*තාරානාත් දහම් වංශනායක*
“මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා”
මට ඔන්න ඔය ටික තමයි නාද්‍යාට කියන්න ඕන උනේ. කොහෙද මේ කෙල්ලන්ගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ. එයා හිතාගෙන හිටියට මං මේ එයාවයි අහස්වයි බලාගන්නෙ අනුකම්පාවට කියලා, අනුකම්පාවට ගෑනුන්ව ගන්න මම එන් ජී ඕ එකක්ද නෑනේ? ඒ ටික තේරෙන්නෙ නැති මහ ගොං ගහක් කියලා හිත නාද්‍යා ගැන කියද්දි මට තනියෙන් හිනාත් යනවා.
කොච්චර හංගන්න හැදුවත් නාද්‍යා මට ආදරෙයි කියලා, මම ළඟ ඉද්දි එයාට ආයෙම වතාවක් අම්මා කියන තැනින් එළියට ඇවිත් කෙල්ලෙක් විදියට හිතන්න නිදහසක් ලැබෙනවා කියලා. ඒත් ඒක සීයට සීයක් සර්ව සම්පූර්ණ හැඟීමක් කරගන්න කිසිම උවමනාවක් එයාට තිබ්බේ නෑ. ඒක උවමනාවක් නැති කමටත් වඩා ලොකු බයක් කියන එක තේරෙද්දි මං ඇත්තටම නාද්‍යා ගැන වොරි උනා.
අපේ බිස්නස් එකේ ඉස්සරහට කරන වැඩ ටික ගැන කතාකරගන්න අපි ඇඩ්වටයිසින් ෆර්ම් එකකට ප්‍රපෝසල් එකක දෙන්න කියලා කිව්වේ දැන් සති කීපෙකට කලින්. ඒ ප්‍රපෝසල් එක රෙඩි කියලා මිටීන් එකක් එයාලා ඉල්ලලා අපේ ඔෆිස් එකට එන්නද කියලා ඇහුවට, තාම අපි ඔය ප්‍රසන්ටේශන් එකක එහෙම බලන ප්‍රොජෙක්ටර් තියෙන ලෙවල් එකකට ඔෆිස් එක හදලා නැති හන්දා අපි දෙන්න එයාලගෙ ඔෆිස් එකට එන්නම් කියලා රික්වෙස්ට් කරේ මමමයි. අපේ ක්ලවුඩ් කිචන් එකේ ඉඳලා විනාඩි හතලිස් පහක විතර දුරකින් තියෙන නියෝ ඇඩ්ස් එකට අපි යන්න දාගත්ත එක හන්දයි මම නාද්‍යාට කිව්වේ “වෙනදට වඩා හොඳට ඇඳන් එන්න” කියලා. ඒත් එහෙම කිව්වට ඒ කෙල්ලට අඳින්න පලඳින්න සුදුසු ඇඳුමක් තියෙනවද කියල අහන්න බැරි උනානෙ කියලා මට මතක් උනේ එදා රෑ. කෝල් එකක් දීලා ඇහුවත් මේ මහ රෑ දැන් ඇඳුම් හොයන්න බැරි හන්දා මං මුකුත් අහන්න ගියේ නෑ.
ඒත් පස්සෙන්දා උදේ නාද්‍යාව දැක්කම ඇත්තටම මට පිස්සු හැදුණා. දුවන් ගිහින් අර හින්දි ෆිල්ම් එකක වගේ කෙල්ලව වඩාගෙන වටයක් කරකවන්න හිතෙන තරම් ලස්සනකට නාද්‍යා සැරසිලා ඇවිත් උන්නා.නිල් පාට දනහිසෙන් පහලට තියෙන කුර්තා ටොප් එකට ඕෆ් වයිට් පෑන්ට් එකක් ඇඳලා වෙනදා ගෙඩියක් බැඳන් ඉන්නෙ කොන්ඩෙ කඩලා දාලා උන්න නාද්‍යාගෙ අද තිබ්බේ “අම්මා කෙනෙක් කියලා කියන්න බැරි” විදියෙ පුදුමාකාර ලස්සනක්. මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් එයා කලර් කරලා තියෙන්න ඇති කියලා හිතිච්ච කොණ්ඩෙ කලර් කරපු ලයින්ස් දැන් තිබ්බෙ සෑහෙන පල්ලෙහට වෙන්න. එයාට මෙච්චර දිග කොණ්ඩයක් තියෙන විත්තිය මං පවා දැක්කෙ අද. ඉණෙන් පල්ලෙහට වෙන්න වතුර පාරක් වගේ ලස්සනට ගලා හැලිච්ච ඒ කොණ්ඩෙට, වාඩිවෙලා ලැප්ටොප් එක දිහා බලාගෙන උන්න නාද්‍යාගේ මූණෙ පැත්තක් වැහිලා තිබ්බා.
කතාකරගෙන වගේ මං ඇඳගෙන ඇවිත් තිබ්බෙත් නිල් පාට ශර්ට් එකක්. නාද්‍යා කොච්චර අකමැති උනත් කවදහරි මේක වෙනවාමයි කියල මං හිතුවෙ ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් හන්දා.
“අද ඔයා හරිම ලස්සනයි” කියලා මං පුරුදු විදියට ස්ටිකි නෝට් එකක ලියලා මේසෙ ලඟින් යන ගමන් එයාගෙ ලැප්ටොප් එකේ අලවද්දි නාද්‍යා කරේ ඒක කියවලා හිනාවෙච්ච එක. ඒ හිනාව අස්සේ එයා පිළිගන්න අකමැති උනත් එයාගෙ හිත මාව ඇක්සෙප්ට් කරලා තියෙනවා කියන එකේ කරුණු කාරණා මම දැක්කා.
“ලස්සනට ඇඳන් එන්න කියලා කවුද දන්නෙ නෑ කිව්වේ” කියලා වෙනදා වගේ බයක් නැතුව නාද්‍යා වෙනදට ස්ටිකි නෝට් එකක ලියලා එවන ජාතියේ කතන්දරයක් මං දිහා බලාගෙන “මං ටෝක් කරන කෑල්ල දැන් මාවත් ටෝක් කරන්න පටන් අරගෙන වගේ” කියලා හිත හීනියට ලයින් එකක් දෙද්දි මට පුදුම ආතල් එකක් තමයි දැනුනෙ. අපිත් ඉතින් මේ රහත් වෙච්ච මිනිස්සු නෙවිනෙ, ඕන තරම් පිටරටදි ක්ලබ් වලදි එහෙම කෙල්ලො සෙට් උනාම ඒ ඒ ආතල් ගත්තට, ඕන තරම් ඔය මාස ගනන්වල ලව් ස්ටෝරීස් ජීවිතේ තිබ්බට, ඒ ආතල් ඔක්කොම කුඩු මේ ආතල් එකට කියලා හිතෙන තැනක තමයි මං උන්නේ. නාද්‍යා බයක් නැතුව එහෙම දෙයක් මගෙ මූණටම කිව්වම ආය මම නිකන් ගොබිලා වගේ හිනාවෙලා විතරක් ඉන්නෝන නෑනෙ කියලා හිතිච්ච හන්දා තමයි මම පුටුවෙ හොඳට වාඩිවෙලා මේසෙ උඩ තිබ්බ පෑන කරකන ගමන් නාද්‍යා දිහාව බලලා පොඩි හිනාවක් දාලා කතාව පටන් ගත්තෙ.
“කවුද ඉතින් කිව්වේ?” කියලා මං ඇහුවෙ පොඩ්ඩක් කෙල්ලව බයිට් කරන්න වගේ.
“මං දන්න එක්කෙනෙක්”
“දන්න එක්කෙනෙක්? කොල්ලෙක්ද?”
“කොල්ලෙක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙමම කියන්නත් බෑ” කියලා නාද්‍යා කියද්දි තමයි මට හිතුනෙ “මේකි මේ මං ගැන නෙවිද යකෝ කියන්නෙ” කියලා.
“ඒ කිව්වේ?”
“එයාට කොල්ලෙක් කියලා කියන්න පුලුවන් මීට අවුරුදු දහයකට විතර කළින් තමයි” කියලා කියද්දි නාද්‍යාගෙ කටේ කෙලවරක තිබිච්ච හීනි හිනාවයි ඇස් කෙලෝරෙන් මං දිහා බලන හොර බැල්මයි දෙකම මට නෝටිස් උනා. “ආහ් දැන් එහෙමද එන්නේ ඔයා? හරි හරි බලමුකො” කියලා හිත කියද්දි තමයි මාත් කතාව කන්ටිනිව් කරගෙන යන්න හිතුවෙ.
“නාකි කුකුලෙක්ද?”
“ඔව් මං හිතන්නේ”
“කොහෙදිද සෙට් උනේ?”
“තාම සෙට් නෑ”
“තාම සෙට් නෑ කිව්වේ ඉස්සරහට සෙට් වෙන්න බලාගෙනද ඉන්නෙ?” කියලා මං අහද්දි තමයි මං හිතන්නෙ නාද්‍යාටත් තේරුණෙ එයා පටන් ගත්ත ගැටේට අන්තිමේ එයාම අහුවුණා කියන එක.
“සෙට් වෙන්න ජෙලි කියලා හිතුවද?”
“මං දන්නෙ නෑ ඉතින් ඔයා තමා කියන්නෝන මට ජෙලි ද පුඩින් ද මොනාද කියලා. මං දන්න මනුස්සයෙක් ගැන නෙවෙයිනෙ නේද ඔය කියන්නේ. අනික ඉතින් මීට අවුරුදු දහයකට විතර කලින් කොල්ලෙක් කියලා කිව්වම මට මතක් වෙන්නෙ අපේ අමරසූරියව තමයි. මීට අවුරුදු දහයකට කලින් ඉතින් එයාටත් ඕන්නම් තිස් පහක් වත් වෙන්නැති නේද?” ඉන්පස්සෙ නම් නාද්‍යා චුට්ටක් සයිලන්ට් උනේ සමහර විට ඊලඟට කියන්නෝන ඒවට වචන හදාගන්න වෙන්නැති.
“කොහෙද යන්න තියෙනවා කිව්ව හන්ද ඉතින් මෙහෙම ඇඳන් ආවේ” කියලා කෙල්ල කිව්වෙ ලැජ්ජාවෙන් විත්තිය මට තේරුණෙ එයාගෙ කම්මුල් රෝස පාට වෙලා තොල් වලට ලේ පිරෙනවා දැක්කම. මගෙ ඉස්සරහා තියෙන මේසෙට ඇවිදන් ගිහින් අල්ලගෙන කිස් කරන්න තිබ්බා නම් හොඳයි කියලා හිතුනට මං ටක් ගාලා ඒ සිතුවිල්ල ඔලුවෙ අයින් කරලා දැම්මේ “තාරානාත් බුදු පුතේ ඔය සෙල්ලම් වලට දැන්ම ලෑස්ති වෙන්නෙපා. මේකි මේ එසේ මෙසේ එකියක් නෙවෙයි” කියලා සිග්නල් එකක් දෙන ගමන්.
“ඇඩ්වටයිසින් ෆර්ම් එකකට පිච් එකක් කරන්න දුන්නනෙ. එයාලා අද ඒක ප්‍රසන්ට් කරන්න ටයිම් එකක් ඉල්ලුවා.මෙහෙ තාම ඉඩකඩ මදි හන්දා මං කිව්වා එයාලගෙ ඔෆිස් එකට එන්නම් කියලා. ඒ උනාට මෙච්චර ලස්සනට ඇඳන් ඇවිත් ඉන්නෙකේ අද නම් මට ඒ මීටින් එකට නෙවෙයි යන්න නෙවෙයි හිතිලා තියෙන්නෙ. වෙන කොහේ හරි යන්න”
“කොහෙද?”
“වෙන කොහේහරි”
“අපි එයි කියලා හිතන් ඇත්තෙ” කිව්වෙත් අර රෝස පාට තොල් උල් කරලා.
“එන්නෝන නෑ, මට ඕන් නම් මං අරගෙන යනවා හරිද?”
“කවද්ද?”
“මගෙ වෙච්ච දවසට”












