එක මොහොතක්.. 

” අද මම වැඩසටහන අවසන් කරන්නේ හැමදාම අපිව අහන තුෂාරගේ ගීත ඉල්ලීමකින්. ඉතින් ලබන සතියෙත් මෙවැනිම වූ සුන්දර හෝරාවක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම ආමන්ත ” 

ආමන්ත තමන්ගේ රේඩියෝ වැඩසටහන අවසන් කරලා අවසාන ගීතය ප්‍රචාරය කරා.

” එදා මෙදා තුර කඳුළට විවර වූ 

දෑස් පියන් පත් කවුළු වසා 

ලයේ ගලා ගිය සෙනේහයේ සුව 

සිනා පිරූ රතු දෙතොල පියා 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති

කම්මුල් සුදු මැලි පාට පොවා

දෑත ලයේ බැඳ අවසන් ගමනට

සොඳුරිය මට නොකියාම ගියා ” 

ඊළඟ නිවේදකයාට මැදිරිය භාරදෙන්න සූදානමින් හිටපු ආමන්ත ආයෙමත් පුටුවට බර වෙලා දෑස් පියා ගත්තා. ගීතයේ දෙවැනි කොටස ප්‍රචාරය වෙනකොට තමන්ගේ දෑස් වලින් ගලාගෙන යන කඳුළුවල සීතල ආමන්තට දැනුනා. ඒ එක්කම කොහේදෝ ඉඳලා ආව අතීත මතක ආමන්තව වැළඳ ගත්තා.

” ආමන්ත. මේ ෆොටෝ එක අපි බෙඩ් රූම් එකේ එල්ලමු නේද ? “

උදානි හිටියේ මංගල ඡායාරූපය අතේ තියාගෙන. වසර පහක ආදර කතාව විවාහයකින් අලුත් කර ගන්න උදානි වගේම ආමන්ත වාසනාවන්ත වුනේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ. විවාහයෙන් මාස කීපයකට පස්සේ හිතාගෙන හිටියා වගේම අලුත් නිවසක් මිලදී ගන්නත් ඔවුන්ට පුළුවන් වුණා. දැකපු හැම හීනයක්ම හැබෑ වේගෙන එනකොට ජීවිතය කියන්නේ මොනතරම් සුන්දර දෙයක්ද කියලා දවසින් දවස ආමන්තට හිතුණා. පෙම්වතුන් වෙලා හිටපු කාලෙටත් වැඩිය ආදරෙන් තමන්ව බලාගන්න තමන්ගේ ආදරණීය බිරිඳ අලුත් ගෙදර සරසන්න ගන්න වෙහෙස මහන්සිය ආමන්ත බලාගෙන හිටියේ බලාපොරොත්තු පිරුණු දෑස් වලින්. 

පෞද්ගලික ආයතනයක සේවය කරපු උදානිට ආමන්තව මුණ ගැහෙන්නේ ආමන්ත සේවය කරපු ගුවන්විදුලි ආයතනය මගින් පවත්වපු සංගීත ප්‍රසංගයකදීයි . රේඩියෝවෙන් ඇහෙන සුන්දර කටහඬේ හිමිකාරයාව හැබැහින් දැක්කට පස්සේ ඔහුත් එක්ක කතා කරන්න ආසාව උදානිගේ හිතේ දළු දැම්මා. ප්‍රසංගය අවසන් වෙනකම් බලාගෙන හිටපු උදානි අවස්ථාවක් ලැබුණ හැටියෙම ආමන්තව හොයා ගෙන වේදිකාව ළඟට ගියා. එතනින් පටන් ගත්ත හිතවත්කම ආදරයක් බවට පත් වෙන්න ගියේ මාස කිහිපයක් විතරයි.

” ඔයා මං එනකං ඇහැරගෙන ඉන්න එපා උදානි. මම අනිත් යතුරෙන් දොර ඇරගෙන එන්නම්. ඔයා උදේට ඔෆිස් යන්නේ කොහොමද ඔහොම නිදි මරලා ? ” 

මධ්‍යම රාත්‍රී වැඩසටහන අවසන් කරලා ආමන්ත පාන්දර දෙකට විතර ගෙදර එනකන් උදානි හැමදාම මග බලාගෙන හිටියා.

” හස්බන් වැඩට ගිහිල්ලා එනකොට නිදාගෙන ඉන්න වයිෆ් කෙනෙක් වෙන්න මට ඕනේ නෑ හරිද ? ” 

උදානි හිනා වෙවී මුළුතැන් ගෙට ගියේ ආමන්ත නාන කාමරයට යන අතරේ.

” මොකද පුතේ ඔයාගේ මූනත් එක්ක වෙනස් වෙලා ? මොකක් හරි අසනීපයක්ද  ? ” 

හවස් වරුවක උදානීව බලන්න ආපු උදානිගේ අම්මා එහෙම ඇහුවේ ඇගේ මූණ අත ගාන ගමන්.

” අයියෝ මොන අසනීපයක්ද අම්මා ? මම මේ හොඳට ඉන්නේ ? ” 

” එහෙනම් කමක් නෑ. මම ඒත් බැලුවා සුභ ආරංචියක් වත් එන්න යනවද කියලා ” 

” ආ.. ඔය කිව්වෙ ඉතින් . අපිට එච්චර හදිසියක් නෑ හරිද ? ” 

උදානිගේ හිනාව මුළු ගේ පුරාම පැතිරිලා යද්දී තමන්ගේ දියණිය ඉන්නේ මොනතරම් සතුටින්ද කියලා හිතාගන්න උදානිගේ අම්මට පුළුවන් උනා.

” බඳින්නෙ නෑ කිය කිය හිටපු ඔයා මේ ගත්ත තීරණය ගැන මම ඇත්තටම සතුටු වෙනවා පුතේ ” 

උදානිගෙ අම්මා කිව්වෙ තේ එකක් බොන අතරේ.

මොන තරම් කාර්යබහුල වුණත් උදානි වෙනුවෙන් කාලය වෙන් කරන්න ආමන්ත කවදාවත් අමතක කරේ නෑ. හැම සති අන්තයක්ම චිත්‍රපටයක් බලන්න යන්න , රෑ කෑමකට යන්න , නැත්නම් විනෝද චාරිකාවක් යන්න ආමන්ත සැලසුම් කරා. 

ආමන්තගේ හැම වැඩසටහනකදීම ආදරය ගැන බොහෝම සුන්දර දේවල් කියවුනේ උදානි නිසා කියලා කාර්යාලයේ කවුරුත් දැනගෙන හිටියා. ඒ තරම්ම සුන්දරව ගලාගෙන ගිය ජීවිතයේ හිතුවෙවත් නැති අසුන්දර දවසක් උදා වුනේ කාර්යාලයේ ඉන්න වෙලාවක ආමන්තට ආපු දුරකථන ඇමතුමකින්. 

” උදානිව හදිසියේම ෆේන්ට් උනා.ටිකක් අමාරු නිසා හොස්පිට්ල් ඇඩ්මිට් කලා.මිස්ටර් ආමන්තට ඉක්මනින් එන්න පුළුවන් නම් හොඳයි ” 

උදානිගේ කාර්යාලයෙන් ආපු ඇමතුමෙන් කියවුනේ එහෙම. වාහනයට නැගුණු ආමන්ත පුළුවන් තරම් වේගයෙන් රෝහලට ගියේ කිසිවක් හිතා ගන්න බැරුව.

හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර යටතේ ඉන්න ආමන්තට උදානිව බලන්න පුළුවන් උනේ තවත් පැයකට විතර පස්සේ.  

” මට අමාරුවක් නෑ ආමන්ත. මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.සමහරවිට ඒ නිසා ෆේන්ට් වෙන්න ඇති ” 

අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ කරපු උදානි ආමන්තගේ අතින් අල්ලගෙන එහෙම කිව්වත් ඇයගේ තත්ත්වය ඒ තරම් හොඳ නෑ කියලා ආමන්තට ඒ මොහොතේම දැනුනා. 

” වැඩ වැඩී විතරක් නෙමෙයි,  ඔයා හැමදාම මං එනකං නිදි මරනවා. පැය කීයද ඔයා නිදාගන්නේ ? බලන්නකෝ ඉතින් වෙච්ච දේ අන්තිමට ? ආයෙ මම කියන දේ ඇහුවෙ නැත්තං මං බලාගන්නම්කෝ ” 

ආමන්ත එහෙම කියලා උදානිගේ හිස අතගානකොට උදානි ඇස් පියා ගත්තෙ සැනසීමෙන්.

පුංචි අසනීප තත්ත්වයක් විතරයි කියලා හිතුවත් උදානිගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණේ කවුරුත් හිතපු නැති විදිහට. නිතර අසනීප වෙන්න පටන් ගත්ත නිසා වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට යොමු වෙන්න උදානිට සිද්ධ වුණා. 

” උදානිට කැන්සර් එකක් ” 

ජීවිතයේ අහන්න ලැබුන නරකම ආරංචිය ආමන්තට අහන්න ලැබුණේ ඒ විදියට.

” දැන් මේ ලෝකෙ කොච්චර දියුණුයිද ආමන්ත ? අපි බයවෙන්නෙ නැතුව ඉමු. කැන්සර් එකක් හැදෙන හැම මනුස්සයම මැරෙන්නේ නෑ කියලා ඩොක්ටර් කිව්වනේ ” 

උදානි එහෙම කියලා හැම දවසකම ආමන්තගෙ හිත හැදුවා. සමහර ප්‍රතිකාර වේදනාත්මක වුණත් ආමන්ත වෙනුවෙන් ඒ හැම වේදනාවක්ම දරාගන්න උදානි උත්සාහ කළා. 

මාස කිහිපයක ප්‍රතිකාර වලට පස්සේ රැකියාවෙන් ඉවත් වෙන්න උදානිට සිද්ධ වුණේ ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් එක්කම ඇගේ ශරීරය දුර්වල වීමත් නිසා. තත්ත්වය මොන වගේ වුනත් උදානිව සතුටින් තියන්න පුළුවන් හැම උත්සාහයක්ම ආමන්ත අර ගත්තා. ඉඩ ලැබෙන හැම වෙලාවක්ම ඇය එක්ක ගත කරන්න වගේම උදානි ආස තැන් වල ඇයව එක්කන් යන්නත් ආමන්ත අමතක කලේ නෑ.

ඒත් තමන්ගේ දෛවය වෙනස් කරන්න තරම් උදානී වාසනාවන්ත වුණේ නැහැ. දැකපු හැම හීනයක්ම , හැම බලාපොරොත්තුවක්ම අරගෙන උදානි සදහටම යන්න ගියේ ජීවිතය කියන්නේ ක්ෂණයකින් වෙනස් වෙන්න පුළුවන් දෙයක් කියලා ආමන්තට පසක් කරලා දෙන ගමන්. 

උදානිගේ හත් දවසේ පිංකම් කටයුතු ඉවර උනාට පස්සේ ආමන්ත මංගල ඡායාරූපය අතේ තියාගෙන නිදන කාමරයේ ඉන්නකොට උදානිගේ අම්මා ආමන්ත ලගට ආවේ ආයෙ ආයේ අලුත් වෙන කඳුළු පිහදාන ගමන්.

” පුතේ ” 

ආමන්ත මංගල ඡායාරූපය තුරුල් කරගෙන උදානිගේ අම්මා දිහා බැලුවා.

” අන්තිමට එයා මාව දාලා ගියා අම්මේ ” 

ආමන්ත ආයෙමත් අඬන්න පටන් ගන්නකොට උදානිගෙ අම්මා ඔහු ලඟින් වාඩි උනා.

” මගෙ කෙල්ල මැරෙනකන්ම හිටියේ ගොඩක් සතුටින් පුතේ. ඒ ඔයා හින්දා. කිසිම වෙනසක් නොකර එයාව බලා ගත්තට , එයාව බේරගන්න පුළුවන් හැමදේම කරාට , එක මොහොතකට වත් එයාට දුකක් නොදුන්නට ඔයාට ගොඩක් පින් පුතේ ” 

එහෙම කියපු උදානිගෙ අම්මා එතනින් ඉක්මනින් නැගිටලා ආවා.

” අපි හැමදාම උත්සාහ කරන්න ඕනේ අපි ආදරය කරන අයට ලස්සන මතකයක් වෙන්න. මිනිස්සු හැමදාම ජීවත් වෙන්නෙ නැති නිසා ඔබ ආදරය කරන අයට ඒ ආදරය පෙන්වන්න අමතක කරන්න එපා . මොකද ඔබට ඒකට ආයේ අවස්ථාවක් එන්නෙ නැති වෙන්න පුළුවන් ” 

තමන්ගෙම වැඩසටහනකදි තමන් කිව්ව ඒ කතාව ආමන්තට මතක් උනේ හදවතේ හිර වෙලා තිබුන දුක ආයේම අලුත් වෙනකොට.

More Stories

Don't Miss


Latest Articles