඟිල්ලෙ තරමට ඉදිමියල්ල ගොඩැල්ලෙ තරමට උඩ පැනහල්ල කියල සත පහක් නොදී මාව හරෝල එව්ව. ඔය අවන්ත කියන මිනිහගෙ ඇඳපු ඇඳුමක්වත් පොඩි කාලෙ මල්ලිට දුන්නෙ නෑ. ඒවයිං වළං ඇල්ලුව. මං ඕව දිහා හොඳට බලං හිටියෙ. හැබැයි රිද්දගත්තෙ නෑ. කවදහරි උත්තර දෙන්නං කියල හිතුවෙත් නෑ. හැබැයි දැං උත්තර දෙනව. අපිට නෙවෙයි අපේ අම්මට වුණත් කරල තියෙන්නෙ වෙනස්කං. ආච්චි මමීට දැන් අමතක වෙලාද දන්නෑ. වළං හේදිල නෑ කියල ඒව හෝදල අම්මගෙ ඔළුවෙ වක්කරාලු. නිදියං ඉන්නකොට පාන්දර පයින් ඇනලලු නැගිට්ටන්නෙ. අවුරුදු අටේ පොඩි ළමයෙක් වෙද්දිත් හරකෙක්ගෙං වගේ මරෝලලු වැඩ ගත්තෙ රෑ දොළහ පහු වෙනකං නිදියන්න දුන්නෑලු නිදි කිරා වැටෙද්දිත්…”

“මොනාද බං උඹ ඔය කියවන්නෙ…”

“ඒක තමයි මං කිව්වෙ ආච්චි මමී ට අමතක වෙලා ඇති කියල. හැබැයි අම්මට අමතක නෑ. අහල බලන්න. ගලේ කොටපු අකුරු වගේ එහෙමම තියනව. ඕගොල්ලො අපිට කළේම වෙනස්කං. ගෙයි ඉඩ නෑ වගේ අත දරුවෙකුයි කුසේ දරුවෙකුයි ඉන්න ගෑනියෙක්ව දර මඩුවට කළා. කළුවරේ සර්ප විමානෙ ගෙවල් වල වැඩකාරකං කරල හරි ඒ ගෑනි ඒ දරුවො දෙන්නව ලොකු කර ගත්තට පස්සෙ නෑදෑකං අලුත් කර ගන්න ඕන වුණා. ගම පුරාම කෙල්ලො එක්ක යාළු වෙවී ගිය අවන්තට මං හොඳයි මං මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සෙ…ඒකට බෑ කිව්වම හිටපු පැලටත් ගිනි තිබ්බ. මිනිස්සුද ඕගොල්ලො…ආ…මිනිස්සුද…අන්තිමට අපි අපේ පාඩුවෙ ජීවත් වෙනකොට අර අහිංසකයව රණ්ඩුවකට පටලගෙන ඒ නොදරුවව හිරේ යැව්ව. දැන් ඉතින් සතුටු ඇතිනෙ…ඒ මදිද…දැන් ඒ ගමන ඇවිත් කොල්ලව නිදහස් කරන්න කෙල්ලව කසාද බන්දන්න කියන්න. හහ්…හිතාගෙන ඉන්නෙ අපි මොක්කු කියලද ආ…”

මම ආවේශයෙන් කෑ ගැසුවෙමි. අවිහිංසක නිබ්බුතා කොහේ කොතැනක සැඟවුණිද කියා මා දන්නේ නැත. නමුත් ඒ වෙලාවේ ඉස්මතු වන්නට ඕනෑ වූ නිබ්බුතා ට අවසර නොදී හිටියා නම් සදහට ම මට නිවීමක් හෝ සැනසීමක් නොවනු ඇත.

“ය…ක්…කෝ…වෙන්න දොස්තර කෙනෙක් ගිය උඩ බලහංකො. බලාගෙන…දන්නෙම නැතුව බිම වැටෙයි. දැක්කනෙ නන්දනී උඹෙ දෝණියන්දැ අපිට කතා කළ හැටි…උඹේ කොල්ල හත් අවුරුද්දකට හිරේ ගියත් ආයෙනං එන්නෙපා ඥං පචං ගාගෙන ඒ හතර මායිමට”

කියමින් ඔවුහු නික්ම ගියහ.

“එනව. අපේ අයිතිය අරගන්න”

එවෙලේ මා කීවේ මගේ හිතක හෝ නොතිබූ කතාවකි. හඬා ගෙන මා දොරකඩ පඩිය උඩින් හිඳ ගත්තේ ඔවුන් ව පාරේ ඈත නො පෙනී ගිය කල ය. මට ඉකි ගැසී හැඬිණි. අම්මා ඇවිත් මා ළඟින් හිඳ මගේ හිස් මුදුන පිරිමැද්දා ය. මම ඇගේ උකුළේ හිස තියා ගෙන ඉකි බින්දෙමි. අම්මා වචනයක් හෝ කීවේ නැත. ඇගේ නෑසියන් ගේ තරම අපට ද වඩා හොඳින් ඈ දැන සිටි බවට සැක නැත. ඇයට නො තිබූ හයියක් අද ඇගේ දරු දෙදෙනාට වීම ගැන සතුටක් අම්මා ට වන්නට ඇත.

මල්ලී ට කළ අපරාධය ගැන මුළු ගම ම සිටියේ අපේ පැත්තේ ය. අප කෙතරම් දුක් විඳි දරුවන් දැයි නො දන්නා කෙනෙකු ගමෙහි නැත. ඒ වුණත් කුස ගින්නට කියා හෝ අප අනුන්ගේ අබ මල් රේණුවක තරම් දේකට අත තියා තිබුණේ නැත. මල්ලී ගමේ බොහෝ ළමයින්ව වයස් බේධයකින් තොර ව ඇසුරු කළේ ය. නමුත් කිසි දා ඔහු කිසිවෙකු සමග අඩ දබරයක් තබා නොහොඳ නෝක්කාඩුවක් වුව ඇති කර ගෙන තිබුණේ නැත. අප කෙතරම් අහිංසක ලෙස ජීවත් වූ මින්සුන් ද කියා දන්නා නිසා ම ගම්මු විටින් විට ගෙදරට විත් අප සමග ශෝකය බෙදා ගත්හ. හැම කෙනෙක් ම කණගාටු වූයේත් කෝප වූයේත් ඒ වෙත්දී ද අවන්ත රෝහලෙන් ගෙදර විත් සිටි නිසා ය.

 හැන්දෑවේ මධාරා අක්කා ද ආවා ය. ඇය වැළඳගෙන මම ඇති වන තුරු ම හැඬුවෙමි.

“මං මල්ලා එක්ක කතා කළා නිබ්බු. කරන්න පුළුවන් හැම දේම අපි කරනව. ඔයා හිත හයිය කර ගන්න”

“මං එහෙම හිතනව. ඒත් කොහොම හයිය වෙලා ඉන්නද අක්කෙ…සුදූ සුදූ කිය කිය මල්ලි කතා කරනව වගේ හැම වෙලේම ඇහෙනව”

“ඇත්තමයි ඒනං මහ පුදුම ජරා මිනිස්සු. ඔයා ඉන්නකො. අපි මල්ලිව ගෙනත් දෙනව ගෙදරට. දවස් දෙක තුනක් දෙන්න”

“අනේ මට ඒ වචන ටික ඇති අක්කෙ. ලෝචන අයියත් කොච්චර මහන්සි වුණාද…මේ දේවල් ඉස්සරහ අපි හරි අසරණයි අක්කෙ”

“එහෙම හිතන්න එපා. මේ අසාධාරණේට විරුද්දව ෆයිට් කරන්න ඕන. ඒක මනුස්සකම් වෙනුවෙන් කරන සටනක්. මායි මල්ලයි කොච්චර සල්ලි වියදං කරල හරි පොඩි එකාව එළියට ගන්නව නිබ්බු. බය වෙන්න එපා”

මොනවා කොහොම වෙන්න නියමිතද කියා මම නො දැන සිටියෙමි. උසාවියේ සිට මා ගෙදර ගෙනැවිත් දැමූ වෙලාවේ සිට ලෝචන මල්ලීව නිදහස් කර ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් අවශ්‍ය සාක්ෂි හා සාධක රැස් කිරීමට එහෙ මෙහෙ දිව්වේ ය. රෑ වී අපේ ගෙදර පැමිණි ඔහු කීවේ විශේෂ මෝසමක් මගින් නඩුව යළි උසාවි කැඳවා නීතීඥවරුන් කිහිප දෙනෙකුම ඒ වෙනුවෙන් කතා කිරීමට සූදානම් ව සිටින බවයි. පසු දා මල්ලී බලන්නට අප කැඳවා ගෙන යාම ප්‍රතික්ෂේප කළ ලෝචන, ගමේ තරුණයන් කිහිප දෙනෙකු සමග එහි යන බව කීවේ තව දුරටත් අප හිත් පාරා ගත යුතු නැති නිසාවෙනි. මල්ලී දකින්නට නැති වීම වේදනාවක් වීද මම එය විඳ ගතිමි. ඇතැම් විට අපව එතැනදී දකිනා එක ඔහුට ද වාවා ගත නො හැකි දුකක් විය හැකි බැවිනි.

තුන් වන දින දහවල මා කඳුළින් ඔත්පල ව වැතිර සිටියදී ලෝචන ගේ රිය නැවතී නලා හැඬවී ය..ගේට්ටුව ඇතුළතින් අගුළු ලා තිබුණේ අම්මා ටික වෙලාවකට මදුරාපුර මැදුරේ ඉවුම් පිහුම් කර එන්නට ගිය නිසාවෙනි. මම ගේට්ටුව අරින්නට ගියෙමි. ලෝචන එතැන සිටියේ ය.

“සති දෙක යනකල් මල්ලිව ගන්න පුළුවන් වෙන්නෑ නිබ්බුතා”

ඔහු ශෝක ස්වරයකින් කීවේ ය. හඬන්නට බැරි තරමට හෙම්බත් ව හිටියත් ඇස් තව දුරටත් කඳුළු ඉස්සර කර ගත්තේ ය.

“අනේ අයියෙ. මට මැරෙන්න හිතෙනව දෙයියනේ”

එකෙනෙහි ගේට්ටු පියනෙන් මතු වූයේ මල්ලී ය. අප ඒ තරම් ඉක්මනට අප වෙත පැන ගත්තේ කොහොමද කියා සිතා ගත නොහැකි ය. ඇසිල්ලකින් අපි තදින් අප වැළඳ ගෙන සිටියෙමු. මල්ලිගේ කඳුළක සීතල මගේ පිටට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles